සුළි සුළඟක සුසුමක් – 11 වන කොටස

සංකල්ප මා කැටිව ගියේ කුඩා දිය ඇල්ලක් සහිත ස්ථානයක් වෙතට ය. දිය ඇල්ල සමීප ව දකින්නට ගල් තලාවක් මතින් මඳක් ඉහළට නැග යා යුතු විය. ඒ අවට වන තෙත් බර හරිත පරිසරය නෙත නිවා සනසන සුළු විය. කූඩැල්ලන් ඇත් ද යන බිය හැරෙන්නට වෙන දෙගිඩියාවක් මවෙත වූයේ නැත. දීප්තිමත් කහ පාටින් මල් පිපුණ නත්තසූරිය ගාල් අතරින් අපි ගල් කන්ද තරණය කළෙමු.

“කූඩැල්ලොන්ට විතරයි මං මේ ලෝකෙ බය”

මා සංකල්ප දෙස බලා කීවේ මහත් අසරණ කමකිනි. ඔහු ගේ ඇස් වල ආදරයට ළඟ හැඟීමක් තිබුණා සේ මට දැනිණ.

“මං උන්ටවත් බය නෑ. ඒක නිසා ඔයාට බය වෙන්න කිසිම හේතුවක් නෑ”

වචන කිහිපයකින් මිනිස් සන්තානයක එහෙව් සුරක්ෂිත හැඟීමක් ඇති කරන්නට පිරිමියෙකු හට හැකි බව ඔහු මට නො කියා කීවේ ය.

දිය ඇල්ල පුංචි මනාලියක සේ ගලා හැළුණා ය. පහුගිය දින වල එක දිගට වැසි ඇද වැටුණ නිසා ඇය දියෙන් පෝෂිත ව සිටියා ය. කොයි තරම් වෙලාවක් බලා සිටියත් ඒ දර්ශනය එපා වන එකක් නො විණි.

“මං හිතන්නෙ මේ දිය ඇල්ල මං වගේ කියල”

සංකල්ප සැහැල්ලුවකින් කීවේ ය.

“ඇයි….”

“නෑ. කොච්චර බලං හිටියත් ඇති වීමක් වෙන්නැති නිසා”

“අනේ මේ”

මම කේන්තියෙන් ඉවත බැලුවෙමි. ඔහු හඬ නගා සිනාසුණේ ය.

“ඇයි එහෙම නැද්ද…”

“එහෙමද කියල අහන්න වෙන්නෙ ඉතිං මල්ෂාගෙං තමයි”

සංකල්ප මගේ කොණ්ඩයෙන් ඇද්දේ ය. මේ ඔහු ළදරු වියේ සිට ම ගෙන එන පුරුද්දකැයි මට සිතිණ.

“එයා මොනා කරන කෙනෙක්ද…”

ඇය ගැන දැන ගන්නට මට ඇති වූ උවමනාව කුමක් ද කියා මට ම වටහා ගත නො හැකි ය. එෆ් එම් නාලිකාවක වැඩ කළත් මා අනුන්ගේ ඕපා දූප සොයන්නට හෝ දැන ගන්නට රිසි වූ අයෙකු නොවේ.

“එයා මොනා කරනවද කියලනං මං දන්නෑ. ඔය නිකං ඉන්නව තමයි දකින්නෙ. එයාගෙ තාත්තං මැණික් බිස්නස් කරන්නෙ”

“ඕ..මට අමතක වුණානෙ. රත්නපුරේ මැණික්නෙ…නේ…”

“ඔයත් ඉතිං රත්නපුරේ මැණිකක්නෙ”

ඔහු ගල් කැටයක් අහුලා ඈත තුරු හිස් වලට ඉහලින් එය විසි කළේ ය. සංකල්ප ගේ දඟකාර ඉරියව් දෙස මම අඩැසින් බලා සිටියෙමි.

“මං කිව්වනෙ…අවුරුදු විස්සක් තිස්සෙ බලං හිටියෙ එක කෙල්ලෙක් වෙනුවෙං කියල”

“අනේ පව් අනේ”

මට ඕනෑ වූයේ ඒ කතාව විහිළුවකට ගන්නට ය. නැත්නම් එවන් කතාවකට වටිනා කමක් නොදී ඉන්නට ය. නො එසේ නම් අප අතරේ එවන් කතා බහක් සිදු නොවී පවත්වා ගන්නට ය.

“තවත් ඔප්පු කරන්න කියලද කියන්නෙ…”

“මොනා ඔප්පු කරන්නද…කොල්ලො ගැන නොදන්න කෙල්ලන්ටනෙ ඔප්පු කරන්න ඕනෙ. අපි ඒ ජාතියෙ මෝඩ කෙල්ලො නෙවෙයි හරිද…”

මම ඔහු ට සමච්චලයට සේ සිනහවක් දෙතොලතර තවරා ගෙන කීවෙමි. සංකල්ප එක එල්ලේ මදෙස බලා උන්නේ ය. එය තරමක් දැඩි මුරණ්ඩු බැල්මක් බව පෙනුණි. ඊළඟ නිමේශයේ මා කොහෙත් ම බලාපොරොත්තු නොවූ ලෙස මගේ උරහිස් වලින් අල්ලා ඇද්ද ඔහු කම්මුලක් තදින් සිප ගත්තේ ය.

තත්පර කිහිපයක් ගත වන තුරු, සිදු වූයේ කුමක් දැයි මට සිතා ගත නො හැකි තරම් විණි. එක දවසක් පෙර පාසලේ දී මගේ උපන් දින කේක් එකක් කැපූ මොහොතක් නිමේශයෙන් මට සිහි විය. කේක් කෑල්ල ගත්දී සංකල්ප නැවී මගේ කම්මුලක් සිප ගත්තේ ය. මම මූණ නරක් කර ගෙන උරහිසින් ඒ කම්මුල පිස දා ගතිමි. මීට පෙර කවදාවත් සිහි පත් නොවුණ ඒ සිදු වීම කොහේ කොතැනක තැන්පත් වී තිබී හිත මතු පිටට ආවාද කියා මා දන්නේ නැත.

“පිස්සුද ආ…”

සිහි එළවා ගත් ගමන් මම ඔහු වෙත කඩා පැන්නෙමි. සංකල්ප ජයග්‍රාහී සිනහවක් පෑවේ ය.

“මෝඩය. හිතං ඉන්නෙ මං තාම මොන්ටිසෝරියෙයි ඉන්නෙ කියලද…”

මා වඩාත් කේන්තියට පත් කළේ කිසිදු පසු තැවීමක් නො පෙන්වා ඔහු නගන සිනාවයි.

“සොරි කියනව”

“සොරි කියන්න මගෙ අතිං අත් වැරැද්දක් වුණේ නෑනෙ. හිතල කරපු දේකට සොරි කියන්නෙ මොකටද…”

මම රවා ගෙන ගල් කුට්ටි කිහිපයක් නැග ඔහු ගෙන් ඉවතට ගියෙමි. ඒ හරිය ලිස්සනා සුළු ය. පෙඳ පාසි බහුල ය. බුලී ගේ සේ ම ලූනා ගේ දම්වැල ද තිබුණේ සංකල්ප අතේ නිසා මට ලූනා ගැන වද වෙන්නට දෙයක් වූයේ නැත.

“දැං පහළට ගිහිං ඉඳගෙන ඇති වෙනකල් බලන්න. ඔතන ලිස්සයි හොඳේ”

සංකල්ප අනතුරු ඇඟවූවේ ය. ම ගස්සා ඉවත බැලුවෙමි. දිගු අඩි තබා ගල් පඩි බැස්ස ඔහු සිනහවකින් පහත් වී මගේ කකුලක් අල්ලා ගත්තේ ය.

“මොකද ඔය කරන්නෙ…මං ගහනව හොඳේ පෙරළිල ගිහිං පහලට වැටෙන්න”

“දඟලන්නෙපා කූඩැල්ලෙක් කකුලෙ”

දැඟලුවා නොව මා ගිරිය යටින් කෑ ගැසුවා වන්නට ඇත. නොවැටී රැකුණේ කෑ ගසමින් ම සංකල්ප ගේ ඇඟේ එල්ලුණ නිසාවෙනි. ඔහු කූඩැල්ලා ගලවා පසෙකට විසි කොට දැම්මේ ය. මම බියේ ගැහෙමින් සිටියෙමි.

“ඒයි අඬනවද ඔය…ඌව අයින් කළා”

මගේ කම්මුල් දිගේ කඳුළු බේරෙමින් තිබුණේ ය.

“චණ්ඩි රැජිණ ඒ වුණාට. එක පාර ගම් හතකට ගහන්න වගෙයි කතාව”

“මං කිව්වනෙ මං කූඩැල්ලන්ට බයයි කියල”

මම සැර කළෙමි. ඔහු සිනහ වූයේ ය.

“හරි දැං පහලට උස්සගෙන යන්නද..”

“අනේ මේ ඕන්නෑ”

මම හිත ට හයිය ගෙන ඉක්මන් කොට ගල් පඩි බහිමින් පහළ තැනිතලා පෙදෙසට ආවෙමි. තව දුරටත් මා සිටියේ කූඩැල්ලන් ගැන විමසිල්ලෙනි.

සෙල්ලම් කරන ලෙසට සංකල්ප ලූනා ව හා බුලී ව නිදහස් කළේ ය. නිල්වන් හරිත යායකින් ඒ පෙදෙස වැසී තිබිණි. මා සිටියේ කකුල් ගැන බියෙනි.

“ඔය ගල උඩිං ඉඳගන්න”

විසඳුමක් ලෙස මට ද පෙනුණ ගෝලාකාර උස් ගල පෙන්වා සංකල්ප කීවේ ය. නමුත් මට නැගෙන්නට එය උස් වැඩි වූයේ ය.

“කොහොමද මේකෙං ඉඳ ගන්නෙ..උසයිනෙ…”

මට හුස්ම ගන්නට හෝ අවස්ථාවක් ලැබුණේ නැත. ඔහු පුළුන් රොදක් සේ ඉඟ දෙපසින් අල්ලා මා ඔසවා ගල මතින් හිඳවූයේ ය.

“මොනා කරනවද මන්දා. වැටුණනං එහෙම…”

මම නෝක්කාඩු කියවීමි. සංකල්ල ගල මතට පැන මට සමීපයේ හිඳ ගත්තේ ය. මා ඔහු ව එතැනින් තල්ලු කොට නො වට්ටන්නේ මන්දැයි මම සිතුවෙමි. මේ ටිකට ඔහු වැරදි දෙකක් කෙරුවේ ය. අනවසරයෙන් මගේ කම්මුලක් සිප ගත්තේ ය. දැන් මා ඔසවා මේ ගල මතින් තැබුවේ ය. වෙන කොල්ලෙකු එසේ කළේ වී නම් මා කන හරහා අතුල් පහරක් එල්ල නො කොට සිටීවි ද? මීට පෙර මට අනවශ්‍ය විහිළු කරන්නට ආ තරුණයන් කිහිප දෙනෙකුට ම, ආයේ එසේ නොකරන්නට මම කතා කොට ඇත්තෙමි. සංකල්පට එහෙම කරන්නට බැරි හේතුවක් මට නොවේ!

“තල්ලු කරලනං දාන්නෙපා හරිද…”

මගේ හිත තේරුං ගෙන වාගේ ඔහු කීවේ ය.

“හම්මෝ ශුවර් නෑ මෙයාව”

කියමින් ඔහු මඳක් මගෙන් ඈතට ද වූයේ ය. මට සිනා නැගිණි. ඒ සිනහව, එතෙක් මා මත පා වෙමින් තිබූ අඳුරු වලාකුළු ඈතකට පා කොට හැරියා සේ ය.

සංකල්ප නෙතු පිය නො සලා මදෙස බලා ඉන්නවා පෙනිණි.

“මොකද…”

මම නෝක්කාඩු ස්වරයකින් විමසීමි. ඔහු සුසුමක් හෙළුවේ ය.

“ඕන්නැති වැඩ කරන්නනං එන්නෙපා හරිද…මෙහෙම කතා බහ කරන ආශ්‍රය කරන එකත් නතර කරන්න වෙයි මට”

නිකටෙහි අත තියා ගෙන එවර ඔහු බලා සිටියේ ය. මම ඔහු ව නො තකා  ඈත නිල් කඳු හා හරිත පැහැ තැනිතලා වල ඡායාරූප කිහිපයක් ගතිමි. කහපාට නත්තසූරිය මල් පඳුරු, ගල් කන්ද ඉස්මත්තේ ලස්සනට පෙනිණ.

එදා අහසේ වූයේ තද නිල් පැහැයකි. සුදු පාට පුළුන් වලාවෝ මේ දර්ශනය අතැර යන ලෝභ කමකින් සේ අහස දැඩි ව බදා සිටියේ ය.

මම සංකල්ප ගේ රුව මගේ කාචයට හසු කොට ගතිමි. ඒ මොහොතේ ඔහු සිටියේ දෑස් සිහින් කොට අහස දෙස බලා ගෙන ය.

අප යළි පැමිණියේ බුලී හා ලූනා ද ඇති වන තුරු සෙල්ලම් කිරීමෙන් පස්සේ ය. එන ගමනේ දී සංකල්ප ගේ දොඩමළු බව අඩු වී තිබිණි. මා අවසානයේ කළ තරවටුව පිළිබඳ ව ඇතැම් විට ඔහු සිතන්නට ඇත. නමුත් එසේ කී එක ගැන පසු තැවෙන්නට මම හිතට ඉඩ නොදුනෙමි.

පසු දා හැන්දෑවේ මා කාමරයට වී සින්දු අසමින් සිටියදී නීලා දොරට ගැසුවා ය.

“සුදු බබාව හම්බ වෙන්න කවුද ගෑනු ළමයෙක් ඇවිත්”

“ගෑනු ළමයෙක්….”

පැමිණි කෙනෙක් ගැන දළ අදහසක් හෝ මට වූයේ නැත..

“කවුද මෙහෙ මාව හම්බ වෙන්න එන්න ඉන්නෙ…”

කියාගෙන ම මම පිටතට ආවෙමි. තවමත් දොරකඩ හිටගෙන බලා සිටියේ වෙනකෙකු නොව මල්ෂා ය.

“ආ…ඔයානෙ. මං බැලුව මාව හම්බ වෙන්න කවුද මෙහේ එන්න ඉන්නෙ කියල”

“මං ආව සංකල්ප අයිය බලල යන්න. ඒ ගමං හිතුණා අක්කි එක්කත් ටිකක් කතා කරල යනව කියල”

“කොච්චර හොඳද ඉතිං මාවත් මතක් වෙච්ච එක. මෙහෙම ඉඳ ගන්නවද ඇතුළට යනවද…”

මා එසේ ඇසුවේ ඇගේ අවශ්‍යතාවය කුමක්දැයි මට කිසි සේත් සිතා ගත නො හැකි වූ හින්දා ය.

“අක්කිගෙ ගාඩ්න් එක ලස්සනයි. අපි අරහෙට ගිහිං කතා කරමු”

ඇය ඇඟිල්ල දිගු කොට පෙන්වූයේ සුදු කැටයම් පුටු දිසාව ය.

“ඉතිං ඉතිං…”

කියමින් මම මිදුලට බැස්සෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles