“ඔයා තේ බොනවා ඇතිනෙ. මේ ඔෆිස් එකේ තේ හදන්න තැනක් නෑ. කාටහරි තේකක් දෙන්න ඕන උනාම මම කරන්නෙ මේ ඉස්සරහා කඩෙන් තේ අරගෙන එන එක” කියා තුරුණු විනිවිද පේන වීදුරු කෝප්පයක දැමූ කිරි තේ එක තමන් ඉස්සරහ මේසය උඩින් තියද්දිත් කොලඹ අහස තිබුනේ දරුණු වැස්සකට අර අදිමිනි. කොහොමත් මේ වහින මාසයක් නිසාවෙන් වැස්සක් වහින එකේ මහ අමුත්තක් ජාන්විට දැනුනේ නැත. තුරුණුගේ කාර්‍යාලය පිහිටා තිබුනේ විසල් නුග ගසක් යට සෙවනේ හන්දා එතන අසුනක වාඩි වී, තේකක් බොන ගමන්, වැස්සකට අර අදින අහසත්, හවස් වරුවක කලබලයට සම්ප්‍රාප්ත වී සිටින මිනිසුන් දෙසත් බලාගෙන ඉන්න එක විනෝදයක් බව ජාන්විට හිතුණාය.
“මේ ඔෆිස් එක ඔයාගෙමද?” කියා ජාන්වි අහද්දි තුරුණු උන්නේද තමන්ගේ අසුනේ වාඩි වී තේකක් තොල ගාන ගමන් කාර්‍යාලයෙන් එහා පැත්තේ පාර දිහා කාර්‍යාලයත් පාරත් වෙන් කරන වීදුරුව හරහා බලාගෙන ඉන්න එකය.
“මගේ කියන්නෙ මමත් රෙන්ට් අවුට් කරලා තියෙන්නෙ”කියා කියද්දිත් ජාන්වි තුරුණු දෙස බැලුවද තුරුණු උන්නේ එක තප්පරේකට ජාන්වි දිහා බලා අනතුරුව තම බැල්ම ඈගෙන් මුදවාගෙන නැවත පාරේ කලබලය වෙත අලවාගෙනය.
තුරුණු මේ සියලුම විදි වලින් වෑයම් කරන්නෙ තමන්ගෙන් ඈත් වී හිඳින්න බව හිත කීම හිත රිදෙන්න හේතුවක් උනද තුරුණුගේ පැත්තෙන් එසේ කිරීමේ කිසිත් වරදක් නැති බව ජාන්වි දැනගෙන උන්නාය. අනෙක් අතට ඇය එය පිළිගත්තාය.
යමෙකුගේ සිතක හැඟීම් යනු, කම්මැලිකම ඇති වූ විට රැගෙන සෙල්ලම් කර, විනෝදය අවසන් වූ විට අත්හැර දැමීමට හැකි සෙල්ලම් බඩුවක් නොවන බව අතීතයේ තමන් නොදැන උන්නද දැන් තමන් ඒ බවත්, එයින් රිදෙන තරමත් අත්දැකීමෙන්ම දන්නා නිසා ජාන්විට නැවත වරක් තුරුණුගේ සිතුවිලි සමග සෙල්ලම් කරන්නට, ඒ හැඟීම් පරීක්ශා කර බලන්නට හෝ කිරා මැන බලන්නට උවමනා උනේ නැත. ඒ හැඟීම් යනු විශ්වාසය, බලාපොරොත්තුව සහ සංවේදීත්වය යන සියුම් නූල්වලින් වියන ලද බිඳෙනසුලු දෙයක් බවත් එම නූල් වරක් කැඩී ගිය විට, ඒවා යළිත් මුලින් තිබූ තත්ත්වයට පත් වීම සිදුවන්නේ ඉතාම සෙමෙන් බවත්, එක සහමුලින්ම ප්‍රතිසංස්කරනය වන්නේ කලාතුරකින් බවත් ජාන්වි මේ වෙද්දී හොඳාකාරවම ඉගෙන ගෙන උන්නාය. සිතකට පළමු වරට රිදවූ විට, එය සලකුණක් ඉතිරි කරන බවත් දෙවන වරට, එය කිසිදාක සැබවින්ම සුව නොවන තුවාලයක් ඉතිරි කරන බවත් දන්න හන්දාම ජාන්වි තුරුණුව පිළිගත්තේ අලුත් මුහුණුවරකිනි.
“ඔයා කොළඹ කොහෙද නතර වෙලා ඉන්නේ? ගෙයක් අරගෙනද?” කියා ජාන්වි අහද්දී තුරුණුගේ කටෙන් එකපාර සිනාවක් පැන්න බව ඇත්තකි. ඒ වනාහී සමච්චල් සහගත හිනාවකි. අතීතයේ රිදවුම් ඕනවටත් වඩා තදින් ඇඳුණු සිනාවකි. පිහි පහර දහසකට වඩා වේගයෙන්ද, වේදනාවෙන්දා ජාන්විගේ හිත රිද්දන්නට හේතු වුණ සිනාවකි. ඒ සිනාව අස්සේ ඇඳී තිබුණේ “තමුසෙ බොරු ආදරයක් පෙන්නලා මං යන්න උන්න පාර විනාස කරලා දැම්මෙ නැත්තම් මම දැන් ඉන්නෙ කොළඹ මගෙම ගේක තමයි ඕයි. එහෙනම් මගෙ අම්මා අප්පච්චිට ඒ මිනිස්සුන්ට පරම්පරාවෙන් ලැබිච්ච ඉඩකඩම් විකුනලා මට බෙහෙත් කරලා නට්ටම් වෙන්න වෙන්නෙ නෑ. එහෙම තැනකට මාවයි මගෙ ගෙදර මිනිස්සුන්වයි ඇදලා දාපු ගෑනි දැන් ලැජ්ජ නැතුව අහන හැටි විතරක් මම ඉන්නෙ කොළඹින් ගෙයක් අරගෙනද කියලා?” බව දැනගෙන උන්නෙ තමන් පමනක් වීම කොච්චර හොඳද කියා තුරුණුට එවෙලේ නොසිතුනා නොවේ.
ජාන්වි උන්නේ තුරුණුගේ ඒ සිනාව කියන්නට හදන කතාව තේරුම්ගන්න බැරුවය.
“කොළඹින් ගෙයක් ගන්න එක ලේසි නෑනෙ” කියා වචනයක් දෙකක් අස්සේ තුරුණු විසින් හංගන්නට යෙදුනේ වේදනාකාරී කතන්දරයක් බව ජාන්විට නොතේරුනා නොවේ. ඒනිසාම නිහඬ වෙන්නට ජාන්වි හිතුවද තුරුණු උන්නේ වචන එක්‍කාසු කරමිනි.
“මම ඉන්නේ බෝඩිමක. නාවල පාරෙ”
“ආහ්” කියා කිව්වයින් පස්සේ ඇත්තටම ජාන්විට තුරුණුගෙන් අහන්න දෙයක් තිබුනෙ නැති නමුත් තුරුණුට ජාන්විගෙන් විමසන්න බොහෝ දේ තිබුණ බව ඇත්තකි.
“දැන් මලිත්ගෙන් ඔයා වන්දියක් එහෙම ඉල්ලන්න ප්ලෑන් එකක් නෑ කිව්වා නේද ඩිවෝස් එකේදි?” කියා තුරුණු අහද්දී හිතේ වූ කෝපය පෙන්වන්නට මෙන්ම ජාන්වි අතේ රැඳුන තේ වීදුරුව මේසෙ උඩ තිබ්බේ මදක් හඬ නැගෙන ලෙසටය. තේ බිංදුවක් ලී මේසය මත වැටෙන අයුරුත් අනතුරුව ජාන්වි තම ඇඟිලි වලින් ඒ තේ බිංදුව සමග සෙල්ලම් කරන අයුරුත් බලන අතරම තුරුණු තමන් ඇසු පැනයට ජාන්විගෙන් පිළිතුරක් බලාපොරොත්තු වුනේය.
“අනේ මට එයාගෙන් වන්දි ඕන නෑ. මට ඇත්තටම ඕන දැන් ටක්ගාලා මේ කසාදෙන් අයින් වෙලා නිදහසේ ජීවිතේ ආයෙ පටන්ගන්න. එයාගෙන් වන්දි ගන්නවා කියන්නෙ මට ආයෙ ආයෙ එයා එක්ක තියෙන බැඳීම අතෑරගන්න බැරිවෙනවා කියන එකනෙ”
“අපි හිතන ඉක්මනට එහෙම මේ රිලේශන්ශිප් වලින් මිදිලා නිදහස් වෙන්න බෑ ඉතින්. විශේෂෙන්ම කසාදයක් වගේ දේකදි” කියා කියද්දිත් තුරුණුගේ දෙනෙත් රැඳී තිබුනේ වීදුරුවෙන් එහා පේන පාර පැත්තේය. වැස්ස තිබුණේ පටන් ගෙනය. එහෙත් ඒ වැස්සේ සීතලට ජාන්විගෙත් තුරුණුගෙත් හිත අස්සේ දැවෙමින් තිබුන ගින්න නිවන්න හැකියාවක් තිබුනේ නැත.
“සමහර මිනිස්සු ඉතින් රිලේශන්ශිප්ස් දිහා බලන්නෙ නිකන් කාමරේකට එන්ටර් වෙනවා වගේ දෙයක් විදියටනෙ. හරි ලේසියෙන් අරගන්නේ. කාමරේට එනවා. ඉන්න බෑ කියලා හිතුනම හරි ලේසියෙන් දොර ඇරගෙන යන්න පුලුවන් කියලා හිතන්නෙ.පිට ඉඳලා බලන මිනිස්සු හරිම ලේසියෙන් දේවල් කියනවා.එයාලා කියන්නේ, ‘සතුටක් නැත්නම් අතඇරලා දාලා යන්න.’ එච්චරයි කියලා උනාට ඒක එච්චරයි නෙවෙයි ඉතින්. ඊට එහා සෑහෙන්න දේවල් තියෙනවා.
කසාදයක් උනත් සම්බන්ධයක් උනත් ඒක කාමරයක් කියල හිතන එක අපරාදෙ. ඒක ගෙයක්. දෙන්නෙක් එක්කහු වෙලා හදන ගෙයක්. හැම ගඩොලකම කතාවක් තියෙනවා. අපි මුණ ගැහිච්ච දවස, අපි දරාගත්තු වාද විවාද, වෙන කවුරුවත් දැක්කේ නැති, හැබැයි අපි කරපු පොඩි පොඩි කැපකිරීම්. අපි ඒකෙන් යන්න උත්සාහ කරනකොට තේරෙනවා අපි කරන්නේ අර කාමරයක් කියලා අපි හිතන් උන්න දේන් එලියට යන එක නෙවෙයි අර දෙන්නම එක්කහු වෙලා ගොඩනගපු ගේ ගඩොලින් ගඩොල ආයෙ කඩලා බිඳලා දාන එක කියලා.
කවුරුවත් ඔයාට නොකියන දෙයක් තමයි අපි ඒකෙන් යනකොට, ඒකෙන් ඉතුරුවෙච්ච කෑලි අරගෙනම තමයි යන්නේ. ඔයා නිදහස් වුණා කියලා හිතුවත්, ඒකෙන් කෑල්ලක් ඔයාගේ ඇඟ ඇතුළේ හිත ඇතුළේ හැම තිස්සෙම රැඳිලා තියෙනවා. අපි හිතනවා අතීතෙ දාල එන දේවල් අපිව වර්තමානෙ රිද්දන එකක් නෑ කියල. ඒ උනාට සමහර වෙලාවට වර්තමානෙදි අපිට ගොඩක්ම රිද්දන්නේ වර්තමානෙ අපි කරපුවා නෙවෙයි අතීතෙන් අපි අරගෙන ආව දේවල්.
අපි හිතන්නේ නිදහස ඉක්මනට එනවා කියලානෙ. ඔයාට පුළුවන් තීරණයක් අරගෙන, ඒක ඉවර කරනවා කියලා කියන්න. හැබැයි ඒක වෙන්නෙ ඔයා හිතනවට වඩා මාර හෙමින්. අපි කොච්චර නීතිය ඇඩ්ජස්ට් කරගත්තත් අපේ හිත් ඇඩ්ජස්ට් කරගන්න සැහෙන කාලයක් යනවා. අවුරුදු ගණනාවක ආදර කතාවකුයි ඒක හන්දා ඇතිවෙච්ච වේදනාවයි එක මොහොතකින් විසඳාගන්න බෑ. විශේෂයෙන්ම ඒක කසාදයක් වුණාම ඒ වේදනාව අර අපි සැහෙන කැපකිරීම් කරලා දෙයක් ගොඩ නැගුවම අත්වල කරගැට එන්නෙ අන්න ඒ වගේ අතේ, හිතේ හැම තැනකම එන, රිදෙන වේදනාවක් වෙනවා.
ඒ නිසා ඔයා හිතන ඉක්මනට ඔයාට යන්න පුලුවන් කියලා හිතන්න එපා. මං කියන්නෙ ඩිවෝස් එක ගැන නෙවෙයි, ඔයාගෙ හිතේ තියෙන වේදනාව ගැන. අපි දුවන්න උත්සාහ කරන තරමටම, අපි ආපහු යන්නෙ ඒ පරන මතක වලටමයි.
මේක අල්ලගෙන ඉන්න එක ලේසි නෑ තමයි.
ඒත් අතෑරලා දාන එක ලේසි නෑ කියලා තමයි ලොකුවටම තේරුම්ගන්න ඕන”