පරිප්පු එහෙමත් නැත්නම් මස් හෝ මිරිස් හොද්දක් එක්ක හොඳට පොඟවගත්ත පරාට එකක් කාල තේ කෝප්පයක් බොන්න අකමැති කෙනෙක් නෑනෙ.
පරාට කියන්නෙ ඉන්දියාවේ, විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ ඉතාම ජනප්‍රිය රොටී වර්ගයක් වුනත් අද වෙද්දි නම් ලංකාවෙ වුනත් පරාට කීවම නොදන්න කෙනෙක් නැතිගානටම දන්න කියන කෑමක් වෙලයි තියන්නෙ.
එහෙනම්, පුරුදු පරාට වෙනුවට රසම රස පිරුණු බිත්තර පිරවුමක් එක්ක චීස් මැදිකරගත්ත වෙනස්ම විදිහක පරාට එකක් ගෙදරදීම හදාගන්නෙ කොහොමද කියල අපි අද බලමුද?
පුරුදු විදිහට මුලින්ම අවශ්‍ය කළමණා සූදානම් කරගෙන ඉමු.
අවශ්‍ය ද්‍රව්‍ය
පිරවුම සඳහා
කුඩා කොටු හැඩයට කපාගත් ලොකු ලූණු ගෙඩියක්
සිහින්ව ලියාගත් අමු මිරිස් කරල් දෙකක්
සිහින්ව ලියාගත් කරපිංචා ඉත්තක කොළ
කුඩා කොටු හැඩයට කපාගත් ඉදුණු තක්කාලි ගෙඩියක්
ලුණු කුඩු
මිරිස් කුඩු
ගම්මිරිස් කුඩු
බිත්තර දෙකක්
ගාගත් මොසරැල්ලා චීස්
පරාටා සඳහා
පාන් පිටි කෝප්ප 02 ක්
ලුණු කුඩු තේ හැඳි ½ ක්
වතුර
පොල්තෙල් හෝ ගිතෙල්
සාදාගන්නා ආකාරය
මුලින්ම, භාජනයක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් එකතු කරගන්න.
තෙල් රත්වීගෙන එන විට එයට කොටුවට කපාගත් ලූණු, අමු මිරිස් සහ තක්කාලි එකතු කර හොඳින් කලවම් කරගන්න.
විනාඩි දෙක තුනක් පමණ තබා එයට රස අනුව මිරිස් කුඩු, ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු එකතු කර නැවත හොඳින් කලවම් කරගන්න.
දැන් භාජනයේ පියන වසා තක්කාලි හොඳින් මැලවී මෙලෙක් වනතුරු තබා ගන්න.
දැන් තක්කාලි පොඩිවෙන තරමට ඉදුණු පසු බිත්තර දෙක මේ භාජනයටම කඩා දමා කලවම් කරගන්න.
විනාඩියක් පමණ තබා සාදාගත් බිත්තර මිශ්‍රණය ලිපෙන් ඉවත් කරගන්න.
ඊළඟට, අපි පරාටා හදාගමු.
මුලින්ම, තරමක් ලොකු ගැඹුරු භාජනයක් ගෙන එයට පිටි සහ ලුණු කුඩු එකතු කර අතින් හොඳින් කලවම් කරගන්න.
ඊළඟට, එයට වතුර ටික ටික එකතු කරමින් අතේ සහ භාජනයේ නොඇලෙන පිටි ගුලියක් ලැබෙන තුරු හොඳින් අනාගන්න.
දැන්, ඒ පිටි ගුලිය මතට තෙල් මේස හැන්ඳක් පමණ දමා පිටි ගුලිය වටේට හොඳින් ආලේප කරගෙන පිටි ගුලිය සහිත භාජනය හුළං නොවැදෙන සේ හොඳින් ආවරණය කර විනාඩි 30 ක් පමණ තබාගන්න.
විනාඩි 30 කට පසු පිටි ගුලිය ඉවතට ගෙන සමාන කොටස් හතරකට කඩා ගන්න.
ඉන් එක් කොටසක් නැවත බෝල කර පිටි අතුරාගත් මතුපිටක් මත තබා රෝලින් පින් එකක් හෝ වීදුරු බෝතලයක් ආධාරයෙන් රවුමට තුනී කරගන්න.
දැන් මේ රවුම කුඩා තීරුවලට කපා තීරු ටික එකතු කර රවුමක් සාදාගන්න.
දැන් ඉතුරු පිටි බෝල හතරෙනුත් මේ විදිහට තීරු රවුම් සාදා සාදාගත් තීරු රවුම් හතර හුළං නොවැදෙන සේ නැවත ආවරණය කර විනාඩි 15 ක් පමණ තබන්න.
විනාඩි 15 කට පසුව මේ පිටි තීරු රවුම පිටි ඉසගත් පැතලි මතුපිටක් මත නැවත තබා හොඳින් තුනීකරගෙන රොටියක් සාදාගන්න.
දැන් පැතලි සාස්පානක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් එකතු කර තෙල් රත්වන විට සාදාගත් රොටිය එයට දමා ගන්න.
විනාඩියක් දෙකක් පමණ තබා උඩ පැත්තේ තෙල් ආලේප කර උඩු යටිකුරු කරගන්න.
නැවත විනාඩියක් පමණ තබා රොටියේ භාගයක ප්‍රමාණයක ග්‍රේට් කරගත් චීස් තට්ටුවක් අතුරා ඊට උඩින් සාදාගත් බිත්තර මිශ්‍රණය අතුරාගන්න.
බිත්තර මිශ්‍රණයට උඩින් නැවත චීස් තට්ටුවක් අතුරා රොටියේ අනෙක් භාගය ඒ මතට නවාගන්න.
දැන් ප්‍රවේශමෙන් රොටිය දෙපැත්ත හරවමින් චීස් ටික දියවෙන තුරු ලිපේ තබාගන්න.
ඔන්න දැන් උණු උණුවෙන්ම කන්න රසම රස බිත්තර චීස් පරාට ලෑස්තියි.
තේ එකක් ඒම හදාගෙන ලෑස්ති වෙමු නේද?
සටහන – දුලානි නවෝද්‍යා