අරුමැති ආදරයක් – 4

0
1246

නිවසට ගියත් නිදහසේ හුස්මක් ගන්නට අවස්ථාවක් අපූර්වාට වූයේ නැත. ආච්චී උයා  තිබූ කරවල බැදුමත්, පරිප්පු හොද්දත් මුකුණු වැන්න මැල්ලුමත් සමග කට පිච්චෙන තරමට උණු උණුවේම බත් කෑ අපූර්වා නිවසින් පිටත වූ ලී බංකුවට පැමිණුනේ දුරකථනයත් රැගෙනය. අම්මා දහවලේ නිවසින් පිටව ගිය බව ඇසූ වේලේ පටන් ඈ උන්නේ හිත හොඳකින් නොවේ. ආච්චිටත්  අම්මා සමග ඔට්ටු වීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව අපූර්වා දනී. මේ ජීවිතයේ බර තමා බිම තබන්නේ කවදාදැයි යුවතිය සිතුවේ දෑස් මුලට කඳුලක් එකතු වද්දීය. 

ඒශානිගේ අංකය සටහන් කරමින් දුරකථනය නාද වූයේ එවේලෙහිය.

“උඹ කොහේද ඉන්නේ…”

දුරකථනය කන තබාගත් හැටියේම ඈ ඇසුවේ හුරු පුරුදු පැනයයි.

“ මේ වෙලාවේ ගෙදර…”

“ අදත් අම්මා පාර දිගේ දිව්වලු නේ…”

“ කවුද කිව්වේ…”

“ චින්තන අයියා තාත්තට හන්දියේදී හම්බවෙලා තිබුණා. තාත්තත් ගෙදර ඇවිල්ලා කිව්වේ මේ ප්‍රශ්නෙට මොනවා හරි විසඳුමක් හොයාගන්න වෙයි කියලා.”

“ මමත් දහ අතේ කල්පනා කරනව.”

“ තාත්තා කියනවා එහෙම ලෙඩ වෙච්ච අය බලාගන්න නිවාස තියෙනවලු..”

“ මොන හිතකින් මං එහෙම කරන්නද..මේක අපි දන්න දා ඉඳලා අම්මට තිබුණු ප්‍රශ්නයක් නෙමෙයිනේ. ඔයා හොඳටම දන්නවනේ මොකද වුනේ කියලා. මොන හිතකින් මං අම්මා එහෙම පිට තැනක ගිහිල්ලා නවත්තන්නද…”

“ ඒක අපිත් කතා වුණා..ඒ උනාට අම්මට ඔය විදිහට අවසියෙන් පාර දිගේ දුවන්න ගිහිල්ලා වෙන මොනවා හරි ප්‍රශ්නයක් වුණොත්. ඔයාට කියලා ගෙදරට වෙලා ඉන්න පුළුවන් කමක් නැහැනේ..”

“ අනේ මන්දා මේ දේවල් ගැන හිතනකොට මගේ ඔලුව නිකං යකාගේ කම්මල වගේ.”

“ අනේ ඉතින් මොනවා කරන්නද… මහ මෙරකට සල්ලි නැති උනාට ඔයා ජීවත් වෙච්ච විදිහ මං දන්නවනේ..මොන හෙන ගෙඩියක් පහත් උනාද කියල හිතාගන්න බෑ..අපේ අම්මා කිව්වා දවල්ට ඇවිල්ල බලන්නම් කියලා.”

“ අනේ ඒක ලොකු දෙයක්..”

“ මේ මං ආරංචි වෙච්ච දෙයක් කියන්නත් එක්ක ගත්තේ. හැබැයි උඹ පොරොන්දු වෙන්න ඕන ඉස්සර වෙලාම මේක අහලා හිත රිද්ද  ගන්නේ නෑ කියලා.”

“ හිත රිදෙන දේවල් හැමදාම ආරංචි වෙනවනේ බං..ඕක ඉතින් අමුතු රිදුමක් නෙමෙයි. මගේ හිතත් දැන් ඔය ඕන දේකට ඔට්ටුයි..උලත් එකයි පිලත් එකයි වගේ”

“ත්‍රීවිල් පාක් එකේ ඉඳලා මෙයත් දැන් හොඳ භාෂාවක් පුරුදු වෙලා.”

“ අනේ නෑ බං..ඒ මිනිස්සු මං ගාවදී වචන පාවිච්චි කරන්නෙත් හරි පරිස්සමට. මට හිතෙනවා මං හින්දා ඒ මිනිස්සුන්ගේ නිදහසත් නැති වෙලා කියලා. උඹ  කියන්නේ ඔය සමන් මාමලා එහෙම ඒ මිනිස්සුන්ට එන හයර් එකත් මට දෙනවා බං. ඒගොල්ලෝ හැමතිස්සෙම බලන්නේ කීයක් හරි හොයලා දීලා මාව කරුවල වැටෙන්න කලින් ගෙදරට එවන්න..”

“එදා මළ ගෙදර ආපු වෙලාවෙත් ඔය කට්ටිය උඹලයි තාත්තා ගැන කියපු දේවල් මට ඇහුනනේ. උඹලයි තාත්තට ගමේ මිනිස්සු සලකනවා. මං ඒත් තාත්තට කිව්වේ ඔක්කොමල ගිහිල්ලා අරුන්ගේ ගෙදරට ගල් ගහන්න ඕනේ කියලා..”

“ ඔය කරගත්ත  පව් තව වැඩි කාලයක් ගෙනියන්නේ නෑ. ඒක නෙමෙයි උඹ මොකක්ද කියන්න හැදුවේ කියපන්කො..”

“ ඉෂාර කසාද බඳින්න යනවලු. රත්නපුරේ පැත්තෙ වතු අයිතිකාරයෙක්ගේ දුවෙක්ලු. ලොකුවටම මගුල ගන්නවලු. හොඳම කාරණය  කියන්නේ උං මගුලෙන් පස්සේ පදිංචි වෙන්න හිතන් ඉන්නේ බොරු නඩුවක පටලවලා උඹලගෙන් ගතපු මහ ගෙදරලු.”

අපූර්වවාට එය අලුත් ආරංචියක් විය. පසුගිය දිනක මහ ගෙදර අලුත් වැඩියා කරනවායැයි ආච්චි තමන් සමග පැවසූ බව ඇයට මතක් වූයේ එවේලෙහිය.

“ මගේ මනුස්සයා මාව කැන්දන්  ආපු තැන. මගේම බඩේ උපන් මනුස්සකමක් නොදන්න දරුවෙක් හින්දා මට ඒ ගේ ඇතුලේ ඇස් දෙක පියාගන්න වාසනාවක් නැතුව ගියා..”

එවේලෙහි ආච්චි  පැවසූ බව අපූර්වාට මතකය. අපට මෙතරම් දුකක් වේ නම් ඒ දුක ආච්චිට ඊට වඩා සිය දහස් ගුණයකින් වැඩිව දැනෙන බව විශ්වාසය. 

“ මං එහෙම වෙන්න කියනවා නෙමෙයි ඒ උනාට නන්දසිරි මාමා අවතාරයක් හොල්මනක් වෙලා හරි ඔය ගෙදර ඉන්න ඕනේ. ඕකුන්ට ඔය ගෙදර ජීවත් වෙන්න බැරි කරන්න ඕනේ…”

මිතුරිය එහා පසින් කියවා ගෙන  ගියේ ද්වේශයෙන්ය. එහෙත් අපූර්වා පිළිතුරු ලෙස කිසිත් නොකීවාය. 

වසර එකොළහක කාලයක් තිස්සේ තම සහෝදරයා සමඟ මහ ගෙදරට නඩු කියූ තාත්තා තීන්දුව දුන් දිනයේ නිවසට පැමිණියේ හොඳටම බීමතින්ය. ඉඳහිට පැවැත්වෙන සාදයකදී මත්පැන් පොදක් තොල ගා ගත්තාට ඔහු පුරුද්දට මත්පැන් බිව් අයෙකු නොවේ. සොල්දර ගෙදර මිදුලේ සිට තමාත් අම්මාත් ආච්චිත් ඔහු එනතුරු  මග බලා සිටියේ නොඉවසිල්ලේය. ඊට කිලෝමීටර් බාගයක් පමණ එහාට වන්නට තිබූ බාප්පා අලුතෙන් ඉදි කළ දෙමහල් නිවසේ රතිඤ්ඤා පත්තු වනබව අපූර්වාට මුලින්ම පැවසූයේ ඒශානිය. බාප්පාගේ ඒ නිවස තිබෙන්නේ ඒශානිලාගේ නිවස පෙනෙන තරම් දුරකින්ය. 

දෑස් දල්වා අසා සිටින්නට බලාපොරොත්තු වන ආරංචිය එතරම් සුබ එකක් නොවන බව අපූර්වා දැන සිටියත් අම්මාත්, ආච්චීත් සමඟ සමඟ ඕ කිසිවක් නොකීවාය. තවත් විනාඩි කිහිපයක් ඉක්මවා ගිය පසුව කඩුල්ල අසල නතරකල ත්‍රී රෝද රථයෙන් බැස ගත් තාත්තා වැනි වැනී නිවස දෙසට පැමිණෙන අයුරු මුලින්ම දුටුවේත් ඈය. 

“ ඔන්න දුවේ මං තාත්තව ගෙනල්ලලා ඇරලුවා..”

සමන් මාමා එසේ පවසමින් ත්‍රී රෝද රථය පණගන්වාගෙන පිටව ගියේය. මිදුලෙහි උන් කිසිවෙකුගේ මුහුණ නොබැලූ ඔහු කෙළින්ම ගියේ නිවසෙහි ඉදිරිපස දොර අසලටය. 

“මොකද උනේ?….ඇයි මේ කවදාවත් නැතුව දවල් බීගෙන…”

අම්මා ප්‍රශ්න කරේ තවදුරටත් ඉවසනු නොහැකි කමකින් සේය. ඇය කවදත් නිවුණු ගැහැනියකි.

“ මට තියෙනවනං  ගෙනත් දීහං වහ..”

“මොකද ලොකු පුතේ උනේ…”

තාත්තා එවර පිටුපස  හැරුනේ ආච්චීගේ හඬට අවනතමය. ඒ දෑස් රතුව තිබිණ.

“අම්මගේ පොඩි පුතා..මගේ දරුවෙක් වගේ මං ඕකා  හැදුවේ. ඌ අපිව පාරට ඇදලා දැම්ම අම්මේ..මේ ගෙවල් මේ ඉඩම් ඔක්කොම ඌට අයිති වුණා..නඩුවෙන් ඌ දිනුවා  අම්මේ..මට හම්බවුණේ ලක්ෂ දෙකක් විතරයි….මං…මං අම්මේ උගේ අයියා කියලවත් ඌ  හිතුවේ නෑ. මේ කෙල්ලට යන කල දසාවක් තියෙන්න ඕනේ කියලා ඌ හිතුවේ නෑ…ඌ කියනවා මගේ තාත්තා මැරෙන්න කලින් ඌට පොරොන්දු පත්‍රයක් ලියලා දුන්නලු…උං ඒවට ගැලපෙන්න ලිය කියවිලිත් හදලා අම්මේ..”

“මොන අපරාධ කතාවක්ද ඒක..”

“ එහෙම තමයි…සල්ලි වලට පුළුවන් හැමදේම වෙනස් කරන්න..සල්ලි වලට මොනවද වෙනස් කරන්න බැරි?…ගෑනියෙක් මිනිහෙක් කරන්න මිනිහෙක් ගෑනියෙක් කරන්න උනත් පුළුවන්… “

“ අපි යමු ඇතුලට. ඇතුලට ගිහින් කතා කරමු…”

අම්මා එවර පැවසූයේ පෙර වූ ඉවසීමම දරාගෙනය.

“ තව ටික දවසයි මේක ඇතුලේ අපිට ඉන්න පුළුවන්. උසාවි නියෝගයක් ඒවි මේ ගෙදරින් අයින් වෙන්න ඕන දවස කියලා…එදාට අපි යන්න ඕනේ අම්මේ..නෑ..අපි එදාට කලින් යන්න ඕනේ..”

“ අපි මෙන්න මේ මඟුල් අතෑරලා  දාමු ලොකු පුතේ. මං දැනගෙන හිටියා ඌ මේක අතාරින්නෙ නෑ කියලා..ඕකුන්ට හොඳක් සිද්ධ වෙනවද ඉතින්..”

ඒ පැවසූ ආකාරයටම  තෙමසක් ඇතුළත මහ ගෙදරින් ඉවත්වීමට සිදුවිය. ඒ දිනවල තාත්තා සිටියේ සම්පූර්ණයෙන්ම වෙනස් වූ පුද්ගලයකු ලෙසය. දැනට ජීවත්වන මේ කුඩා නිවස සෑදුනේ ඉන්පසුවය. බොහෝ දිනවල සැන්දෑවරුවේ ඔහු සිටියේ බීමතින්ය. බීමතින්ම කිහිප දිනකම බාප්පාගේ නිවසට ගොස් තිබිණ. ඒ එක් දිනක ඔහු පැමිණියේ ඇඟ පුරාම වූ සීරුම්  තුවාල සහිතවය. නිවසෙහි වූ ගැහැණුන් තිදෙනාට කරගන්නට දෙයක් වූයේ නැත. එක් දිනක් ආච්චී ගොස් බාප්පාට දෑත් එක්කර වැඳ වැටුණු බව අපූර්වා දැන ගත්තේ බොහෝ දිනක් ඉක්ම ගියාට පසුවය. 

එක් දිනක් පොලීසියෙන් පැමිණ තාත්තාව රැගෙන ගියේ දිගින් දිගටම තාත්තා විසින් බාප්පාට කරදර කරනවා යයි දමා තිබූ පැමිණිල්ලකට අනුවය. තාත්තා මහ ගෙදර වත්තේම කජු ගසක එල්ලි සිටිනු  අම්මා දකින්නේ  ඒ සිදුවීමෙන් දින හතක් ඉක්මවා ගිය තැනදීය. 

එහා පසින් දුරකථනය විසන්ධි වී ගොස් තිබිණ. අපූර්වා දිගු සුසුමක් මුදා හැර නැගී සිටියේ ගෙතුළට යාමටය. 

“ ගෙට වරෙන් ළමයෝ සත්තු සර්පයි ඇති..”

ගෙතුළින් ආච්චීගේ  හඬ ඇසුණේත් එවේලෙහිය. එහෙත් අපූර්වාට ඉදිරියට තබන්නට හැකි වූයේ අඩි දෙක තුනක් පමණි. ඇගේ ජංගම දුරකථනය යළිත් නාද වූයේ නාඳුනන අංකයක් සටහන් කරමින්ය. 

“ මම යුගාෂ්..මම දවල් ඔයාගේ ත්‍රීවීල් එකෙන් අලුත්ගමට ආවා. මගේ පර්ස් එක නැති වෙලා. ඔයාගේ ත්‍රී වීලර් එකේ වැටිලා තිබුණද කියලා අහන්න මං මේ ගත්තේ…”

එහා පසින් ඇසුණේ පැහැදිලි කටහඬකි. මේ යුගාෂ් අපහසුවෙන් මවාගත් සංවර කමකි.

“  ආ…ඔව් සර්..මම පර්ස් එක දැකපු ගමන් සර්ට කතා කළා.සර් ෆෝන් එක ආන්සර් කලේ නැහැ..”

“ ආ එහෙමද… මම මොකක් හරි වැඩක ඉන්නේ ඇත්තේ..ගරාජ් එකට කතා කරල තමයි මම ඔයාගේ නම්බර් එක හොයා ගත්තේ?..”

“ සර්ට ප්‍රශ්නයක් නැත්නම් මට ගරාජ් අයියට පර්ස් එක දෙන්න පුළුවන්…”

“ එහෙම හොඳ නෑ නේද..ඔයාගේ ලඟ තියාගන්න. මම හෙට මේ නම්බර් එකට කෝල් එකක් දීලා ඇවිත් ගත්තට කමක් නැහැ නේද. කොහොමත් මම ගරාජ් එකට එනව හෙට.”

“ කමක් නැහැ සර්..”

“ ඔයා මේ වෙලාවෙත් හයර් එකකද….”

එහා පසින් ඔහු ඇසුවේ තත්පර කිහිපයක් නිහඩව සිටියාට පසුවය. යුවතිය හා සුහද කතා බහක් ගොඩ නගා ගැනීමට ඇවැසි වුවත් ඕ ඊට ඉඩක් නොදේ. වදනින් දෙකින් යමක් පවසන ඈ ඉන්පසු නිහඬය.

“ නෑ  මම හතරෙන් පස්සේ හයර් යන්නේ නැහැ.” 

යුවතිය පිළිතුරු දුන්නේ ගෙතුලට විත් දොර වසා දමනා ගමන්ය.

“ හරි …බොහොම ස්තූතියි මගේ පර්ස් එක පරිස්සම් කරලා අරන් තිබ්බට. එහෙනම් මම හෙට කෝල් එකක් දීලා ගන්නම්.ගුඩ් නයිට්…”

“ ගුඩ් නයිට්…”

ඇය එසේ පැවසුවේත් ඇසෙන නොඇසෙන තරම් මද හඬකින්ය.

යුගාෂ්  උඩුමහලේ බැල්කනියෙහි  වූ සුදු යකඩ වැටෙන් පහතට එබුණේ මුව මත මදහසක් තබාගෙනය. ත්‍රී රෝද රථයෙන් බසින්නට පෙර අත්‍යාවශ්‍ය වූ බැංකු කාඩ්පත්  හා රියදුරු බලපත්‍රයත්,  බිල්පත් කිහිපයකුත් පසුම්බියෙන් පිටතට ගත් යුගාෂ් පසුම්බිය පසුපස ආසනය මතින් තැබුවේ හිතාමතාමය. 

යුගාෂ්ගේ නිවස වූයේ ගාලු පාර අයිනේමය. ඉන් එහා පසින් පොල් රූප්පාවකි. ඒ පොල් ඉඩම යුගාෂ්ගේ අප්පච්චිට අයත් වූ එකකි. ඉන් එහා පස වූයේ මහා මුහුදය. යුගාෂ් මේ සිටින සඳැල්ලේ සිට බලද්දී උදෑසනක්, දහවලත්, රාත්‍රියේත් පෙනෙන්නේ සොඳුරු දසුනකි. 

( යළිත් හමු වෙමු ආදරයෙන්……)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here