ඔබෙ ආදරෙන් මා දැවේ – 17

0
30

දික්කසාදය වෙනුවෙන් අතීතයේ හැරදමා ආ දෙනෙත් යුගලක ඉදිරියේ ආයේ විත් නතරවෙන්නට සිදුවේය කියා ජාන්වි කිසිම වෙලාවක හිතුවේ නැත. අනෙක් අතට අදටත් හිත ඉස්සරහට විත් හිත මහ ලොකුවටම රිද්දවන්න හේතුවෙන දෙනෙතක් ආයෙ තමන්ගේ ඇස් ඉස්සරහට ඒවි කියා තුරුණු හිතාගෙන උන්නේ නැත.

ජාන්වි ධර්මවර්ධනට අතීතයේ හැරදමා ආ තුරුණු මනහාර කුලරත්නව ආයෙ හමුවුනේ එලෙසින්ය.

තුරුණූ මනහාර කුලරත්නට අතීතයේ තමන්ව හැර දමා ගිය ජාන්වි ධර්මවර්ධනව හමු වුනේ එලෙසින් ය.

තුරුණුත් ජාන්විත් උන්නේ කිසිවක් කර කියා ගන්නට නොහැකි උනත් මේ වැදගත් කාර්‍යයකට ආ ගමනක් නිසාවෙන් එකිනෙකා වෙත ඇඳුනුම්කමේ වදන් හුවමාරු කරගන්නට හැකියාවක් දෙදෙනාටම තිබුනේ නැත. අනෙක් අතට තුරුණු උන්නේ ජාන්විව හැකි තරම් මග හරින්නට කටයුතු කරමිනි. අතීතයේ තමන් විසින් හිත රිදවන්නට හේතුවුන “මනහාර” නම් අවිහිංසක ගැමි තරුණයා “තුරුණු මනහාර කුලරත්න” නම් නීතීඥවරයා ලෙස තමන්ගේ දික්කසාද නඩුවේදීම මුණ ගැසේවි යැයි ජාන්වි බලාපොරොත්තු උනේ නැත.

එහෙත් ජාන්විගේ හිත රිද්දුවේ ඒ ඇත්ත කතාව නොවේ. ඒ ඇත්ත නිසාවෙන්ම තමන්ගේ දෙනෙත් මග හරින්නට දරන මනහාරගේ වෑයමයි.

“මනා මේ ජාන්වි. මගේ බැචෙක්. මං කිව්වෙ අර මලිත් මංචනායක කියලා සිංගර් කෙනෙක්ව මැරි කරලා ඉන්නෙ කියලා” මංජලී මනහාරට තමන්ව එලෙස හඳුන්වා දෙද්දී ජාන්වි උන්නේ පොළොව පලාගෙන යන ලැජ්ජාවකය. තමන් කිසිම දිනක ස්ව කැමැත්තෙන් කිසිවෙකුට මනහාර පිළිබඳව තමන්ගේ අතීත කතා කියා නැති නිසාවෙන්ම කැම්පස් එකේ යාලුවන්ගෙන් මනහාර ගැන දැන ගෙන උන්නේ පාරි පමණකි. ඇය කිසිවෙකුට ඒ ගැන කියන අයෙක් නොවන නිසාවෙන්ම ජාන්විට ඒ ගැන බයක් සැකක් තිබ්බේ නැත. මංජලී මේ කිසිම දෙයක් නොදැන තමන්ව ආයේ ඒ අතීත මතකයක් ඉස්සරහට අරගෙන ආවේ දෛවයේ සරදමක් විදියට නොවේද?

“ජාන්වි මනා ඇත්තටම අපේ අනුරුද්ධගෙ යාලුවෙක්. අනුරුද්ධයි මනායි දෙන්නම එකට ඉඳලා තියෙන්නෙ ලෝ ෆැකල්ටි එකේ. අනුරුද්ධගෙ පුරුද්දට මමත් ඉතින් මනා කියලා තමා ඉස්සර ඉඳල තියෙන්නෙ. අනුරුද්ධ කැම්පස් ගියේ තර්ඩ් ශයි උනාට මනා අපෙ වයසෙ.

ෆස්ට් ශයි දිස්ත්‍රික් රෑන්ක් එකක් දාලා ලෝ ෆැකල්ටි ආව එල කොල්ලෙක්. හැබැයි පුතේ මූට කෙල්ලො පේන්න නෑ. ඉස්කෝලේ යන කාලේ කෙල්ලෙක්ගෙන් ටොපියක් සෙට් වෙච්ච පාර මූට එදා ඉඳලා ගෑනු අරහං.

තුරුණු මනහාර කුලරත්න මහත්තයො ඕන් මේ තමා ඔබතුමාගෙ අලුත්ම සේවාදායිකාව ජාන්වි ධර්මවර්ධන. 

මූ පිළිගත්තෙම නෑ ජාන්වි මං කිව්වම මගෙ යාලුවෙක් කසාද බැඳලා ඉන්නෙ මෙහෙම අප් කමින් සින්ගර් කෙනෙක් කියලා. කොටින්ම මූ මලිත් කාරයව දන්නෙත් නෑ. ඩිවෝස් එකක් වගේ සෙන්සිටිව් දේකට පිට එකෙක් ගාවට යන්න ඕන නෑනෙ අපේ එකෙක් ඉද්දි. ඒකයි මනා මම ජාන්විව ඔයා ළඟටම එක්කරගෙන ආවෙ” කියා කියද්දිත් ජාන්විත් මනහාරත් උන්නේ දහසක් දේ සිත අස්සෙන් හිතමින් උනත් දෙතොල් ගොලුකරගෙනය. ඒ කතාව පුරාවටම ජාන්වි මනහාර දිහා බැලුවද මනහාර එක තප්පරයකටවත් තමන් දිහා බලන්නට කාලෙ වෙන් නොකල බව දැක්ක එකම ජාන්විගේ ජිත හීනියට ආයෙ ආයෙ රිද්දුවාය.

“අනේ එහෙම ඇඳුනුම්කමකට කියල නෙවෙයි…මං පේ…”

“නෑ නෑ මං මේ සල්ලි බලාගෙන ගෑනුන්ව එයාලා දැන දැනම වැටිච්ච වලවල් වලින් ගොඩ අරගෙන දෙන්නෙ නෑ. මං එහෙම කරන්නෙ මගෙ මනුස්සකමයි යුතුකමයි හන්දා” කියා ජාන්වි කියද්දී ඒ කතාව අතරමග නතර කර දමා තුරුණූ මගින් වචන විසික් කලේ තමන්ට රිදවන්නට බව ජාන්විට තේරුම්ගන්නට බැරි උනා නොවේ.

“දැන දැනම වැටිච්ච වලක්” කියා මේ කියන්නේ තමන් ගැන බවත්, තමන් අතීතයේ ඔහුව හැරදමා ආ වරදට ඔහු තමන්ට රිද්දන්නට කටයුතු කරන බවත් තේරුම් ගන්න ජාන්විට අපහසු උනේ නැත.

“මූ ඔය වගේ අපබ්‍රංස කතා කියනවා ජාන්වි. ඔයා ගණන් ගන්න එපා.මහන වෙන්නනෙ ඉන්නෙ මිනිහා රිටයර් වෙච්ච දවසක. මේ මම ඉස්සරහා ඩිල්මා එකට පොඩ්ඩක් ගිහිල්ලා එන්නම්. ඔයාලා දෙන්නා වැඩේ කතාරගන්න හොඳේ” කියා මංජලී දෙදෙනාටම අත වනා යද්දී තුරුණුත් ජාන්විත් ඇත්තටම උන්නේ හිතට ඔහේ වේගයෙන් වේගයෙන් ගැහෙන්නට ඉඩ දීය.

අතීතයේ හැරදමා ආ සමහර මිනිසුන් වර්තමානයේ දවසක හමු වූ විට කිසිදු බියක්, සැකයක්, වේදනාවක් හෝ විචිකිච්චාවක් නොමැතිව මුහුණ දෙන්නට පුළුවන් අය ඉන්නේ කීයෙන් කී දෙනාද? ජාන්විත්, තුරුණුත් අයත් වූයේ ඒ කුලකයට නොවේ. තනි වූ වර්තමානයේ මොහොතක දෙදෙනාගේ දෙනෙත් දෙස බලන්නට බැරි තරම් අතීතයක් ඔවුන්ගේ සිත් පාරමින් තිබුණී. 

සැබැවින්ම ජීවිතය මහ පුදුම දෙයකි. එකල සිතින් අත් හැරිය නොහැකි වූ පුද්ගලයන්, වර්තමානයේ දිනක හමුවූ විට කිසිදු හැඟීමක් නොමැතිව සිටින්නට පුළුවන. එසේත් නැතිනම්, අතීතයේදී සිත ඉල්ලා හඬා වැටුණු පුද්ගලයා, අද දින දකින විට සිත විසින්ම ප්‍රතික්ෂේප කරනු ලබන අවස්ථාද ඇත. 

සැබැවින්ම, කාලය සියලු තුවාල සුව කරන බව කීවද තමන්ගේත් තුරුණුගේත් හිත අස්සේ තිබුණ තුවාල සනීප වී නැති බව ජාන්විට තේරුණේද මේ මොහොතේය.

“වාඩිවෙන්න” කියා තුරුණු කියද්දී ජාන්වි ඒ ඇරයුම පිළිගෙන තුරුණු ඉස්සරහා වූ අසුනේ වාඩි ගත්තාය. මේ ඒ තුරුණුම බව මතක තිබ්බද එදා දුටු ඉතා පිළිවෙලට කොණ්ඩය සහ රැවුල කපා, රැල්ලක්වත් නැතිවෙන්නට මැද්ද කමිසයක් ඇද්ද කොල්ලාට වඩා මේ මිනිසා වෙනස් බව ජාන්වි නුදුටුවා නොවේ. ඒ සියල්ල පස්සේ තාමත් ඔහුව හැරයන්නට බැරි වූ වේදනාබර සිතුවිල්ලක් තිබෙන්නට හැකි බව ජාන්විට හිතුනේ ඒ එක්කමය.

“දැන් මේ ඔයාගෙ හස්බන්ඩ් ගෙන් ඔයා ඩිවෝස් වෙන්න යන්නෙ මොකක් නිසාද කියල මට ආයෙ පැහැදිලි කරලා කියන්න. මංජලී කිව්වට මම කැමතියි ඔයාගෙන්ම දැනගන්න වෙච්ච දේවල්” කියා තමන් දිහා එක එල්ලේ බලාගෙන ඉද්දීත් ඒ දෙනෙත් අස්සෙන් ඔබ්බට තිබෙන හිත අස්සේ “ජාන්වි” කියා කෙනෙකුට ආදරය කල “මනහාර” කෙනෙකු නොමැති බව ජාන්විට තේරුණාය. එහෙත් මේ වනාහී ඒ අතීත සිතුවිලි අස්සේ කිමිදෙන්නට මොහොතක් නොවේ. මේ වර්තමානයය. හිත රිදවන, ඉරන, පෙලන වර්තමනායය.

“ඔව්, නෑ කිසිම ඩොමෙස්ටික් වයලන්ස් දෙයක් නෑ”

“එහෙනම් ඩව්රි එක ඉල්ලල ඉන්ලෝව්ස් ලා වද දෙනවද?”

“අනේ නෑ, එහෙම එකකුත් නෑ”

“එහෙනම් ඇත්තටම උනේ මොකද්ද? අනියම් සම්බන්ධතාවයක්ද? එයාගෙ එහෙම නැත්තම්…” කියා මනහාර වචන එතනින් නතර කරද ඒ නොකී වචනය තමන් ගැන බව තේරුම්ගන්න ජාන්විට හැකි ය.

“නෑ එහෙම දෙයක් නෙවෙයි. ඒත් එහෙම වගේ දෙයක්”

“ඒ කිව්වේ?”

“මලිත්ට වෙන අෆෙයාර්ස් කීපයක් තියෙනවා. ඒත් මට ඒවා එලියට ඇදලා ඩිවෝස් එක ගන්න ඕන නෑ”

“ඇයි ඒ?”

“මොකද මම එයාව මැරි කරේම එයා එහෙමයි කියලා දැනගෙන” කියා ජාන්වි කියද්දී තුරුණු තප්පර ගණනකට ගැස්සූන බව ඇත්තකි. ඒ ගැස්සුනේ තුරුණු මනහාර කුලරත්න නීතිඥවරයා නොවන බවත්, අතීතයේ ජාන්විට පණ සේ ආදරය කරන්නට යෙදුනා වූද යෞව්වනයෙකි.

“මම මලිත්ව මැරි කරද්දිත් මම දැනන් උන්නා මලිත් මෙහෙම කෙනෙක් කියලා. මං හිතුව එයා වෙනස් වෙයි කියලා. අන්තිමේ එයා එහෙම නොවෙන තැන මම එයා වෙනුවෙන් වෙනස් වෙන්න හිතුවා”

“ඔයා වෙනස් වෙන්න හිතුවා එයා වෙනුවෙන්?” කියා තුරුණු අහද්දී ජාන්වී හිස වැනුවේ “ඔව්” කියන්නටය.

එහෙත් තුරුණුගේ දෙතොල් මතට නොආ “එහෙම මනුස්සයෙක් වෙනුවෙන් එච්චර දෙයක් කරපු ඔයාට මං වෙනුවෙන් නතර වෙන්න බැරි උනේ ඇයි මැණිකෙ?” කියා පැනයක් අතීතයේ හදවත මැදට විත් වැදුන පිහි පහරක තුවාලයකින් තවමත් මැරෙන්න පන අදිමින් ඉන්න ඉස්කෝලේ යන කොල්ලෙකු ඇසූ බව ජාන්විට ඇසුනේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here