ප්‍රේමයේ අභිමන් – 44

ඊළඟ දෙතුන් දින අනන්‍යා යළි පිටව යාම සඳහා සූදානම් වීමේ කටයුතු වලට වැය විය. අපරාජිතා ඈ වෙනුවෙන් මාළු ඇඹුල් තියල්, චිකන් ඩෙවල්, බටු මෝජු, සිංහල අච්චාරු වැනි කල් තබා ගත හැකි ආහාර වර්ග කිහිපයක් සූදානම් කළා ය. ගුවන් ගමනට පෙර දා අරවින්ද සමග දිවා ආහාර ගැනීමට අපරාජිතා ගේ අදහස මත අනන්‍යා එකඟ වූවා ය.

තාත්තා හදිසියේ වයස් ගත වී ඇතිවා සේ අනන්‍යා ට දැනිණ. ඔහු ගේ මුහුණේ මාංශ පේශීන් වල එල්ලා හැලෙන ස්වභාවයක් ඇය ප්‍රථම වතාවට දුටුවා ය. ඒවා මේ ඊයේ පෙරේදා ඇති වූ අසනීප තත්වය මත හට ගත් වෙනස්කම් ද නො එසේ නම් මීට කලින් සිට පැවති ඒවා දැයි සිහිපත් කර ගන්නට ඇය උත්සාහ කළ ද ඵලක් නොවිණි. අඩු තරමින් නිවාඩුවට ලංකාවට පැමිණීමෙන් පසු කිහිප වතාවක් ඔහු හමු වී ද එවැනි මතකයක් ඇය ට නැත. ඇතැම් විට මීට පෙර ඇය හොඳින් තාත්තා දෙස බලා නැති විය හැකි යයි අවසන අනන්‍යා තීරණය කළා ය.

එදා අරවින්ද ගේ ඇස් වල ශෝකී පෙනුමක් විය. විශාධය ද මත් පැන් වලට අධික ලෙස නැඹුරු වීම ද කායික අසමතුලිතතා ද නිසා ඔහු ගේ ඇස් වල වෙහෙසක් දියවී තිබිණ. වෙනදාට වැඩිය සුදු ඉංගිරියා රත් පැහැයකට හැරී තිබිණ. නමුත් අනන්‍යා වෙනදාට වඩා ඔහු සමග සතුටින් කතා බහ කිරීම අරවින්ද ගේ සැනසුමට හේතු වී තිබිණ.

“මොන මොන හේතු නිසා හරි අපිට එක පවුලක් විදිහට ජීවත් වෙන්න බැරි වුණා තමයි. ඒ වුණත්…අම්මි කියනව වගේ…ඒකට අපි අපිටම දොස් කියාගෙන වැඩක් නෑ කියල මං තේරුං අරං ඉන්නෙ තාත්ති. අපි කාටත් උරුම වෙච්ච ජීවිතයක් තියනව. තාත්තිගෙ අලුත් ජීවිතේට වුණත් වෛර නොකර ඉන්නව කියල හිතාගෙනයි මං මේ පාර යන්නෙ”

දිවා භෝජන ගන්නා අතරේ දී අනන්‍යා සිය අවංක හැඟීම් අරවින්ද ඉදිරියේ විවර කළා ය. 

“මට දැං ඕන අම්මි වගේ කෙනෙක් වෙන්න. එහෙම වුණා කියල අම්මිටත් ලැබුණ දෙයක් නෑ තමයි. ඒත් අඩුම ගානෙ එයා සාමකාමී හිතකින් සිද්ද වෙන දේවල් දිහා බලං හරි ඉන්නව. පුංචි දේකින් හරි සතුටු වෙනව. ජීවත් වෙන්න ඕන සැප නෙවෙයි සතුටයි සැනසීමයි කියල අම්මි ඔප්පු කරල පෙන්නල තියනව. මං හිතනව මටත් ඒ පාරෙ යන්න පුළුවන් කියල. ඒක තමයි සැනසිල්ල හොයා ගන්න පුළුවන් පාර”

සිය පුංචි දියණිය මේ තරම් පරිනත දෘෂ්ටියකින් ලෝකය දකින්නට පටන් ගත්තේ කවදා සිට දැයි අරවින්ද පුදුමයෙන් සිතුවේ ය. ජීවිතය ගැන දුහුවිලි පොදක බරක් නැතිව ඇති දැඩි වූ දියණියට නිර්වාණ මාර්ගයක් අවැසි වූයේ කෙසේ ද? ඔහු නැවත විවාහ වීම ඇගේ ජීවිතය උඩු යටිකුරු කරන්නට මුල් වූ හේතුව ද?

“තාත්ති වැඩිය තෙල් කන්න එපා”

අරවින්ද සිය පතට තවත් චිකන් ඩෙවල් හැන්දක් බෙදා ගනිත්දී අනන්‍යා අවධාරණය කළා ය. අභ්‍යන්තරයෙන් අරවින්ද තිගැස්සී ගියේ ය. දික්කසාදය ට පෙර ගෙදර කෑම මේසයෙහි හිඳ කෑවොත් අපරාජිතා මේ හා සමාන කතාවක් කියන්නට අමතක නොකළා ය. අනන්‍යා වෙනුවෙන් පිළියෙල කළ තෙල් සහිත අහර දීසියක් ඇතැම් විට ඇය අරවින්ද ගෙන් ඈතට කළා ය. සමහර වෙලාවට ඒ ගැන පුදුම කේන්තියක් හිතට දැනුණත්, ළඟින් ඉන්නා මිනිසුන් සිය අයහපත ප්‍රාර්ථනා නොකරන බව දැන් ඔහු දනී.

අනන්‍යා ගේ ප්‍රකාශය වෙනුවෙන් අරවින්ද මුවගට සිනහවක් එක් කර ගත්තේ ය. එය ආදරය තැවරුණ තරවටුවකි. අනන්‍යා මේ හදිසියේ අපරාජිතා ගේ කපාපු පළුවක් වූයේ කෙසේ ද?

“එදත් තාත්ති අසනීපයි කිව්වම අම්මි කියෙව්ව. හොඳ නැති දේවල් ම කනව ඇති කියල. මතක ඇතුව ප්‍රෙශර් චෙක් කර ගන්න නිතරම. කොලෙස්ටරෝල් වලට ලිපිඩ් ප්‍රොෆයිල් එකක් කරව ගන්න මාස තුනකට හතරකට සැරයක්වත්. ඉස්සරනං අම්මි ඕව වෙලාවට මතක් කරනවනෙ. අනික පැණිරස කන්න එපා. ඕනවට වඩා ඩ්‍රින්ක්ස් ගන්නත් එපා”

“වැඩිම වුණොත් මැරෙන එකනෙ පුතේ”

අරවින්ද  එහෙම කීවේ සිනහවකිනි. නමුත් ඒ සිනහවෙන් වසා ගෙන තිබුණේ ඉකි බිඳුමක් ය යන්න ය ඇත්ත කතාව! 

“මැරෙන එක ගැන සිම්පල් විදිහට කතා කරන්න අපිට පුළුවන්. ඒත් ඒක කොච්චර අමාරු දෙයක්ද කියල දැනෙන්නෙ අපි වටේ ඉන්න අයට. මං වෙනුවෙන් තාත්තිගෙ මෙඩිකල් චෙකප්ස් රෙගියුලර්ලි කර ගන්න ඕන තාත්ති. කෑමෙනුත් පරිස්සං වෙන්න ඕන. ප්‍රොමිස් මී…”

අනන්‍යා සිය සුරත පෑවා ය. අරවින්ද පපුවේ බර ගතියකින් යුතුව ඇගේ රෝස පාට සිනිඳු අත්ල අල්ලා ගත්තේ ය. ඇය හා කියන්නට දේවල් ගොඩක් සිය හදවත තුළ වන බව අරවින්ද දනී. නමුත් ඒ එකක් හෝ කියා ගන්නට ඔහු ට හැකියාවක් වූයේ නැත. අඩු තරමින් පරිස්සමෙන් ඉන්න කියා හෝ දියණියට කියන්නට තිබුණා නම් හොඳ යයි ඔහු ට කොතෙකුත් සිතිණ. නමුත් කියා ගන්නට බැරි ලෙස පපුව ද උගුර ද මුව ද හිර වී තිබුණේ ය.

“මං ගැන වොරි වෙන්න එපා තාත්ති. කොහොමත් මං ආයෙ නරක ළමේක් වෙන්නෑ. මට මාර ජෙලසි ෆීලින් එකක් තිබුණ…අපේ පවුල බිඳිල විසිරිල ගිහිං…ඔයා වෙන කාටවත් අයිති වෙලා…ඔයාගෙ ලෝකෙ අම්මාට විතරක් නෙවෙයි මට අයිති වෙලා තිබුණ තැනත් වෙන අයට අයිති වෙලා කියල දැන ගන්නකොට මං පිස්සු වැටුණා. ඒ ඔක්කොම තේරුමක් නැති ෆීලිංස් කියල දැන් මං දන්නව. හැම මනුස්සයෙක්ම ජීවත් වෙන්න ඕන. හැම මනුස්සයෙක්ම තමන් විශ්වාස කරන සතුට කියන දේ එක්ක ජීවත් වෙන්න ඕන. සමහර විට අම්මි එක්ක ගෙවපු ජීවිතේට වඩා දැන් තාත්ති සතුටෙන් ඇති. අම්මි කියනව වගේ වෙන්න ඕක ඒකයි. මමත් ට්‍රයි කරනව පුළුවන් තරං සතුටෙන් ඉන්න. ඒ වගේම මගෙ ජීවිතේ පර්පස් එකක් ඇතුව ගත කරන්න. අම්මි චූටි ගහක් හිටෝලත් පුදුම සතුටක් විඳිනව. අර තාප්ප වල කැලේට වැවෙන ෆර්න්සුයි දිය සෙවලයි ගලෝ ගලෝ…තාත්ති වගේ අය හිනා වෙන්න පුළුවන්…හැබැයි අම්මි ඒකෙන් මාර සතුටක් ලබනව. ඒ වගේමයි එයාට ඒව හරියට කළොත් සෑහෙන්න අර්න් කරන්න පුළුවන්. මාකටින්..ඇඩ්වටයිසින්…මැනේජ්මන්ට් වගේ දේවල් ඉගෙනගෙන ආවට පස්සෙ මටත් හිතෙනව ඒ වගේ සතුට ගේන දෙයක් තෝරගෙන කරනව කියල. එක එක මිනිස්සු එක එක විදිහටයි සතුටු වෙන්නෙ. එයාලට හම්බ වෙන්නත් ඕන ඒ සතුටට ක්ලැප් කරන්න පුළුවන් අය. තාත්ති රොෂෙල්ව…සොරි..රොෂෙල් ආන්ටිව තෝර ගත්තෙ ඔයාගෙ බිස්නස් වලට එයාගෙන් මාර දෙයක් වුණ නිසානෙ. එහෙම තමයි තාත්ති ජීවිතේ…මේ ටික දවසට මං හුඟක් දේවල් තේරුං ගත්තා. හුඟක් දේවල් ඉගෙන ගත්තා. මට මේක යන්න ඉස්සෙල්ල තාත්තිට කියන්නම ඕනෙ. ඒ ඔයා එක්ක මං තරහ නෑ කියන එක. ඔයත් සතුටෙන් ඉන්නයි ඕනෙ. මාත් සතුටෙන් ඉන්නයි ඕනෙ. අම්මිත් සතුටෙන් ඉන්නයි ඕනෙ. එකට බැරි නං අපි වෙන වෙනම හරි සතුටෙන් ඉන්න බලමු. එක රික්වෙස්ට් එකක් තියෙනව. අම්මි හුඟාක් දේවල් දරා ගත්ත ගෑනියෙක්. ඒක හොඳටම දන්නෙ මං. ඇස් වලම කඳුළු චප්ප කරගෙන එයා හිනා වෙන්න හදපු හැටි මං තරං දැක්ක වෙන කෙනෙක් නෑ. එයා දුක් වින්දා ඇති තාත්ති. ඔයා සැරෙන් සැරේට එයාගෙ තුවාල පාරන්න එපා. මාත් එයාගෙ මූණට හිනාවක් විතරක් දෙන්න හිතාගෙනයි මේ ගමන යන්නෙ. වෙන නංගිල මල්ලිල ආවට පස්සෙ තාත්ති මට ආදරේ නැති වෙයිද කියන්න මං දන්නෙ නෑ. අම්මිනං කියන්නෙ තව කී දෙනෙක් ආවත් මං තාත්තිගෙ ලොකු දුව කියල. ඔයාගෙ ලොකු දුව මේ ලෝකෙ හැම දේකටම වඩා ඔයාට ආදරෙයි තාත්ති”

එතෙක් කඳුළ හිර කර ගෙන ද ඉකිළුම දරා ගෙන ද කතා කර ගෙන ගිය අනන්‍යා ට තවත් වාවා ගන්නට බැරි විය. සියලු බැමි හා වාරණ පුපුරා ගොස් ඇයට ඉකි ගැසී හැඬිණි. අරවින්ද එහෙම ම ඇය ව සිය උරයට වාරු කර ගත්තේ ය. ඔහු ගේ ඇස් වලින් ද කඳුළක් ගිළිහුණ අතර ඔහු සිය ඇඟිලි වලින් ඇස් මිරිකා හැරියේ ය. අනන්‍යා දෑතින් ම තාත්තා ව බදා ගත්තා ය. ඒ හැඟීම් ප්‍රවාහය ඉක්මනින් තරණය කරනු රිසියෙන් අරවින්ද අනන්‍යා ගේ උරහිස පිරිමැද්දේ ය.

“ඔයාගෙ වියදං වලට මං ඇති තරං සල්ලි ඩිපොසිට් කරල තියෙන්නෙ. ගිය වැඩේ හරියට කරං එන්න මගෙ මැණික. හෙට මට එයාපෝට් එන්න බැරි වෙයි. මං ඔයාට කෝල් කරන්නං”

සමු ගන්නට පෙර අරවින්ද සිය දියණියට කීවේ එපමණකි. ඔහු වැඩිපුර කතා නොකළ එක ගැන අනන්‍යා සතුටු වූවා ය. කොහොමත් තාත්තා අම්මා වාගේ හැඟීම් කතා කරන්නට දන්නේ නැති බව අනන්‍යා දනී. ඔහු ආදරය ප්‍රකාශ කරන්නේ දැඩි ව  ඒ හැඟීම් හදවත තුළ ම ගල් කර ගෙන ය.

අපරාජිතා මඳහසකින් ම සිටියා ය. ඇය අනන්‍යා ගේ ඇඳුම් බෑග් ඇසිරුවේත් කෑම ඇසිරුම් කළේත් ඒ සව්මිය බවිනි. ගෙදර සිටින කාලේ හැමදාමත් කළා සේ දියණිය ගේ නියපොතු කැපුවේත් ඇය ම ය.

“අම්ම තොඳොල් කළාට උඹ දැන් පොඩි ළමයෙක් කියල හිතන්න එපා. තමන් ගැන වගකීමක් ඇතුව වැඩ කරපන්”

දේශිකා අනන්‍යා ට තදින් කියා සිටියා ය. අනන්‍යා ව ගුවන් තොටුපලේ සිට ගෙන ආවා සේ ම ආපසු ගොස් ඇරලවන්න ද සූදානම් ව සිටියේ අපරාජිතා හා දේශිකා ය. එදා රාත්‍රියේ සසංක ද අනන්‍යා ට සමු දෙනු වස් මතු මහලට පැමිණියේ ය. 

“ඔයත් එනවද එයාපෝට්…”

කියා අනන්‍යා විසින් සසංක විමසනු ලැබූවේ ඒ වෙලාවේ ය. ඔහු තරමක් විපිළිසර වූයේ එවන් ඇරයුමක් කොහෙත් ම බලාපොරොත්තුවෙන් නො සිටියා වූ බැවිනි. 

“තාත්තිට එන්න වෙන්නෙත් නෑ කිව්වා. ඒකයි මං ඇහුවෙ”

අපරාජිතා හා දේශිකා මුහුණෙන් මුහුණ බලා ගත්හ. 

“හරි මං එන්නං”

සසංක වහා එසේ කීවේ අනන්‍යා ගේ හිත තුළ හිස්කමක් ඇති වීමේ කිසිදු ඉඩක් නො තිබිය යුතුය කියා ක්ෂණික ව තීරණය කර සිටි බැවිනි. තව දුරටත් නිවාඩු ගත නො හැකි බව ඔහු දැන සිටියේ ය. නමුත් අනන්‍යා ගුවන් තොටුපල තුළට ඇතුළු විය යුතුව ඇත්තේ උදෑසන වන නිසාවෙන්, ඒ කටයුතු අවසන් කොට තරමක් පමා වී හෝ කාර්යාලයට යන්නට ඔහු හිතා ගත්තේ ය.

පිට ව යාමේ පර්යන්තයේ දී අනන්‍යා අපරාජිතා ව ද දේශිකා හා සසංකව ද වැළඳ සමු ගන්නට සූදානම් වූවා ය. අරවින්ද ගෙන් දුරකතන ඇමතුමක් ආවේ ඒ වෙලාවේ ම ය.

“ඔක්කොම හරි නේද පුතා…”

ඔහු ආදරයෙන් භරිත හඬකින් විමසී ය.

“හරි තාත්ති. දැන් මං ඇතුළට යන්න හදන්නෙ”

“හරි එහෙනං. පරිස්සමට යන්න. ෆ්ලයිට් එක ලෑන්ඩ් කරපු ගමං අම්මිටයි මටයි කෝල් කරන්න”

“ඕකේ තාත්ති”

“මට එයා පෝට් එකට එන්න බැරි වුණ එක ගැන මිස් අන්ඩස්ටෑන්ඩ් කරන්න එපා පුතා”

“නෑ තාත්ති. මං දන්නව ඔයා බිසී කියල”

“දැන් සතුටෙන් ඔය ගමන යන්න. අපි පස්සෙ කතා කරමු”

“පරිස්සමෙං ඉන්න තාත්ති”

අපරාජිතා ඉවත බලා ගෙන සිටියා ය. අරවින්ද රොෂෙල් සමගින් ගැබිණි සායනයකට යනවා විය යුතු යයි ඇය ට සිතිණ. නැත්නම් ඔහු අනන්‍යා ට සමු දෙන්නට නෑවිදින් හිඳින්නේ නැත. සසංක දෑත් කලිසම් සාක්කු වල බහා ගෙන දිළිසෙන පොළොව මත ඔබ මොබ සක්මන් කළේ ය.

“හරි එහෙනං. ඔක්කොමල පරිස්සමෙං සතුටෙන් ඉන්න. ඊළඟ වැකේෂන් වෙනකල් මට ඉවසිල්ලක් නෑ. අම්මිව බලා ගන්න ඕන හරිද…”

අනන්‍යා ඒ අන්තිම වාක්‍ය කීවේ සසංක දෙස බලා ගෙන ය.

“ඈ බොල”

දේශිකා දෑත් ඉණට ගත්තා ය.

“ගිය සැරේ යනකොට උඹ ඕක මටනෙ කියල ගියේ”

“ඉතිං මේ සැරෙත් ඔය දෙන්නටම තමයි කිව්වෙ. ඒත් ළඟම ඉන්නෙ සසංක අංකල්නෙ”

“ඒකත් එහෙමද…”

අනන්‍යා සමු ගෙන යන අන්තිම මොහොත සිනහවෙන් ගැවසී ගත්තේ ය. ඇය නොපෙනී යන තුරු ම එතැන රැඳී උන් තිදෙන හැරී ආවේ අවසාන වරට අත වැනීමෙන් පසු ඇය නොපෙනී ගිය පසු ය. 

මුල් වතාවේ අනන්‍යා සමු ගෙන ගිය මොහොතේ දැනුණාටත් වැඩි පාළුවක් මේ මොහොතේ අපරාජිතා ට දැනෙන්නට විය. ඇනෙක්ස් එකක සීමිත සම්පත් ඇතිව ඈ හා රැඳුණු මේ කෙටි කාලය, වසර දහ හතක් තුළ ඇති කොට නො තිබුණා වූ සමීප බවක් උනුන් අතරේ ඇති කරවී ය. නමුත් ඇය සිය ඇතුළු හද ගැබ දෙසට යොමු වීමෙන් ශෝකය තුනී කර ගත්තා ය. කවර වියෝවක දී වුව බිම බලා ගෙන හිත සන්සුන් කර ගන්නා තත්වයකට, එක්තරා යුගයකදී ගැහැනු හිතක් එළඹේ. අපරාජිතා මේ එළඹ සිටින්නේ ඒ අවස්ථාවට ය. 

අනිත් අතට සමු ගැනීමක් කියන්නේ ශෝකයක් ම ය. නමුත් හමු වන්නට නම් වෙන් ව යා යුතු ම ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles