අපූර්වා හේෂානි සමඟ කන්දේ විහාරයට ගියේ සවසය. ඈ ත්‍රී රෝද රථයේ යමු යැයි යෝජනා කරද්දී “බස් එකේ යමු..” යැයි පැවසූයේ හේෂාණිය. ත්‍රීරෝද රථය පහසු වූ නමුත් යෙහෙළිය පැය කිහිපයකට හෝ සැහැල්ලු කර තබන්නට උවමනාවක් හේෂානිට විය. ඇය රියදුරු අසුනේත් තමා පිටුපසත් ගමන් කරද්දී වූයේ දුරස් බවකි.
“මේ වගේ ගමනක් යන්නේ කොච්චර කාලෙකට පස්සෙද නේ…උඹට මතකද ඉස්සර අපි දෙන්නා කළුතර ක්ලාස් යද්දි ඔහේ කඩ සාප්පු ගානෙ ඇවිදිනවා. ඒ දවස්වල මොනතරම් සැහැල්ලුවක් අපේ හිත්වල තිබුණද.”
“ඒ සැහැල්ලුව නැති වුණේ මට විතරයිනේ. ඇයි ඔයා අපේ කියලා කියන්නේ.”
“උඹ හිතන්නේ අපූ උඹට විතරයි ප්‍රශ්න තියෙන්නේ කියලද. අපේ ගෙවල් වලත් එදා ඒ තිබුණු ප්‍රශ්න අදටත් ඒ විදිහමයි. දැන් මං ලොකු දුවෙක්. එහෙම කියල හිතලා තාත්තට පුංචිම නිදහසක්වත් දෙන්න, සැනසීමක්වත් දෙන්න තවමත් මට බැරි වුණා. ජොබ් වලට ඇප්‍ර්ලිකේෂන් දැම්මට පස්සේ ඉන්ටර්විව් එකේදී බලන්නේ ඒ ලෙවල් රිසාල්ට් එක නෙමෙයි. මොනවද තියෙන අමතර සුදුසුකම් කියලා. එක මාසෙකට මං ජොබ් කීයකට ඇප්‍ර්ලිකේෂන් දානවද? කෙල්ලේ.. එක පැත්තකින් බැලුවහම උඹ දිනුම්. උඹ අද මේ වගේ රස්සාවකින් හරි අම්මවයි, ආච්චිවයි රැක ගන්නවනේ. අදටත් මං කෝස් කර කර අමතර සුදුසුකම් හදාගන්න බලනවා. උදේ හතට ගෙදරින් යන තාත්තා ඕ ටී කරල ගෙදර එන්නේ රෑ නවයට. ඒ මූණ දැක්කහම මට මාවම එපා වෙනවා බං වෙලාවකට. මිනිස්සු දුප්පත් වෙලා ඉපදෙන්නෙම පෙර ආත්ම පව්වලට වෙන්න ඇති.”
හේෂානි එසේ පැවසූයේ කන්ද මුදුනේ පෙනෙන බුදුරුව දෙස බලාගෙනය. අපූර්වා ඇගේ දකුණත තදින් මිරිකා ගත්තාය. ලැබූ මිනිස් ජීවිතය තුළ සියයට සියයක්ම සතුටින් සැනසීමෙන් ජීවත් වන්නේ නම් ඒ කලාතුරකින් පුද්ගලයෙකු බව විශ්වාසය. හේෂානි පවසන්නාක් සේ ඒ පින්වත් මිනිසුන්ය. දුප්පත් හෝ පොහොසත් වේවා ප්‍රශ්න, හිත් වේදනා මිනිසුන්ට පීඩා පමුණුවන්නේ එකම ආකාරයකටය.
“ඒ ගැන හිතන්න එපා. ඉක්මනට ජොබ් එකක් හම්බවෙයි. අර සමන් මාමා හැම තිස්සේම කියන විදිහට සමහර මිනිස්සුන්ගේ ප්‍රශ්න දිහා බැලුවහම අපිට තියෙන්නෙ ප්‍රශ්නද කියලා හිතෙනවා. අපි ඒවා දරා ගමු…”
“දරාගන්නම වෙනවනෙ බං ඉතින්…”
අවසන හේෂානි පැවසුයේ දිගු සුසුමක් මුදා හරිමින්ය.
වන්දනා කර අහවරව මෙත් වඩද්දී අපූර්වා සියලු සත්වයෝ නිදුක් වේවා! නීරෝගී වේවා! සුවපත් වේවා! දුකින් මිදේවා! යනුවෙන් පැවසූයේ සැබෑවටමය. සියලු මිනිසුන්ට සතුට සැනසීම උදාවිය යුතුමය. සතුටත්, සැනසීමත්, නීරෝගීකමත් තරම් මනුස්ස ජීවිතයකට කිසිවක් නොවටිනා බව ඈ වටහා ගත්තේ ගෙවී ගිය කාලයේ ලද අත්දැකීම් තුළින්ය. මිනිසුන් නිරෝගී නම් මනසේ සැහැල්ලුව වේ නම් මුදල් උපයා ගැනීමට ඕනෑ තරම් යහපත් ක්‍රම ඇති බව විශ්වාසය. තමාට බොහෝ දේ අහිමි කළ බාප්පා දෙසවත් වෛරී සිතුවිල්ලකින් නොබලන්නට එවේලෙහි ඈ සිතට ගත්තාය.
“මට අහන්න අමතක උනා. ඊයේ අර මිනිස්සු ඇවිල්ලා මොනවද කියලා ගියේ..”
“හේෂානි අපූර්වාගෙන් ඇසුවේ බෝ මළුවේ කෙළවරක අසුන්ගෙන සිටියදීය.”
“ඒ මැඩම් ගැන සැකයක් හිතන්න තරම් හේතුවක් ඉතුරු කරලා ගියේ නෑ. යන ගමනෙදි පන්සලට ගිහිල්ලා ලොකු හාමුදුරුවන්වත් මුණ ගැහෙනවා කියලා කිව්වා. ආපහු මේ ජීවිතවලට වෙන්න යන්නේ යහපතක්ද, අයහපතක්ද කියලා හිතන්න මට තේරෙන්නේ නෑ. තාත්තා මට කියලා දීලා ගියපු පාඩම තමයි තමන්ගෙ මිනිස්සුවත් විශ්වාස කරන්න එපා කියන එක. ඉතින් මං කොහොමද මේවා එක පාරටම විශ්වාස කරන්නේ. රෑ පුරාම හිතුවේ මං ඒ දැක්කේ හීනයක්ද කියලා.”
“මං තාත්තා එක්කත් කතා කලා අපූ. තාත්තා කිව්වෙත් සමහරවිට ඔයාලගේ කරදර කාලේ ඉවර ඇති කියලා. මොකද මේ ලෝකේ නරක මිනිස්සු වගේම හොඳ මිනිස්සුත් ජීවත් වෙනවනේ. අපේ අම්මා කියන්නේ ඒ වගේ මිනිස්සු අපිට මුණගැහෙන්නේ අපේ නරක කාලේ ඉවර වුණාට පස්සේ කියලා. සමහර මිනිස්සු ඉන්නවා තමන්ගේ වෙඩින් එකට වියදම් කරන්න හිතාගෙන එකතු කරපු සල්ලි වියදම් කරලා දුප්පත් මිනිස්සුන්ට ගෙවල් හදලා දීපු. සමහර සොසයිටි තියෙනවා ඇත්තටම උදව් අවශ්‍ය වෙන මිනිස්සු වෙනුවෙන් උදව් කරන්න ඉදිරිපත් වෙන. මතකද ඔයාට අර අපේ පන්තියේ හිටපු කසුන්ට ක්ලාසස් වලට සල්ලි එව්වෙ කොළඹ පැත්තෙ මනුස්සයෙක්”
“මං ඒක නොදන්නවා නෙමෙයි. මගේ හිත හැම දෙයක් දිහාම සැකෙන් බයෙන් බලන්න පුරුදු වෙලා. ආච්චිගේ, අම්මගේ දෙන්නගෙම ජීවිතවල රැකවරණය, වගකීම මගේ අතේ කියල මතක් වෙද්දි මං හරි බයයි හේෂානි.”
“ඒකනම් ඇත්ත..මං කියන්නද. අපි ඒ ගැන අර ලෝයර් එක කතා කරමුද.”
“මොන”
“මොන නෙමෙයි අනේ. අර ඔයත් එක්ක ත්‍රී වීලර් එකේ ගියේ.”
“එහෙම දෙයක් කතා කරන්නේ කොහොමද ඒ මනුස්සයත් එක්ක.”
“ඔයාගේ විස්තර ඇහුවනම්, එයාගේ විස්තර කිව්වනං, ෆෝන් එකට ආන්සර් කරන්න කියලා විශේෂයෙන් කිව්වනම්. එකට කෑම කන්න පුළුවන් උනානම්, හදිස්සියකට උපදෙසක් ගන්න බැරි වෙන්න විදිහක් නැහැනෙ. එහෙම ගාස්තුවක් ඉල්ලුවොත් අපි ඒ ගාස්තුව ගෙවලා දාමු.”
“මටත් ඒක නොහිතුනා නෙමෙයි. මේවයේ නීතිමය තත්වයක් තිබුනොත් ඒකත් දැනගන්න පුළුවන්නේ. ඒ උනාට කොහොමද මං ඒ මනුස්සයා එක්ක එහෙම දෙයක් කතා කරන්නේ.”
“ලෝයර් අයියට කනක් තියේනං, උඹට කටක් තියේනම් දෙපැත්තටම සාධාරණයක් වෙයි ඉතින්.”
හේෂානි එසේ පැවසුවත් ඒ හදවත තුල වූ සැහැල්ලුවකින්ම නොවේ.
හිටිහැටියේ නිවසට පැමිණෙන ගැහැණියක නිවසක් සාදා දෙන්නට පොරොන්දු වීමෙහි වූ යටි අරමුණ කුමක්දැයි සිතා ගැනීමටවත් නොහැක. තාත්තා පවා ඒ ගැන කතා කලේ සැකයෙන්ය. එහෙත් හේෂානි ඒ බවක් අපූර්වා හා නොකිව්වාය. මිනිසුන් වෙනුවෙන් මිනිසුන් පෙනී සිටින අවස්ථා විරල නොවේ. එහෙත් වැඩිපුර ඇත්තේ බොරුවය. පසු බලාපොරොත්තුය.
“අනේ මන්දා. මාව වදයක් වෙයිද..”
“වදයක් වෙනවනං එයා කෝල් කරද්දි ෆෝන් එක ගන්න කියයිද.”
“ආච්චිගේ හිතේ මලක් පිපිලා වගේ. ඊයේ රෑම නිදි නෑ. මතක් වෙන මතක් වෙන වෙලාවට ඒ ගැන කියවනවා. තාත්තා කොහේ හරි ඉදන් අපි දිහා බලන් ඉන්නවා කියලමයි කියන්නේ. ඒ බලාපොරොත්තු නැති වෙලා ගියොත් ආච්චි අම්මගෙ තත්වෙටම වැටෙයිද මන්දා..”
අපූර්වා එසේ පැවසූයේ දිගු සුසුමක් මුදා හැරියාට පසුවය.
“මං ගන්නද එහෙනම්..” යැයි ඕ ඇසුවේ දෙවැනි වරය.
“ඕකට ඉතින් ඔච්චර වචන නාස්ති කරන්න ඕන නෑ. මං ගන්නද එහෙනම් කියලා මුලින්ම ඇහුවනම් හරි නේ.”
හේෂානි එසේ පැවසූයේ දෑස් කුඩා කරගෙනය. “හරි නරකයි..” ඔයා යනුවෙන් පවසා යෙහෙළියගේ වැලමිටට පහරක් ගැසූ අපූර්වා ලෝයර් යන නමින් දුරකථනයෙහි ගබඩා කරගෙන උන් අංකය සොයා ගත්තාය.
“එක ලෝයර් කෙනෙක් අපේ ජීවිත සම්පූර්ණයෙන්ම අවුල් කරලා දාලා තියෙද්දි තව ලෝයර් කෙනෙක්ගෙන් උපදෙස් ගන්න යන එක විහිළුවක් නෙවෙයිද.”
යළිත් අපූර්වා ඇසුවේ දුරකථනය මඳක් පසෙකට කරය.
නඩුවක පැමිණිල්ලක් වගේම බිත්තියකුත් තියෙන්න ඕනේ. දෙපැත්තෙන් එක මනුස්සයෙක් වරදකාරයෙක් වෙන්නත් ඕන. ලෝයර් කරන්නේ තමන්ගේ රාජකාරිය. පැමිණිල්ල වගේම විත්තිය වෙනුවෙනුත් පෙනී හිටින්න ලෝයර් කෙනෙකුට අයිතියක් තියෙනවා. ඒ මනුස්සයා වැඩ කරන්නේ ඒ මනුස්සයාගේ සේවා දායකයාට. ඒක රාජකාරියනේ…සාධාරණ උනත් අසාධාරණ වුණත් තමන්ගේ පැත්ත දිනවන එක තමයි ඒ මනුස්සයාගේ රාජකාරිය.”
හේෂානි එවර පැවසූයේ ඉවසිල්ලේය. හිස වැනූ අපූර්වා සිය ජංගම දුරකථන තිරය මත තම ඇඟිලි තුඩු තද කළාය.
යුගාෂ් සිටියේ පංචාලි සමඟය. ඒ නගර මධ්‍යයේ වූ පලතුරු බීම හලකය. පංචාලි විසින් ගෙන ආ වැදගත් ලිය කියවිලි කිහිපයකම ඡායා පිටපත් පරීක්ෂා කරමින් උන් තරුණයාගේ සම්පූර්ණ අවධානය යොමුවී තිබුණේ ඒ වෙතය. එනිසාම නිහඬ කර දැමූ ජංගම දුරකථනයට ආ ඇමතුම ඔහුට මගහැරී ගියේය.
දොඩම් යුෂ වීදුරුවක් තොල ගාමින් උන් පංචාලී ගේ දෑස් තිබුනේ යුගාෂ්ගේ රුව මතය. මේ හිතවත්කම අද ඊයේ ඇතිවූ එකක් නොවේ. පංචාලිත්, තීක්ෂණත්, යුගාශුත් සිටියේත් එකම නීති පීඨයක එකම වසරකය. එදත් අදත් තිදෙනා අතරින් කැපී පෙනුනේ යුගාශ්ය. අදත් මේ ක්ෂේත්‍රය යුගාශ් සිටියේ ඇයටත් තීක්ෂණටත් වඩා ඉදිරියෙන්ය.
කුමක්දෝ අහේතුවකට විවාහයක් ගැන සිතද්දී එදා සිටම පංචාලිගේ සිතෙහි මැවුනේ යුගාෂ්ගේ රුවය. තාත්තා අම්මා පවා දෙදෙනා අතර විවාහයක් සිදුවනවානම් එය යහපත් යැයි, පුෂ්පානන්ද අංකල් හා කතා කර තිබූ බව පංචාලි දනී. ඔවුන් සිතා සිටින්නේ මුලදී තිබූ යාළුකම දැන් ප්‍රේම සම්බන්ධයක් බවට පෙරළී ඇතැයි කියාය. එය එසේ නොවන බව අඟවන්නට පංචාලි උනන්දු වූයේද නැත. කොහොමටත් ඇයට අවැසි වූයේ ඒ කතාව සත්‍යක් වනු දකින්නටය.
“ඇත්තටම ඔයා ඔය මොකක්ද කරන්න හදන්නේ..”
අවසන ඕ ඇසුවේ නිහඬව සිටීමට නොහැකි වූ තැනදීය. තවදුරටත් ලිය කියවිලි මත දෑස් ගෙන යන ඔහු නොසන්සුන්ය.
“මේක මගේ හොඳම යාළුවෙක්ගෙ කේස් එකක්.”
“ප්‍රශ්න නම් ඇති කරගන්න එපා. මොනවා හරි උනොත් අංකල් අනිවාර්‍යයෙන්ම දන්නවා මගේ අතින් තමයි ඔයාට මේ ඩී ටේල්ස් එන්නේ කියලා.”
“එහෙම කරන්න ඕන තරම් තැන් තිබුණ පංචාලි. කවදාවත් මං ඔයාගෙන් අප්පච්චි කතා කරන නඩුවක තොරතුරුවත් අහලා තියෙනවද. ඔයා නොදන්නව නෙමෙයිනේ මේ වෙද්දිත් අපි අතර ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ නඩුවට අදාළ කිසිම දෙයක් මං ඔයාගෙන් අහලා තියෙනවද..
එවර යුගාශ් ඇසුවේ යුවතියගේ දෑස් දෙස කෙලින් බලාගෙනය.
මේ කරන්නේ තමාගේ වෘත්තීය ආචාරය ධර්ම කඩ කිරීමක් බව විශ්වාසය. වෘත්තිය පසෙක තැබුවත් මේ යුගාශ්ගේ හෘද සාක්ෂියට එකඟ කටයුක්තක්ද නොවේ. ඔහුට මෙවේලෙහි අවැසිව තිබුනේ අපූර්වා නිවැරදිමදැයි දැනගන්නටය. ඒ සියල්ලටම වඩා වරද වූ තැන කොතනදැයිි දැන ගන්නටය
“ඒකනං එහෙම තමයි. ඒක තමයි යුගාශ් මටත් තියෙන පුදුමේ.”
“මං මේක බැලුවා කියලා දීපු තීන්දු තීරණ මට වෙනස් කරන්න බෑ. කොතැනකදි හරි වරදක් වෙලා තියෙනවා. ඒ වරදින් තමයි ලෝයර් පුෂ්පානන්ද ප්‍රයෝජන අරගෙන තියෙන්නේ.”
“ඔයා ඔය කතා කරන්නේ අංකල් එක්ක තරහින්ද..”
“ඒක පුද්ගලික තරහක් නෙමෙයි. ඒක ඔයත් දන්නවා මමත් දන්නවා. පුද්ගලික ජීවිතයේදී මට අප්පච්චිත් එක්ක තරහා වෙන්න ඕන තරම් හේතු කාරණා තියෙනවා. අප්පච්චි කියන චරිතයට වඩා ඒ නමට තියෙන වටිනාකම මට අමතක කරන්න බැරි උනා.”
“යුගාශ් ඔයා තරහ ගන්නෙ නැත්නම් මම පුංචි ඉල්ලීමක් කරන්නද..”
“මොකක්ද..”
“ඔයාට පුළුවන්නම් මොකක් හරි හේතුවක් හදාගෙන සේනක මන්ත්‍රීතුමාගේ පුතාගේ නඩුව කතා නොකර ඉන්න”
“එතකොට මගේ ප්‍රොපෙෂනල් ලයිෆ් එකට වෙන ඩැමේජ් එක කවුද රිකවර් කරන්නේ. ඒකට පරක්කු වැඩියි.”
යුගාෂ් නැගී සිටියේ එසේ පවසමින්ය.
“ඇයි දැන් ඔය නැගිට්ටේ යන්නද..”
“ඔව්..මට පරක්කු වෙලා.”
“මං ඔයත් එක්ක ටිකක් කතා කරන්න හිතාගෙන යුගාශ් ආවේ.”
“සොරි පංචාලි…ඔයා අද මාව මීට් වෙන්න එයි කියලා මං හිතුවෙ නෑ මං එපොයිමන්ට් එකක් දා ගත්තා. අපි වෙන දවසක මීට් වෙමු අනිවාර්‍යයෙන්ම. අනිත් එක තෑන්ක්ස් මේ කරපු උදව්වට.”
පංචාලි නැගී සිටියේ තරුණයාට අනුවය. ඔහුට අඩියක් දෙකක් ඉස්සර වන්නට දුන් ඈ ඒ දකුණතින් අල්ලා ගත්තාය. යුගාශ් ආපසු හැරුනේ දෑස් විසල් කරගෙනය.
“යුගාශ් මට ඔයාව මීට් වෙන්න ඕනේ. මෙහෙම විනාඩියකට දෙකකට නෙමෙයි. මට අපි ගැන කතා කරන්න ඕනේ. මං ගැන කතා කරන්න ඕනේ..”
“අනිවාර්යයෙන්ම”
ඒ දෑස්වල වූ ආරාධනය හඳුනා ගන්නට යුගාශ්ට අපහසු වූයේ නැත. එහෙත් ඔහු මින් පෙර වතාවන් වලදී සේ ඉක්මන් වූයේ තම දෑස් ඇගෙන් මුදාගන්නටය. ඉවත බලාගෙනම හිස වැනූ තරුණයා ඒ දෑඟිලි තම දකුණතින් මුදා හැරියේ සීරුවටය.
( යළිත් හමු වෙමු ආදරයෙන්)
ReplyForwardAdd reaction |