පිණි මුතු පලසක් – 10

0
1937

සත්සරා හඬාගෙන තමා වෙතට දුවගෙන එද්දී සමුධ්‍යා උන්නේ බුදුන් වඳින්නට මල් නෙලන ගමන් ගුරු නිවාසයේ මිදුලේය. ඒ වෙද්දිත් වට්ටිය පිරෙන්නට ඉද්ද පිච්ච මල් තිබුණ නිසාවෙන් සමුධ්‍යා උන්නේ ආපසු හැරි ගේ දෙසට යන ගමනකය. ඒ ගමන නතර උනේ කොහේ දෝ සිට හඬාගෙනම දුවගෙන ආ සත්සරා ඇඟේ හැප්පිච්ච එකෙන් ය. ඒ වෙලාවේ ගෙදර ඉස්තෝප්පුව අතුගාන ගමන් උන් ඉස්කෝලේ නෝනාත් කලබල වී කොස්ස එහිම බිම දමා දුවගෙන ආවේ මේ දරුවා හඬාගෙන දුවගෙන ආවේ මොකක් හෝ කරදරයක් නිසාවෙන් බව ඉවෙන් මෙන් තේරුණ නිසාවෙනි. ඉස්කෝලේ නෝනා හිතුවේ ගුණවතීට මොකක් හරි අතුරු අන්තරාවක් වෙච්ච එකේ මේ දරුවා මෙහෙට දුවගෙන ආවා කියාය.

එහෙත් ඒ සිතුවිල්ල බොරුවක් බව ඉස්කෝලේ නෝනා දැනගත්තා සත්සරා ඉන්පසුව සමුධ්‍යාටත් තමන්ට කියන්නට යෙදිච්ච කතාව හන්දාය. සද්ධානන්ද ඉස්කෝලේ මහත්තයා ඒ වෙද්දිත් ගෙදර උන්නේ නැත. දිනපතා බොන්නට තිබෙන බෙහෙත් පෙතිවල ඊලඟ මාසෙ පෙති ටික අරගෙන එනු පිණිස සද්ධානන්ද මහත්තයා ඒ වෙද්දී ආණමඩුව ටවුමට පිටව ගොස් තිබුන නිසාවෙන් ගැහැණුන් දෙදෙනාට බාධාවකින් තොරව වෙච්ච සියල්ල දැනගන්නට ඉඩ හම්බුවුණහ.

ගුණවතී එදා ගෙදර ආවේ සත්සරාට හොඳටම දෙහි කපන බලාපොරොත්තුවකය.“බණින්න නෙවි ඕකිට තඩිබාන්න ඕන බෙබි මහත්තයගෙ ඇඳුමට කල විනාසයට” කියා තමන් කියද්දි අනෝමා නෝනා “අනේ මොකටද ගුණවතී මෙච්චර පොඩි දේකට ඒ දරුවට බණින්නෙ? මොකෝ මේක මේ මහ ලොකු වරදක් ය. ඔන්න ඕක අල්ලල දාන්න. ඔයා ගිහින් ඇඟ හෝදගන්න පුතා” කියා කිව්වට ලකී මහත්තයා කොහොමත් ඉක්මණින් තරහ ගන්න බව දැන දැන ඔහොම ගොං කමක් කරන්නට තරම් මේ කෙල්ල මෝඩ වෙච්ච එක ගැන ගුණවතී ඇත්තටම උන්නේ කෝපයෙන් ය.

එහෙත් ඒ කෝපය හිත අස්සේම හිරකරගන්නට ගුණවතීට සිද්ද උනේ වත්තෙ කඩුල්ල පැන ගෙට එද්දී ඉස්සරහ මැටි පඩිය උඩ සත්සරාව මැදි කරගෙන වාඩිගෙන උන් ඉස්කෝලෙ නෝනත් ඉංග්‍රිසි නෝනත් දකිද්දීය. සත්සරාගේ ඇස් වල තිබූ කඳුලුත් වෙනදාට නොදකින අමුත්තන් දෙදෙනෙක් ඇයව ආරක්ශා කරන්නට මෙන් දෙපැත්තෙන් වාඩිගෙන ඉන්නවත් දුටුවෙලේ “මේ නම් මොකක් හරි නස්පැත්තියක්” බව තේරුම් ගන්නට ගුණවතීට අමාරු උනේ නැත.

“ඇයි ඇයි නෝනා මේ හදිසියේ? මොකද උනේ? කෙල්ලෙ කියපංකො?” කියා කලබල වූ ගුණවතීව පැත්තකට අරගෙන ගොස් වෙච්ච දේ ඉස්කෝලේ නෝනා හෙමින් සැරේ කරද්දි සමුධ්‍යා උන්නේ සත්සරාව අස්වසන්නට කටයුතු කරමිනි.

“ඔයා කිසි දේකට බයවෙන්න එපා හොඳේ. මොන දේ උනත් මම ඔයාට කිසිම ප්‍රශ්නයක් වෙන්න දෙන්නෙ නෑ.” කියමිනි. සත්සරා උන්නේ ඒ වදන් මත තමන්ගේ විශ්වාසය සහමුලින්ම රඳවාගෙන සමුධ්‍යාගේ උරහිසේ හිස හොවාගෙනය.

සමුධ්‍යාත් ඉස්කෝලේ නෝනත් බයවුණු තරම් ගුණවතී කලබල උනේ නැත. ඇගේ වියපත් ඇස් වලින් ගංගාවක් පිටාර ගලන්නාක් මෙන් කඳුලු ඇඳහැලුන නමුත් සුපුරුදු ග්‍රාමීය ගැහැණියගේ චරිතය රඟපාමින් කෑගහන්නට, මොර දෙන්නට නොසිතුව එකම එවෙලේ සියල්ලන්ගේම සැනසිල්ලට හේතු වුණි. 

“මට මගෙ එකීව පරිස්සම් කරගන්න පුලුවන් උනේ නෑ නෝනා. ඒකි රස්සාවකට කියල කොළඹ ගිහින් අන්තිමේ බඩක් එක්ක ආවම තමයි මං දැනගත්තෙ මට ආයෙ කවදාවත් ඒකිව පරිස්සම් කරගන්න බැරිවෙච්ච විත්තිය. මං අම්මෙක් විදියට මගේ යුතුකං කරල නැති විත්තිය. ආන් ඒ පවෙන් ගැලවෙන්න හිතන් තමයි මං මගෙ අත් දෙකෙන් මේකිව උස් මහත් කරලා පරිස්සම් කරන්න තැනුවෙ. මං ඒ කරන්න හදපු දේත් විනාස වෙලා විත්තිය දැනගත්තම මට හිතෙනව මේව බලන්න නාකි මං තාම ඇයි ජීවත්වෙන්නෙ කියලා”

“නෑ ගුණවතී අම්මේ, අම්මා එහෙම හිතන්න එපා. සත්සරා ඉන්නෙ බයවෙලා මිසක අපි හිතන්නෙ නෑ වෙන්න පුලුවන් හැම දේම වෙලා ඇති කියල. සත්සරා අපිට කිව්ව දේවල් එක්ක අපි හිතන්නෙ එහෙමයි. අපි කරන්න ඕන කාටවත් නොදැනෙන්න සත්සරාව දොස්තර කෙනෙක් ළඟට එක්කරගෙන ගිහිල්ලා බලවන එක. ඉන්පස්සෙ තමයි අපි ඔය තිරිසනා වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් කරන්න ඕන”

“ගමේ ඉස්පිරිතාලෙට ගියොත් ගමේ උන් ඔය කතා ඔක්කොම දැනගත්තයින් පස්සෙ කොහොමද නෝනා ඒකි තියා මංවත් මේ ගමේ ඉන්නේ? ඕකිගෙ අම්මා කරගත්ත විනාසෙට මං තාම මිනිස්සුන්ගෙන් කතන්දර අහනවා. එහෙම එකේ?”

“නෑ අපි ගමේ ඉස්පිරිතාලෙට යන්න ඕන නෑ අම්මේ. මං අඳුරන දොස්තර නෝනා කෙනෙක් ඉන්නව මේ ළඟ වෙන ඉස්පිරිතාලෙක. අපි එහෙට ගිහිල්ලා බලමු. මං පොරොන්දු වෙනවා අම්මටවත් සත්සරාටවත් ප්‍රශ්නයක් නොවෙන විදියට මේ ප්‍රශ්නෙ විසඳන්න උදව් වෙන විත්තිය” කියා සමුධ්‍යා කියද්දි ගුණවතී මාරුවෙන් මාරුවට සත්සරා වෙතත් ඉස්කෝලේ නෝනවෙතත් දෙනෙත් යොමු කරේ “මේ කතාව ඇත්තක්ද කියා” සැක හැර දැනගන්නට මෙනි.

“මේක ගුණවතීට තරම්ම අපිටත් දරාගන්න අමාරු වෙච්ච එකක්. ඒ උනාට මේ ළමයාට මීට වඩා කරදරයක් ප්‍රශ්නයක් වෙන්නෙ නැතුව අපි මේක මේ තරම් හරි ඉක්මණට දැනගත්ත එකම කොච්චර දෙයක්ද කියල මං මේ කල්පනා කරේ. ගුණවතීත මන්ත්‍රී ගෙදර වැඩට නොයා ඉන්න බැරි විත්තිය මං දන්නවා. මේ ඔක්කොම විස්තර දැනගෙනත් හෙට ආයෙ එහෙ වැඩට යන්න වෙන විත්තිය මං දන්නවා.

සමහර වෙලාවට ගුණවතී දරුවො පරිස්සම් කරගන්න අම්මලට වගේම අත්තම්මලට පවා හිතන්නෙ නැති දුරවල් යන්න වෙනවා වෙන්න පුලුවන්. ගුණවතී කරන්න ඕන මෙච්චරයි. මෙහෙම දෙයක් වෙලා කියල දන්නෙ නැති විදියට වෙනද වගේම එහෙ වැඩට යන්න. ලක්ෂිතට වෙනසක් නැතුව මූණ දෙන්න. අපි වැරදියට තියන එක අඩියක් හන්දා මේ දරුවගෙ ජීවිතේට තව කරදර  වෙන්න පුලුවන් විත්තිය අපි අමතක නොකර ඉමු” කියා ඉස්කෝලේ නෝන කියද්දි ගුණවතී හිස වැනුවාය. දුප්පත්කම තමන්ගේ ගෞරවේට පාවා ප්‍රශ්නයක් වී ඇති බව දන්නවා උනත් හෙට අනිද්දා මැරෙන්නට ඉන්න තමන්ගේ ආත්ම ගරුත්වය පැත්තක තබා සත්සරාගේ ආත්ම ගරුත්වය පරිස්සම් කරන්නට ගුණවතී හිතා ගත්තාය.

සමුධ්‍යාත්, ඉස්කෝලේ නෝනත් සද්ධානන්ද මහත්තයගෙ කණේ මේ විස්තර තිබ්බේ ඔහුට හොරෙන් දෙයක් කරන්නට යන එක ඉස්සරහට කරදර ප්‍රශ්නයකදි තමන්ගෙ පැත්තට හිට ගන්නට ඉන්නා මනුස්සයෙක්ව අඩුකර ගන්නට හේතුවෙන බව දන්න හන්දාය. 

බිරින්දෑත්, සමුධ්‍යාත් කියූ කතාව සද්ධානන්ද මහත්තයා අහගෙන උන්නේ දෙනෙත් උඩ තියාගෙනය. තමන් විසින් හොඳ නරක කියා දුන් දරුවෙක් මෙවන් නොමගක යෑම සද්ධානන්ද මහත්තයට දරාගන්නට අමාරු විය. කතන්දරේ අහගත්තට පස්සෙත් ඉස්තෝප්පුවෙන් එහා පේන කලුවර දිහා බලාගෙන සද්ධානන්ද මහත්තයා කරේ කල යුතු දේ කල්පනා කල එකය.

“දැන් ඔය දූගෙ කල්පනාව ඒ දරුවව දොස්තර කෙනෙක් ලඟට එක්කරගෙන ගිහිල්ලා පරික්ශා කරවන්නද?” 

“ඔව් සර්” කියා සමුධ්‍යා උත්තර දුන්නට පස්සෙත් සද්ධානන්ද මහත්තයා තවත් තප්පර කීපයක නිහඬවම ඉන්න ගමන් නිකට අතගෑවේය.

“ඉන්පස්සෙ මොකද කරන්නේ අපි?”

“මෙඩිකල් රිපෝට් එකෙන් මොන වගේ දෙයක් දැනගත්තත් අපි දැනටම දන්න එකේ මේ ගෑණු දරුවට කරදරයක් වෙලා කියලා අපිට පුලුවන් ලොකු සර් ඔය මනුස්සයට විරුද්ධව නීති මාර්ගෙට යන්න”

“ඕනම මනුස්සයෙක්ව වැරදි කාරයෙක් කරන්න අපිට සාක්කි හොයාගන්න පුලුවන් වෙන්න ඕන නේද?”

“මේ දරුවා අවුරුදු දාසයට අඩු දරුවෙක් හන්දා වගේම මේක අපචාරයක් හන්දා මං හිතනව සර් ඒකෙ නීතිමය පැත්තක් ඇති කියලා. මම හරියට ඒ ගැන දන්නෙ නෑ. ඒ උනාට මගෙ යාලුවො ඉන්නවනෙ මට පුලුවන් අහලා බලන්න”

“හරි ඒ ඔක්කොම කරා කියපු ඔය දරුව හිතනවද ඔය දේවල් කරලා සත්සරාගෙ ප්‍රශ්නෙට උත්තරයක් හොයලා දුන්නත් ඉන්පස්සෙ අපිට මූන දෙන්න වෙන ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න පුලුවන් වෙයි කියලා?”

“මොකද්ද සර් අපිට මුණ දෙන්න වෙන ප්‍රශ්නෙ?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here