යුගාෂ්ගේ කාර්යාලයේ සිට පුෂ්පානන්ද කෙලින්ම ගියේ තමාරා හමුවීමටය.මේ ඈ බලාපොරොත්තුවෙන් උන් ආගමනයකි. එනිසාම ඕ පුදුම වූයේ නැත. පුෂ්පානන්ද නොසන්සුන් කමින් ආලින්දයේ එහෙටත් මෙහෙටත් ඇවිද යද්දී තමාරා උන්නේ බුදු කුටියේය. ඈ ඉන් පිටතට පැමිණියේ වන්දනා කටයුතු නිමා වූවාට පසුවය.
“මං ඇවිත් දැන් විනාඩි විස්සකට වැඩියි..”
ඒ වදන් ඔහුගේ මුවින් පිට වූයේ නෝකාඩුවක සරින්ය. තමාරා වන්දනා කරද්දි බිමට එළා ගන්නා සුදු පැහැ සාළුව නන්දනී අතට දෙමින් ඇය ගෙන ආ වතුර වීදුරුව පානය කළේ එක හුස්මටය.
“ඉඳගන්න…ඇයි මේ හිටගෙන”
“ඉඳගෙන කතා කරන්න තරම් දෙයක් නෑ. එහෙම සතුටු සාමීචියේ යෙදෙන්න තිබුණා මෙහෙම දේවල් නොවුණනම්. තමාරා ඔයා හොඳටම මතක තියාගන්න ඔයාගේ ඉල්ලීමට එකඟ වෙලා මම ඩිවෝස් නොවී හිටියේ යුගාෂ් නිසා. නැත්නම් මතකනේ ඒ දවස්වලම මං ඒකට ලෑස්ති උනා. ඌ ඒ ගෞරවයවත් තියන්න දන්නේ නෑ.”
“ඇයි එහෙම කියන්නේ. මං දැනුවත්ව ඒ ළමයා වරදක් කරන ළමයෙක් නෙමෙයි.”
“ඌ මට විරුද්ධව වැඩ කරනවා.”
“පුෂ්පානන්ද ඉඳගන්නකෝ ඉස්සර වෙලා. මේ විදිහට කලබල වෙලා ප්‍රශ්න කතා කරන්න බැහැ. අනිත් එක මේ කියන කිසිම දෙයක් මට තේරෙන්නේ නෑ. මොකද මම පුතාගේ රාජකාරී ජීවිතයට ඇඟිලි ගහන්නෙ නෑ. ඒ ළමයා කාගේවත් හිත රිද්දන දරුවෙක් නෙමෙයි.”
පුෂ්පානන්ද අසුන් ගත්තේ පෙර වූ නොසන්සුන් ලීලාවෙන්මය. තමාරාත් ඔහු අනුගමනට කරමින් යාබද පුටුවකින් අසුන් ගත්තාය.
“මේ වෙලාවේ රටම කතා වෙන නඩුව ගැන තමාරා නොදන්න විදිහක් නැහැනේ. සේනක මන්ත්‍රීතුමාගේ පුතාගේ ප්‍රශ්නයක්. මේ කොහෙවත් යන හිඟන කෙල්ලෙක් මන්ත්‍රීතුමාගේ පුතාට විරුද්ධව නඩුවක් දාලා. ඒ මේ සැරේ නොමිනේෂන් බාර දෙන්න ඉන්න ළමයි. අපේ හරකා ඒ පැමිණිල්ල පැත්ත බාරගෙන. ඒක කොච්චර වැරදි වැඩක්ද”
“අපේ හරකා කිව්ව යුගාෂ්ටද..”
“ඔව්.. නැත්තං වෙන කවුද. මේක මට ඉහලින්ම දිනන්න තිබුණු නඩුවක්. අනිත් එක සේනක මන්ත්‍රීතුමා මොන වගේ මිනිහෙක්ද කියලා නොදන්නවා නෙමෙයිනේ. මේ වෙලාවේ නිහඬව හිටියට එළවලා පලිගන්න මනුස්සය. මේ බූරුව දෙයක් කරන්න කලින් චුට්ටක් හිතන්න ඕනේ. කරුණාකරලා එයාට කියන්නේ මෙතනින් ඉවත් වෙන්න කියලා. ඕන්නං මං මිනිහට පිටරටක ටුවර් එකකට චාන්ස් එකක් අරන් දෙන්නම්. සල්ලි නැත්නම් මං ඒකත් දෙන්නම්. වැඩේ ඉවරයිනේ.”
“පුතා ඒ නඩුව බාරගන්න ඇත්තේ මොකක් හරි හේතුවක් නිසා. ඔයා වගේමයි එයත්. බාර ගත්ත දෙයක් උපරිමයෙන්ම කැපවෙලා කරනවා”
“හේතුව තමයි මම. ඌ මට බොරුවට අප්පච්චි කියාගෙන දැක්ක තැන නැගිට්ටට දණ ගහල වැන්දට මං ඌව දාල ගියපු එක ගැන මමත් එක්ක වෛරයකින් ඉඳලා තියෙන්නේ. මේ ඒ වෛරය තමයි ඌ පිරිමහන්නේ. යුගාශ් ශිතාගෙන ඉන්නවනං ඌ වැඩකාරයෙක් කියලා ඌට වැරදිච්ච තැන අන්න එතන. හරකෙක්. එහෙම්පිටින්ම හරකෙක්. ”
“පුෂ්පානන්ද දන්නවනේ මේ ගේ ඇතුලේ සත්තු නැහැ. සත්තුන්ට වගේ බූරුවා, හරකා ඒ වගේ වචන පාවිච්චි කරන්න අවශ්‍යත් නැහැ. හොඳට මතක තියාගන්න ඔය කතා කරන්නේ තමන්ගේ පුතාට කියලා.”
“ඌ මගෙන් පළිගනිද්දී මට උගේ ඔලුව අත ගාන්න කියලද කියන්නේ? එක්කා් මූ කාගෙන් හරි හොඳ කුට්ටියක් කඩාගෙන තියෙනවා මේ නඩුවට. සේනක මහත්තයලටත් තරහකාරයෝ ඉන්නවනේ. එහෙම නැත්තං මුගේ ඒ ගෑනිත් එක්ක මොකක් හරි සම්බන්ධයක් තියෙනවා.”
“චී… චී.. පුෂ්පානන්ද මොනවද මේ කියන කතා. යුගාෂ් ගැන මං හොඳටම දන්නවා. ඇත්තටම කිව්වොත් මේ නඩුව ගැන මම දැනගත්තේ පුෂ්පානන්ද දවසක් ඇවිත් කියලා ගියාට පස්සේ. එවෙලාවේ මං ඒ ගැන අහද්දි යුගාශ් මට දීපු උත්තරේ තමයි අප්පචි අනිත් පැත්තෙ ඉන්නවා කියලා මම මුලින් දැනගෙන හිටියේ නෑ අම්මේ කියලා. ඒ මිනිස්සුන්ට වෙලා තියෙන අසාධාරණය ගැන ඇහුවහම මේ නඩුව අතාරින්නත් බැරි තැනක ඒ දරුවා ඉඳලා තියෙන්නේ. මේක දේශපාලනය සම්බන්ධ නඩුවක් නෙමෙයිනේ. ගෑනු ළමයෙක්ගේ ජීවිතය සම්බන්ධ ප්‍රශ්නයක්. ඇත්තටම වැරැද්දක් වෙලානම් වැරදිකාරයෝ දඬුවම් ලබන්න ඕනේ”
“ මං ඌට කිව්වා මගේ ලෝ ෆර්ම් එකට වරෙන් කියලා. නඩු නැත්තං මං නඩු ඕන තරම් දෙන්නම් කියලා. හොඳට මතක තියාගන්න තමාරා මේ නඩුව මං පැරදුනොත් සෑහෙන දේවල් වෙනස් වේවි. අපි දෙන්න ගෙවල් දෙකක හිටියට යුගාශ්ගේ ඕනෙම වැඩ කටයුත්තකට මං ඔයාගේ වචනෙට ගරු කරලා ඒ තැනට ආව ගියා. ඔයා මට දවසක් කිව්වා දරුවගේ විවාහ කටයුතු සිද්ධ වෙනකලුත් අපි මෙහෙම ඉමු කියලා. ඔයාට තවදුරටත් මාව යුගාෂ්ගේ අප්පච්චි තනතුරේ තියාගෙන ඉන්න ඕනනම් කරුණාකරලා මේ නඩුවෙන් එයාට අයින් වෙන්න කියලා කියන්න. එහෙම නැතුව ඔයා බලාපොරොත්තු උන විවාහ කටයුත්තකදිවත් මං ඒ වෙනුවෙන් පෙනී හිටින්නේ නෑ.”
“සමාවෙන්න පුෂ්පානන්ද මට ඒක කියන්න බැහැ. ඒක එයාගේ රැකියාව”
“ඇයි බැරි….මං අහන්නේ ඇයි බැරි..”
“එයා මේ තැනට ආවේ ඔයාගේ උදව්වෙන් නෙමෙයි. එයාගේ මහන්සියෙන්. අනිත් එක අසාධාරණය දැක දැක ඇස්කන් පියන් ඉන්න කියලා මට එයාට කියන්න බෑ. එහෙම වුණොත් මගේ දරුවත් හෙට දවසේ ගැහැණියෙක්ගෙ ජීවිතේ සැහැල්ලුවට ගනියි. ඔය සේනක මන්ත්‍රීතුමාගේ පුතා වගේ. ගෑනියෙක්ගේ කඳුලක් සැහැල්ලුවට ගනියි. ගරුත්වයක් නැති වෙයි. ඒක වෙන්න දෙන්න බෑ.”
“ඒ කියන්නේ උඹලා දෙන්නටම ඕනේ මගෙන් පලිගන්න.”
පුෂ්පානන්ද එවර පැවසූයේ දත්මිටි කමින්ය. තමාරාගේ උපදෙස් පරිදි අඩු සීනි, තේ එකක් ඔහු වෙත ගෙන ආ නන්දනීට පවා ඕ රැව්වේය.
“පුෂ්පානන්ද මොනවා හිතාගෙන ඉන්නවද කියලා කියන්න මම දන්නේ නැහැ. හැබැයි ඒ දරුවාගේ තුන් හිතකවත් එහෙම දෙයක් නෑ කියලා මම දන්නවා. අද ඊයේ නෙමෙයි. එදා ඉඳලම අපි මොකක්ද කියන්නේ කියලා පුෂ්පානන්දට තේරුනේ නෑ. අපිට ඇහුම්කන් දෙන්න ඔයාට වුවමනාවක් තිබුනෙත් නෑ. අදත් ඒක එහෙමමයි. ඒ නිසාම පුෂ්පානන්දට කැමති දෙයක් හිතාගන්න පුළුවන්. හැබැයි මගේ ළඟ උස්මහත් වෙච්ච ඒ දරුවා කාත් එක්කවත් වෛර පිරිමහන දරුවෙක්වත් තරහ පිරිමහන දරුවෙක්වත් නෙමෙයි කියල මං හොඳාකාරවම දන්නවා. හැබැයි මගේ දරුවා ගෑනියෙක්ගෙ කඳුලකට වචනෙකට ගරු කරන දරුවෙක්. තවදුරටත් ඔයා මේ නඩුව ගැන මමත් එක කතා කරන එකේ තේරුමක් නෑ. ඔයා මාව නොදන්නවා නෙමෙයිනේ පුෂ්පානන්ද”
“ඔව් මට දැන් තේරෙනවා පුතණ්ඩියා අවුස්සන්නෙ කවුද කියලා. විසි හතර පැයම සිල් රෙද්ද පොරවගෙන හිටියත් උඹ මහ කපටි අම්මණ්ඩියෙක් තමා. ඒක මං එදා ඉඳලම දැනගෙන හිටියා. බලමු යුගාශ්ද මමද දිනන්නේ කියලා. එදාට මේ අප්පච්චියි පුතයි අතරට මැදි වෙලා උඹට සිද්ධ වෙන්නේ අපා දුකක් විඳින්න.”
පුෂ්පානන්ද නැගී සිටියේ තර්ජනය කරමින්ය. නැගී සිටි වේගයටම තමා ඉදිරිපිට වූ කුඩා මේසයට ඔහු පයින් ගැසුවේය. නන්දනී විසින් ගෙන ආ තේ කෝප්පය පෙරළී සුදු පැහැ ටයිල් පොළවේ තැන තැන විසි වූයේ තේ බිඳුය. ආපසු හැරී නොබැලූ ඔහු ගේට්ටුව වෙත ඇවිද ගියේ ආලින්දයේ වූ පිච්ච මල් පඳුරකටත් පයින් ගසමින්ය.
නන්දනී විසිත්ත කාමරයට දිව ආවේ වීදුරු කෝප්පය පෙරළී යන හඬටය. තමාරා තවමත් සුවපහසු පුටුවට බර වූ ගමන්මය.
“මේක හෙමින් අස්කරලා දාන්න නන්දනී. චූටි මහත්තයා දැනගන්න ඕනේ නෑ අප්පච්චි ඇවිත් ගියා කියලා.”
එසේ පැවසූ ඕ උඩුමහලට නැගුනේ දිගු සුසුමක් මුදා හැරියාට පසුවය.
****************
ගඩොලින් ගඩොල බැඳෙන නව නිවස දෙස අපූර්වා බලා සිටියේ බලාපොරොත්තු දහසක් දල්වාගෙනය. තමාරා නිවස සෑදීමේ කටයුතු බාර දී තිබුණේ ඉදිකිරීම් සමාගමකට නිසා සොයා බලන්නට තරම් දෙයක් වූයේ නැත. දහවලට පැමිණෙන ගුණවතී නැන්දා හෝ හේෂානිගේ මව වැඩ කරන අය වෙනුවෙන් තේ සාදා දුන්නාය. ඒ අතරේම හැකි සෑම වතාවකම අපූර්වාත් ත්‍රීරෝද රථ ගාලෙහි සිට නිවසට පැමිණ ගියාය. කොතරම් වෙහෙසකාරී දිනයක අවසානයේ වුවත් ඕ මධ්‍යම රාත්‍රිය වන තුරුත් ඉදි වෙමින් පවතින නිවස වටා ඇවිද යන්නේ හිත පිරී යන සතුටත් සමගය.
ඉඳහිට දිනක තමාරා පැමිණියේත් සවසකය. අපූර්වා පුරුද්දක් වශයෙන් සැඳෑවේ ඇයට දුරකථන ඇමතුමක් දී එදිනෙදා වැඩ කොටස ගැන විස්තර පැවසුවාය.
මේ ඉදිවෙමින් පවතින්නේ නිවසක් නොව තම ජීවිතයයැයි අපූර්වාට වරෙක සිතිණ. මිනිසුන් ජීවත් කරන්නේ බලාපොරොත්තුය. කලකට පසුව ඇගේ සිතෙහි වූයේත් බලාපොරොත්තු ගොන්නකි. ඒ බලාපොරොත්තුවලට පිරිත් පැන් ඉස්සේ යුගාශ්ය. දැන් ජීවිතය දෙස සෘනාත්මකව බලන්නට ඇයට තහනම්ය.
අම්මා සුවය ලබා ඉක්මනින් පැමිණේවියැයි දැන් ඒ සිතෙහි වන්නේ බලාපොරොත්තුවකි. අතර මග නවතා තිබූ අධ්‍යාපන කටයුතු යළිත් ඇරඹීම සිහිනයකට පණ ලබා දීමක් සේය. මේ සියල්ල ඔහු නිසාය.
අපූර්වා තවමත් ත්‍රී රෝද රථ නැවතුමෙහි සිට ගෙදර පැමිණි ගමන්ය. මහන්සිය නොබලාම ඕ මිදුලෙහි තැන තැන වැටී තිබූ ගල් කැබලි අස්කර දැමුවාය. යුගාෂ්ට දුරකථන ඇමතුමක් ලබා ගන්නට සිතා ඔහු ඩෙනිම් කලිසමෙහි සාක්කුවට අත දැමුවේ දුරකථනය ඉන් පිටතට ගැනීමටය. එහෙත් එවේලෙහි චින්තනගේ අංකය සටහන් කරමින් තිබූ දුරකතනය ඕ කන තබා ගත්තේ කෙළවරක වූ සිමෙන්ති ගල් ගොඩක් මත ඉඳගනිමින්ය.
“මං උඹෙන් ප්‍රශ්නයක් අහන්න මට ඇත්තම කියන්න ඕනේ අපූර්වා.
“අනේ කියන්න චින්තන අයියේ මං කවදද ඔයාලට බොරු කියලා තියෙන්නේ.”
“අන්න ඒ විශ්වාසයෙන් තමයි උඹෙන් මේ ප්‍රශ්නෙ අහන්නෙ. මං විතරක් නෙමෙයි සමනුයි අබේයිත් කිව්වා මේ ගැන උඹෙන් අහපං කියලා.”
දහවල ග්‍රාමීය රෝහලට හයර් එකක් ගොස් යළි පැමිණෙද්දී ත්‍රී රෝද රථ ගාලෙහි උන් සමන්, චින්තන සහ අබේසිංහ යමක් කතා කරමින් සිට ඒ ඉරියව් වෙනස් කළ බව අපූර්වාට සිහි වූයේ එවේලෙහිය. ඔවුන් තමාගෙන් වසංගන යමක් කතා කරන්නට ඇතැයි සිතුවා මිස ඕ ඒ ගැන ප්‍රශ්න කරන්නට නොගියාය.
“කියන්න චින්තන අයියේ…
“උඹ කවුරුහරි මහත්තයෙක්ගේ වාහනේ එහෙ මෙහෙ යනවා කියලා ගමේ කතාවක් පැතිරෙනවා. ඔය වයසට ආදර සම්බන්ධකම් ඇති වෙන එක සාමාන්‍යයි. ඒ උනාට අපි හිතනවා තාත්තත් නැති උඹ ගැන හොයන එක අපේ වගකීමක් කියලා. එහෙම දෙයක් තියෙනවනං හංගන්නෙ නැතුව මට ඇත්ත කියහන් නංගි. උඹල වගේ තනිවෙලා ඉන්න කෙල්ලන්ට ආදරේ පෙන්නලා රවට්ට ගන්න මිනිස්සු හරි දක්ෂයි. අනික මං උඹට හැමදාම කියන දෙයක් තමයි උඹ ත්‍රී වීලර් එකක් එලවන්න ඕන කෙල්ලෙක් නෙමෙයි. කැත නැතුව ඕනෙම මිනිහෙකුට තැනකට ගෙනියන්න පුළුවන් ලස්සනක් උඹේ තියෙනවා. මිනිස්සු මෙච්චර කාලයක් කිව්වෙ උඹේ හොඳ. එහෙව් කටවල් වලින් උඹේ නරකක් අහන්න අපි කැමති නෑ.”
අපූර්වා එකපිට එක සුසුම් කිහිපයක් හෙළුවේ චින්තන දිගින් දිගටම කියවාගෙන යද්දීය. හොර රහසේ ඔහුට ආදරය කළ නොහැකි බව ඈ දැන උන්නාය. තමා මේ වෙහෙසෙන්නේ ඉර හඳ අල්ලන්නටදැයි අපූර්වාට විටෙක සිතේ.
“චින්තන අයියට කවුද ඒක කිව්වේ…”
අපූර්වා ඇසුවේ මද හඬකින්ය. ගම්මුන් ඒ ගැන කතාවනවාට යුවතියට වූයේ බියකි. ඔහු ජීවත් වූයේ බොහෝ අර පරිස්සමටය.
“කෙල්ලෙක් කතාවක් අහගත්තොත් ඉතින් ආයෙ ජීවත් උනත් වැඩක් නැති ගානයි. හැමතිස්සෙම පරිස්සම් වෙන්න ඕනෙ දෝණි. එක තැනක් වැරදුනාට පස්සේ කොච්චර හොඳට ඉන්න හැදුවත් වැඩක් නෑ. දියේ ගිල්ලපු රබර් බෝලයක් වගේ උඩට මතු වෙවී එන්නෙම අර කරපු වැරදි.”
ඒ අම්මා එදවස නිතර කියූ කතාවකි. සොල්දර ගෙදර වත්තේ ළිං දෙකකි. ඉන් එකක වතුර බීමට ගත් අතර මදක් පහළට වන්නට වූ ළිඳ පරිහරණය කළේ නෑමට පමණි. අඩි පහක් පමණ ගැඹුරු වූ නාන ළිඳ වටේට වූයේ කළුගල් බැම්මකි. එය ස්වභාවිකව නිර්මාණය වූ නාන තටාකයක් වැනිය. කාන්ති අපූර්වාට ජීවිතය ගැන බොහෝ උපදෙස් දුන්නේ එතැනදීය.
“උඹ බයවෙන්න එපා. මං උඹට සහෝදරයෙක් වගේ. එහෙම දෙයක් තියෙනවානම් අපි කතාබහ කරලා ඒවා පිළිවෙලක් කර ගමු බං. ඕව සාමාන්‍ය දේවල්. ඒ උනාට උඹ වගේ කෙල්ලෙක් ගමේ මිනිස්සුන්ගෙන් කතන්දර අහන්න ඕන නෑ නංගී.”
චින්තන මේ පවසන්නේ සැබෑම ආදරයෙන් බව අපූර්වා දනී. එනිසාම ඔවුනට යමක් පැවසීම වරදක් බව විශ්වාසය.
(යළිත් හමුවෙමු ආදරයෙන්)