වසර 25ක් සැමියාගේ අමානුෂිකකම් ඉවසා දික්කසාද වූ බිරිඳක්

(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරිනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

කාන්ති පනස් හැවිරිදි වියේ කාන්තාවක්. මේ වෙද්දී ඇගේ විවාහයට විසි පස් වසරක් ගෙවමින් තිබුණා. ඇය පුතුන් තිදෙනෙකුගේ සහ දියණියන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙක්. කාන්තිගේ සැමියා පාලිත narcissistic වර්ගයේ මිනිසෙක්. ඔහු විධායක මට්ටමේ නිලධාරියෙක් වුණා. ඔවුන් විවාහ වී තිබුණේ යෝජනාවක් මඟින්. කාන්ති පළමු දරුවා ලැබීමෙන් පසු රැකියාවෙන් ඉවත් වන්නේ පාලිතගේ ඉල්ලීමට. ඇය ඒ වෙද්දීත් උපාධි කිහිපයක් ඇති හොඳ රැකියාවක් කළ ගැහැනියක්. ඉතා හොඳ පෞරුෂයක් සහිත කාන්තාවක් ලෙස කාන්ති සේවා ස්ථානයේ පවා ප්‍රසිද්ධියට පත් වී සිටියා. අනිත් කාරණාව ජනප්‍රිය නිළියකට සමාන රූපයක් ඇයට තිබුණා.

“අපෝ බලනවකො තමුසෙගෙ කැත. මං වගේ හැන්ඩ්සම් කොල්ලෙක් තමුසෙට කැමති වුණු එක ගැන ආඩම්බර වෙනවා.”

පාලිත එහෙම කිව්වේ විවාහ වූ කාලයේ දීමයි. ඔහු මෙසේ ඇයව පහත් කිරීම කිසිම ආකාරයකින් නැවතුණේ නෑ. ඔහු ඉතා උගත් වැදගත් බවත් ඇය පහත් මෝඩ ගැහැනියක් බවත් ඔප්පු කරන්නට පාලිත නොකළ දෙයක් නෑ. නිතරම ඇයට අපහාස කිරීම ඔහුගේ විනෝදාංශය බවට පත් වුණා.

“රෙද්දක් මදින්න දන් නැද්ද ගෑනියේ”

සමහර වෙලාවට කමිසයේ රැල්ලකට පවා කාන්ති පහර කනවා.

තමන්ට අවශ්‍ය  පිළිගැනීම සහ ප්‍රශංසාව  පමණක් නිසා මේ වර්ගයේ මිනිසුන්ට අනිත් අය ගැන තියෙන සංවේදීකම නැතිවෙනවා.තමන්ට අවශ්‍ය අවධානය වෙනුවෙන් කෙනෙක්ට රිද්දන්න පාලිත වගේ අය දෙපාරක් හිතන්නේ නැහැ. ඒක මානසික වගේම ශාරීරිකවත් ඔවුන් සිදු කරනවා.කෙනෙක්ට අනුකම්පා කිරීම තමන්ගේ අභිමානයට හානියක් විදිහට පාලිත හිතුවා.

“ළමයෙක් හම්බෙන එකේ තියන අමාරුව මොකක්ද ඕයි. ලෝකේ හැම ගෑනිටම ළමයි හම්බෙනවා.”

දරුවන් ලැබෙන කාලයේදී කාන්තිට එහෙම කියපු පාලිත දැන් පවා ඇගේ ශාරීරික අපහසුතා ගණන් ගන්නේ නෑ.

“තමුසෙ දැන් නාකි ගෑනියෙක්නෙ. කොන්දෙ අමාරු හැදෙන එක සාමාන්‍ය දෙයක්”

අඩුම තරමේ වේදනා නාශකයක්වත් නොතවරා ඔහු ඇයට එහෙම කියනවා.

නමුත් කාන්ති ඉතාම පීඩනයට ලක් වූ කාරණාව එය නෙවෙයි.

“අනේ කාන්තිට වගේ මහත්තයෙක් අපිට නෑනෙ”

ඇගේ මිතුරියන්ද ඥාතිවරියන් ද ඇයට කියන්නේ ඉරිසියාවෙන්. පාලිත ලෝකයට පෙන්වන්නේ ඔවුන් රන්‍ රස සේ ගැළපෙන යුවලක් බවයි. 

එපමණක් නෙවෙයි ඔහුට අනියම් සම්බන්ධතා ගණනාවක් තිබී තිබුණා.ඒත් ඒවා පවා පාලිත කළේ ඉතා රහසිගතවයි.

“බබාලා බලාගෙන ගෙදර වැඩ කරගෙන මාවත් බලාගන්න තමා අපේ නෝනා ආස”

එහෙම ලෝකයට කියමින් කාන්තිව නිවසට කොටු කරන්නටත් ඔහු වග බලා ගත්තා.

ඕනෑම ගිනි කන්දක් දැවෙමින් තිබී පුපුරන දවසක් එනවා. කාන්තිට විශාදය වැළඳුණේ වසර ගණනාවක ඉවසීම කෙළවරයි. ඇය වෛද්‍යවරයෙක් වෙත ගොස් ප්‍රතිකාර ලබා ගෙන තිබුණා. වෛද්‍යවරයා තත්ත්වය නිවැරදිව වටහාගෙන  පාලිතට  ද ඔහු හමුවට එන ලෙස දන්වා තිබුණා. නමුත් පාලිත වෛද්‍යවරයා හමුවට යන්නේ එක් වතාවක් පමණයි.

“තමුසෙට පිස්සු නම් තමුසෙ තනියම ගිහින් බෙහෙත් ගන්නවා

 මාව ඕවට පටලවන්න එපා”

ඔහු නිවසට විත් ඇයට පහර දෙන්නේ එසේ කියමින්.කිසිම මානසික සහනයක් ඇයට ලැබෙන්නේ නෑ.

උපදේශනය වෙනුවෙන් ඇය මා වෙත පැමිණියේ ඔය කාලයේදී.

ඇය සිටින සිරගෙදරින් කඩා බිඳගෙන එක්වරම එළියට පැමිණිය නොහැකි බව මම ඇයට පැහැදිලි කළා. මෙය කළ යුත්තේ පියවරෙන් පියවරයි. පාලිත කිසිම අයුරකින් ඇය පිළි ගන්නේ නෑ. කාන්තිට කිසිම අයුරකින් ආර්ථික ශක්තියක් තිබුණේ නැහැ. පාසල් වියේ දරුවන් සහ සරසවි අධ්‍යාපනය හදාරන දරුවන් ඇයට සිටියා.

මම ඇයව රැකියාවක් කරා යොමු කළා. ලෝකය වෙත නිරාවරණය වෙන්නට ඒ රැකියාව ඇයට උදව් කළා. ඇය අධ්‍යාපනය ලබා තිබීම නිසා ඇයට රැකියාවක් කෙසේ හෝ ලැබුණා. ඇගේ සැඟවුණු පෞරුෂය පිටතට පැමිණියේ ඉන් පසුවයි . ඇය ඉතා අවංකව රැකියාව කළා. ඒ වගේම ඇය මිනිසුන් සමඟ ඉතාම හොඳින් ගනුදෙනු කළා. ඇයට කිසිම කෙනෙකුගේ මිත්‍රත්වයක් හෝ කරුණාවක් හරියට ලැබී තිබුණේ නැහැ. නමුත් රැකියාව කරන ස්ථානයේ හැම කෙනෙකුම ඇයට ආදරය කරන්නට පටන් ගත්තා. ඇගේ කාරුණික බවට සහ  අවංක බවට ගරු කරන්නට පටන් ගත්තා. ඇගේ ජීවිතය එතැනින් සාර්ථක වන්නට පටන් ගත්තා.

මේ වන විට ඇය වසර ගණනාවක දුක් විඳි විවාහයෙන් නිදහස් වීමේ පියවර තබමින් පසු වෙනවා.

“මං පරක්කුයි”

කිසිම අවස්ථාවක මෙහෙම හිතන්න එපා. ඔබ වසර ගණනාවක් සැමියාගෙන් වාචිකව සහ කායිකව හිංසනයට ලක් වී ඇති. නමුත් ලෝකයට පේන්නට හොඳ වී ඵලක් නෑ. ඇත්තටම වටින්නේ මානසික නිදහසයි. තරුණියන්ට පමණක් නෙවෙයි,ඔබ මැදිවියේ පසු වුණත් හිර ගෙදරකින් එළියට එන්නට ශක්තිය ලබා ගන්න.

කාන්තාවකට කළ නොහැක්කක් නෑ. ඇගේ ශක්තිය මහමෙරක් වගේ බව සිහියේ තබා ගන්න.  

(ඔබට සේවා ගාස්තු සහිතව මනෝ උපදේශනය ලබා ගන්නට 074 0377539 අංකයෙන් රශ්මි රාජපක්ෂ මහත්මිය සම්බන්ධ කර ගන්න පුලුවන්. Rashmie Rajapaksha ෆේස්බුක් පිටුව හරහා ද ඇය හා සම්බන්ධ වෙන්න පුලුවන්)

Related Articles

Don't Miss


Latest Articles