මන්ත්‍රී නිවස තිබුණේ ආනමඩුව ගම්මානයට ඉහළින් පෑයු දහවල් ඉර අව්වට පිච්චෙමිනි. සුපුරුදු පරිදි මන්ත්‍රී තුමා නිවසේ උන්නේ නැති අතර දහවල් ආහාරයෙන් පසු අනෝමා කෙටි නින්දකට වැටි උන් අතර ලක්ෂිත උන්නේ තමන්ගේ කාමරයට වී කුමක් හෝ කරමින් ය. ලක්ෂිත ඒ සියල්ල මැද්දෙත් කල්පනා කරමින් උන්නේ සමුධ්‍යා විසින් එදා පන්සලේදි කියන්නට යෙදුන කතාවෙන් පස්සෙ තමන්ගේැසට නොගැටෙන පරිද්දෙන් සැඟවී මෙන් කටයුතු කරන්නට යෙදුනේ ඇයි කියන එක ගැනය. එදා පන්සලෙන් නික්මුණායින් පසුව ලක්ෂිත සමුධ්‍යා ඉන්නට හැකි යැයි සිතූ හැම තැනකම මෝටර් සයිකලයෙන් යන්නට කටයුතු කරද සමුධ්‍යා උන්නේ ඒ සෑම ඉරියව්වක්ම කළින් දැනගෙන මෙන් සැඟවෙන්නට, මුහුණ නොදී ඉන්නට කටයුතු කරන ගමන් ය.
ලක්ෂිත සිතුවේ සමුධ්‍යා එසේ කරන්න හේතුව එක්කෝ ඇයට පෙම්වතෙක් හිඳින එක හෝ එහෙමත් නැතිනම් ඇය තවමත් තමන්ට හරියාකාරව නොදන්නා එක කියාය. ලක්ෂිත නොදැන උන් කාරණාවනම් මේ වෙද්දිත් ලක්ෂිත මෙතෙක් පැළඳගෙන උන් වෙස් මුහුණ ගලවා දමන්නටත් පොලිස් පොතක නම ලියවන්නටත් සමුධ්‍යා කටයුතු කර තිබෙන බවය.
අනෙක් අතට අයියා විසින් අම්මාට කියා තිබූ “මල්ලි දැන් ඔහොම ඉඳලා හරියනවද?”කියන කාරණාව ලක්ෂිතව අලුතෙන් ප්‍රශ්නයකට ඇඳ දමා තිබුණි. කොහොමත් පෙර සිටම තමන්ව නැති ප්‍රශ්නවලට ඇද දමන්නට අයියා සතුව තිබුණ තැන්පත් කමත්, බුද්ධිමත් කමත්, තීක්ශන නුවණත් හේතු වුණ බව ලක්ෂිතට අමතක නැත.
“අයියා කොච්චර හොඳද? කොච්චර හොඳට පාඩම් වැඩ කරනවද බලන්න? ඔයාට ඇයි එහෙම කරන්න බැරි?”
“මොනවද ළමයො මේ ඔයා දාගන්න ලෙඩ? අයියා දිහා බලලවත් ඒ විදියට හැදෙන්නකො. බලන්නකො අයියාට හැමෝම කොච්චර ආදරේද කියලා” ඉස්සර සිටම අම්මාත් අනෙක් නෑයින් මෙන්ම පාසලේ ගුරුවරුන්ද කියන්නට යෙදීමම තමන්ව අම්මාගෙන් වඩා ඈත්කර තාත්තා දිහාවට කිට්ටු කරන්නට හේතුවුන බව ලක්ෂිතට අමතක නැත.
“මං උගෙ මගුල් හොයන්න යන්නෙ නැති එකේ ඌ මොකටද මේ මම ගෙදරට වෙලා මොකද කරන්නෙ කියල හොයන්නෙ? දැන් මම හොයන්න යනවද ඌ කොළඹට වෙලා මොකද කරන්නෙ කියලා?” අම්මා විසින් අයියා කියන්නට යෙදුන කාරණා ගැන කියද්දි තරහ ගත් ලක්ෂිත කියා දැමුවේය.
“එහෙම කතාකරන්න එපා පුතේ. අයියා එහෙම ඔයා ගැන හොයන්නෙ මේ ඔයා එක්ක තියෙන තරහකට නෙවෙයිනෙ. ඔයාට තියෙන ආදරේට?”
“ආදරේට? ඌ මාව අන්තිමට දැක්කෙ කවද්ද කියල උගෙන් අහන්නකො? ආදරේ? අනේ අම්මෙ මේ මට මේ උගේ ආදරයක් උවමනා නෑ. ඕක ඔය හදන්නෙ ආයෙ මේ ගේ අස්සට රිංග ගන්න විදියක් හොයන එක. අම්ම අහු උනාට මං ඕකට අහුවෙයි කියල හිතන්න එපා.
අනික මේ රස්සාවක් මේ හදිස්සියෙ හොයාගන්න මොකෝ මිනිස්සු මට රස්සාවල් දික්කරගෙන එනවා කියලද? අනික මං හිඟාකන ලෙවල් එකකට වැටිලා නෑනෙ තාම මේ රස්සාවල් වලට යන්න. අම්මා මේ උගෙන් ඉගෙන ගන්න විශබීජ ඇවිල්ල මගෙ ඔලුවෙ පුරවන්න නම් ලෑස්ති වෙන්න එපා” කියා අම්මාගේ කතාව මග හැර ආවද පුංචි කාලයේ සිටම හිත අස්සේ හිරවී තිබුන අයියා ගැන කෝපයද වෛරයද හිත මත්තට ඒම වළක්වන්නට විදියක්වත් එය කරන විදියක්වත් ලක්ෂිතට හිතාගන්නට පුලුවන් වුණේ නැත.
ලක්ෂිත මෙවන් සිතුවිලි දාමයක ගිලී ඉද්දිත් සර්පයා උන්නේ ලක්ෂිත උන් දිහාවට ඇදී එමිනි. ඒ සර්පයාව තමන් වෙතට ගෙන්වා ගන්නට කටයුතු කරේද තමන්ම බව නොදන්නාකම නිසාවෙන්ම ලක්ෂිත උන්නේ සර්පයා එන බවක් නොදකිමිනි. නොතේරුම්ගනිමිනි.
ඒ අතරවාරයේත් කාන්තා හා ළමා කාර්යාංශයේදී, පරීක්ෂක දිලානි, සමුධ්‍යා විසින් එවන ලදුව අරුණ විසින් තමන්ට ෆෝවර්ඩ් කරන්නට යෙදුණ අපරාධකරුගේ ඡායාරූපය නැවත වරක් අධ්‍යයනය කළාය. ඒ වනාහී ඇය නොදන්නා මුහුණක් නොවුණාය. ඒ වනාහී ඇය දැක ඇති සිය ගණනක් පිරිමින් අතරේ සාමාන්‍ය මුහුණක් සහිත තවත් එක තරුණ පිරිමියෙකු වූවාය. දැන් ඔහුගේ නම ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365B වගන්තිය යටතේ චෝදනාවකට සම්බන්ධ කර ඇති නිසාවෙන්ම, දරුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් කරන්නට තැත් කිරීම නිසාවෙන්ම තමන්ට සහ නීතියට වඩා වැදගත් වූද විශේෂ වූද පුද්ගලයෙකු වුවා විනා වෙන කිසිම වැදගත්කමක් ඔහු සතුව නැති බව දිලානි නැවත නැවත සිතුවාය..
“මිනිහා මුකුත් ආයුධයක් එහෙම තියාගෙන ඉඳිවි කියල මම හිතන්නෙ නෑ” කියා දෙව්නි අහද්දි දිලානි කලේ මද සිනාවක් සමග එයට පිළිතුරු දුන් එකය.
“මන්ත්‍රී තුමාගෙ පවර් එක හිතට ගත්ත පුතයෙක් හන්දා එහෙම වෙන්න බැරිකමකුත් නෑ”
“අපේ තව ඔෆිසර්ස්ලා යනවනෙ?”
“ඔව් ඒ නිසා බයවෙන්න දෙයක් නෑ. එතනදි ඉතින් අවි ආයුධ දික්කරගෙන එන එක මිනිහගෙ අකවුන්ට් එකට තව නඩුවක් වැඩිවෙන එක විතරයි වෙන්නෙ”
ලක්ෂිත වන් කුඩා මල් පොහොට්ටු පොඩි කර දමන්නට කටයුතු කරන අපරාධකරුවෙකු අත්අඩංගුවට ගැනීමේ කණ්ඩායම ආණමඩුව බලා පිටත්වුණේ ඒ දහවලේය.
නිවසේ ඉදිරිපස දොරටුව අසල රඳවා තිබෙන සීනුව නාද වනු ඇසෙද්දි අඩ නින්දේ උන් අනෝමා ඇහැරුණේ තිගැස්සීගෙනය. මන්ත්‍රී තුමා කොහොමත් මේ වෙලාවට ඉන්නේ තමන්ගේ කාර්‍යාලයේ බව දන්න නිසාවෙන්ම කවුරුවත් ගෙදරට එන්නෙ නැති බව විශ්වාස නිසාම අනෝමා උන්නේ “කවුද දන්නෙ නෑ?” කියා කල්පනා කරන අතරවාරයේම නින්දේදි අවුල් වුන කෙස් කළඹ සකස් කරගනිමින් ඇඳෙන් නැගී සිටියාය.
අනෝමා පියවර තබා සාලයට එද්දිත් ලක්ෂිත උන්නේ පඩිපෙලේ බාගයක් දුර ඇවිත් ය. වෙනදාට මේ වෙලාවය කිසිවෙකු ගෙදර සීනුව නාද නොකරන එකම ලක්ෂිතව උඩ තට්ටුවේ කාමරයේ සිට පහල තට්ටුවට ගෙන්වා ගන්නට එය දෛවෝපගත හේතුවක් වී තිබුණි.
මද සිනාවක් පාමින් අනෝමා දොර විවර කල කුතුහලයෙන් බරැති දෙනෙතිනි.
“මන්ත්‍රී තුමා නම් ගෙදර නෑ මේ වෙලාවෙ” කියා අනෝමා කිව්වේ තමන් ඉදිරියේ නිල ඇඳුම්වලින් සැරසීගෙන සිටගෙන සිටින අය කිසිසේත්ම තමන්ව හමු වීමට ආ අමුත්තන් නොවන බව සිතු නිසාවෙන් ය.
“අපි ඇත්තටම ආවෙ මන්ත්‍රී තුමාව හම්බුවෙන්න නම් නෙවෙයි මැඩම්”
“එහෙනම්?”
“මිස්ට ලක්ෂිත වීරබද්ධන ඉන්නෙ මෙහෙද?” කියා ඒ නිලධාරියා අහද්දි ලක්ෂිත ඉදිරියට ආවෙ වෙන්නට යන දේ ගැන කිසිත් අදහසක් නැතුවය. ඒ නිලධාරියා තමන්ගේ හිසේ සිට දෙපතුල තෙල් බලද්දි කුමක් හෝ අනතුරක් අත ලඟ බව තේරුනද ඒ අනතුර කුමක් විය හැකිද කියා කිසිත් අදහසක් ලක්ෂිතට තිබුණේ නැත. අනෙක් අතට ඒ අනතුරු කිසිසේත්ම සත්සරා විසින් මුල් වී කරන්නට යෙදුනක් බව කිසිත් සිතුවිල්ලක් ලක්ෂිතගේ තිබුණේ නැත.
“අපි කාන්තා හා ළමා කාර්යාංශයෙන්. අපිට සර්ගෙන් ප්‍රශ්න කිහිපයක් දැනගන්න ඕනේ. අපිත් එක්ක යන්න එන්න පුලුවන්ද?” කියා ඒ නිලධාරියා අහද්දි ලක්ෂිත හිත ඇතුළෙන් වෙව්ලුවත් ඒ පිටට පෙන්නුවේ නැත.
“ඒ මොකටද?”
“අපිට සර් ගැන පැමිණිල්ලක් ඇවිල්ල තියෙනවා. බාල වයස්කාර දරුවෙකුව ලිංගික අපයෝජනයකට ලක් කිරීමක් ගැන. ඒකට සැකපිට සර්ව අත් අඩංගුවට අරගන්න තමයි අපි ඇවිත් ඉන්නෙ” කියා ඒ නිලධාරියා කියද්දි අනෝමා “ආහ්” කියා ශබ්ධයක් මුවින් පිටකරන ගමන්ම එතන තිබුණු පුටුවකට ඇදගෙන වැටුණාය.
ලක්ෂිත උන්නේ වේගයෙන් වේගයෙන් හුස්ම ගනිමින් මේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද කියා කල්පනා කරන ගමන්‍ය. ඔහුගේ මුහුණේ මෙතෙක් වෙලා රැඳි තිබුන සැහැල්ලුව බිඳ වැටී තිබුණ අතර දෑත් දෙපා තිබුනේ මද වශයෙන් වෙව්ලමිනි.
“බාල වයස්කාර ළමේක්? මම? කවුද? මොකද්ද?” කියා ලක්ෂිත කලබලයෙන් මෙන් අහද්දිත් ඒ නිලධාරියා නොසැලී ලක්ෂිතගේ මුහුණ දෙස එක එල්ලේම බලාගෙන උන්නේය.
“සර්ට පුලුවන් ඒක පොලිසියෙදි වැඩි දුර දැනගන්න වගේම කියන්න තියෙන දෙයක් කියන්න. අපි එක්ක සහයෝගෙන් වැඩ කරන එක සර්ට ලේසි වෙයි” කියා කියද්දිත් අසල්වැසි නිවෙස්වල මිනිසුන් තමන්ගේ තිර රෙදි අස්සෙන් හිස යොමා බලන බව දුටුවද තාත්තා හමුවන්නට පොලිස් නිලධාරින් කොහොමත් එන නිසා ලක්ෂිත ඒ ගැන වැඩිදුර හිතන්නට ගියේ නැත.
ලක්ෂිතගේ හිත පෙළමින් තිබුනේ එකම එක ප්‍රශ්නයකි.
ඒ ගමෙන් එහාට ගියේ නැති සත්සරා වන් කුඩා කෙල්ලක මෙවන් දෙයක් කරන තැනකට රැගෙන ගියේ කවුරුන්ද කියන එකය.