සන්තාන සුසුම් සර – 32

0
2633

කාර්යාලයට ගියත්, උසාවියට ගියත් අස්විද සූරියබණ්ඩාර ට හිතේ එකලාසයක් වූයේ නැත. විටෙක මිහිරක් ද විටෙක ගැස්මක් ද විටෙක කලබලයක් ද එකල මෙකල වූයේ අතුණුබහන් වල කැළඹුමක් දනවමිනි. ඔහු ට ඕනෑ වූයේ ම ගෙදර දිව එන්නටයි. නමුත් අවාසනාවකට එදින කාර්ය බහුල දිනයක් වූයේ ය.

‘අද ගොඩක් බිසී’ කියා වැඩ අතරේ ම ඔහු යසස්විට වට්සැප් පණිවිඩයක් තැබුවේ ය. හැරෙන තැපෑලෙන් පිළිතුරු ලැබිණි.

‘බඩගින්නෙ ඉන්නැතුව කන්න හොඳේ’

අත්‍යවශ්‍ය වැඩ නිමා වූ ගමන් ගෙදර එන්නට ඔහු ට උවමනා වී ද, එන්නට පෙර ඔහු කෑම එක කෑවේ ඇයට බොරුවක් කියන්නට බැරිකමටයි.

යසස්‍වි එදා කී වරක් වෙලාව බැලුවා ද කියා ඇය ම දන්නේ නැති තරමි.

‘අද වෙලාව යන්නෑ වගේ’

කියා වරක් ඕ වජිරා ට කීවා ය.

‘ඒ ඉතිං දුව අද කැම්පස් ගියෙ නැති නිසා. අනේ ඔයාට වැඩත් වැඩි වුණා. මගෙ හිතට හරි නෑ ඒක. දැන් මට පුළුවන් කිව්වට ඕගොල්ලො අහන්නෙත් නෑනෙ’

‘අනේ ආන්ටි සෙල්ලමකට ගන්නෙපා. ආන්ටිට සර්ජරි එකක් කරලනෙ ඉන්නෙ. ඉතිං අනේ මේ අපිට බැරිද ගෙදර වැඩ ටික මැනේජ් කරගන්න…’

‘ඒ මදිවට මේ දිල්නුක කරපු නොහොබිනා වැඩේ. මටයි අංකල්ටයි දෙන්නටම ලැජ්ජයි පුතේ වෙච්ච දේට. මීට පස්සෙ එහෙම දෙයක් වෙන එකක් නෑ’

‘අනේ ඉතිං ආන්ටිල ඒ ගැන ඔයතරං වොරි වෙන්න එපා. ආන්ටිල කරපු වරදක් නෙවෙයිනෙ. සමහර ඔහොම කොල්ලො ඉන්නව. මං කොහොමත් එයා ගැන කල්පනාවෙන් ඉන්නෙ’

ඒ මොන මොන දෛනික කතා බහ සිදු වී ද ඔරලෝසුවේ කටු කැරකුණේ හෙමිහිට ය. යසස්වි තුන් හතර වතාවක් ම වතුර කේතලය උතුරන්නට ගෑස් ළිප ක්‍රියාත්මක කළා ය. කොයි මොහොතක හෝ අස්විද ගේ රිය මතුවෙනු ඇත්දැයි මග බැලුවා ය. කිහිප වරක් ම වතුර උතුරාගෙන එත්දී ළිප නිවා දමන්නට සිදු විය.

අන්තිමට ඔහු ආවේ ය. බරාඳයෙහි ගෙදර කිහිප දෙනෙක් ම වූහ. නිලූකලා තේ බොමින් සිටියහ. අස්විද ගේ පමාව වෙනුවෙන් වජිරා ගේ පවුල කල් බලමින් සිටියේ ය. යසස්වි කොහොමටත් සිටියේ බරාඳයෙහි නොවේ. ඔහු එන හඬට ඇය මුළුතැන්ගෙට ගොස් කීවෙනි වතාවට ද මන්දා යළිත් ළිප ක්‍රියාත්මක කළා ය. එසැනෙන් වතුර උතුරන්නට ගන්නා හඬ ඇසිණ.

කාමරයට ගොස් ලිපි ගොනු හා බෑග් එක තැබූ අස්විද හිස් කෑම පෙට්ටියත් සමග එහෙම ම මුළුතැන්ගෙය දෙසට ගියේ වතුර තිබහක් පෙන්වාගෙනයි. නමුත් හදවත තුළ වූයේ යසස්වි දැකීමේ අවශ්‍යතාවයයි.

‘වතුර බොන්නෙපා ඉතිං… තේ හදනවනෙ’

ඈ සිටියේ පැන්ට්‍රි මේසයෙහි තේ පිළියෙල කරමිනි. අස්විද පැන්ට්‍රි මේසයට පිට දී සිටගත්තේ ඇගේ වත වඩාත් හොඳින් පෙනෙනා ලෙසයි. පපුව මත දෑත් බැඳගෙන ඔහු ඇදෙස ම බලාගෙන ඉන්නායුරු යසස්වි ගේ පංචේන්ද්‍රියට අදාල නොවෙනා වෙනත් ඉන්ද්‍රියකට දැනෙමින් තිබිණ. ඈ තේ වල පිටි සීනි දිය කළා ය. ඔහු ළඟින් හමා ආ සුවඳ මෙදියතෙහි ඇය කැමති ම සුවඳ බව දැන් ඈ ඉඳුරා දනී. ඒ සුවඳින් පපුව පුරවා ගනිමින් අස්විද ගේ මග් එක පිරෙන්නට තේ දැමූ ඕ ඔහු ගේ දෑස් දෙස කෙළින් බැලුවේ තේ එක දෙත්දී ය. ඒ පිරිමි දෑස් ආදරයෙන් අධි සාන්ද්‍රිත ය. සන්තෘප්ත ය.

‘ලෑස්ති වෙලා එන්න’

එහෙම මුමුණමින් ඔහු මුළුතැන්ගෙයින් පිටතට පිය නැගුවේ ය. ඒ හඬ පවා ස්නේහයෙන් තෙත්බර ය. ආදරයේ අතිශය විසල් හැඟීම් දනවමින් ආත්මයට කිඳා බසිනා සුළු ය. වෙනදාට දොඩමුළු මුව අද මේ තරමට ගොළු ගැසී ඇත්තේ ඇයිදැයි යසස්විට නො තේරෙන තරම ය.

‘අනේ මං මේ තේ හදන්න එන්න හැදුවෙ. ඔයා හදලත් ඉවරනෙ පුතේ’

විජිත ගේ ත් වජිරා ගේ ත් තේ දෙක ගෙන යසස්වි හැරෙනා විට වජිරා එතැන වූවා ය. ක්ෂණික ව යසස්වි ගේ හදවත ගැස්සී ගියේ ය.

‘හෙට ඉඳල මං මේව කරන්නං. ඔයා පාඩං වැඩ බලාගන්න’

යසස්වි මඳහස පෑවා විතර ය. තේ වලට සීනි දැම්මා ද කියාත් මතක නැති බව ඇයට සිහි වූයේත් ඒ වෙලාවේ යි. ඕ දෙතොල් තද කොට තනිව ම සිනහ වූවා ය.

වජිරා ගේ සැත්කමෙන් පසුව ම රියදුරු පුහුණුව සඳහා අවස්ථාවක් නො ලැබිණ. යසස්වි තුසිතයෙහි වැඩ බදාගෙන සිටි බැවිනි. රිය පුහුණුවීමකටත් වඩා, ඔහු සමගින් තනි වීමේ තිගැස්ම දනවන ආශාවක් ඇයට වේ. උදේ සිට මේ වන තුරුත් හද මඬලෙහි වන බර කුමක්දැයි සිතාගන්නට ඈ දන්නේ නැත. නමුත් අස්විද ගේ සුවඳ දැනෙන මානයෙහි කාගේවත් බාධාවකින් තොරව මඳක් රැඳී හිඳීමේ දොළක් සිය ගැහැනු හද ගැබෙහි වන බව ඇය දනී.

ඉක්මනට තේ එක බී, අතට හසු වුණ ටී බැනියමක් සමග සැහැල්ලු කලිසමක් දමාගෙන පිටතට පැමිණි යසස්වි ගේ හදවත වෙන කවදාකවත් නොවූ විරූ විලසින් ගැහෙමින් තිබිණ.

‘බඩු ටිකකුත් අරංම එන්නං’

කියා වජිරා ට ඇහෙන සේ කීවේ අස්විදයි.

‘මෙයාගෙත් පත්තිණිකං අපේ කොල්ලට තමයි. දැන් ඔය උඩ දාගෙන ඇවිදින්නෙ පිරිමියෙක් එක්ක තනියම නෙවෙයි වෙන්නැති’

රිය පාරට හැරුණු ගමන් නිලූකා පුපුරන්නට වූවා ය. වජිරා ඇය වෙතට හෙළුවේ අනුකම්පා සහගත බැල්මකි.

‘නිලූකා… මහ අශෝභන දේවල් මේ ලෝකෙ සිද්ද වෙනව තමයි. හැබැයි මේ ලෝකෙ සිද්ද වෙන හැම දේම අශෝභන නෑ. බයක් සැකක් නැතුව ඉන්න පුළුවන් තැන් වල සතෙක් වුණත් රැඳෙනව. වෙන දෙයක් කියන්න මං දන්නෑ’

කියමින් නැගිට වජිරා ගෙතුළට ගියා ය.

ඒ වෙලාවට ඒ මාර්ගය අතිශයින් නිදහස් ය. රථ වාහන ගියත්‍, එය තදබදයකින් තොර පුළුල් පාරකි. යසස්වි ට පහසුවෙන් හා නිදහසේ රිය පදවන්නට පුහුණුවිය හැකි වූයේත් එබැවිනි. මේ වෙලාවේ රියදුරු අසුනෙහි සිටියේ අස්විද ය. ඔහු මඳ දුරක් නිහඬව හා හෙමිහිට රිය ධාවනය කළේ ය. ඒ මුවග නලියන මඳහසක් ද, මුහුණේ හැම සෛලයක ම ආදරයක් හා නිදහසක් ද තිබිණි. යසස්වි ගේ දෑස් ඔහු දෙස ම බලා සිටියේ ය. ඔහු තුළ වූ සිතිවිලි පරම්පරාවක් ඔහු විසින් ම රස විඳිමින් ගෙවී ගිය විනාඩි කිහිපයකට පස්සේ ඔහු ම මුණිවත බින්දේ ය.

‘ඉතිං…’

ඈ හරියට ඒ තනි අකුරේ වචනය කියවෙනතුරු බලා සිටියා මෙනි. උදේ සිට ම ආයාසයෙන් හිර කරගෙන සිටි හැඟීම් සමුදාය තවත් දරාගන්නට ඇයට ඕනෑ වූයේ නැත. අස්විද දෙසට නැඹුරු වෙමින් ඔහු ගේ වම් අත සිය දෑතින් ම වැළඳගත් ඕ අත් බාහුවේ කම්මුල තද කොටගත්තා ය. ඒත් එක්ක ම ඇතුළාන්තයේ හිර වී තිබි සුසුමක් හෙමි හෙමිහිට බැහැර ව ගියේ ය.

ඔහු ගේ ඒ ඉතින් යන පැනයට ඇගේ පිළිතුරෙහි එක් වදනක් හෝ අන්තර්ගත නැත. නමුත් වචන කෝටි ගණනකින් පැහැදිලි කරනා කතාවක් ඒ ඉරියව්වේ විය. මේ අල්වාගත්තේ සංසාරය පුරා අල්වාගනිමින් අත්හැරුණු යළිත් අල්වාගැනුණු අතක් සේ ඇයට දැනෙමින් තිබිණ. ඈ මේ ගමන ආවේ ම ඔහු සොයාගෙන විය යුතු ය. අස්විද මේ තරම් කාලයක් බලා සිටියේ ඇය වෙනුවෙන් ම විය නො හැකි ද? දෙවියන්ගෙන් ලැබුණු පඬුරක් තරම් බැතිබර බවක් ඇය තුළ ඔහු ගැන ලියලමින් තිබිණ.

 අස්විද තුරු සෙවනැල්ලක රිය නතර කළේ ය. අධිවේගී මාර්ගය ආශ්‍රිත අවකාශයක් වූයෙන් ඒ ඉසව්ව පාළු ය. නිසංසල ය.

සාවියක සේ ඔහු ට ගුලි වී හිඳිනා යුවතිය දෙස අස්විද සන්සුන් සෙනෙහෙබර දෑසකින් බලා සිටියේ ය. සිය හදවතෙහි යන්තම් මෝදු වූ සෙනෙහසේ නෙළුම, සිය හංස තුඩගින් පාරා පුබුදු කළ හසඟන ඇයයි!

‘ඇති යාන්තං දැං මනමාලියො බලන්න යන්න ඕන්නෑ’

යසස්වි නෙතු එසවූයේ ඒ සරදමෙනි. ඇගේ දෑසත් දෙතොලත් මුහුණත් එක සේ සිනහවෙමින් තිබිණ. අස්විද ඇගේ සවන් පාමුලින් අල්වා ඉතා තදින් ඒ දකුණු කම්මුල සිපගත්තේ ය. යසස්වි ගේ දෑස් පියන්පත් හෙමිහිට වැසිණි.

‘ආදරෙයි’

එහෙම නො කියා ඉන්නට ඔහු ට බැරි විය. ඈ ඔහු ගේ අතක් ගෙන කම්මුලට තියා තද කොටගත්තා ය.

‘ඉතිං ඉතිං… දැං අපි මොකද කරන්නෙ…’

හීන ලෝකයෙන් පියවි ලෝකයට පිවිසීමේ අදිටනින් අස්විද අසුනේ සුවපහසු ඉරියව්වකට එළඹියේ ය. යසස්වි යළිත් ඇයට පුරුදු දඟකාරිය ම වූවා ය.

‘දැං ඉතිං වෙන කුමක් කරන්නද…ඔයාට ලෝයර් චාජස් නැතුව නඩු කතාකරන්න වෙයි… නඩු අහන්න වෙයි… නඩු විසඳන්න වෙයි… ඉඳල ඉඳල නඩුවක්මයි දාගත්තෙ කියල ඉක්මනට ඔයාට හිතෙයි’

අස්විද සැහැල්ලුවට සිනාසුණේ ය. නමුත් යසස්වි මොහොතකින් සිය ස්වරූපය වෙනස් කළා ය. ඇගේ ඇස් වල කල්පනාබර කාන්තියක් විය.

‘දැං ඉතිං මොනා වුණත් ඇත්තටම මට කමක් නෑ. මාව කවදාවත් උදාරට ගෙනියන්නනං දෙන්නෙපා’

ඔහු හෙමිහිට ඒ නළලත හාදුවක් තැබුවේ ය. ඒ වචන වලින් තොර පරිනත පිරිමි පොරොන්දුවකි. ඒ හාදුවත් සමගින් සිය ජීවිතය මත්තෙහි එතෙක් මෙතෙක් නොවූ විරූ වගකීමක් පැටවුණු බව අස්විද වටහාගත්තේ ය.

ඊට පස්සේ යසස්වී වෙහෙරගොඩ මත, අස්විද සූරියබණ්ඩාර ගේ නිල නොවූ අයිතියක් ලියැවිණි. ඔහු සිය හදවතේ, ආත්මයේ, ජීවිතයේ පමණකුදු නොව හුස්මේ පවා කොටසක් සේ ඇයට දැනිණ. මීට පෙර තනිව කිසියම් හෝ දෙයක් කරගත නො හැකි ව සිටි අසරණ ජීවියෙකු හදිසියේ තමන්ගේ රැකවරණයට පත් වූවා සේ ය ඈ ඔහු ගැන වද වූයේ.

මැල්ලුං ටික ඔක්කොම කන්නකො, ටයි එක හරියට හදාගන්නකො, වැඩිපුර වතුර බොන්නකො, රෑට නාන්නෙපා සෙම වැඩිවෙනවනෙ, නෑවහම කොණ්ඩෙ හොඳට පිහිදාගන්නකො, මේසෙ අදින්නැතුව ලස්සනට තියාගන්නකො, රෑ වෙනකල් ෆෝන් එකට එබිල ඉඳල ඇස් නරක් කරගන්නකො බලන්න යනාදී වශයෙන් අස්විද වෙනුවෙන් අවවාද, ආඩපාලි, යෝජනා හා චෝදනා රැසක් ඇය සතු වූයේ ය. ඒවා පිළිපැද්ද ද ඇයට හොරෙන් මගහැරිය ද යසස්වි තමන් ගැන එහෙම පේ වෙත්දී, සොයා බලත්දී අස්විද ට දැනෙන්නේ ඔහු අලුතෙන් ඉපදුණා වන් හැඟීමකි. ඒ හැඟීම ඔහු ගේ දවස පිරිපුන් කරයි. පූර්ණ කරයි. සන්තෘප්ත කරයි.  ඒ හැඟීමට අස්විද රිසි ය. දැන් ඔහු ට ජීවිතය දිගු කරගන්නට ඕනෑ වී තිබේ. ඇයත් එක්ක ජීවත් වෙන්නට සංසාරය දිගු කරගන්නට ඕනෑ වී තිබේ!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here