පෙරදා රාත්‍රියේ මත්පැන් සාදයකට සහභාගී වූ සේනක අවදි වූයේ සිය බිරිඳ විසින් නාද වෙන ජංගම දුරකථනය සවනත අසලට ලං කරද්දීය.
“ඔන්න ඕක විසිකරනවා පැත්තකට. උදේ පාන්දර නිදාගන්නත් නෑ මඟුල.”
නිදි මතත් වෙරි මතත් දෙකම එකතුව තිබූ සේනක කෑ ගැසුවේ මදක් උස් හඬින්ය.
“උදේ කොහෙද? දැන් දහයත් පහුවෙලා. අගමැතිතුමා ගන්නේ…”
ඔහු වහා නැගී සිටියේත් ඇඳෙහි ඉඳගත්තේත් තත්පරයෙන් සියයට පංගුවකටත් වඩා අඩු කාලයකින්ය. ලිහී ගිලිහෙන්නට ගිය සරම එක්තැන් කරගත් සේනක තම දකුණතින් මුහුණ අතගා ගත්තේ බිරිඳ දිගු කරගෙන සිටින ජංගම දුරකථනය දෙස දෑස් විසල් කර බලාගෙනය. උදේ පාන්දර හොල්මනක් දුටුවා සේ ඔහු බිය වී උන්නේය. දුරකථනය නාදවීම අවසන්ව තිබිණ.
“පස්සෙ ගන්නවද…..”
ශ්‍රියාමාලා පැවසූයේ ඔහු වෙත දිගු කරගෙන සිටි අත ආපස්සට ඇද ගනිමින්ය.
“නෑ.. නෑ ඕක දෙනවකො මෙහෙට. හදිස්සියක් නැත්නම් අගමැතිතුමා මේ වෙලාවට කතා කරන්නේ නෑ. අද පාර්ලිමේන්තු දවසක්.”
“මොනවද අයිසේ තමුසෙ මේ කරගන්න වැඩ. තමුසෙට මං කිව්වා පොඩ්ඩක් අඩිය පිටිපස්සට අරගෙන නිහඬ වෙලා ඉන්න කියලා. ලොක්කා සෑහෙන්න කලකිරීමෙන් ඉන්නේ තමුසෙගේ මේ වැඩ ගැන. කොහොමත් දයාල්ට විරුද්ධව අනිවාර්යයෙන් විනය පරීක්ක්‍ෂණයක් පවත්වයි. මං හිතන්නේ නෑ දයාල්ට නොමිනේෂන් දෙයි කියලා. තමුසෙ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙන්න ලෑස්ති වෙනවා. පුළුවන්නම් ඔය කොල්ලව නඩුවෙන් පස්සේ ටික දවසකට රටකට හරි යවනවා. මූ උගේ සායමක් නැති කරගෙන උඹේ සායමක් නැති කරනවා.”
සේනක යළිත් ඇමතුමක් ලබාගත් හැටියේම එහා පසින් ඇසුණේ උස් හඬකි. ඔහු සිය බිරිඳ දෙස බැලුවේ කිසිවක් සිතාගත නොහැකිවය.
“ඇ…ඇයි අගමැතිතුමා මො… මොකද වෙලා තියෙන්නේ?…”
“තමුසෙ නින්දෙන්ද ඕයි කියවන්නේ. අන්න තමුසෙගේ පුතන්ඩියා හොඳ හපන්කමක් කරලා.
“ඊයෙ රෑ චුට්ටක් වැඩි වුණා අගමැතිතුමා.. ඒක නිසා නින්ද ගියා. නෝනා ෆෝන් එක ළඟට ගෙනත් දෙනකල්ම ඇහැරුනේ නෑ.”
“තමුසේ නිදා ගන්න එකම හොඳයි එහෙනං. නැගිට්ටොත් වෙස් මූණක් දාගෙන තමයි එළියට බහින්න වෙන්නේ. ඇඳෙන් බැහැලා ගිහිල්ලා දවසේ පත්තර ටික බලනවකෝ. එතකොට තමුසෙට තේරෙයි මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා.”
දුරකථනය මුලින්ම විසන්ධි කළේ එහාපසින්ය. ඒ හා සමගම සේනක ඇඳෙන් නැගී සිටියේ බිරිඳවත් පෙරලාගෙනය. නිවසට ගෙන එන පත්තරය මෙවේලෙහි තිබිය යුත්තේ රියදුරාගේ කාමරයේය. දිනපතා පත්තරය රැගෙන ආවත් සේනක හෝ නිවසේ අන් කිසිවෙකුට එය කියවන්නට වේලාවක් නොවේ. ශ්‍රියාමාලා ඇැබ්බැහි වී තිබුනේ යූ ටියුබයටය. තමා හෝඩි පොතවත් හරියට කියවූවාදැයි මතකයක් සේනකට නොවේ. රියදුරු චන්ද්‍රසිරි අකුරක් නෑර පත්තරය කියවන අයෙකි. බොහෝ දේ සේනක දැනගන්නේ ඔහුගෙන්ය. පුරුද්දක් ලෙස වාහනයට නැගුන හැටියේම ’මොනවද බං රටේ තොටේ වෙලා තියෙන්නේ’ කියා ඇසීම සේනකගේ සිරිතකි.
“චන්ද්‍රසිරි…චන්ද්‍රසිරි……”
“ඇයි අනේ කෑ ගහන්නේ මොකක්ද වෙලා තියෙන්නේ? චන්ද්‍රසිරි කාමරේ ඇති. දැන් කීප සැරයක් ඇවිල්ලා ඔයා නැගිටලද කියලා මගෙනුත් අහලා ගියා.”
චන්ද්‍රසිරි සේනක කතා කරනතුරු සිටියා සේ දිවගෙන පැමිණියේ පත්තරයත් අතැතිවය.
“මොනවද අයිසේ වෙලා තියෙන්නේ.”
“ඊයේ ලොකු බේබි ඩිපෙන්ඩර් එක බස්සලා ලෝයර්ට ගහලා.”
“ෂිහ්…කෝ දැන් ඕකා..”
“උදේ මට කෝල් කරලා කිව්වා ටික දවසකට යාළුවෙක්ගෙ ගෙදර යනවා කියලා. මොකක්ද සේනක මේ ළමයා කරගෙන තියෙන්නේ..?” ශ්‍රියාමාලා එවර ඇසුවේ තම සැමියාගේ නොසන්සුන් කම නිසාම බියපත්වය.
“ඉක්මනට ඕකට කෝල් එකක් ගන්නවා. ඉන්න තැනකින් ඇවිල්ල පොලිසියට බාර වෙන්න කියලා කියනවා. මං කිව්වේ වැඩි දවසක් නොගිහින් මූ ඇදගෙන නානවා කියලා. දැන් ඉතින් ඔක්කොම ඉවරයි.”
“මට මේ කිසි දෙයක් තේරෙන්නේ නෑ සේනක පැහැදිලිව කියන්න.”
එවර සිය දකුණතේ දෑගිලි වලින් නළලත මිරිකාගෙන සේනක චන්ද්‍රසිරි දෙසට හැරුනේ බිරිඳව මඟහරිමින්ය.
“කියවපං ඕකේ තියෙන එක….එතකොට තේරෙයිනේ පුතංඩියා කරල තියන හරිය”
“ඊයේ රාත්‍රියේ ප්‍රසිද්ධ නීතිඥ යුගාශ් වර්ණකුලසූරියට කළුතර සමුද්‍රාසන්න මාර්ගයේදී කිසියම් කණ්ඩායමක් විසින් පහර දී තිබෙනවා. කළු පැහැති ඩිපෙන්ඩර් වර්ගයේ ජීප් රථයකින් පැමිණි හතර දෙනෙකුගෙන් යුක්ත පිරිසක් නීතිඥ මහතා පැමිණි වාහනය හරස් කර නවතා ඔහුට පහර දී ඇති බවයි වාර්තා වන්නේ. එය පළාතේ ප්‍රබල මන්ත්‍රී වරයෙකුට අයත් ඩිපෙන්ඩර් රථයක් බවට වැඩිදුර සාක්ෂි ලැබී තිබෙන බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කලේ. මේ වන විට ඔහු සුවසෙත වෛද්‍ය ආයතනයේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.
මේ දිනවල ප්‍රසිද්ධියක් ලබා තිබෙන දැනට අලුත්ගම අධිකරණයේ විභාගයට ගැනෙන නඩුවක් සම්බන්ධයෙන් මේ පහර පහර දීම සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
පළාත් සභා මන්ත්‍රී සේනක පුත් දයාල් සේනක මෙම නඩුවේ විත්තියයි.”
චන්ද්‍රසිරි පුවත්පත් සටහන කියවූයේ මදක් උස් හඬින්ය. සේනක අසල වූ පුටුවක් මතට කඩා වැටුනේ දෙපා අවසඟව ගිය ලෙසය. ශ්‍රියාමාලා සිය කොපුලකට අතක් තබා ගත්තේ බියපත්වය.
“මූට මං කිව්වා මේ අන්තිම මොහොතේ ටිකක් ඉවසපන් කියලා. හැමදේකටම අපි දන්න තියරි හරියන්නෙ නෑ.”
එවර සේනක පැවසූයේ මද හඬකින්ය. තමා අසල බලා සිටින චන්ද්‍රසිරිත්, බිරිඳත් දෙස මාරුවෙන් මාරුවට බැලූ ඔහු පැවසූයේ ජනතාව කුපිත වුවහොත් කුමක් සිදුවේද යන්න පිළිබඳව සිතාගැනීමටවත් නොහැකි බවය.
“මේ නඩුව හාල් පොල් නඩුවක්වත්, ඉඩං නඩුවක්වත්, සිල් රෙදි බෙදපු නඩුවක්වත් නෙමෙයි අයිසේ..ගෑනියෙක් සම්බන්ධ නඩුවක්”
ශ්‍රියා මාලා අත වූ සේනකගේ දුරකථනය නාද වූයේ එවේලෙහිය. ඒ හඬට පවා ඔහු තිගැස්සුනේය.
“කවුද.”
“පුෂ්පානන්ද මහත්තයා.”
“එයත් මේ වෙලාවේ ගන්නේ මගේ ඔලුව කන්න. කෝ දෙනවකෝ..”
“මොනවද අයිසෙ මේ කරගන්න වැඩ. එකක් මදිවට..”
“අනේ පුෂ්පානන්ද මහත්තය දැන් බැනලා කෑ ගහලා වැඩක් නෑ. මමත් දන්නේ අද උදේ. මම මේ ඉන්නේ මොනවද කරන්නේ කියලා හිතාගන්න බැරුව.”
“මං ලෝයර් කෙනෙක් දෙන්නම්. ඌට කියනවා ඉන්න තැනකින් ඇවිල්ල පොලිසියට බාර වෙන්න කියලා. දැන් ඔතන ඌත් ඉඳලද..”
“නෑ මං හිතන්නේ..”
“එහෙනම් මං කියන විදියට වැඩ කරනවා. ඔය ඩිපෙන්ඩර් එකේ උන්නු හතර දෙනාටම පොලිසියට බාර වෙන්න කියලා කියනවා. යුගාෂ්ගේ වාහනය ඕවර්ටේක් කරන්න යද්දි යුගාෂ් ඉඩ දුන්නෙම නෑ කියලා කියනවා. ඒ නිසයි පාර හරස් කරලා වාහනේ නතර කළේ කියලා කියනවා. ‘ඇයි මහත්තයා එහෙම කළේ’ කියලා හොඳින් අහද්දි යුගාෂ් මුලින්ම එකෙක්ගේ කොලර් එකෙන් ඇදලා ගහන්න ගියා කියනවා. ඊට පස්සේ තමයි අපි ගැහුවේ කියලත් කියනවා. පුළුවන්නම් ඔහු හතර දෙනාට ගහලා යවනවා. ඇඟපතේ තැල්මවල් හිටින්න.”
“පොලිසිය පිළි ගනියිද…”
“පිස්සුද ඕයි..තමුසෙයි දයාලුයි ගැන දන්න පොලිසිය කීයටවත් ඔය කතාව පිළිගන් නෑ. ඒ උනාට ඇප ගන්න පුළුවන්”
“ඔබතුමා දෙයියෙක් ඈ…”
“සේනක උඹේ වහු පැටියට කියපන් මේ දවස් ටිකේවත් උම්බෑ කියන් නැතුව ඉදහන් කියලා. කොහොමත් මේ නඩුව අපි පරදිනවා. ඒකේ ආයෙ දෙකක් නෑ. මිනිස්සු උඹලට ගල් ගහන එක නවත්තන්න තමයි මම දැන් මේ උත්සාහ කරන්නේ..”
උස් හඬින් එසේ පැවසූ පුෂ්පානන්ද දුරකථනය විසන්ධි කළේය. ශ්‍රියාමාලා එක පිට එක දයාල්ගේ දුරකථනයට ඇමතුම් ලබාගත්තත් ඔහු ඊට පිළිතුරු සැපයූයේ නැත. එනිසාම ශ්‍රියාමාලා ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාට ඇමතුමක් ලබා ගත්තේය. ගේට්ටුවෙන් ඇතුලට දැමූ පොලිස් ජීප් රථය තෙමහල් නිවස ඉදිරිපිට නතර කෙරුණේ එවේලෙහිය.
****************
ස්කෑන් කිහිපයක් සහ එක්ස් රේ කිහිපයක් ලබාගත්තත් යුගාෂ්ගේ අභ්‍යන්තර තුවාල කිසිවක් වූයේ නැත. එනිසාම පසුදා දහවල වද්දී ඔහුට නිවසට යාමට හැකියාව ලැබිණි. රිදුම් දෙමින් තිබුණේ සීරීම් තුවාල හා තැලුම් පහරවල්ය.
වාහනය ගේට්ටුවෙන් ඇතුල් වෙද්දීම තමාරා ඉදිරියට දිව ආවාය. එකඳු තත්පරයක්වත් නිදි නොලබා රාත්‍රිය ගෙවී ගියේ බියෙනුත් සැකයෙනුත්ය. උදෑසන පුෂ්පානන්ද කතා කර පැවසුවේත් යුගාශ් කළුගලක ඔළුව ගසා ගත්තා සේ සිතන ලෙසය.
“අනේ පුතේ තුවාල නෑ කිව්වට මේ බලන්න මූණත් හැම තැනම තුවාල වෙලා. මේ අතපය, අනේ පුතේ නිල් වෙලා”
අපහසුවෙන් අඩිය තබා නිවසට ඇතුළු වූ තමාරා යුගාශ්ගේ මුහුණත් දෑත් දෙපසත් අතගාමින් පැවසූයේ හැඬුම් මුසුවය.
“තැල්මවල් තමයි ආන්ටි තියෙන්නේ. ටික දවසක් රෙස්ට් කරන්න කියලනං ඩොක්ටර් කිව්වා. මං කිව්වේ මූට අදත් හොස්පිට්ල් එකේම ඉන්න කියලා. ආන්ටි බය වෙනවා කියලා තමයි ඔය ආවේ.”
“අනේ පුතේ එක්ස්රේ, ස්කෑන්, මෙම සේරම නෝමල් නේද..”
“ඔව් අම්මා ඔව්… ගතපු හැම රිපෝර්ට් එකකම රිසල්ට් මං අම්මට වට්ස්ඇප් කලානේ”
“ඒ වුනාට පුතේ ඔයා දිහා බැලුවහම..බය හිතෙනවා”
“මේ හීරිම් තුවාල ටික දවසක් යනකොට නැතුවයයි අම්මා. ඇඟේ පතේ වේදනාවත් බෙහෙත් වලට අඩු වෙලා යයි.”
පංචාලිගේ කාරය ගේට්ටුවෙන් ඇතුළු වූයේ එවේලෙහිය. යුගාශ් ආලින්දයේම වූ පුටුවකින් අසුන් ගත්තේ තීක්ෂණගේ උදව්වෙන්ය.
“අනේ දුව ඔයාට කොහොම තෑන්ක්ස් කරන්නද කියලා තේරෙන් නෑ මට. ඔයා ඒ වෙලාවේ එතනට නොගියනං මොනවයින් මොනව වෙන්න තිබුනද..”
“ඒක සුළු දෙයක් ආන්ටි. වේදනාව චුට්ටක් හරි අඩුද යුගාශ්..”
“එහෙමමත් කියලා නෑ. ඩොක්ටර් කිව්වා දවස් දෙක තුනක් ගියාට පස්සේ හරියයි කියලා.”
“සේනකගේ පුතා ඇරෙස්ට් කරන්න පොලිසියෙන් ගිහිල්ලා කියලා මට අපේ තාත්ති කිව්වා.”
“අනේ මන්ද පුතා.. මේ දේවල් මේ මිනිස්සු මෙතනින් නතර කරයිද..ඇත්තමයි රස්සාව කියලා ඔයා මේ වගේ අවධානමක් ගන්න එකටනම් මම බයයි. මේවා සෙල්ලම් නෙමෙයි පුතා. මිනිස්සුන්ගේ ජීවිතය පිළිබඳව ප්‍රශ්න. ඔයාලා දෙන්නවත් මේ දරුවට තේරුම් කරලා දෙන්න උත්සාහ කරන්න.”
තමාරා නිවස තුළට ඇවිද ගියේ එසේ පවසමින්ය.
“දරුවනේ මම කෑම ලෑස්ති කරනවා. දෙන්නම කාල යන්න ඉන්න ඕනේ..”
ඒ අතරේම ඕ මදක් උස් හඬින් කෑ ගසා පැවසුවාය.
“යුගාශ් උන් දිගටම ඔයාට ඇටෑක් කරයි. මට කියන්න තේරෙන්නේ නෑ මොකක්ද කරන්න ඕනේ කියලා. මෙච්චර දුර ඇවිත් ඔයාට ආපස්සට හැරෙන්න කියන්න මටවත් තීක්ෂණටවත් බෑ. ඔයා බය නැතුව මේ සටන ඉස්සරහට ගෙනියනවනම් අපි දෙන්න ඔයා එක්ක ඉන්නවා. ඒත් අංක එක ඔයාගේ ජීවිතය. මොකද මේ අම්මට ඔයාව ගෙනත් දෙන්න අමායටවත් මේ රටේ මිනිස්සුන්ටවත් බෑ.”
“මං ආපස්සට හැරෙන්නෙ නෑ පංචාලි…”
යුගාශ් පැවසූයේ පංචාලි ඒ අයුරින් පවසා විනාඩි කිහිපයක් ගෙවී ගියාට පසුවය. ඒ හඬ ස්ථිර එකක් විය.
“හිතට එකඟව මට එහෙම වරදක් කරන්න බෑ. දැන් මං මේ රටේ නීතියට විතරක් නෙමෙයි, මිනිස්සුන්ටත් බැඳිලා ඉන්නවා. මිනිස්සු බලන් ඉන්නවා සාධාරණය ඉෂ්ඨ වෙනකල්”
අවසන තීක්ෂණක්, පංචාලිත් හිස වැනුවේ ඔහුට එකඟවය. මිතුරාගෙන් මේ පිළිතුර ලැබෙන බව ඔවුන් දෙදෙනාම දැන සිටියේය.
“මචං උඹට ගෙදර යන්න හදිසිද..”
“මොකක්ද වෙන්න ඕනේ…”
“හවසට පොඩි ගමනක් යන්න තියෙනවා. පැය බාගයයි ඕනේ. මං උඹව එහෙමම ගෙදරට ඩ්‍රොප් කරන්නම්.”
“මොකක්ද උඹේ පොඩි ගමන..”
“ඒක ගියාට පස්සේ බලහංකෝ..”
යුගාශ්ගේ ජංගම දුරකථනය නාද වූයේ එවේලෙහිය. එහි සටහන්ව තිබුණේ අපූර්වාගේ අංකයයි.
“මේ පේනවනේ අම්ම සැනසුවත් මේක සනසන්න බෑ. හවසට ගිහිල්ලා මූණ පෙන්නලම එන්න වෙනවා බං. නැත්තං උඹටයි මටයි දෙන්නටම ෆෝන් එකට උත්තර දෙනවා ඇරෙන්න වෙන කරන්න වැඩක් නැති වෙනවා..”
යුගාශ් දුරකථනය කන තබා ගත්තේ සිනහසෙමින්ය. තීක්ෂණ පංචාලිගේ මුහුණ බැලුවේත් ඇය තීක්ෂණගේ මුහුණ බැලුවේත් එකම වරකය. පුදුමය…ඒ දෑස් වල කඳුලක්වත් මුවෙහි අසරණ සිනහවක්වත් වූයේ නැත. ඒ වෙනුවට පංචාලි තීක්ෂණ දෙසට පා කලේ සොඳුරු හසරැල්ලකි.
( යළිත් හමුවෙමු ආදරයෙන්)