ආදර සැලසුම් – 50

0
1725

ෂෙහාරා නිවසට පැමිණ තිබුණේ නොසිතූ මොහොතකය. ආදිත්‍ය වැඩ අවසන් කර අශිකාව බැලීමටද ගොස් නැවත නිවසට පැමිණීමේදී ෂෙහාරා ගේට්ටුව ඉදිරිපිට වාහනය නතර කර ගෙන බලා උන්නාය. දින ගණනාවකින් දුරකථන ඇමතුමක් වත් නොදුන් ෂෙහාරා හදිසියේ පැමිණි කාරණාව කුමක්දැයි සිතා ගත නොහැකිව ආදිත්‍යය ස්වයංක්‍රීය ගේට්ටුව විවර කරමින් වාහනේ මිදුලෙහි නතර කර ඉන් බැස්සේය. එවිටම වාගේ ෂෙහාරා ද ඇගේ වාහනය ඇගේ වාහනය ආදිත්‍ය ගේ වාහනයට එහායින් නතර කළාය.

” ඇයි මේ ? ” 

ආදිත්‍ය ඇසුවේ වාහනයෙන් බැස ඉදිරියට පැමිණෙන ෂෙහාරා ගෙනි.

” ඇයි ? ” 

ෂෙහාරා ඇසුවේ කිසිවක් නොවූ ආකාරයටය. ආදිත්‍ය සාක්කුවෙහි වූ යතුර ගෙන ප්‍රධාන දොර විවෘත කර නැවත හැරී බැලුවේය.

” මං ඇහුවේ ඔයා ආපහු ආවේ ඇයි කියලා ? ” 

” ඒක නෙමෙයි ප්‍රශ්නෙ. ඔයා මෙච්චර රෑ වෙනකන් කොහෙද හිටියේ? මම මෙතනට ඇවිල්ල පැය එකහමාරකට වැඩියි. මං ගාව අනිත් කී එකවත් තිබුනෙ නෑ “

මේවා අනවශ්‍ය ගැටළුය. නීතියෙන් වෙන් වන්නට ඔන්න මෙන්නන තිබියදී ෂෙහාරා තමා යන එන තැන් ගැන සොයා බැලීම පවා විහිළුවකි. 

” මං අම්මව බලන්න ගියා. ඔයා එනවනම් මට කලින් කෝල් කරන්න එපැයි ” 

” කෝල් කර කර ආවනං ඉතින් හොර අල්ල ගන්න වෙන්නේ නෑනේ ” 

ෂෙහාරා කීවේ සමච්චල් සහගත සිනහවක් මුවේ රඳවා ගෙනය. ඔවැනි හැසිරීම් වලට ආදිත්‍ය ගේ කැමැත්තක් නැතත් මේ මොහොතෙහි ෂෙහාරා සමග ගැටුමක් ඇති කර ගැනීම නුවණට හුරු නැති නිසා ආදිත්‍ය ඉවසමින් උන්නේය.

” ඔයාට අල්ල ගන්න මෙතන කිසිම හොරයක් නෑ ෂෙහාරා ” 

ආදිත්‍ය පිළිතුරු දුන්නේ සංසුන්වය. තමා ෂෙහාරා ගේ තත්ත්වයට වැටිය යුතු නැත. එයින් වාසි වන්නේ ඇයටමය. ඒ නිසා මේ තාක් දුර ඉවසා සිටියා සේ ඉදිරියටත් ඉවසන්නට තීරණය කරමින් ආදිත්‍යය නිවසට ඇතුළු වූයේය. 

” ඔයා හැමදාම ගෙදර එන්නේ මේ වෙලාවට ද ආදිත්‍යය ? ” 

ෂෙහාරා සෝෆා වෙන් වාඩි වූවාය. තමා සිටි දිනවලටත් වඩා නිවස පිළිවෙල බව ෂෙහාරා දුටුවේ නිවස පුරා බැල්මක් හෙලද්දීය. තමා නිවසේ නැතැයි කියා කිසිදු අඩුවක් ආදිත්‍ය හට දැනී නැති සේය.

” කොෆි එකක් බොනවද ? ” 

ආදිත්‍ය මුළුතැන් ගෙය දෙසට පැමිණියේය. ෂෙහාරා වාඩි වූ තැනින් නැගිට ඔහු පසු පසින් පැමිණි අතර ඇය වඩාත් පුදුම වූයේ මුළුතැන් ගෙය දකින විටය. එය වෙනදාටත් වඩා පිළිවෙලය. සමහර විදුලි උපකරණ තිබූ තැන් වල පවා නැත. ෂෙහාරා ශීතකරණය ඇර බැලු අතර එයද තරමක් පිරී තිබේ. ආදිත්‍ය නිවසේදීම සරල ආහාරයක් හෝ පිළියෙල කරගන්නා හැඩය.

” ඔයා උයනවද ? “

තමා අසන්නේ එකකි. ෂෙහාරා කියන්නේ තව එකකි. ගලපා ගන්නට උත්සාහ කළද කිසි දිනක නොගැළපෙන්නේ මේ ගති පැවතුම්ය. සිතුවිළිය. ආදිත්‍ය විදුලි කේතලය ගැන වතුර පුරවා එය ක්‍රියාත්මක කළේය.

” බ්‍රෙක්ෆස්ට් හදාගන්නවා. අම්ම ලන්ච් එවනවා අභිමන් අතේ. ඩිනර් එක නම් ඔය මොකක් හරි කර ගන්නවා “

ආදිත්‍ය කුඩා රාක්කය මත තිබූ තේ පෝච්චිය ගෙන එයට කෝපි කුඩු තේ හැඳි දෙකකුත් අවශ්‍ය පමණට සීනිත් එකතු කළේය.අනතුරුව ශීතකරණය හැර නැවුම් එළකිරි පැකට්ටුව ගෙන කෝප්පයකට කිරි පුරවා එය මයික්‍රෝවේව් එක තුළ තබා තප්පර තිහකට එය ක්‍රියාත්මක කළේය.

ෂෙහාරා බලා උන්නේ ආදිත්‍ය ගේ මේ පිළිවල දෙසය.තමා නිවසින් පිටව සිටින කාලයේ ඔහු තව තවත් වියවුලට පත් වී තමාට නිවෙසට පැමිණෙන ලෙස බැගෑපත් වනු ඇතැයි බලාපොරොත්තු වුවද එය එසේ වී නැත.වෙනදාටත් වඩා ඔහුගේ ජීවිතය පිළිවෙලක් වී ඇති බව පැහැදිලිවම දකින්නට තිබේ.

වතුර රත් වූ පසු ආදිත්‍ය විදුලි කේතලය නිවා දමා උණු වතුර තේ පෝච්චියට වක් කළේය. ඉන් පසුව රත් කරගත් කිරි කෝප්පය එයට එකතු කර හෙමින් සීරුවේ කලවම් කලේය. රාක්කය මත තිබූ ෂෙහාරා ගේ කෝප්පයද ආදිත්‍ය ගේ කෝප්පයද ගත් ආදිත්‍ය ඒවාට කෝපි වක්කලේ නැවුම් කෝපි සුවඳ මුළුතැන්ගෙය සිසාරා යන අතරතුරදීය. 

” සීනි ඇතිද දන්නෙ නෑ ” 

ආදිත්‍ය එසේ කියමින් කෝපි කෝප්පය ෂෙහාරා  අතට දුන්නේය. එය අතට ගත් ෂෙහාරා කෝපි උගුරක් තොල ගෑවාය. එහි ඇත්තේ ඉමිහිරි සහ පරිපූර්ණ රසකි. මතක ඇති කාලයක මෙවැනි ආකාරයේ කෝපි කෝප්පයක් තමා අතින් ආදිත්‍ය වෙත සකස් කර දුන්නේ නැත. එහෙත් ඔහු මේ මොහොතේදීත් නිර්ලෝභීව තමා වෙනුවෙන් එවැන්නක් කිරීමට දෙවරක් සිතුවේ නැත. ආදිත්‍ය යනු එවැනි සත්පුරුෂ ගති ඇති පිරිමියෙකු වුවද තමා ඔහුට සැලකුවේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකිනි.සිතට දැනුනු පසුතැවිල්ල යටපත් කරගෙන ෂෙහාරා කෝපි කෝප්පය අතැතිව සාලයට පැමිණියාය. කෝපි සකස් කළ තේ පෝච්චිය ද අනෙකුත් ආයිත්තම්ද පිරිසිදු කළ ආදිත්‍ය සාලයට පැමිණියේ තවත් විනාඩි කිහිපයකට පසුවය.

” ඔයා ආවෙ ඇයි කියලා කිව්වෙ නෑනේ ෂෙහාරා ? ” 

ආදිත්‍ය වාඩි වූයේ ෂෙහාරා ඉදිරියෙනි. ඔහු ෂෙහාරා දෙස බැලුවේ නැති වුවද ෂෙහාරා උන්නේ ඒක එල්ලේම ආදිත්‍ය දෙස බලාගෙනය.ඔහු පිළිවෙළට රැවුල කපා ඇත.කොණ්ඩයද වෙනදා මෙන් හිස මුදුනට බැඳ ඇත. ඇඳුම් ද පිළිවෙලය. තමා මේ නිවසෙහි වාසය කළ අවසාන කාලයේ ආදිත්‍ය මෙසේ උන්නේ නැත. තමා මෙහි නැතිවූ පසු ඔහු නැවත ජීවිතය පිළිවෙලක් කර ගෙන ඇත. ආදිත්‍ය විවාහයට පෙර සිටියේද මේ තරමටම පිළිවෙලටය.ඒ ජීවිතය අපිළිවෙලක් වූයේ තමා අතිනි. 

” අපිට හැමදේම අලුතින් පටන් ගන්න බැරිද ආදිත්‍ය ? ” 

ෂෙහාරා ඇසුවේ කෝපි කෝප්පය ටීපෝව මතින් තබන අතරේය.

” ඔයා ආවේ ඒක අහන්නද ? ඒ ප්‍රශ්නෙට උත්තරේ මං ඔයාට කීප සැරයක්ම දීල තියෙනවනේ ෂෙහාරා ” 

” මං අහන්නේ ඒ උත්තරේ වෙනසක් වෙන්නේ නැද්ද ? ” 

” නෑ ” 

ආදිත්‍ය සෘජුව පිළිතුරු දුන්නේය. ෂෙහාරා වෙනස් වන්නට සූදානම් වුවත් ජීවිතයේ පළුදු වූ තැන් නැවත පිළිසකර කළ නොහැක. ගලපා ගන්නට උත්සාහ කළ බොහෝ තැන් නොගැලපුණු තැන තවත් උත්සාහ කිරීමෙන් ඵලක් නැති බව ආදිත්‍ය තේරුම් ගත්තේ බොහෝ කාලයකට පෙරය. එයටත් වඩා ෂෙහාරා තමාට සිදු කළ වංචාව ජීවිතය ඇති තෙක් අමතක කළ නොහැක.

” ඔයාට වෙන කවුරු හරි ඉන්නවද ආදිත්‍ය ? ” 

ෂෙහාරා ඇසුවේ බැරෑරුම් ප්‍රශ්නයකි.ඉඟියකින් හෝ මෞර්යා පිළිබඳව ෂෙහාරා දැන ගතහොත් සිදු වන්නේ විශාල ගැටළුවක් බව තමා සිතුවේ පෙර දිනය.අද එවැන්නක් පිළිබඳව අසයි. 

” ඇයි එහෙම අහන්නේ ? ” 

” ඔයා දැන් ඉන්නෙ මැරේජ් එකට කලින් හිටියා වගේමයි. මට ඉතින් එහෙම හිතුනා ” 

” මට එහෙම කෙනෙක් නෑ.එහෙම හිටියත් දැන් ඔයාට මොකුත් කියන්නත් බෑනේ ෂෙහාරා. අපි වෙන් වෙන්න තීරණය කරලා ඉවරයි ” 

” ඔයා තීරණය කළාට මම තීරණය කළේ නෑ ආදිත්‍යය. මං තාමත් බලන්නේ මේ මැරේජ් එක රැක ගන්න පුළුවන්ද කියලා ” 

” මං ඔයාට කලිනුත් කියලා තියෙනවා ඔයාට ඒ ගැන හිතන්න තිබුණේ කලින් කියලා.දැන් ඔයා මේ ගැන කොහොම කොච්චර කතා කරත් මගේ තීරණේ වෙනසක් වෙන්නෙ නෑ ෂෙහාරා.මොකද ඔයා මේ කියන කිසිම දේකට ඔයා කරපු කියපු දේවල් වෙනස් කරන්න බැහැ. කොච්චර ගලප ගන්න හැදුවත් ගලප ගන්න බැරි නම් එකට ඉන්න එකේ තේරුමක් නෑ කියලා ඔයා මේ මොහොතෙව ත් තේරුම් ගන්න ඕනේ. මේ කතාවට තවත් කාලෙ නාස්ති කරල වැඩක් නෑ කියලා ඇයි ඔයාට නොතේරෙන්නේ ? ” 

මේ කතාව තවත් දුර දිග නොයා යුතුය. ෂෙහාරා මේ පැමිණ සිටින්නේ තමා කෙරෙහි ඇති ආදරයක් නිසා නොවන බව තේරුම් ගැනීමට ආදිත්‍ය හට අපහසු වූයේ නැත. මෙයින් සිදු වන්නේ තමා තව තවත් වෙහෙසට පත් වීම පමණි.

” එතකොට ඔයා එහෙමයි කියන්නේ ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here