තාදී – 51

0
2401

වසන්ත රූපසිංහ මුණගැසීමට යාමට සූදානම් වෙමින් උන්නේය. ජයමිණි තේ එක රැගෙන විත් කණ්නාඩි මේසය මතින් තබා ආපසු යාමට හැරුණාය.

” ඔයා ලෑස්ති වෙන්නෙ නැද්ද ජයමිණි ? ” 

” නෑ ” 

ජයමිණි පිළිතුරු දුන්නේ ඉවත බලාගෙනය. පසුගිය අවුරුදු ගණනාවම ගත කලා මෙන් වසන්තට බියේ කරබාගෙන සිටියහොත් සිදුවන්නේ තම පුතුගේ ජීවිතය අනතුරේ වැටීමය. එම නිසා ධීර ගේ මව වශයෙන් දැන් ඔහු වෙනුවෙන් පෙනී සිටීම කළ යුතුය.

” ඇයි ? මං ඔයාට කිව්වෙ අපි රූපසිංහලගේ ගෙදර යනවා කියලා ? ” 

” මම එන්නෑ වසන්ත ” 

” එන්නෑ. ඇයි  ? ” 

” මට බෑ දැන දැනම මගේ දරුවගේ ජීවිතේ අනතුරේ දාන්න ” 

” ඒ කියන්නේ දැන් ඔයා පුතාගේ පැත්තෙද ? ” 

” මං කාගෙවත් පැත්ත ගත්තා නෙමෙයි.මං ගන්නේ හරි පැත්ත. මිෂෙල් මොන වගේ කෙනෙක්ද කියලා දැන දැනම මට මේ කසාදෙට කැමති වෙන්න බැහැ. ඔයාට ඔයාගේ බිස්නසුයි යාළුකමයි ලොකු උනාට මට ලොකු මගේ එකම දරුවා ගේ ජීවිතේ ” 

” තමුසෙ කාටද ඔය කතා කරන්නේ ? ” 

වසන්ත කෝපයෙන් කෑගැසුවේය. වෙනදා මෙන් ජයමිණි ඒ හඬට තිගැස්සුනේ හෝ නැත. මවක් තුළ තිබෙන්නා වූ ශක්තිය ඇය තුළින් ඒ මොහොතේ අපූරුවට දකින්නට තිබුණි.

” මං කතා කරන්නේ කාටද, කතා කරන්නේ මොනවද කියලා මං හොඳට දන්නවා වසන්ත. මෙච්චර කාලයක් කවමදාක්වත් මොනම හේතුවක් නිසාවත් මං ඔයාගේ කීමට පිටින් ගිහිල්ලා නැහැ.මං ඔයා කියන කියන දේට ඔලුව පාත් කරගෙන හිටියා ඒක හරි වුණත් වැරදි වුනත්. ඒත් දැන් මට කොහෙත්ම ඔයා ගත්ත මේ තීරණයට එකඟ වෙන්න බැහැ. මේකෙන් මගේ දරුවා ජීවිත කාලෙටම අමාරුවේ වැටෙනවා.ඒක ඔයාට නොතේරුනාට අම්ම වෙච්ච මට හොඳට තේරෙනවා. මුල ඉඳලම දරුවා ගේ මේකට කැමැත්තක් තිබුණෙ නැහැ ” 

” ඒ ඉතිං අර අනාථ කෙල්ල හින්දනේ ” 

” ඒ කතාව පැත්තකින් තියන්න. මට කියන්න ධීරට මිෂෙල්ට කැමති වෙන්න එක හේතුවක් හරි ? ” 

ඒ ප්‍රශ්නයට දෙන්නට පිළිතුරක් වසන්ත සතුව ඇත්තටම තිබුණේ නැත. මුල් දින කිහිපය හැරුණු කොට ඉන් පසුව මිෂෙල් පිළිබඳව ආරංචි වූ දේවල් සහ මිෂෙල් කළ කී දෑ පිළිබඳව සලකා බලන විට ඇත්තටම කීමට තරම් ඇගේ හොඳක් තිබුණේද නැත. එහෙත් දැන් තමා ප්‍රමාද වැඩිය. මේ කිසිවක් වෙනස් කිරීමට දැන් තමාට හැකියාවක් හෝ ශක්තියක් නැත.

” ඔයාට උත්තරයක් නෑ නේද වසන්ත ? ඇයි ඔයාට දැන්වත් බැරි අපේ දරුවගේ ජීවිතේ බේර ගන්න ? ධීර ට එයාට කැමති දේට ඉඩ දෙන්න. ” 

” අනේ මේ මගේ යකා අවුස්සන්න එපා ජයමිණි. තමුසෙ කියන්නේ මගේ එකම ළමයට අර අනාත කෙල්ලව බැඳගන්න දීලා බලා ගෙන ඉන්න කියලද ? ” 

” අනාථ කෙල්ලෙක් උනාට ඒ කෙල්ල ඇතුලේ කොච්චර හොඳ ගතිගුණ තියෙනවද? ඒ එකක්වත් මිෂෙල් ළඟ නැහැ කියලා ඔයා හොඳටම දන්නවා වසන්ත. ඔයා තාමත් පරක්කු නැහැ මේ දේට ඉඩ දෙන්න. ඔයාගේ බිස්නසුයි ඒවට තියෙන කෑදරකමයි පැත්තකින් තියලා තාත්තා කෙනෙක් විදිහට මේ ප්‍රශ්න දිහා බලන්න දැන්වත් ” 

ජයමිණි ඒ වාක්‍යය කියා අවසන් කරනවාත් සමග වසන්ත හැරී දකුණතින් ජයමිණි ගේ කම්මුල් තද කර අල්ලා ගත්තේය. 

” මේ. උඹ එන්න එපා කරන්න ඕන මොකක්ද නැත්තේ මොකක්ද කියලා මට කියන්න. කරන්න ඕනේ මොනවද කියලා මං හොඳටම දන්නවා.  උඹ ගිහින් ඒක පුතාටත් කියපන්.මේ ගෙදර එක එකාට ඕන විදිහට නටන්න මං ඉඩ තියන්නේ නෑ. අන්න ඒක අම්මයි පුතයි දෙන්නම හොඳට මතක තියා ගත්තොත් හොඳයි . මං ජීවත් වෙලා ඉන්නකම් ඒ කෙල්ලව බැඳ ගන්න මං ධීර ට ඉඩ තියෙන්නෙ නෑ ” 

වසන්ත ජයමිණි ව පසෙකට තල්ලු කළේය.අනතුරුව කාමරයෙන් පිටවූයේ ය. ජයමිණි බලා සිටියේ වේදනාවෙනි. එහෙත් තම පුතු වෙනුවෙන් කතා කිරීමට හෝ තමාට හැකි වීම ගැන ඇගේ යටි සිතට දැනුනේ සතුටකි.

ධීර තාදී සමඟ ෂෙරීන් වද කැටුව ආවේ අලුත් වැඩියා කටයුතු වෙමින් පවතින ” Clothez ” වෙතටය. වාහනයෙන් බැස ආ ෂෙරීන් තම දියණිය විසින් දුක් මහන්සියෙන් ගොඩනඟා ඇති ව්‍යාපාරය දෙස බැලුවේ ආඩම්බරයෙනි. ඉදිරිපස වූ නාම පුවරුව දෙස බොහෝ වේලා බලා සිටි ෂෙරින් තාදී සහ ධීර පසු පසින් Clothez වෙත ඇතුළු වූවාය.

” මං හිතන්නේ අම්මා නිසාම තමයි තාදී ත් මේ වගේ බිස්නස් එකකට කැමති වෙන්න ඇත්තේ.බලන් ගියාම ඔය දෙන්නම කරන්නේ එකම දේනේ ” 

ධීර කීවේ වසර විසි ගණනාවකට පෙර මුණගැසුණු මව හා දියණිය දෙස සතුට පිරුණු දෑස් වලින් බලමිනි. ෂෙරීන් වචනයක්වත් නොකියා වටපිටාවේ ඇවිදිමින් තම දියණිය ගේ දක්ෂකම් රසවිඳිමින් උන්නාය.

” මට හිතාගන්නවත් බෑ තාදී. කවුරුත්ම නැතුව ඔයා මේ කරගෙන තියෙන දේවල් හරිම පුදුමයි. ඔයාගේ අම්ම විදිහට මට දැනෙන්නේ පුදුම ආඩම්බරයක් පුතේ. මේ හැමදේම ඔයා ගොඩනගන හැටි මට ඇස් දෙකෙන්ම දකින්න තිබ්බනම් ” 

ෂෙරීන්ගේ හඬේ තැවරී තිබුණේ පසුතැවීමකි.එහෙත් දැන් පසුතැවී ඵලක් නැත.වසර ගණනාවක් ගත වී හෝ තමාට තම කුසින් වැදූ දියණියව සොයාගැනීමට හැකිවීමම වාසනාවකි.

” ඒකට කමක් නැහැ. දැන් හරි අම්මා මං ළඟ ඉන්නවනේ ” 

තාදී නැවතත් ෂෙරීන් අසලට ගොස් ඇයට තුරුළු වූවාය. ජීවිතය ගැන දැන් දැනෙන්නේ වෙනදාට වඩා ලෝභකමකි. දැන් තමාගේ ජීවිතයේ තමාට පනසේ ආදරය කරන ආදරණීයන් දෙදෙනෙක්ම සිටී. කුමක් අහිමි වුවත් තමාට දැන් එයම ප්‍රමාණවත් බව තාදී ට දැනුනි. තවදුරටත් ජීවිතයේ තමා තනි නැත.ඕනෑම දෙයක් බෙදා හදා ගැනීමට තමා වැදූ මව දැන් තමා සමඟ සිටියි.දියණියකට තම ජීවිතයේ සිටින හොඳම යෙහෙළිය මව යයි අසා තිබුණද එහි නියම අරුත දැනෙන්නේ දැන්ය. එම නිසා කිසිවෙකුට බිය වීමට කාරණාවක් දැන් නැත.

” අම්මත් යමු නැනෝ අම්මව බලන්න. එයත් ගොඩක් සතුටු වෙයි ඔයා මගේ අම්මා කියලා දැනගත්තම ” 

” නැනෝ කියන්නේ එදා මං ළමා නිවාසෙට යන වෙලාවෙ හිටපු ගෑණු කෙනා නේද? ” 

” ඔව් අම්මා. මගේ ජීවිතේ වැඩිහිටියෙක්ට කියලා හිටියේ එයා. මං ගැන හැමදේම දන්නේ නැනෝ අම්මා තමයි.එයා මාව හරි ආදරෙන් බලා ගත්තා. ළමා නිවාසේ හිටපු ගොඩක් ළමයි  ජොබ්ස් වලට ගිහිල්ලා ජීවිතේ හදාගත්තට පස්සේ ළමා නිවාසේ අමතක කරා.ඒත් මං කවදාවත් එහෙම කරේ නැහැ. මොකද නැනෝ අම්මා මගේ පස්සෙන්ම ඉඳගෙන මාව බලා ගත්ත හැටි මට හොඳට මතකයි. තාමත් නැනෝ අම්මා මට සලකන්නේ පොඩි ළමයෙක්ට වගේ  ” 

” ඔයා කොච්චර හොඳ දරුවෙක්ද තාදී ” 

ෂෙරින් තාදීගේ හිස අත ගෑවාය. මවකට දරුවෙකු වෙනුවෙන් ඇති වන සෙනෙහස කුමන ආකාරයේ එකක් දැයි තදින්ම දැනෙන්නේ දැන්ය. තමා නැතිව හෝ තාදී ගුණ ගරුක ලෙස ජීවිතය පියවරෙන් පියවර ගොඩ නගාගෙන ඇත. දැන් තමාට ඇති වගකීම පසුගිය කාලය පුරාවටම තම දියණියට දෙමව්පියන් නොමැතිව දැනුණු අඩුව ඉදිරියට නොදැනෙන්නට වග බලා ගැනීම පමණි. ඒ සඳහා තමා විසින් කළ යුතු බොහෝ දේවල් ඇතැයි ෂෙරීන් සිතුවාය.

” තාදීව හම්බ උන එකට විතරක් නෙමෙයි මට සතුටු. එයාව බලාගන්න ඔයා වගේ ආදරය කරන කෙනෙක් හම්බවෙලා ඉන්න එකටත් මට සතුටුයි ධීර. මොන දේ නැතත් අඩුම ගානේ ඔයාට එයා වගේ කෙනෙක් හරි හම්බ උනානේ ” 

ධීර මදහසක් පෑවා පමණි. තමා සහ තාදීට මුහුණ දෙන්නට තිබුණු බොහෝ ගැටලු වලට දැන් පහසුවෙන්ම පිළිතුරු ලැබෙනු ඇත. තාදීට අපහාස කරන්නට දැන් කිසිවෙකුට හැකියාවක් ඇත්තේ නැත. දැන් තමාට බිය නැතිව තාදී කැටුව තම දෙමව්පියන් ඉදිරියට යා හැකිය. එපමණක් නොව මිෂෙල් ගෙන්ද ගැලවීමක් ලැබිය හැකිය. 

” අම්මා ” 

තාදී එකවරම යමක් සිහි වූවා මෙන් ෂෙරීන් ඇමතුවාය.

” හ්ම් ? ” 

” මට තාත්තාගේ ෆොටෝ එකක් හරි බලන්න පුලුවන්ද ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here