තාදී – 46

0
2556

” මිෂෙල් අච්චර විනාසයක් කරල තියෙද්දිත් තාදී ගිහින් එයාව බේර ගත්තා. ඒත් මිෂෙල්ට එයා කරපු දේ ගැන කිසිම ලැජ්ජාවක් වත් පසුතැවීමක් වත් තිබ්බෙ නෑ අම්මා. තාදී නිසා ඉවසුවා. මට වගේ ඔහොම කරානම් මං දන්නව කරන දේ ” 

ධීර උදෑසනම අවදි වී ජයමිණි සමග කතා කිරීමට මුළුතැන්ගෙය දෙසට ආවේ පෙරදින රාත්‍රියේ ජයමිණි සහ වසන්ත නිවසට ඒමට බොහෝ පමා වූ නිසාය. තාදී ව නිවසට ඇරලවා පැමිණ දවසම වෙහෙස වූ නිසා නින්දට ගිය ධීර ට දෙමව්පියන් නිවසට පැමිණියේ කොයි මොහොතේ දැයි අදහසක්වත් තිබුණේ නැත.

” තාදී ඒ අතින් කොච්චර හොඳ ළමයෙක්ද පුතා. වෙන මනුස්සයෙක් නම් ඔහොම දෙයක් කරයිද ? අම්ම තාත්තා නැතුව උනත් හොඳ ගතිගුණ එක්ක ඒ ළමයා උස්මහත් වෙලා තියෙනවා. වැඩේ කියන්නෙ තාත්තට ඒක නොතේරෙන එකනේ ” 

ජයමිණි කීවේ ශෝකයෙනි. සිදු වූ සිදුවීම් වලින් පසුව වත් වසන්ත සත්‍ය තේරුම් ගනී යැයි කුඩා බලාපොරොත්තුවක් ජයමිණි තුළ විය. එහෙත් වසන්ත යනු තමා ගත් තීරණයක් ලෙහෙසියෙන් වෙනස් කරන කෙනෙක් නොවන නිසා සමහර විට එය බලාපොරොත්තුවක් පමණක්ම වනු ඇතැයි ජයමිණි සිතුවාය.

” තාත්තට නොතේරෙනවා නෙමෙයි අම්මා.එයාට දැන් තියෙන්නෙ එයා ගත්ත තීරණේ වෙනස් කරන්න බැරිකම. තමන් ගත්ත තීරණයක් වැරදියි කියලා හිතෙනවා නම් ඒක වෙනස් කරන්න බැරි තරං ලොකු කමක් තාත්තට තියෙන්නේ. අනික , තාදී මොන වගේ කෙනෙක්ද කියලා තේරුම් ගන්නත් , මිෂෙල් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියල තේරුම් ගන්නත් මේ වෙච්ච දේවල් ටික හොඳටම ඇති නේ. ” 

ධීර කියන්නේ ඇත්තය. වසන්ත සිටින්නේ රැවුලයි කැඳයි දෙකම බේරා ගත යුතු තත්ත්වයකය.එහෙත් එවැනි තත්ත්වයක් යටතේ වුවද තම එකම පුතුගේ ජීවිතය බිලි දිය නොහැක. විවාහයක් කරගත යුත්තේ ජීවිත කාලයටමය. මෙවන් මොහොතක තෝරා ගන්නා තේරීම ජීවිත කාලයේම සතුට කෙරෙහි බලපාන්නේය. එහෙත් වසන්තට මේ මොහොතෙහි එහි වගක් නැත. ඔහුට අවශ්‍ය ඔහුගේ නම්බුව සහ මිත්‍රත්වය රැක ගැනීමටත් , ව්‍යාපාරය දියුණු කර ගැනීමටත් පමණි.

වසන්ත පහත මාලයට පැමිණියේ ධීර සහ ජයමිණි කතාවට වැටී තේ බොමින් සිටින අතරතුරය. ධීර දෙස බලන්නට කුමක්දෝ බැරිකමක් වසන්තට දැනෙමින් තිබුණත් ඔහු සිතට ධෛර්යය ගත්තේ තමාගේ වහල යට තමා කිසිවෙකුටත් බිය විය යුතු නැතැයි සිතමිනි.

” ජයමිණි , ඔයා රමණි ගෙන් මිෂෙල් ගේ කේන්දරය ඉල්ල ගත්තද ? ” 

වසන්ත කිසිවක් නොවූ විලසින් කෑම මේසයට වාඩි වෙමින් ඇසුවේය. ජයමිණි මෙන්ම ධීර ද ඔහු දෙස බැලුවේ පුදුමයෙනි. වසන්ත ඔවුන් දෙස නොබලමින්ම පිඟාන ඔහු වෙත ළං කර ගත්තේය.

” වසන්ත. මේ .. ” 

ජයමිණි උන්නේ දිය යුතු පිළිතුරු කුමක්දැයි සිතා ගත නොහැකි දෙගිඩියාවකිනි. 

” ඇයි ? ” 

වෙනදාට කෑම බෙදන්නේ ජයමිණි වුවත් වසන්ත ඒ මොහොතෙහි බත් බෙදා ගන්නට පටන් ගත්තේ ජයමිණි ගේ සහ ධීර ගේ දෑස් මඟ හරින්නට ඇති වුවමනාවෙනි.

” නෑ. මේ.. මං අහන්න ගියේ. මේ කටයුත්ත කෙරෙනවද ? “

ජයමිණි එසේ විමසද්දී ධීර උන්නේ එයට තම පියා ගේ පිළිතුර කුමක් වේදැයි කියාය. ආයාසයෙන් මැඩ පවත්වාගෙන හුන් කෝපය නැවත දළුලාගෙන එන ආකාරය ධීර ට දැනුනි.

” ඔව්. ඇයි ? ” 

වසන්ත එක එල්ලේම උත්තර දුන්නේය. ඒ උත්තරය අනුව තවත් බලා සිටීමට හෝ නිහඩව සිටීමට ධීර ට නොහැකි විය.

” මෙච්චර දෙයක් උනාට පස්සේ තාත්තා කියන්නේ මට ඒ ගෑනිව බඳින්න කියලද ? ” 

” නැත්නම් තමුසෙට ඕනෙ අර ආතක් පාතක් නැති කෙල්ලව බැඳගන්නද ? “

” එහෙම කෙල්ලෙක්ව හරි බඳින එක හොඳයි මිෂෙල් වගේ ජරා ගෑනියෙක්ව බඳිනවට වැඩිය ” 

” ධීර මේ? මිෂෙල් අතින් වැරැද්දක් උනා තමයි. ඒ කෙල්ල ඒ හැමදේම කරේ තමුන්ට තියෙන ආදරේ හින්දා. ඒක තේරුම් අරගෙන මේ කසාදෙට ලෑස්ති වුනොත් හොඳයි ” 

” ආදරෙ ? පුදුම ආදරයක්නේ ඒක. එහෙනම් තව ඉස්සරහට මිනීමැරුමක් උනත් කරන්න බැරි නෑනේ මට ආදරෙයි කියලා ” 

ජයමිණි ද උන්නේ මේ කතාව ඉවසා ගත නොහැකි තැනකය. තම එකම පුතුගේ ජීවිතයට සිදුවන මේ මහා අසාධාරණය දෙස බලා සිටිය නොහැක. මේ තරම් දෙයක් සිදුව තිබියදීත් කුමන තත්වයක් යටතේ වුවත් මේ විවාහය සිදු විය යුතු නැත. තමාට කුමන ඉරණමක් අත් වුවත් එය තම සැමියාට පහදා දිය යුතුය.

” අපි මේ කටයුත්ත අතෑරලා දාමු වසන්ත ” 

ජයමිණි ප්‍රථම වතාවට වසන්ත ගේ තීරණයකට එරෙහිව හඬ අවදි කළාය. වසන්තට දැනුනේ පුදුමයකි. තිස් වසරකට අධික විවාහ ජීවිතයේ මෙවැන්නක් සිදුවූ ප්‍රථම වතාව මෙය ය.

” මොනාද ජයමිණි කියවන්නේ ? ” 

” මිෂෙල් මේ දේ කරේ අපේ පුතාට ආදරේ නිසා කියලා හිතමුකෝ. ඔයිට වැඩිය දෙයක් වුණත් කරන්න ඒ ළමයා දෙපාරක් හිතන එකක් නෑ නේද ඉස්සරහට ? එතකොට නිකරුනේ කරදරේ වැටෙන්නේ අපේ දරුවම නෙමෙයිද වසන්ත ? අනික , ධීර මෙච්චරම කියන එකේ මිෂෙල්ව එයාට ගැලපෙන්නෙ නැහැ කියලා ඇයි අපි එයාට බල කරන්නේ ? ” 

ජයමිණි පිළිතුරු දුන්නේ පුරුදු සන්සුන් බවිනි. වසන්ත තමා සමග කෝප වුවත් අමනාප වුවත් කෙසේ හෝ තම පුතු ව බේරා ගත යුතුය.

” එතකොට තමුසෙත් කියන්නේ මෙයාට අර අනාථ කෙල්ලව බැඳගන්න දීලා උඩ බලාගෙන ඉන්න කියලද මට ? ” 

” මං කතා කරන්නේ ඒ ගැන නෙමෙයි වසන්ත. ඔයා මේ පුතාට බලෙන් කරලා යන්න දෙන කසාදේ ගැන. මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් ඔයාට බැරි ඇයි ඔයාගේ තීරණේ වෙනස් කරන්න ? ඒක වැරදියි කියලා දැන දැනත් ඔයාට බැරි ඇයි මේක අතෑරලා දාන්න ? “

ධීර ට ජයමිණි කෙරෙහි දැනුනේ අප්‍රමාණ සෙනෙහසකි. ජීවිතයේ ඇයට සිදුවූ අසාධාරණකම් සියල්ල හමුවේ ඇය නිහඬව සිටියත් තමාට අසාධාරණයක් සිදු වන්නට යන මොහොතේ ඇය මෙලෙස කතා කිරීම පිළිබඳව ධීර ට දැනුනේ ආඩම්බරයකි. 

” ධීර වෙන වෙන මඟුල් පටල ගත්තෙ නැත්නම් මිෂෙල් මේ වගේ දෙයක් කරන්නේ නෑනේ ජයමිණි. මේ වෙච්ච දේට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ ධීර . රූපසිංහයි මමයි මේ කසාදෙ ගැන කතා කර ගත්තේ ඒක හැම අතින්ම අපේ පවුල් දෙකටයි බිස්නස් වලටයි හොඳ නිසා. අනික , අම්මෙක් අප්පෙක් නැති කෙල්ලෙකුට දෙන්න මම ළමයි හදලා නැහැ ” 

” අම්මෙක් අප්පෙක් ඉඳලත් අපරාධ වැඩ කරන මිෂෙල්ට වඩා අම්මෙක් අප්පෙක් නැති තාදී හැම අතින්ම හොඳයි තාත්තා. ඔයා මොන දේ කියලා මාව වට්ටන්න හැදුවත්, මම තාදිව බැන්දේ නැති උනත් මම මිෂෙල්ව නම් කසාද බඳින්න කැමති වෙන්නේ නැහැ. තාත්තට කැමති තීරණයක් ගන්න පුළුවන් ” 

” උඹ කාටද ඔය කතා කරන්නේ ධීර ? උඹ තාම ඉන්නේ මගේ වහල යට. උඹ තාම කන්නේ බොන්නේ මගේ සල්ලි වලින්. උඹට ඒක අමතක උනාද ? ඒ හින්දා උඹ වැඩ කරන්න ඕනේ මම කියන විදිහට ” 

ධීර ව දුර්වල කිරීමට මගක් සොයමින් හුන් වසන්ත අවසානයේදී එසේ කීවේය. එහෙත් ධීර ද පරාජය බාර ගැනීමට සූදානම් වූයේ නැත.

” තාත්තාට මං මේ ගෙදර ඉන්න එක ප්‍රශ්නයක් නම් මට අද උනත් එළියට බහින්න පුළුවන්. එතකොට ඉතින් කොහොමත් ඔය තාත්තා හිතාගෙන ඉන්න දේවල් වෙන්නෙ නැහැ ” 

” හහ්.. එළියට බැහැල බලපන්කෝ උඹට මොකද වෙන්නේ කියලා ” 

ධීර ඇත්තටම නිවස හැරදමා යාවි යැයි බියක් ජයමිණි තුළ හට ගනිමින් තිබුණි. විවාහ පොරොන්දුවක් නිසා වසන්ත මේ ආකාරයට තම එකම පුත්‍රයාට පහර ගැසීම ජයමිණි ඉවසා උන්නේ අසීරුවෙනි. 

” එතකොට දැන් තාත්තට ඕනේ මං මේ ගෙදරින් එළියට බැහැලා යන්නද ? ” 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here