වත්සලා පත් වෙමින් උන්නේ දැඩි පීඩනයකටය. සියල්ල ඇයගේ පාලනයෙන් ගිලිහී යමින් තිබුණි. ධනුකගේ හිතවත් පොලිස් නිලධාරියෙකු පැමිණ වත්සලා සතු සියලු වීඩියෝ ඉවත් කර දමනවා නම්, මෙම ගැටලුව නිමා කර දැමීමට නුරාන් කැමති බව ඔහු පොලිස් ස්ථාධිපතිවරයාට දැනුම් දීමෙන් පසු වත්සලාට නිවස බලා යෑමට අවස්ථාව හිමි විය. එහෙත් දැඩි අවධාරණය කිරීම් සහ නුරාන් ට යම අවැඩක් සිදු කිරීමට ඈ සතු සැලසුම් වේ නම් ඒ සඳහා උත්සාහ නොකරන ලෙස අවවාද කිරීම් රැසක් විය.
නිවසට යෑමෙන් අනතුරුව වත්සලා කලේ කෝපය දරාගත නොහැකි කමින් කාමරයේ වූ සියල්ල එහෙ මෙහෙ පෙරලා දැමීමය. සෝමාට ඇය නවතාගන්නට හැකි වූයේ නැත.
” මං ඔය එකෙක්ටවත් යහතින් ඉන්න දෙන්නේ නෑ අම්මේ… ඉන්න දෙන්නේ නම් නෑ… අර ගෑණි , ඉසිනි තමයි මේ ඔක්කොම කරන්න ඇත්තේ… එහෙම නොවෙන්න සර් මාව කීයටවත් පොලිසියකට යවන්නේ නෑ.. මාව එහෙම ලැජ්ජ කරාම මම ඔක්කොම අතෑරලා පැත්තකට වේවි කියලා ඒ ගෑණි හිතන්න ඇති…. ඒත් ලේසියෙන් මම ඒ ගෑණිට මේක දිනන්නදෙන්නේ නෑ… දෙන්නේ නෑ…..”
වත්සලා පුටුවක් පසෙකට තල්ලු කර දමා මේසය ට වේගයෙන් පහර දුන්නාය. සෝමා ඇය වැලඳගන්නට, සන්සුන් කරන්නට දැරු උත්සාහයන් සාර්ථක වූයේ නැත.
” උඹ මේ කියවන්නේ මොනවාද කියලා උඹට තේරෙන්නේ නෑ මයේ රත්තරනේ…. ඉස්සෙල්ලම උඹ වාඩි වෙලා හුස්මක් කටක් ගනින්… ගමේ උන් මේවා දැනගත්තොත් අපිට ගල් ගහවි මගේ දුවේ…. උඹ ඉගෙනගත්ත, දැනුම් තේරුම් තියෙනෙ කෙල්ලෙක් නේ දුවේ… මේ හිඟන අම්මට මේ මුකුත්ම තේරෙන්නේ නෑ කියල දැන දැනම ඇයි උඹ මෙහෙම කරන්නේ මගේ දෙයියෝ….”
“අම්මා පාඩුවේ ඉන්න … අම්මා යන්න… අර ගෑනිගේ කුණු හෝද හෝද, තව තම්බ තම්බ ඒකිටම කවන්න…. අම්මාටත් ලොකු ඒකිවනේ…. මාව නෙවෙයිනේ… යන්න…”
වත්සලා සෝමාව පසෙකට තල්ලු කලාය. ඕ නොවැටී බේරුණේ බිත්තියක් අල්ලාගෙනය. සෝමාද ඉකි ගසා හැඬුවාය. මේ සිද කෙලෙසකින් විසඳා ගන්නටදැයි දැනෙන්නේ හෝ නැත. උපකාරයක්, අවවාදයක් ඉල්ලාගෙන්නට තරම විශ්වාසවන්ත අයෙකු ඇයට සිහිවන්නේද නැත.
හත් මුතු පරම්පරාවෙන් ම සරසවි සුදුසුකම් ලබා උපාධිය සම්පූර්ණ කර ඇත්තේ වත්සලා පමණි. නෑදෑයන් පවා යම කාරණා වෙනුවෙන් උපකාර, යෝජනා, අවවාද ඉල්ලා ඇයට ඇම දෙන බව සෝමා දනී. නිවෙසට විත් මුණ ගැසී කතා බහ කරන්නෝද වෙති.
එලෙසින් තිබියදී වත්සලාගේ මේ තත්වය කිසිවෙකුට හෝ පැහැදිලි කරන්නටවත් නොහැකිය. ඔවුන් පසුපස තමා දෙසට හරවා සිනාසෙනු ඇත. තැන තැන නේක විධ කැලෑ පත්තර ලියවෙනු ඇත.
සෝමා කාමරය තුළම රැඳුනාය. වත්සලා යහනේ දිග හැරී උන්නේ කිසිඳු චලනයක් හෝ නැතුවය. සෝමා යලි ඇය අසලින් හිඳ ගත්තාය.
” දුවේ… නුරාන් මහත්තයට කතා කරලා, මේකට සමාව ඉල්ලලා රස්සාවවත් රැක ගන්න බලන්න දුවේ….රස්සාවෙන් දොට්ට දැම්මොත් කොහොමද අපි ජීවත් වෙන්නේ ?…”
“ඇයි අම්මට පුලුවන් නේ ඉසිනිගේ කුණු හෝදලා සල්ලි හොයන්න… සෑහෙන්නම පඩියක් ගෙව්වානේ…”
වත්සලා යක්ෂණියක ලෙසින් කීවාය. සෝමා මොහොතකට නිරුත්තර වූවාය. වත්සලාගේ කතා විලාශය තුළින් පවා දැනෙන්නේ උන්මත්තක භාවයකි.
සෝමා වත්සලාට ඉඩ්ස් දී නොනවතිමියි සිතා යළි කාරණා පැහැදිලි කරන්නට උත්සාහ කලාය. එහෙත් සිදු වූයේ ඇය කාමරයෙන් පිටතට දමා වත්සලා දොර වසා ගැනීමය.
කුමක් කල යුතුදැයි ඇයට වැටහුණේ නැත. ඕ කුඩා ජංගම දුරකතනය අතට ගත්තාය.
ඉසිනි උන්නේ නුරාන් ට සුප් කෝප්පයක් පොවමිනි. ජංගම දුරකතන තිරය මතට වැටුණු නම දුටු ඉසිනි නුරාන් දෙස ද බැලුවාය. නුරාන් එය ක්‍රියාත්මක කර හඬ නැඟෙන සේ සකසා ඉසිනි දෙසට වන්නට සැකසුවේය.
” සෝමා නැන්දේ….”
ඉසිනි හුරු පුරුදු හෘද්‍යාංගම බවෙන්ම ඇය ඇමතුවාය. සෝමාට දැනුනේ තම හදවත කැබලි වී යන බවය. ඕ උගුර හිරවී ලෙසින් දැනෙන හැඟීමෙන් මිදෙන්නට අසීරුවෙන් කෙල පිඩක් ගිල්ලාය
“නෝනේ….?”
“කියන්න සෝමා නැන්දේ …”
” අනේ මගේ කෙල්ල රත්තරන් නෝනේ….”
සෝමා හඬා වැටුනාය. ඉසිනි නුරාන් දෙස බැලුවාය. ඇය පොලිස් කටයුතු වලින් මුදවා නිවසට පිටත් කර ඇති බව පැයකට පමණ පෙර ධනුක පැවසූ බව මතකය. සෝමා හඬා වැලපෙන හේතුව එක්වරම ඉසිනිට ගලපාගන්නට හැකි වූයේ නැත. ඕ සුප් කෝප්පය අත් දෙකෙන්ම අල්ලාගෙන උකුල මත තබාගත්තේ නොසන්සුන්කම පාලනය කරගන්නටය. වත්සලා හා සම්බන්ධව දැනෙන කෝපය පාලනය කර ගත නොහැකි තරමේ වුවද, ඒ කෝපයෙන් සෝමා නැන්දා පෙඟිය දිය නොහැක.
” කොහේද සෝමා නැන්දේ ඉන්නේ ?”
“ගෙ..දර නෝනේ …..”
” වත්සලා ගෙදර එක්කන් ආවාද සෝමා නැන්දේ….”
“ආවා නෝනේ…”
ඉසිනි යළි නුරාන් දෙස බැලුවාය. නුරාන් සන්සුන්ව ඇයට පිළිතුරු දෙන ලෙස අඟවන බැල්මකින් ඇය දෙස බලා උන්නේය.
” මුකුත් ප්‍රශ්නයක් නෑනේ ?”
“අනේ ..නෝනේ… මන්දිනු මහත්තයාට කියන්න මගේ කෙල්ලව බේරලා දෙන්න කියලා නෝනේ… අපිට වහ ඩිංගක් කටේ දාගන්න වෙන්නේ මෙම ගියොත් නෝනේ…”
ඉසිනිට ඇය පවසන්නක් වැටහුනේ නැත. ඕ යළි නුරාන් දෙස බැලුවාය.නුරාන් ඇයට සෝමා හා කතා කරන ලෙස දෙතොලින් පැවසුවේය.
” මට තේරුනේ නෑ සෝමා නැන්දේ… දැන් ඔක්කොම හරි නේද ? ආයේ ප්‍රශ්නයක්ද ?”
” කෙල්ල පොලවේ පස් කනවා නෝනේ මන්දිනු මහත්තයාව කසාද බඳින්නම ඕනි කියලා… ඒකිට තේරෙන්නේ නෑ අපි ඉන් කොහෙද, මහත්තයා ඉන්නේ කොහේද කියලා…. මහත්තයා හිනා වෙලා කතා කලාට, එකපත බෙදාගෙන කෑවාට ජීව්තේ බෙදාගෙන දරු මල්ලෝ හදන්න මහත්තයා කවුද, අපි කවුද නෝනේ… මට තේරෙන එක… මේ කෙල්ල තේරුම් ගන්නේ නෑ නෝනේ…”
ඉසිනි නිරුත්තරව ගියාය. අම්මා කෙනෙකුගේ කඳුළු නොවැටහෙනවා නොවේය. ඒ වේදනාවද ඇයට දැනෙන්නේය. සෝමා අම්මා තමා කෙරෙහි දැක්වූ මවුවත්කම ඇයට අමතක නැත. එහෙත්, ඇය මේ අදහස් කරන්නේ කුමක්දැයි ඉසිනි ට වැටහෙන්නේ නැත.
” කලබල වෙන්නෙප සෝමා නැන්දේ..වත්සලා තේරුම් ගනිවී.. උගත් ළමයෙක් නේ…”
“ඒකම නේන්නම් නෝනේ හෙනේ… මන්දිනු මහත්තයව කසාද බඳිනවම කියලා මේකි දිවුරනවා….හොඳින් හරි නරකින් හරි කරනවමලූ… අනේ මං අසරණයි නෝනේ.. මේ නාකි ගෑනි මොකක් කරන්නද… මේ කෙල්ල එක්ක හැප්පෙන්නේ කොහොමද මම ?”
ඉසිනි ට දැනුනේ තමා සතු ඉතාම වටිනා වස්තුවක් කිසිවෙකු රැගෙන යන්නට උත්සාහ කරන බවය. සෝමා නැන්දාගේ කඳුලු වලින් ඕ ඉල්ලා සිටින්නේ කුමක්ද ?
ඉසිනි සුප් කෝප්පය අසල මේසය මතින් තැබුවේ අසුනේ හිඳගෙනමය. ඕ ජංගම දුරකතනය ගෙන පසෙකට යන්නට උත්සාහ කලාය. එහෙත් නුරාන් ගෙන් එයට ඉඩක් ලැබුණේ නැත.
ReplyForwardAdd reaction |