මීදුම් මාරුත -5

“දැන් මාස කීයක්ද? අක්කා රිකවර් වෙන්න ඕන දැන්.එයා පොඩ්ඩක්වත් ශක්තිමත් නෑ.ඒකයි මෙතන තියන අවුල..”

භාවනා එසේ කියද්දී මාලිකා ඈ දෙස බැලුවේ ශෝකය සහ කෝපය අතරමැද තැනක තබමිනි.

“ඔයාලා ඉස්කෝලෙත් ගිහිං ඉවර කාලේ තාත්තා නැති වුණේ.අනිත් එක ඒකත් කැන්සර් එකකින්.මම හොඳටම දැනගෙන හිටියා තාත්තා නැති වෙනවා කියලා.ඒත් මට තාමත් තාත්තා මතක් නොවෙන මොහොතක් තියනවද?”

අම්මා දියණියට එසේ පැවසුවේ කලකිරීම පිරුණු හඬකිනි.තමන් සැමියා බිඳෙන් බිඳ ජීවිතය අත හරින අන්දම කටු ගැසූ දිරා ගිය අත් පිරිමදිමින් දරා සිටි බව ඈ සිහි කළා ය.ඔහු යන්නට යන බව ඈ දැන සිටියා ය.අනෙක ඒ ජීවිතයේ සැඳෑ සමය එළඹෙමින් තිබූ කාලය ය.

“ගහක් ගලක් වගේ හිටපු මනුස්සයෙක් චූටි සෙනුර කියන්නෙ.එක දිගට වැඩ කර කර හිටපු කොල්ලට එකපාර වෛරස් එක හැදුණා.හිතන්නත් කලින් නැති වුණා.අඩුම තරමෙ ඔය ලෙඩේ හින්දා අවුරුදු දෙකක් විතර තිස්සෙ ඒ දෙන්නට හරියට කතා කරන්නවත් ලැබුණද?”

මාලිකා දිගින් දිගටම කතා කරන්න ගත්තා ය.ඇයට තමන්ගේ වැඩිමහල් දියණිය ගැන දැනෙන්නේ දරා ගත නොහැකි ශෝකයකි.එකම එක හාදුවක් වත් නොතබා ඇයට ඈත හිඳ සෙනුරගෙන් සමුගන්නට සිදු වූවා ය.එය තරුණ ගැහැනියකට දරා ගත හැකි මට්ටමේ නැතැයි මාලිකා සිතුවේ ඉතා ශෝකයෙනි.

“මිනිස්සු දුකේ එල්ලිලා ඉන්නකම් ඒකෙන් ගොඩ යාමක් නෑ.අක්කා දැන් ලස්සනට ඇඳලා කරලා ඉස්සර වගේ ඉන්න ඕන.ආයේ මැරි කරන්න වෙන් නෑ නැත්නම් මේ කපේට..”

භාවනා එසේ කියන්නේ දුරකථනයට මුහුණ ඔබා ගත් ගමන් ය.ඇය මේ මොහොතේ ද හිඳින්නේ කාන්තා ෆේස්බුක් සමූහයක ගැටළුවකට දිගු පිළිතුරක් ලියමිනි.කාන්තාවක ප්‍රශ්නයක නම් හැම කෙනෙකුම පාහේ භාවනා ජයවික්‍රම එතැනට මෙන්ෂන් කිරීම කාන්තා සමූහවල සාමාන්‍ය සිරිත ය.භාවනා ලෝකයම වෙනස් කරන්නට තැත් කළ ද තමන්ගේ අක්කාගේ සාම්ප්‍රදායික සිතුම් පැතුම් වෙනස් කරන්නට නොහැකි වීම ගැන ඇයට දැනෙන්නේ ඉතා කණගාටුවකි.

“ආයෙ කසාදයක් කරගන්න කලින් ඒ ළමයා හිත හදා ගන්න ඕන චූටි.ඔයා හිතන තරම් ජීවිතේ ලේසි නම් මොනව කරන්න බැරිද?”

මාලිකා එතැනින් නැගිට ගත්තේ එසේ කියමිනි.ඇය උඩු මහලට ගියේ ද හද පිරුණු ශෝකයෙනි.කාව්‍යා තද නින්දක ය.විශාදය වෙනුවෙන් ලබා ගන්නා බෙහෙත් පෙති ඇය ගැඹුරු නින්දකට ලක් කරන බව දැන් මාලිකා දන්නී ය.සෙනුරගේ වෘත්තිය ජීවිතයේ මිතුරියක කාව්‍යා මනෝ වෛද්‍යවරයෙකු වෙත රැගෙන ගියේ ඇය මානසිකව පහළ අඩියටම වැටුණු හන්දා ය.නමුත් අඩියෙන් අඩිය ඉහළට එන අතර ද කාව්‍යා නැවත ඇද වැටීම ගැන මාලිකාට දැනෙන්නේ වචන කළ නොහැකි වේදනාවකි.

අඳුරට ඇහැ අලවාගෙන සකුණ හුන්නේ කල්පනාවේ ය.අම්මාගේ සේපාලිකා ගහක මල් බිම වැටී හාත්පසම සුවඳ කරද්දී ඔහු අතීතයට ඉගිල ගියේ ය.වසර ගණනාවකට පෙර සේපාලිකා මල් වට්ටියක් රැගෙන පාසල් වෑන් රථයට ගොඩ වූ ළාබාල දැරිය ඔහුගේ සිතේ ඇඳී මැකී යයි.එදවස ඒ නිවස ආසන්න වනතුරු හදවත අමුතුම වේගයකින් ගැහෙන්නට හේතුව සාමාන්‍ය පෙළ පන්තියට පමණ එද්දී ඔහුට නොතේරුණා නොවේ.
එහෙත් ඒ හැඟීම ඇයට කියන්නට ඔහු ළතැවිණ.
වඩා පිරිසිදු මිත්‍රත්වය බිඳී යා දැයි ඔහුට වූයේ සැකයකි.බියකි.

“මං කාව්‍යාට ආදරෙයි..”

උසස්පෙළ කාලයේ දවසක හොඳම මිතුරා සකුණගේ සවන් අසල බෝම්බයක් අත හැරියේ එහෙම ය.සකුණ අමාරුවෙන් වචන එකතු කර සෙනුර දෙස බැලී ය.

“එතකොට කාව්‍යා?”

සෙනුරගේ සිනාව සකුණගේ සිහිනය බොහෝ ඈතකට තල්ලු කර දමන්නට සමත් විණ.කාව්‍යාගේ සහ සෙනුරගේ ආදර කතාවේ සමීපතමයෙකු වන්නට සිත එකඟ කර ගත් ඔහු වසරකට ඉහත දිනක දි කාව්‍යාට මංගල මල් කළඹ ගෙන ආ දෙවැනි මනමාලයා වන්නට තරම් හිත තද කර ගත්තේ ය.

“මාව පොසිටිව් වෙලානෙ මචං”

සෙනුරගෙන් ආ ඇමතුමකට සිත සසැලෙන විට සකුණ සිත එකඟ කර ගත්තේ මිතුරාගේ උතුරන තරුණ ජවය සහ නොදන්නා දෙවියන් ද දන්නා විද්‍යාව ද විශ්වාස කරමිනි.

“ඕක ගණන් ගන්න දෙයක් යැ.ඉක්මනින් සනීප වෙයං..”

සකුණ නොනවත්වාම මිතුරාට පැවසුවේ ය.එහෙත් දැඩි සත්කාර ඒකකයට මාරු කර යැවුණු සෙනුර යන්නට ගිය ආරංචිය කාව්‍යාට තරමටම සකුණට ද අදහන්නට අසීරු ය.

“මොකුත් ප්‍රශ්නයක්ද සුදු පුතා..”

අම්මා අඳුර අතරින් පැමිණෙන තුරුම සකුණ හුන්නේ අතීතයේ ඇවිදිමිනි.සකුණ කිසිත් නොකියා හිඳින්නට තීරණය කළේ ය.

“භාවනා කියන්නේ ඔයාට ගැළපෙන කෙනෙක් කියලා ඔයා හිතනවද පුතේ?”

සකුණගේ අම්මා,මාලතී එසේ ඇසුවේ පුතු භාවනා සමඟ පටලැවිල්ලක් ඇති කර ගත් කාලයේ පටන් ඔහුගේ මුහුණේ ඇඳෙන අඳුරු වැහි වළාකුළු දිගු කාලයක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ය. සකුණ එයට ද වචනයක්වත් නොපවසා ඉන්නට සිතී ය.

“භාවනා කියන්නේ මාලිකාටවත් අවනත නැති ළමයෙක් සුදු පුතා..”

අම්මා තනිව කියවාගෙන යයි.සරසවියේ තිබූ අසාර්ථක ප්‍රේමයකට පසු භාවනා අසල නැවතෙන්නට තමන්ට සිතුණේ ඇයිදැයි සකුණ ද සිතී ය.ඒ කාව්‍යාගේ නැඟණිය වීමම එයට එකම හේතුව නොවූවාදැයි ඔහි අනතුරුව කල්පනා කළේ ය.

“කාව්‍යානම් තාම පොඩ්ඩක්වත් රිකවර් වෙලා නෑ අම්මේ..”

අම්මා නංගි ගැන සෝලි තබද්දි සකුණ ඇයට අක්කා ගැන පැවසී ය.භාවනා ගැන උපන් කෝපය කාව්‍යා ගැන උපන් ශෝකයට හරවා ගත් මාලතී දිගු සුසුමක් හෙළී ය.

“ඒ අහිංසක දැරිවි කොහෙ හිත හදාගන්නද පුතේ.අපිටත් තාම මේක පුදුම වේදනාවක් වෙච්ච කොට..ඇන්ටී පොළොස් ඉව්වද කියාගෙන කෑගහගෙන එන කොල්ලා හොරු අරන් ගියා වගේ.මටත් තාම මතක් වෙන ගාණට උහුලා ගන්න බෑ..”

මාලතී පුතුට හුන් හොඳම මිතුරා ගැන අප්‍රමාණ වේදනාවකින් සිහි කළේ ය.එවැනි සුන්දර තරුණයෙකු උදුරා ගත් වසංගතයට ඇය අප්‍රමාණ වාරයක් දොස් තබන්නී ය.

“කාව්‍යාගෙ ළඟින්ම ඉන්න වෙනව අම්මෙ අපිට.එයා සමහර වෙලාවට තාම සෙනුර ඉන්නව කියල විශ්වාස කරන ගතියක් පේනව.ඒවා හරි පරිස්සමින් පාලනය කරන්න ඕන දේවල්..”

සකුණ එසේ කියද්දී ඔහුගේ හඬ බිඳී ගියේ ය.මාලතීට එහි අමුතු වෙනසක් නැත.එක්ව එකට බැඳී හුන් මිතුරා වියෝ වූ අතර මිතුරිය ඒ ශෝකයෙන් ඔත්පලව ය.ඒ දරුවන් අතර වූ මිත්‍රත්වය දන්නා මාලතීට පුතු කාව්‍යා ගැන ශෝක වීම එතරම් හිතන්නට දෙයක් නොවේ.

“ඉස්කෝලේ ඉඳන් එකට හිටපු යාළුවා ගැන ඔයාට වඩා බලන්න කෙනෙක් ඉන්නවද පුතේ.නංගිව කසාද බඳින නොබඳින එක ගැන අපි පස්සෙ කතා කරමු.කාව්‍යාව තනි කරන්න එපා.මාත් වෙලාවක කෙල්ලව බලල එන්න යන්න ඕන..”

මාලතී පුතු අසලින් මෑත් වූයේ එසේ කියමිනි.සැබෑවටම කාව්‍යා තනි නොකර ඈ අසලින්ම හිඳින්නට හැකි නම් යැයි හදිසි සිතුවිල්ලකින් පැරණි අතීතයක් යළි මතුව එන අන්දමක් සකුණට දැනෙන්නට විය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...

මතක දිගහැරුම 74 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හතරවන දිගහැරුම ,කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන්...

මීදුම් මාරුත -18

"දඟම කාලේ නේද උදාරා දැන්.."මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ...

හිත ගිය තැන්

අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා." පයින්...

මවකගේ ලෝකය – 7 වන කොටස

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content