(අ)හිමි සිහින -220

“ඔය දෙන්නා මෙහේ ගෙන්නගන්න එයා කොච්චර ආසාවෙන් ද හිටියේ…අනේ මේ වහල යටට එන්න එයා යන්නම යන්න යනතුරුම හිටියේ ඇයි”

මට එක්වරම එසේ අසන්නට සිතුනා.ඒත් මම එසේ ඇසුවේ නැහැ.

මිනිස්සු හිතට එනදේ දෙවරක් නොසිතා කියන්නට සිතනවා නමුත් මම එසේ නැහැ. මම කිවයුතු දේ කිවයුතු වෙලාවට කියන්න අවශ්‍යයි කියල ඉගෙනගත්තේ ජීවිත අත්දැකීම් තුලින්.ඒත් දෙයක් කිව යුතුමද කියලා මම හැමවිටම සිතන්නට පුරුදුවෙලා ඉන්නවා.ඒ නිසාම මම හිතට ආපු දේ ගිලගත්තා.

මගේ දෙමාපියන් සුධාරකට තදින්ම විරුද්ධ වූ නිසා අපට බොහෝ සිත් තැවුල් දුක් ගැහැට වලට මූණදෙන්න සිදු වුණා.මගේ අත පතා සුධාරක හා ඔහුගේ පවුලේ අය කීපවරක් මගේ දෙමාපියන්ගේ නිවසට පැමිණියත් ඔවුන් අපේ සම්බන්ධයට එකහෙළාම විරුද්ධ වුණා.ඔවුන්ට එයට හේතු තිබුණා.මා සුධාරකට වඩා බෙහෙවින් බාල වීමත් යුද්ධයක් දරුණුවට පැවති කාලයක ඔහු ඉදිරියෙන්ම ගිය නිසා වීමත් හැරුණාම අපට තවත් හේතුවක් පසුව දැනගන්නට ලැබුණා.ඒ සුධාරකගේ කණ්ඩායමේ සගයෙකු වූ මගේ ඥාති සහෝදරයා සුධාරක ගැන මගේ දෙමව්පියන්ට බොරු පවසා තිබීම. සුධාරක පවුලේ එකම දරුවා වූ මගේ දේපොල ගැන තන්හාවෙන් මා ලංකරගන්නට හදන බව මගේ දෙමව්පියන්ට ඔහු පවසා තිබුණා.

මගේ දෙමව්පියන් කොතරම් දැඩිව සිටියත් ඔවුන්ගේ ඇතැම් තීරණ නිසා අපට දුක් විඳින්නට සිදු වුණත් සුධාරක කිසිදා ඔවුන්ට වෛර කළේ නැහැ.ඒ වෙනුවට ඔහු හැමවිටම කීවේ

” මැණිකේ ඔයාගේ අම්මලාට මම වෛර කරන්නේ නෑ.ඔයා එයාලගෙ එකම දරුවා.ඔයාට නරකක් නපුරක් වෙයි කියලා එයාලා බයයි.අනික මං ගැන එයාලා හරියටම දන්නෙ නැහැ. එයාලාට කියලා තියෙන බොරු දේවල් නිසා ඒ ගොල්ලෝ මං ගැන වැරදියට වැටහීමක ඇති.ඒ නිසා මම ඒ අයට වෛර කරන්නේ නැහැ මැණිකේ”

ඔහු වගේම අද මමත් මගේ දෙමව්පියන්ට වෛර කරන්නේ නැහැ.ඔවුන් අපේ ආදරයට හරස් වුණත් තමයි ඒත් ඔවුන්ට දෙමාපියන් හැටියට සිතනවිට සාධාරණ හේතු තියෙන්නට ඇති.නමුත් ඔවුන් මගේ ජීවිතය විනාශ කළේ නැහැ. ඇත්තටම නම් අපේ ජීවිත විනාශ කරන්නට මග පෑදුවේ සුධාරක ගේ මව.ඇය කල කී දෑ නොවන්නට මෙය මීට හොඳ විදියකට විසඳෙන්නට තිබුණා.

මා සුධාරක සමග හොර රහසේ විවාහ වී සිටි බව මගේ දෙමාපියන් දැන සිටියේ නැහැ. ඔවුන් එය දැනගත්තේ දෙවන වතාවට අප දෙදෙනාගේ සම්බන්ධයක් පටන්ගත් කාලයේදීයි. මීට වසර විසි දෙකකට කලින් ඔවුන් මා විවාහ කරදෙන්නට යනබව සුධාරකගේ මවට මා පැවසුවත් ඇය කළේ පුතාටත් නොකියා මා රැගෙන ගොස් දික්කසාදය ලබාගැනීමයි.නමුත් එවේලේ ඇය ඒ ගැන සුධාරකද දැනුවත්කර මගේ දෙමාපියන් ට මේ බව කීවා නම් කලබලයක් වී හෝ මෙය විසඳෙන්නට තිබුණා.නමුත් ඇය එසේ කලේ නැහැ. ඒ කාලයේ පටන් ඇගේ සිතේ තියෙන්නට ඇති කූඨ උපායක් ඇය ක්‍රියාත්මක කළා.

මෙය පවසන විට මා ඔබට නොකී කතාවක් අද කියන්නම්.ඒ කාලයේ මගේ දෙමාපියන් මෙයට අකමැති වනවිට දිනක් මට සුධාරක ගේ මව ඇය මුණගැසෙන්නට එන ලෙස කීවා.බොහෝ බාධක මධ්‍යයේ හොර රහසේ මා ඇය මුණගැසෙන්නට ගියා.ඈ කඩදාසියක එතූ යම්කිසි දෙයක් මා අත තබා මෙසේ කීවා.

“මේක හරියන්නෙ නැහැ.ඔයාලගේ අම්මලා කැමතිකරගන්න නං මේක ඒගොල්ලන්ගෙ තේ එකට දාලා දෙන්න”

මම එය අතට ගත්තේ දෙගිඩියාවෙන්.සුධාරකගේ අම්මා දුන් නිසා බෑ කියන්නටත් බෑ.ඒ මා ඇය අපේ ආදරයට ආශිර්වාදයක් යන පරම විශ්වාසයෙන් සිටි කාලයක්.එය ගෙදර ගෙනැවිත් දිගහැර බැලූවිට එහි තිබුනේ සීනි.මම මේ අණවින කොඩිවින ඉනා ආදිය ගැන ඒ කාලයේ අසා තිබුණා පමණයි.ඒ අවධියේ දී පවා මෙලෙස කන්නට බොන්නට දෙන වස විස දෑ නිසා දීර්ඝකාලීන ලෙඩ රෝග මිනිස්සුන්ට හැදෙන බවත් මා අසා තිබුණා.

සුධාරකට මා පණ සේ ආදරය කළ.බව ඇත්ත.මටත් ඔහුටත් විවාහයකින් එය කෙලවර කරගන්නට උවමනා වුණු බවත් ඇත්ත.ඒත් මා හදාවඩා මට උගන්වා මට සුවපහසු ජීවිතයක් දීමට තම ජීවිතයම වැයකර මගේ අම්මාටත් තාත්තාටත් මගේ ආශාවක් වෙනුවෙන් වස විසක් කවන්නට තරම් අධම හිතක් මට තිබුණේ නැහැ.

මගේ ජීවිතයේ අද වනවිට කුමන හැලහැප්පීමකට මා මුහුණ දී සිටියත් මම මා ජාතක කල දෙමව්පියන්ගේ ජීවිතය මගේ සතුට වෙනුවෙන් බිල්ලට නොදුන් මානසික සුවය මට තදින්ම දැනෙනවා.අද ඔවුන් මා දකින වාරයක් පාසා හදවතින් පිච්චෙන බව මගේ සහ සුධාරකගේ යහලු යෙහෙලියන් කිහිපදෙනෙකුට කියා තිබුනා.

ඔවුන් දැන් වයෝවෘද්ධ මිනිසුන්.මට ඔවුන්ගෙන් පිරිමහන්නට වෛරයක් නැහැ.සුධාරක පසුකාලීනව මගේ දෙමාපියන්ගේ නිවසට ආගිය නමුත් ඔවුන් කිසිදාක සුධාරකත් මමත් ජීවත්වූ නිවසට ආවේ නැහැ.නමුත් සුධාරක මට ඔවුන් කෙසේ හෝ ගෙන්වාගෙන ඔවුන්ට සංග්‍රහ කරන ලෙස බලවත් ලෙස ඇවිටිලි කළා.

“අනේ මැණිකේ ඔයාගේ ඔය මොලේට වැටෙන්නෙ නැද්ද මගේ නැන්දම්මයි මාමණ්ඩියි මේ ගෙදරට ගෙන්නගන්න විදියක්.ඒ දෙන්නව එක්කගෙන ඇවිත් රස රස කෑම ටිකක් හදල දෙන්නකෝ මැණිකේ.ඒ දෙන්නට මං ආදරෙයි නේ”

ඔහු මට සියවතාවකට වඩා මෙසේ කියා ඇති.ඉතින් සුධාරක ජීවත්ව සිටි කාලයේ ඉටු නොදූ ඔහුගේ ඒ ආසාව ඔහුගේ අවසන් කටයුතු සිදු වූ දවසේ හෝ ඉටු වීම ගැන මට තිබුණේ ශෝකය හා සැනසීම මුසු වූ හැඟීමක්. ඔවුන්ගේ හිත රිදෙන වචනයක් මා එවේලේ කීවානම් නැවත කිසිදා ඔවුන් මේ නිවසට නො ඒවි.එතකොට සුධාරක කොහේහෝ සිට මා දෙස බලාසිටිද්දී ඒ ආත්මයත් මට දොස්පවරාවි.මා ඒනිසා ඔවුන්ගෙන් අසන්නට කටට ආ වචන සියල්ල ගිල ගත්තා.

සමහර දේවල් කිසිදා වචන විය යුතු නෑ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles