සැමියාගේ සියලු දේපල පවරාගෙන වෙනත් තරුණයෙක් සමඟ ගිය බිරිඳක්

(නීතිඥ බුද්ධිනී දයාරත්න මෙනෙවියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරිනි.නම් ගම් මනඃකල්පිත වේ.)

රාජකාරි ජීවිතය තුළ අප හමුවට ආ සේවාලාභීන් කිසිවෙකුටත් වඩා වෙනස් පෙනුමක් ඇති තරුණයෙක් මුණ ගැසුණු මුල්ම වතාව එදා.ඔහු අපිලිවෙළ පොඩි වුණු ඇඳුමක් ඇඳ කාලයකින් නොකැපූ කොණ්ඩයක් සහිතව පැමිණි කෙනෙක්.දහඩිය පෙරාගත් අපිරිසිදු පෙනුමැති ඔහු කුමක් හෝ විශාල අර්බුදයක බව අපට වැටහුණා.

“ඩිවෝස් නඩුවක් ගැන කතා කරගන්න පුලුවන්ද?”

ඔහු,සමීර අපෙන් ඇහුවේ එහෙම ප්‍රශ්නයක්.විශාල හිරිහැරයකට බඳුන් වූ බව පෙනෙන සේවාලාභියාගේ කතාව ගැන අප විමසුවා.

මේ ඔහු අපට පැවසූ කතාව.

සමීර පාසලේ නවය වසරේ සිටියදී සෙව්වන්දි සමඟ ආදරයෙන් බැඳී තිබුණා.නව යෞවන වියේ සිටි සෙව්වන්දි රූමත් යුවතියක්.ඒ ප්‍රේමය බොහෝ බාධක පැමිණියත් අත හරින්නට සමීර කැමති වී තිබුණේ නැහැ.සෙව්වන්දි ඉගෙනුමට හපනියක නොවේ.”ඉස්කෝලේ ලස්සනම ළමයා” වීම මිසක ඇය වෙනත් වටිනාකම් උපයා ගත්තේ නෑ.ඇය එතරම් ඇතිහැකි පවුලක අයෙක් ද නෙවෙයි.උසස් පෙළ කාලයේදී ඒ සම්බන්ධතාවය නිවෙස් වලින් දැනගෙන තිබුණා. ඉගෙනීමට හපන් සමීරට මේ සම්බන්ධතාවය නවත්වන්නැයි නිවසින් බොහෝ බලපෑම් එල්ල වුණා.ඔවුන් මධ්‍යම පාන්තික පවුලක් නිසා දුගී පවුලක සෙව්වන්දිට සමීරගේ නිවසින් ආ ඇනුම් බැනුම් දරා ගන්නට ද සිදුව තිබුණා.නමුත් මේ සම්බන්ධයට සෙව්වන්දිගේ නිවසින් අකමැති වී නැහැ.උසස් පෙළ අවසන් වූ වහා සෙව්වන්දි විවාහ කරගන්නැයි ඇගේ නිවසින් සමීරට දැඩි බලපෑමක් එල්ල වී තිබුණා.ඒ නිසා ඔහු ඉතා හිතුවක්කාර තීරණයක් ගත්තේ කිසිම පැකිලීමකින් තොරවයි.ඔහු සෙව්වන්දිව විවාහ කරගෙන නිවසට රැගෙන ගොස් තිබුණා.නමුත් දෙමාපියන් ඔවුන්ව පිළිගෙන තිබුණේ නෑ.

“ඔය කෙල්ලව අරන් මේ ගෙදර එන්න එපා.අපි මැරුණා කියල හිතා ගන්නව.”

ඔවුන් සමීරව නිවසින් පලවා හැරියේ එසේ පවසමින්.

උසස් පෙළ ප්‍රතිඵල ලැබෙන තුරු හෝ නොසිට විවාහ වූ නිසා එක් අයෙකුටවත් රැකියාවක් තිබුණේ නැහැ.සමීර ඉගෙනීමට දක්ෂයෙක් වුනත් ඔහුගේ ඉගෙනීමද එතකින් නැවතී තිබුණා.නිවසින් පලවා හැරිය නිසා යන්නට තැනක් නැතිව ඔවුන් ආයෝජන කලාපයට පැමිණ තිබුණා.සමීර රැකියාවක් සොයා ගෙන රැකියාවට යාමට පටන් ගත් අතර සෙව්වන්දි නවාතැනේ ජීවත් වීමට පටන් ගෙන තිබුණා.කාලය ගලා යද්දී සමහර දේ වෙනස් වෙන්නට පටන් ගත්තා.දවල් කාලයේ නිවසේ සිටින සෙව්වන්දි කරන්නේ මොනවාදැයි සමීර දැන සිටියේ නැහැ.ඇය වටපිටාවෙන් හඳුනාගත්  ත්‍රීරෝද රථ රියදුරෙකුට සහ තවත් අයෙකුට මැසේජ් කරන ආකාරය ඔහුට වරක් හසුව තිබුණා.එය වාද කිරීමකින් අවසන් වී තිබුණා.

සෙව්වන්දි ගැබිණියක වන්නේ වසරක් පමණ ගෙවී ගිය පසුවයි.දරුවා ලැබීමෙන් පසු වියදම් අධික වන බව තේරුම් ගන්න සමීර අලුත් අදහසක් ක්‍රියාත්මක කරන්නට සිතා තිබුණා

“මම හිතුවේ කොරියාවට යන්න. ඒ වගේ රස්සාවක් නොකර අපිට ගොඩ එන්න බෑ.”

විදෙස් ගතවීමේ සිහිනය කෙසේ හෝ සැබෑ වෙනවා.සෙව්වන්දිව ඇගේ මහගෙදර නවත්වා සමීර විදේශගත වෙනවා.එහෙත් ඔහු ඇයව මඟ හැරෙන්නට ඉඩ හැර නැහැ.හැකි සෑම විටම සෙව්වන්දිට දුරකථන ඇමතුම් ලබා දී තිබෙනවා.දරුවා ලැබෙද්දීවත් සමීර ලංකාවට පැමිණ නැහැ.කොරියාවේ ජීවත් වීමට පමණක් යම් මුදලක් ඉතිරි කරගෙන සමීර සියලුම මුදල් සෙව්වන්දිගේ ගිණුමට එවා තිබෙනවා.ඔහු නැවත ලංකාවට පැමිණෙන්නේ දෙවසරකට පසුව.

“මම ආයෙ ලංකාවට එනකොට සෙව්වන්දි සෑහෙන්න වෙනස් වෙලා හිටියෙ.කොන්ඩෙ හදලා, tattoos කීපයක් කරලා පෙනුම සෑහෙන්න වෙනස් වෙලා තිබුණා.”

මේ ටැේ සමීර ලංකාවේ රැඳී තිබුණේ මසක පමණ කාලයක් ඔහු නැවත කොරියාව බලා පිටත් වී ගොස් තිබුණා.ඒ වතාවෙ සමීර ලංකාවේ රැඳී තිබුණේ මසක පමණ කාලයක් ඔහු නැවත කොරියාව බලා පිටත්ව ගොස් තිබුණා.

මේ වෙද්දී ඔවුන් ආර්ථික අතින් සවිමත් වෙමින් පසුවුණා. සෙව්වන්දිට තාමත් සැපවත් ජීවිතයක් අත්වෙමින් තිබුණා. සෙව්වන්දි වාහන කිහිපයක්ම මිලට ගන්නට යෙදුණු අතර සමහර ඒවා බරවාහන ද වුණා.ඒ සමීර එවූ මුදලින්.සමීර නැවත ලංකාවට පැමිණ තිබුණේ තෙවසරකට පසුව.ඒ වෙද්දී ද සෙව්වන්දි ජීවත් වූයේ ඇගේ මහගෙදර.සමීර ඉඩමක් මිලට ගෙන නිවසක් සාදමින් පසුවුණා.ඉඩම ඔහුගේ නමට මිලට ගන්නට සමීර වගබලාගෙන තිබුනා.සුඛෝපභෝගී නිවසක් ගොඩ නැඟෙමින් තිබූ ඒ කාලයේ සෙව්වන්දිගේ හැසිරිම වෙනස්වීමට ආරම්භ වී තිබුණා.ඇය නැවත ටැටූ එකක් කර තිබූ අතර එය ඇගේ පියයුරුවලට ආසන්නයේ.එය සම්බන්ධයෙන් සමීරට දැඩි කෝපයක් ඇති වී තිබුණා.එයට සෙව්වන්දි දැඩි ලෙස වාද කරමින් තමන්ගේ නිවැරදි බව ඔප්පු කර තිබුණා.සෙව්වන්දි ජංගම දුරකථන දෙකක් පාවිච්චි කරන බව සමීර දකින්නේ ඒ අතර.ඒවා ගැන ප්‍රශ්න කරද්දී ඇගේ නිවසේ උදවිය ඇයව නිවැරදි කරන්නට නිරන්තරයෙන් උත්සාහ දරා තිබුණා.

“ඔයා ලංකාවෙ නැති නිසා සෙව්වන්දි දුකින් පාලුවෙන් ඉන්නවා. ඒ නිසා එයාට බනින්න එපා”

ඔවුන් සමීරට එසේ පවසා තිබුණා.නමුත් සමීර දැඩි සිත්වේදනාවෙන් පසු වී තිබුණා.ජංගම දුරකථනවලින් එකක් සමීර ලබා දුන් වටිනා එකක් වූ අතර අනෙක සාමාන්‍ය වර්ගයක එකක්.සමීර එය පරීක්ෂාකර බැලීමේදී කිසිම පණිවිඩයක් හෝ ඇමතුමක සලකුණක් දැකගන්නට ලැබී නැහැ.කිසිම දෙයක් නොමැතිව තමන් සැක කිරීම ගැන සෙව්වන්දි සමීර සමඟ දැඩි රණ්ඩුවක් ගොඩ නඟාගෙන ද තිබුණා.නමුත් සෙව්වන්දිගේ හැසිරීම ගැන සමීරට දැඩි සැකයක් ද තිබී තිබුණා.ඔවුන් කාලයකට පසු මුණගැසුණ ද දෙදෙනා අතර කිසිම ලිංගික සම්බන්ධතාවයක් ඇති වන්නේ ද නැහැ.සෙව්වන්දි සමීරව ගණන් ගන්නේ ද නැති බව ඔහුට හොඳින් වැටහී තිබුණා.

සමීර නැවත ලංකාවෙන් පිටව යන්නේ සිත් වේදනා දරාගෙන.ටික දවසක් යද්දි සමීරගේ දුරකථන ඇමතුම් වලට පිළිතුරු දීම සෙව්වන්දි සහමුලින්ම නවතා දමා තිබුණා.අඩුම තරමේ ඔවුන්ගේ දරුවා සමග වත් සමීරට කතාබහ කරන්නට අවස්ථාව ලැබී නැහැ.ඇය ඉතාම කාර්යබහුල බව ඔහුට වැටහී තිබුණා.එක්වරම සෙව්වන්දි සමීරව සෑම දුරකථන අංකයකින් ම සහ සමාජ ජාලාවකින් ම බ්ලොග් කර දමා තිබූ අතර ඇගේ නිවසේ උදවිය ද ඇය අනුකරණය කර තිබුණා.මේ වෙද්දි සමීර ඔහුගේ නිවසේ අය සමග නැවත හිතවත්කම් ගොඩ නඟා ගෙන තිබුණා.ඒ නිසා ඔහු නිවසේ අය මාර්ගයෙන්ද මිතුරන් මාර්ගයෙන් ද සෙව්වන්දිට සිදුවූයේ කුමක්දැයි විපරම් කරන්නට පටන් ගත්තා.සමීරගේ නිවසේ අය ඔහුට ලංකාවට එන්නැයි පැවසූ නිසා ඔහු ඉතා ඉක්මනින් නැවත ලංකාවට පැමිණෙන්නට පියවර ගත්තා.

සමීර ලංකාවට පැමිණි එක් වතාවක Power of Attorney බලපත්‍රයක් මාර්ගයෙන් සියල්ල සෙව්වන්දිට පවරා ගොස් තිබුණා.ඔහු මේ වතාවෙ පැමිණ විමසා බලද්දී ඉදිවෙමින් තිබූ නිවස ද වාහන සියල්ලම ද ඇය විකුණා දමා අවසන්.ඒ තමන්ට ලැබුණු නීතිමය බලය පාවිච්චි කරමින්.එපමණකින් කතාව අවසන් නැහැ.ඇය වෙනත් තරුණයකු සමග රහසේ පැන ගොස් තිබුණා.දරුවා පෙර පාසලට ඇතුළත් කර සමීරගේ තාත්තාට දරුවා හවස සිට කැඳවාගෙන යන මෙන් දන්වා ඇය තරුණයෙකු සමඟ යන්නට ගොස් තිබුණා.දැන් දරුවා සමීරගේ නිවසේ ඇති දැඩි වෙමින් සිටියා.

සමීරගෙන් දික්කසාද වී නොමැති නිසා සෙව්වන්දිට නැවත විවාහ වීමේ හැකියාවක් නැහැ.එහෙත් ඇය අර තරුණයා සමග එක්ව ජීවත් වෙනවා.සෑම දේපලක්ම සහ බැංකු ගිණුම්වල ඇති සෑම මුදලක්ම අහිමිවීම නිසා සමීර අන්ත දිලිඳු වී සිටියා.ඔහු ආවේගය නිසා සෙව්වන්දි සෑම තැනකම සොයා තිබුණා.ඇය පැන ගොස් ඇත්තේ ටැටූ කලාවේ නියැලෙන තරුණයා සමග බව ඔහු දැන ගත්තේ ඒ මොහොතේදී.නමුත් ඔවුන්ව සොයා ගන්නට සමීරට හැකිවී නැහැ. හෙම්බත් වීමෙන් පසු දික්කසාදය වෙනුවෙන් සමීර අප වෙත පැමිණියා.මේ වෙද්දී ඔහුට ජීවත් වීමට නිවසක්වත් නොමැති බවත් ඔහු ජීවත් වන්නේ තමන්ගේ දෙමාපියන්ගේ නිවසේ බවත් සමීර අපට දැනුම් දුන්නා.දැන් ඔහු සිටියේ කෝපයෙන් නොවේ,ජීවිතය ගැන ඇති අප්‍රමාණ කලකිරීමෙන්.

ද්වේෂ සහගතව අතැර දැමීම සහ අනාචාරය යටතේ දික්කසාද නඩු පැවරුණු අතර දරුවාගේ භාරකාරත්වය වෙනුවෙන් ද සමීර නඩුවක් පැවරුවා.එහෙත් සෙව්වන්දිගේ ලිපිනයවත් සොයා ගැනීමට හැකියාවක් නෑ.ඇගේ මහ ගෙදර අය කියන්නේ ඇය ගැන නොදන්නා බවක්.

මේ නඩුව ඔබට වෙනදා පවසන නඩු මෙන් තීන්දුවක් ලැබුණු නඩුවක් නොවේ.සෙව්වන්දිව කෙසේ වත් සොයා ගැනීමට නොහැකි වීම නිසා විභාග ගන්නට නොහැකිව මේ නඩුව දිනෙන් දින කල් ගිය අතර සමීරට නැවත විවාහ වීමේ හැකියාවක් වත් නැහැ.නව ලිපිනය ලැබෙන තුරු නඩුව “බහ තබා” තිබුණා.නැවත ගොඩ නැගෙන්නට තරම්වත් සමීරට මානසික මට්ටමක් නැහැ.සමීපතමයන්ගේ දැඩි උත්සාහ දැරීම් හේතුවෙන් සෙව්වන්දි ඉන්නා තැන සොයා ගන්නට මාස කිහිපයකට පසු හැකි වූ අතර සාක්ෂි පහසුවෙන් ඔප්පු කර දික්කසාදය සහ දරුවාගේ අයිතිය ලබා ගන්නට සමීරට හැකි වුණා.දේපල වටිනාකම් සම්බන්ධයෙන් නඩුවක් තවමත් විභාග වෙමින් පවතිනවා.නමුත් පැවති ගැටළුව අනුව දික්කසාදය හෝ ලබා ගැනීමට හැකි වීම සමීරට සැනසීමක්.

මේ කතාව වෙනදා මෙන් ඔබට නීතිය ක්‍රියාත්මක කරන ආකාරය පිළිවෙලින් පිලිවෙලට විස්තර කරන කතාවක් නොවේ.නමුත් බොහෝදෙනකු වරදවා ගන්නා තැනක් ගැන ඔබට පැහැදිලි කරන නීතිමය කතාවක්.ඔබට ඔබේ විවාහ ජීවිතය තුළ රතු එළි මතුවන්නේ නම් නීතිමය පිළිසරණ පතන්නට පැකිලෙන්න ට එපා. ඔබේ සහකරු හෝ සහකාරිය සොයාගත නොහැකි ලෙස සැඟවී ගිය හොත් එක් පාර්ශවයක අදහස් සලකා බලා දික්කසාදය ලබා දෙන්නට උසාවිය ක්‍රියා කරන්නේ නැහැ.කවදා හෝ ලිපිනය සොයාගෙන විත්තිකාරයා උසාවියට කැඳවන තුරුම නඩුව කල් තැබෙනවා.ඒ නිසා එවැනි අනතුරුදායක අවස්ථාවන්වලට පත් වන්නට එපා.එවිට ඔබේ ජීවිතය නිකරුණේ නාස්තිවීමට ඇති ඉඩකඩ වැඩියි.ඔබෙන් පලා යන සහකරුට හෝ සහකාරියට නැවත නීතිමය විවාහයක් අනවශ්‍ය විය හැකියි.නමුත් ඔබට අවශ්‍ය වුවද විවාහයක් කර ගැනීමේ හැකියාව නැහැ.නීතිය එතැනදී ඔබට එරෙහි වෙනවා.ඒ නිසා වරදක් නොමැතිව වරදකාරයෙකු වනවාට වඩා විවාහ ජීවිතයක රතුඑළි පෙනෙද්දීම නුවණක්කාර ලෙස ක්‍රියාත්මක වීම වැදගත්.මේ කතාව නීතිඥවරියක ලෙස ඔබට කියන්නට මට උවමනා වූයේ නීතියේ සිදුරු වලින් රිංගා යන්නට සමහරුන් කූඨ උපක්‍රම ක්‍රියාත්මක කරන අන්දම මගේ වෘත්තීය ජීවිතය තුළ මා ඕනෑ තරම් දැක ඇති නිසාමයි.ඒ නිසා අවස්ථා ඔහේ ගිලිහී යන්නට නොදී  අවශ්‍ය තැනකදී පරීක්ෂාවෙන් ක්‍රියාත්මක වීම ඉතාමත් වැදගත් බව මම ඔබට නැවත නැවතත් සිහිපත් කරනවා.අනිත් කාරණාව වන්නේ ඇටෝනි බලපත්‍රයකින් බලය පවරා දීම ද ඔබ ඉතාම ප්‍රවේශමෙන් කලයුතු වන්නක්.තමන් ගේ අති සමීපතමයෙකුට පවා එවැනි බලයක් පවරා දීමේදී දෙවතාවක් නොසිතීම නිසා ඔබ සතු සියලුම දේපළ සහ මිල මුදල් ඔබට අහිමි වී යන්නට පුළුවන්.ඒ නිසා නීතිය සම්බන්ධයෙන් තීරණ ගැනීමේදීත් ඔබ දැඩිව විමසිලිමත් විය යුතුයි. 

Related Articles

Don't Miss


Latest Articles