තාදී – 43

0
3383

වසන්ත ජයමිණි සමඟ මිෂෙල් ගේ නිවසට ගියේ විවාහය පිළිබඳව වැඩි දුර තොරතුරු සාකච්ඡා කර ගැනීම සඳහා ය. වෙන කරන්නට දෙයක් නොමැති කමට මේ ගමනට සහභාගී වූවාට ජයමිණි සිතුවේම තාදී ට සිදු වී ඇති කරදරය පිළිබඳවය.මේ මොහොතේ වචනයකින් හෝ තාදීට ශක්තියක් වන්නට තිබුනා නම් යැයි ජයමිණි අනේක වාරයක් සිතුවාය. වචනයෙන් නොකීවාට වසන්ත උන්නේද ඒ ආකාරයටම හිතේ කරදරයෙනි . එය මගහැර ගැනීම පිණිස රූපසිංහ ගේ නිවසට යාමට යොදා ගත්තද වසන්ත ඇත්තටම උන්නේ හිත හොඳින් නොවේ .

” අපි මේ දෙන්නගේ වෙලාවල් බලල ඉමු නේද වසන්ත ? ” 

රූපසිංහ ඇසුවේ ඉතා සතුටිනි. මිෂෙල් ද පසෙකට වී මේ කතාවට එකතු වී සිටි අතර ධීර තමාට කෙසේ සැලකුවත් දෙමව්පිය යුවළ මේ විවාහය කෙරෙන තැනට සාකච්ඡා කිරීමම පවා මිෂෙල්ට ගෙන ආවේ සතුටකි.

” ඔව්. ඕගොල්ලෝ දන්න හොඳ තැනක් එහෙම තියෙනවද ? ” 

” ඔව්. මේ අපේ රමණි දන්න තැන් කීපයක්ම තියෙනවා. අපි කොහොමත් එක තැනකින් බලන්නේ නැතුව තැන් දෙක තුනකින්ම බලමු ” 

” එහෙම හොඳයි නේද ජයමිණි ? ” 

මිෂෙල් ගේ මව වූ රමණි ඇසුවේ නිවසට පැමිණි මොහොතේ පටන්ම ජයමිණි නිහඬව හුන් නිසාය.

” ඔ.. ඔව් එහෙම හොඳයි ” 

ජයමිණි පිළිතුරු දුන්නේ කලබලයෙනි. වසන්ත පවා ඒ වෙනස නිරීක්ෂණය කළේය. ජයමිණි ගේ ඒ වෙනසට හේතුව දැන උන්නත් මේ මොහොතේ කිසිවක් කිව නොහැකි නිසා වසන්ත නිහඬව සිටියේය.

” වෙඩින් එක ඉතිං අපේ හොටෙල් එකේ ගන්න පුලුවන්නේ. කෑම බීම සැරසිලි ඔක්කොම ගැන කරදර වෙන්න දෙයක් නැහැ. ඒ ඔක්කොම ටික මම බලා ගන්නම්. අපේම කියලා තැනක් තියෙද්දි ආයෙ මොකටද වෙන තැන් වලට සල්ලි නාස්ති කරන්නේ ” 

වසන්ත කීවේ උජාරුවෙනි. තමාගේ සිතැඟි කෙසේ හෝ ඉටු කර ගත යුතුය. මේ එයට මූලික අඩිතාලම දැමීමකි. ධීර කුමන තීරණයක උන්නත් ඔහුට කොයි මොහොතේ හෝ තමාට එකඟ වීමට සිදුවන බව වසන්ත සිතුවේය.

පොලිස් ජීප් රථයක් පැමිණ මිෂෙල් ගේ නිවසේ ගෙමිදුලෙහි නතර කළේ මේ අතරය. පැමිණියේ කවුරුන්දයි බැලීමට රූපසිංහ පුටුවෙන් නැගිටින අතරේ පොලිස් නිලධාරින් දෙදෙනෙක් සහ කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙක් මිෂෙල් ගේ නිවසෙහි දොරකඩ පෙනී සිටියහ.

මේ අනපේක්ෂිත දසුන දුටු සියල්ලෝම කලබල වී අසුන් වලින් නැගී සිටි අතර මිෂෙල් සියල්ලන්ටම පිටුපසින් සිට බලා සිටියේ සියොලඟම ගැහෙද්දීය.

” කවුද මිෂෙල් රූපසිංහ කියන්නේ ? ” 

පොලිස් නිලධාරියා ඉදිරියට පැමිණියේ කඩදාසියක්ද අතැතිවය. ඔහු සියල්ලන් දෙසම ඉතා විමසිල්ලෙන් බැලූ අතර අත්අඩංගුවට ගැනීමට නියම වී ඇති තැනැත්තියගේ නම අනුව ඔහු , ඒ සියල්ලන්ගේම පිටුපස සිටගෙන, බියට පත් වී බලා සිටින තරුණිය බව පොලිස් නිලධාරියා අනුමාන කළේය.

” මගේ දුව. ඇයි ? ” 

රූපසිංහ ඉදිරියට ආවේ පුදුමයෙනි. සිදුවන්නට යන දෙය පිළිබඳව ජයමිණි ඉවෙන් මෙන් තේරුම් ගත් අතර තමා උදෑසන සිතූ දෙය හරියටම හරි බව ද ජයමිණි සිතුවාය.

” අපිට එයාව ඇරෙස්ට් කරන්න වෙනවා ” 

පොලිස් නිලධාරියා බැලුවේ කාන්තා පොලිස් නිලධාරින් දෙදෙනා දෙසය. ඔවුන් දෙදෙනා ඉදිරියට පැමිණි අතර ඔවුන් අත තිබූ මාංචු යුවල දුටු විට රූපසිංහ වඩාත් කලබල වූයේය.

” මොකක් ? ඒ මොකටද ? ” 

රමණී හඬා වැටෙන්නට පටන් ගත් අතර ඇය මිෂෙල් ගේ අතින් තද කර අල්ලා ගත්තාය. මිෂෙල් ද ඒ මොහොතේ උන්නේ දැඩි ලෙස බියට පත් වීය. වසන්ත පුදුමයෙන් බලා හුන් අතර ඔහු සිටියේ සිදුවන්නට යන දේ පිළිබඳව කිසිදු අදහසක් නොමැතිවය. 

” දේපල හානියක් කරන්න අනුබල දීපු එකට සහ ඒ වෙනුවෙන් මුදල් යොදවපු එකට. තව පොඩ්ඩක් එහෙ මෙහෙ වුණානම් ජීවිත හානියකුත් වෙන්න තිබ්බා ” 

” ඒ කිව්වේ ? මොනාද තමුන්ලා මේ කියන්නේ ? මට මොකුත් තේරෙන්නේ නෑ ? ” 

රූපසිංහ උන්නේ බොහෝ සේ කලබල වීය. තම දියණියගේ විවාහය පිළිබඳ බොහෝ බලාපොරොත්තු තබා ගෙන ඒ ගැන සාකච්ඡා කරන මොහොතක මේ සිදුවන්නට යන දේ පිළිබඳව රූපසිංහ බොහෝ සේ කම්පා වූයේය.

” මිෂෙල් , ඒ කියන්නේ ඔබ තුමාගේ දුව නුගේගොඩ තියෙන ශොප් එකක් කුඩු කරලා දාන්න හතර දෙනෙක්ව යවලා තියෙනවා. ඒක ප්ලෑන් කරලා තියෙන්නේ වගේම ඒකට සල්ලි දීල තියෙන්නෙත් ඔබ තුමාගේ දුව.මේ වැඩේ කරපු හතර දෙනාම අපි මේ වෙනකොට ඇරෙස්ට් කරලා තියෙන්නේ. දැන් තියෙන්නේ ඔබ තුමාගේ දුවව ඇරෙස්ට් කරන්න විතරයි.තව මොනා හරි තොරතුරු දැනගන්න ඕන නම් ඔබතුමාටත් පොලිසියට එන්න පුළුවන්  “

පොලිස් නිලධාරියා තත්ත්වය පැහැදිලි කලේය. වසන්ත සහ ජයමිණි මුහුණින් මුහුණ බලා ගත් අතර රමණි සහ මිෂෙල් මහා හඬින් හඬන්නට පටන් ගත්හ.

” මිෂෙල් ? මොනවද මේ මිනිස්සු මේ කියන්නේ?”

රූපසිංහ ඉන් අනතුරුව හැරුනේ හඬා වැටෙන මිෂෙල් දෙසටය.

” මං.. මං මේ මොකුත් දන්නෙ නෑ තාත්තා. මං එහෙම දෙයක් කළේ නැහැ.මං හිටියේ ගෙදර නේ .මේක කාගේ හරි බොරුවක්. අනේ  “

මිෂෙල් හැඬුම් අතරේ කී අතර පොලිස් නිලධාරීන් ගේ මුහුණු වල ඇති වූයේ සමච්චල් සහගත සිනාවකි.

” මිස් මිෂෙල් , නාලක කියන ඔයාගේ යාළුවා සම්පූර්ණ කට උත්තරයක් දීලා ඉවරයි. ඔයා මේක කලා කියන්න සාක්ෂිත් අපිට තියෙනවා. ඒ නිසා අපේ රාජකාරියට බාධ කරන් නැතුව දැන් යමු ” 

” එහෙම මගේ දරුවාව ගෙනියන්න දෙන්න බැහැ. තමුසෙලා කොහොමද එහෙම කරන්නේ ? ” 

රූපසිංහ කෝපයෙන් පොලිස් නිලධාරීන් වෙත කඩා පැන්නේය. ඉදිරියට ආ කාන්තා පොලිස් නිලධාරින් දෙදෙනා මිෂෙල් වෙත පැමිණ ඇයට මාංචු දැම්මේ මිෂෙල් අසරණ වී සියල්ලන් දෙසම බලාගෙන හඬා වැටෙද්දීය. පොලිස් නිලධාරිනියන්ට අවනත වනවා හැරෙන්නට මිෂෙල් ට ඒ මොහොතෙහි කිරීමට කිසිවක් ඉතිරිව තිබුණේ නැත.

” අනේ රූපේ මොනහරි කරන්න ” 

රමණි විලාප දුන් අතර රූපසිංහ මිෂෙල් ට විරුද්ධව තිබූ වරෙන්තුව පරීක්ෂා කළේය.අනතුරුව එය වසන්ත අතටද දුන්නේය. 

” රූපේ අපි මෙහෙම්ම පොලිසියට යමු. බලමුකෝ මොනවද කරන්න පුළුවන් කියලා ” 

වසන්ත උත්සාහ කලේ රූපසිංහගේ හිත හැදීමටය. එහෙත් මිෂෙල් සිදුකර ඇත්තේ බරපතළ වරදකි. සියල්ලෝම උන්නේ මිෂෙල් අතින් මෙවැනි වරදක් කෙසේ වූවා දැයි සිතා ගැනීමට නොහැකිවය.

රමණිගේ විලාපය සහ මිෂෙල්ගේ හැඬුම් මැද කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනා මිෂෙල් ව පොලිස් ජීප් රථයට නංවා ගත් අතර වසන්තගේ වාහනයට නැගුණු රූපසිංහ වසන්ත සමග පොලිසියට යාමට පිටත් වූයේය.

” අනේ බලන්න ජයමිණි වෙච්ච දේ.. අනේ මගේ දරුවා ” 

රමණි නොනවත්වා හඬා වැටුනාය.

” ධීර මේ විස්තරේ උදේ කිව්වා රමණි ” 

ජයමිණි කීවේ සියුම් හඬිනි. තමා වැනිම තරුණියකට මෙවැනි විනාශයක් කිරීමට මිෂෙල් කෙසේ හිත හදාගත්තා දැයි ජයමිණි සිතුවාය.

” මොකද්ද ? ඔයා මේක දැන ගෙන හිටියද ? ” 

රමණී හැඩුම නවතා ජයමිණි දෙස බැලුවේ පුදුමයෙනි.

” ඔය ශොප් එක ධීර යාළුවෙලා ඉන්න ගෑනු ළමයගේ. ධීර උදේ ගෙදර ඇවිල්ලා කිව්වා මෙහෙම කරදරයක් වෙලා තියෙනවා කියලා. ඒත් ඇත්තටම එයා හිතාගෙන හිටියේ මේක කළේ වසන්ත කියලා. ඒත් මට සැකයක් තිබ්බා මේක මිෂෙල් කළාද කියලා. මට හිතාගන්න බැරි මේ ළමයා මේ වගේ විනාසයක් කරන්න තරම් හිත හදාගත්තේ කොහොමද කියලා ” 

” දෙයියනේ. මොකක්ද මේ ළමයා මේ කර ගෙන තියෙන්නේ ? ” 

රමණි නැවතත් විලාප තියන්නට පටන් ගත්තාය. ජයමිණි ගේ දුරකතනය නාද වූ අතර ඇමතුම ධීර ගෙනි.

” කොහේද අම්මා ඉන්නේ? මං ගෙදර ආවා ” 

” තාත්තයි මමයි මිෂෙල් ගේ ගෙදර ආවා පුතා ” 

” ආ ඇත්තද ? මිෂෙල් ඉන්නවද ඉතින් ගෙදර? ” 

ධීර ඇසුවේ සමච්චලයටය. එසේ නම් සිදුවී ඇති දෙය මේ වන විට ධීර දන්නවා යැයි ජයමිණි අනුමාන කලේ ඔහුගේ ඒ සමච්චල්  සහගත සිනහවව නිසාය.

” මිෂෙල් ව මේ දැන් පොලිසියෙන් ඇරෙස්ට් කලා පුතා ” 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here