සැමියාට තමාට ළං වෙන්නට ඉඩ නොදුන් බිරිඳක්

(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

“බබා අපි දෙන්නා කසාද බැඳපු දෙන්නෙක්. ආදරේ කරල කසාද බැඳපු දෙන්නෙක්. ඇයි එහෙනම් අපි මේ නිදාගද්දි ඇඳේ දෙපැත්තට හැරිලා නිදාගන්නේ? ඇයි අපිට බැරි අපි ඉස්සර යාලු වෙලා හිටපු කාලේ කතා කරා වගේ ආදරෙන් තුරුල් වෙලා නිදාගන්න බැරි?”

“මට කිසිම ෆීලින් එකක් දැනෙන්නෙ නෑ කෝසල. මට තේරෙන්නෙ නෑ මොකද්ද වෙලා තියෙන්නෙ කියලා. මට හරිම මහන්සියි. හිතට විතරක් නෙවෙයි ඇඟටත් මහන්සියි. මම ඒකයි එහෙම එහා පැත්ත හැරිලා නිදාගන්නේ”

කෝසල එහෙම ඇහුවේ අමන්දිගෙන්.

“කසාද බැඳලා අවුරුද්දකට වැඩියි. ඒත් අපිට තාම එකතුවෙන්න බැරිවුණා. කසාදයක් කොහොමද සම්පූර්ණ වෙන්නේ එහෙම නොකර?”

කෝසල උන්නෙ තරහින් නෙවෙයි. ඒත් පුදුමාකාර හිත් වේදනාවකින්.

අමන්දි එක්ක යාලු වෙලා ගත වුන කාලේ කෝසලටයි අමන්දිටයි දෙන්නම හිටියේ පුදුමාකාර සන්තෝසෙකින්.

ගෙවල් දෙකෙන්ම කැමති වෙලා කසාද බඳින්න දින ලැබුණම දෙන්නම පුදුමාකාර විදියට සන්තෝස වුනා ඒ දෙන්නම එක වහලක් යටට ආවට පස්සෙ ගෙවන්න ලැබෙන ලස්සන ජීවිතේ ගැන හීන මවලා.

වෙඩින් එකට ගොඩක් මහන්සි වුන අමන්දි කෝසල දෙන්නටම හනිමූන් එකේ පලවෙනි දවසෙ රෑ දන්නෙම නැතිව නින්ද ගියා.

මූදු හුලඟ ඇවිත් දඟ කරපු මූද අද්දර ඒ ලස්සන හෝටලේදී, හඳ එළිය වැටිච්ච රෑක අමන්දිව හැම විදිහකටම තමන්ගේ කරගන්න කෝසලට දෙවනි දවසෙ රෑ වෙනකනුත් බලාගෙන ඉන්න වුනාට හිතේ නම් ඒ ගැන අමනාපයක් තිබුනේ නෑ, ආදරණීය කිතියක් ඇරෙන්න.

පුංචි පුංචි සිප ගැනීම, උණුසුම්ම වැළඳගැනීම් දක්වා දුර ගෙනියන්න පුලුවන් වුනාට ඊට එහා ශරීරයෙන් සම්පූර්ණයෙන්ම එකතු වෙන්න හනිමූන් එකේ ගෙවිච්ච කිසිම රෑකදි කෝසලටවත් අමන්දිටවත් පුලුවන් වුනේ නෑ.

“කෙල්ලට මහන්සි ඇති වෙඩින් එකේ වැඩ ගොඩක් තිබුන නිසා” කියල කෝසල ඒ දවස් ටිකේ හිත හදාගත්තට මොකද මේක ඇත්තටම මහන්සියට වඩා එහා ගිය ප්‍රශ්නයක් කියල කෝසලට තේරුනේ අවුරුද්දක් යනකම්ම දෙන්නට එකතුවෙන්න බැරි උනාම.

අමන්දිගේ හිතේ ශාරීරික එකතු වීම් ගැන තිබුනේ පුදුමාකාර බයක්. ඒ බය නිසා කෝසල ළංවෙද්දිත් අමන්දි අනේ එපා කියමින් අඬන්න තියාගත්තා.

ආදරේ මොනතරම් තිබුනත් මේ ප්‍රශ්නෙ නිසා හිතේ ඇතිවෙච්ච ඉරි තැලීම දෙන්නටම බලපෑවා.

“උමාලිගෙ වෙඩින් එක හරිම ලස්සනට තිබුනා නේද? හනිමූන් එකට යන්නේ කේප් වැලිගම ලු”

තමන්ගෙ විශ්ව විද්‍යාලෙ මිතුරියක් වුණ උමාලිගෙ වෙඩින් එකට ගිහින් ඇවිත් අමන්දි එහෙම කිව්වෙ හෙයා ස්ටයිල් එකට දාලා තිබුන කොණ්ඩ කටු කණ්ණාඩි මේසෙ ඉස්සරහට වෙලා ගලවන ගමන්.

“අපිට තමයි ඉතින් හනිමූනුත් නැතිවුනේ” කියාගෙනම කෝසල බාත් රූම් එකට ගියේ අමන්දිගෙ ඇස් වලින් කඳුලු ගංගාවක් වක්කරන්න ඉඩ ඇරලා.

නොහිතපු වෙලාවක ඒ වචන පේලිය කටෙන් එලියට පැන්න එක ගැන වේදනාව ශවර් එක යට හිටගෙන උන්නු කෝසලත් ඇස් වලින් දිය කරලා ඇරියා.

කෝසල කාමරෙන් එළියට එද්දි අමන්දි උන්නෙ කඳුලු ගංගාවක ගිලිලා.

“මට සමාවෙන්න”

කෝසලගේ ඒ වචන ඉස්සරහ අමන්දි මහ හයියෙන් අඬාගෙන කෝසලගෙ පපුවට තුරුලු වුණා.

“අනේ ඇයි කෝසල අපිටම මෙහෙම උනේ? මම කොච්චර බලාපොරොත්තු තියාගෙනද කසාද බැන්දේ?

මට අලුතෙන් මැරි කරපු කපල්ස් දකින හැම වෙලාවකම හිතෙනව අපිට නැති ජීවිතේ එයාලට ලැබිල තියෙනව කියල. මට දරාගන්න බෑ කෝසල”

“ඔයා හිතන්නෙ මම ඒ ගැන හිතන්නේ නෑ කියලද? මම කොච්චර ක්‍රම හෙව්වද මෙ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න”

ගිහින් තිබුණ නිසා.

“අපි ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න යන්ද?”

අමන්දි කෝසලගෙන් ඇහුවෙ ආදරය පිරුණු අතීතයක හිමිකරුවන් දෙන්නෙක් වුණ ඔවුන් දෙදෙනා මේ අවුරුද්දක විවාහ ජීවිතේ ඇතුල ඈත්වුණ ආකාරය දරාගන්න බැරිම වුණ තැන.

“ඔයා කැමතිනම් අපි යමු. මම එන්නම්”

“මට හරි බයයි කෝසල. මම දන්නවා ප්‍රශ්නෙ තියෙන්නෙ මගෙ ළඟ බව. ඒත් මට බයයි ඔයා මේ නිසා මාව දාලා යාවි කියලා”

අමන්දි හඬා වැටුණේ සැබෑවටම මේ ගැටලුව තමන්ගේ විවාහ ජීවිතයට ගැටලුවක් බව වටහාගත් නිසා. ශාරීරිකව එක් වීමට ඇති බියට එක්වුණ, සිත් වේදනාව තමන් දෙදෙනා විසින්ම විසඳන්නට යෑම තවදුරටත් ප්‍රතිඵල ගෙන එන්නේ නැති බව තේරුම් ගැනීමෙන් මනෝ උපදේශනයට යොමු වෙන්න ඔවුන් දෙදෙනාටම පුලුවන් වුණා.

ඒ විදියට තමයි කෝසලයි අමන්දියි මගේ ළඟට ආවෙ.

කතාව පටන් ගත්තේ අමන්දිමයි.

“මෙයා හරිම බයයි. අපි සෑහෙන උත්සාහ කරා එකතුවෙන්න. ඒත් මෙයාගෙ බය නිසා මම අන්තිමේ ට්‍රයි කරන එකත් නතර කරා”

අමන්දිගේ කතාවේ අඩු කොටස පිරෙව්වේ කෝසල.

ඒ වනවිටත් ඔවුන් විවාහ වී අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගත වී තිබුණා වගේම ඒ අවුරුද්දක කාලය ඇතුළත් විවිධ ක්‍රම වලින් මේ ප්‍රශ්නය විසඳගන්න ඔවුන් උත්සාහ දරලා තිබුණා. ඒත් ඒ අවුරුද්දක කාලය ඇතුළත් කිසිම මොහොතක වෛද්‍යවරයෙකුගේ සහය ලබාගන්න ඔවුන් යොමු වෙලා තිබුණේ නැහැ.

ශාරීරිකව එක් නොවී සිටීම ඔවුන්ට සම්බන්ධයේ මුල් කාලයේදී ගැටලුවක් වෙලා තිබුණේ නැහැ. රණ්ඩු සරුවල්, හිත් අමනාපකම් නැතුව මේ අවුරුද්දක කාලයම ඔවුන් එකට ගත කරාට ඕනම කෙනෙක් යමක් ඉවසගෙන ඒ මත රැඳිලා ඉන්න කාලයට අවසානයක් තිබෙනවා.

අවුරුද්දකට පසුව මනෝ උපදේශනය සඳහා එද්දිත් කෝසල සහ අමන්දියි ඈත් වෙලා තිබුනේ ශරීරයෙන් විතරක්ම නෙවෙයි.

“මම එයාට ආදරෙයි. ආදරේ නැතුව නෙවෙයි. ඒත් මට වෙලාවකට හිතෙනව අපේ මේ සම්බන්ධයට තේරුමක් තියෙනවද කියල? අපි ගොඩක් බලාපොරොත්තු තියාගෙන බැන්දෙ. බඳින්න කලින් අපි මෙහෙම ප්‍රශ්නයක් ගැන දැනගෙන හිටියෙ නැහැ”

“මට නිතරම හිතෙනව මගේ මේ ප්‍රශ්නෙ නිසා කෝසලට මාව එපා වෙලා දාලා යාවි කියල. ඕනම කෙනෙක් කසාද බැන්දම මේ දේවල් බලාපොරොත්තු වෙනවා. මට හිතාගන්න බෑ ඇයි මම ඒ තරම්ම මේ දේ කරන්න බය කියලා”

කෝසලත් අමන්දිත් දෙදෙනාම සිටියේ හදවත්වලින් පවා එකිනෙකාගෙන් ඈත්ව.

විවාහ ජීවිතයක් ඇතුළත ආදරය පෙන්වීමට හැකි අවස්තා මොනතරම් නම් තියෙනවද?

දෙදෙනාගේම ආශාව සහ කැමැත්ත පරිදි ශාරීරිකව එක්වීමත් එයින් එක් අවස්ථාවක්.

“අපි දෙන්නා එක ගෙදර ජීවත් වෙන්නෙ අඳුරන්නෙ නැති දෙන්නෙක් වගේ. කතා කරන්නෙත් උවමනාම දේකට විතරයි. නිදාගන්න ගියාම ඇඳේ දෙපැත්තට හැරිල අපි අඳුරන්නෙ නැති මිනිස්සු දෙන්නෙක් වගේ නිදාගන්නවා. ඒ වගේ මැරේජ් එකකින් මටවත් අමන්දිටවත් සෙතක් වෙනවද කියල මට තේරෙන්නෙ නෑ”

බැඳීම් ඈත්වීම මනුෂ්‍යයෙකු පිටකරන ක්‍රම ගොඩක් තියෙනවා.

කෙනෙක් කෝපයට පත්වෙලා කෑගහල පිටකරන ඒ වේදනාවම, කෝසල පිටකරේ හිත ඇතුලෙන් දවසෙන් දවස කළකිරිලා, අමන්දිගෙන් ඈත්වෙමින්.

කෝසල විතරක් නෙවෙයි අමන්දිත් හිටියේ ඒ වගේම තැනක.

“කසාඳ බැඳල දරුවො හදාගෙන සතුටෙන් ඉන්න යාලුවො දකිද්දි මට හරියට දුක හිතෙනවා. මට ඒ සතුට විඳින්නත් බෑ. මම නිසා කෝසලටත් ඒ සතුට විඳගන්න විදියක් නෑනෙ කියන එක මට දරාගන්න හරිම අමාරුයි”

පවුල් උපදේශනය සහ ඒ ඔස්සේ ලැබුණ සහය ලබාගන්න ඔවුන් තීරණය කරලා තිබුණේ අවුරුද්දක් ඇතුලේදි සිතින් වගේම ගතිනුත් ඔවුන් එකිනෙකාගෙන් වෙන්වීම සුබදායක නොවන බව ඔවුන්ට තේරුම්

ඔවුන් මා මුණ ගැසෙන්නට පැමිණි පසු මම ඔවුන්ට වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහාත් යොමුකරා.

ශාරීරිකව එක්වීමට තිබූ අපහසුතා වෛද්‍ය උපදෙස් සහ මනෝ උපදේශනය හරහා මගහරවා ගන්නට හැකියාව ලැබුණත් අවුරුද්දක් පුරාවට සිතෙන් නොබැඳුණු බැඳීමක් නැවත වතාවක් එකතු කිරීම පහසු කාරණාවක් නොවෙයි. ඒත් කරන්න බැරි දෙයකුත් නොවෙයි.

සෙමින් සෙමින් තේරුම්ගැනීම, තමන් අතර තිබුණ ප්‍රශ්න වටහාගෙන ඒවාට නිසි විසඳුම් ලබා දීම සහ උපදේශනය ලබා ගැනීම ඔස්සේ බිඳෙන්නට ගිය කැදැල්ලක් නැවත සතුටෙන් පුරවගන්නට කෝසල සහ අමන්දිට හැකියාව ලැබුණා. ඒ අවුරුදු දෙකකට පමණ පසුව.

මේ කතාවෙන් දිය යුතුම පණිවිඩයක් තියෙනවා.

ඒ තමයි යම් කිසි ගැටලුවකට, විශේෂයෙන්ම අමන්දිට සහ කෝසලට තිබුණා වැනි ආකාරයේ ගැටලු වලදි නිසි වේලාවෙදි වෛද්‍ය උපදෙස් එහෙම නැත්තම් වෘත්තීමය සහය ලබා ගැනීම ඉතාම වැදගත්.

තමන් විසින්ම මෙවැනි ප්‍රශ්න විසඳාගන්නවා යැයි සිතමින් කාළය ගෙවීම තවත් බොහෝ ප්‍රශ්න ඇති වීමට හේතුවක් වෙන්න පුලුවන්.

බැඳීම් අඩු වෙද්දී එය එකිනෙකා අතර ප්‍රශ්න ඇතිවීමට හේතුවක්. ඕනම අයෙකු උදව් අවශ්‍ය තැනදී, ඒ අවස්ථාව තේරුම් අරගෙන අවශ්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්.

වාසනාවකට කෝසල සහ අමන්දි අවුරුද්දකට පසුව හරි උපදේශනය ලබාගෙන ඔවුන් අතර තිබුණ ඒ බිඳුණු බැඳීම නැවත මුල සිටම ගොඩනගාගන්න ඔවුන්ට හැකියාව ලැබුණා.

සමහරවිට ඊටත් වඩා කාළයක් ඒ වෙද්දි ගතවෙලා තිබුණා නම්, කෝසල සහ අමන්දි වෙන් වෙන්න තිබුණ ඉඩකඩත් තිබුණා.

වැජිනිස්මස්, එහෙම නැතිනම් මේ ලිංගිකව එක්වීමට තිබෙන බය කියන්නෙ ඉතාම සාමාන්‍ය දෙයක්. ඒ ගැටලුව ආදරය හෝ විවාහය කියන බැඳීම නීරස කරගන්න හේතුවක් විය යුතු නැහැ.

නිසි වෛද්‍ය උපදෙස් සහ මනෝ උපදේශනයන් ලබා ගැනීම තුළින් වැජිනිස්මස් වැනි ගැටලු වලට පහසුවෙන්ම පිළිතුරු සොයාගන්න ඉඩකඩ තියෙනවා.

ඉතින් මේ කෝසල සහ අමන්දිගෙ කතාවෙන් තේරුම් ගත යුතු වැදගත්ම කරුණක් තිබෙනවා. ඒ තමයි මෙවැනි ගැටලු ගැන සිතමින්, සිතෙන් තැවෙමින් එකිනෙකාගෙන් ඈත්වෙන්න උවමනා නැහැ.

විසඳුම් නැති ගැටලු නැහැ.

ඒත් සමහර ගැටලු වලට කාලය විසින් විසඳුම් ලබා දේවි කියල හිතලා ඒ ගැටලු වලට විසඳුම් නොසොයා සිටීම තවත් ප්‍රශ්න රාශියක් ඇති කරන්න හේතු වෙනවා.

නිසි වේලාවෙදි, අවශ්‍ය මොහොතේදි වෘත්තීය සහය ලබාගන්න.

ඒ ඔස්සේ ඉතාම සුන්දරව ඔබේ බැඳීම, විවාහය පවත්වාගෙන යන්න ඉඩකඩ සකසාගන්න ඔබටත් පුලුවන්.

Related Articles

Don't Miss


Latest Articles