යුගාශ් නිවසට පැමිණෙද්දී පාන්දර එක පසු වී තිබිණ. ඔහු අපූර්වාට දුරකථන ඇමතුමක් ලබා දී තමා පැමිණි බව පැවසූයේ වාහනයෙන් බසින්නට පෙරය. ඇය මෙවේලෙහි නිදි වරාගෙන බලා සිටිනා බව යුගාශ් දැන සිටියේය. මේසා අසීරු තීරණයක් ගැනීමට ඒ සිතුවිලි බොහෝ වෙහෙස වන්නට ඇතැයි යුගාශ්ට සිතුනේත් එවේලෙහිය. එනිසාම ඔහු ඊට එරෙහි වන්නටවත් ඒ තීරණය හෑල්ලු කරන්නටවත් නොගියේය. අම්මා, සේම අප්පච්චි වෙනදාටත් වඩා ආදරයෙන් බලා ගන්නයැයි ඇය පොරොන්දු ලබා ගත්තේ ඒ නිවසින් පිටවීමට ප්‍රථමවය. මේ යුගාශ් පැතූ ආදරයමය.
අම්මාත් අප්පච්චීත් ආලින්දයේ දෙපසකට වී මග බලාගෙන සිටින අයුරු දුටු තරුණයාගේ දෑස් විසල් විය. මේ වනතුරුත් ඔහු සිතා සිටියේ අප්පච්චී ඔහුගේ නිවසට ගිය බවය. යුගාශ් නිවසට ඇතුළු වූයේ ඔවුනට මුහුණ නොදීමය. රත් පැහැ වූ දෑස් අම්මාගෙනුත් අප්පච්චීගෙනුත් වසන් කර ගන්නට ඔහුට වුවමනා විය. පළමුවෙන් නිවස තුළට ගිය යුගාශ් පසු පසින් තමාරාත් ඇවිද යද්දී ආලින්දයේ තනිවූයේ පුෂ්පානන්ද පමණි.
ඔහුත් තමාරාත් අතර සිදුවූයේ සීමිත වචන හුවමාරුවක් පමණි. එහෙත් පැය දෙකකටත් වඩා වැඩි කාලයක් ඔවුන් දෙදෙනා එකම අරමුණක් වෙනුවෙන් ඉවසා බලා සිටියේය. පුෂ්පානන්දගේ දෑස් වලට දැනුනේ වෙහෙසක් නොවේ. පවුලක් වශයෙන් එක්ව සිටීම සතුටක්යැයි ඔහුට දැනුනේ මුල්ම වරටය. පසුගිය අවුරුදු දෙක තුන පුරාවටම ඔහු සටන් කළේ පිළිකා මාරයා පරදන්නටය. බොහෝ දිනවල තමා සාර්ථකයැයි ඔහු උදම් ඇනුවේය. වසර දෙකකට ආසන්න කාලයක් පුරා ලෝකයාගෙන් තමා රෝඟියෙකු බව වසංගන්නට ඔහුට හැකියාව ලැබිණ. තමා හඹා ගිය සියලු ඉලක්ක ජයග්‍රහණය කළ බව ඔහුට විශ්වාසය. දේශපාලනයට සම්බන්ධ වීමට පුෂ්පානන්දගේ සිතෙහි වූයේ දැඩි කැමැත්තකි. තව දුරටත් මේ රටතුල ජනප්‍රියත්වයේ හිනි පෙත්තේම සිටින්නට උවමනාවක් ඔහුට විය. පසුගිය දිනවල ඔහු වෙහෙස වූයේ ඒ වෙනුවෙන්ය. මියැදෙන්නට පෙර ඒ බලාපොරොත්තුවත් ඉෂ්ඨ කර ගැනීමේ උවමනාවක් ඔහුට විය. සේනක සමග එක්වී පිඹුරු පත් සැකසූයේ තමාගේ ඒ දේශපාලන ගමන වෙනුවෙන්ය.
උසාවිය තුළදී යුගාශ් නඩු කතා කරන අයුරු පුෂ්පානන්ද ඕනෑ තරම් දැක තිබේ. සම වයසේ උන් අනිත් නීතිඥයන්ට වඩා ඔහු උන්නේ ඉදිරියෙන්ය. කලක් ඒ පිළිබඳව තමාගේ සිතෙහි ඉරිසියාවක් වන් හැඟීමක් තිබූ බවද විශ්වාසය. ඔහු කෙදිනක හෝ පුෂ්පානන්ද යන නම දෙවැනි තැනට දමන පවට විශ්වාසයක් ඒ සිත තුළ විය. ඔහු මේ ගමන පටන් ගත්තේ තමාගෙන් අංශුමාත්‍රික උදව්වක් නොලැබමය.
තමාරා වෙනුවෙන් තිබූ කෝපය, වෛරය හා සමානවම ආදරයක් යුගාශ් පිළිබදව මේ හදවතෙහි තිබූ බව විශ්වාසය. කලක් පුෂ්පානන්දට අවැසි වූයේ ඔහු තමා හරි හම්බ කරගත් දේ තවදුරටත් වැඩි දියුණු කරගනිමින් ඉදිරියට ගෙන යන අයුරු දකින්නටය. එනිසාම ඔහුට තම කාර්යාලයට පැමිණෙන්නයැයි කිහිප වරක්ම පුෂ්පානන්ද ආරාධනා කළේය.එහෙත් ඔහු ඒ ඇරයුම ප්‍රතික්ෂේප කළේය. යුගාශ් අමුතු මිනිසෙකුයැයි පුෂ්පානන්ද තේරුම් ගත්තේ එවේලෙහිය. පසු කලෙක යුගාශ් හිතා මතාම තමාව රිදවන්නට උත්සාහ දරනවායැයි සිතුණු අවස්ථා ද බොහෝ විය. දිනෙන් දින තමාරාගේ සුදු පැහැයෙනුත් තමාගේ රුවිනුත් ඔපමට්ටම් වන තරුණයා දකිද්දී ඒ සිතෙහි උපන්නේ ලෝබකමකට සමාන හැඟීමකි.
ප්‍රථම වරට පුෂ්පානන්ද පරාජය පිළිගත්තේ සේනකගේ නඩුවේදීය. සාක්ෂි ඉපයීමේ කාර්යයේදී ඔහු තමාට වඩා සූක්ෂම වූ අයුරු දකිද්දී පුෂ්පානන්දට ඇතිවූයේ පුදුමයකි. ඔහු ඒ හැප්පුනේ එසේ මෙසේ පුද්ගලයන් දෙදෙනකු සමග නොවේ. එනිසාම ඔහු අසාධාරණය වෙනුවෙන් තත්වය තරාතිරම නොබලා නැගී සිටින බවද පුෂ්පානන්ද තේරුම් ගත්තේය. තමාගේ පාර්ශවය දිනවන්නට නඩු කණපිට ගසන්නට සමත්ව උන් පුෂ්පානන්ද සේම තමා දුටු සට කපටම සූක්ෂම දේශපාලනඥයා වූ සේනකත් පරාජය වූයේ තරුණ වියේ පසුවෙන කොල්ලෙකුටය. ඔහු එසේ මෙසේ බුලට් එකක් නොවන බව පුෂ්පානන්ද තේරුම් ගත්තේ උසාවි භූමිය තුළදීමය. මේ තමාගේ ලේ යැයි දැණුනු සියුම් ආඩම්බරය සඟවා සිටින්නට ඔහු දැන සිටියේ නැත.
“ගහේ කටු උල් කරන්න ඕනේ නෑ කියලා කියනවනේ..”
කිහිප දෙනෙකුම තමාට උසාවි භූමියතුලදී එසේ පැවසූ අයුරු ඔහුට සිහි වූයේත් ඒ හදිසියේමය.
“පුෂ්පානන්ද ගිහින් නිදාගන්න. නිදි මරන්න හොඳ නැහැ නේද?”
තමාරා ආලින්දයට එබී පැවසූයේ තවත් විනාඩි කිහිපයක් ඉක්මගියාට පසුවය. සුසුමක් මුදා හරිමින් පුටුවෙන් නැගී සිටි ඔහු “පුතා කෑවාද?” යනුවෙන් ඇසුවේ ඉවත බලාගෙනය.
“මේ වෙලාවේ එයා කෑම කන එකක් නැහැ.”
තමාරා එපමණකින් කතාව නිමකර නිවස තුළට ඇවිද ගියාය. පුෂ්පානන්ද උඩුමහලට නැගුණේ ප්‍රධාන දොරටුව ඇතුළතින් යතුරු දමා වසා දැමුවාට පසුවය.
“යුගාශ් මට ටිකක් කතා කරන්න ඕනේ..”
තරුණයා දොර ඇරියේ ඔහු දෙවරක් තුන් වරක් එසේ පැවසුවාට පසුවය.
“අප්පචි දැන් රෑ වෙලා වැඩියි. අප්පච්චි ගිහිල්ලා නිදාගන්න..”
“උඹේ අප්පච්චිට කොහොමත් තිබුණේ නිශාචර ජීවිතයක් තමයි. මිනිස්සු දවල්ට මොන විදිහේ මවාපෑම් වලින් ජීවත් වුණත්, තනිකම අඳුර මේ දෙකම එකතු උනාට පස්සේ මනුස්සයෙක්ගේ හෘද සාක්ෂිය කතා කරන්න පටන් ගන්නවා. හෘද සාක්ෂියට එකග නොවී ජීවත් වෙච්ච මිනිහෙකුට රෑ කියන්නේ සැනසීමක් නෙමෙයි බං. අමු අපායක්. අපි යමු බැල්කනියට..”
පුෂ්පානන්ද ඉස්සර වූයේ කිසිවක්ම නොපවසමින්ය. සැහැල්ලු වර්ගයේ කොට කලිසමක් ඇද උඩු කය නිරුවත්ව උන් තරුණයා අප්පච්චි පසුපසින් ඇවිද ගියේ ටී ෂර්ට් එකකුත් ඇඳ ගත්තාට පසුවය.
වෙලාව රාත්‍රී රාත්‍රි දොළහයි දහය ලෙස උඩුමහලෙහි වූ ඔරලෝසුවෙහි සටහන්ව තිබිණ. ඔහු බැල්කනියට යද්දී බතික් සරමක් සහ සැහැල්ලු වර්ගයේ කමිසයක් ඇද උන් පුෂ්පානන්ද සිටියේ කෙටි බැම්මට වාරු වී පහතට එබීගෙනය.
කිසිවක් නොකියා තමා අත වූ ෆයිල් කවරය පුෂ්පානන්ද දෙසට දිගු කළ තරුණයා දෑත් බැඳගෙන ඉදිරිය බලා සිටියේ නිහඩවය. ඉඳහිට ගාලු පාරේ දිවෙන වාහනයක් ඇරෙන්නට ඒ නිහඬතාවය බිඳින්නට සමත් අන් කිසිවක් වූයේ නැත.
පුෂ්පානන්ද කලබලයෙන් තරුණයා දෙසට හැරුණේ ෆයිල් කවරයතුල වූ සුදු පැහැ කොල එකින් එක පෙරලා බැලුවාට පසුවය.
“ඇයි මෙහෙම කරන්නේ? මොකක්ද හේතුව…කවුද මේ නඩුව ආපහු උඩට ගන්න කියලා කිව්වේ. යුගාශ් මේක තීන්දුවක් දීපු නඩුවක්. ආපහු ආපහු මේවා පස්සේ දුවන්න ගිහිල්ලා උඹට තියෙන තත්වය නැතිකර ගන්න එපා.”
“අප්පච්චි මං ඔය ෆයිල් එක අප්පච්චිට දුන්නේ ඔයාව බය කරන්න නෙමෙයි. මේ කතාව පටන් ගන්නේ ඔතනින් නිසා.”
“මං කිසි දෙයකට බයවෙච්ච මිනිහෙක් නෙමෙයි පුතා. මට කියන්න බෑ උඹට මේ නඩුව බාරගන්න එපා කියලවත් මේ නඩුව ආපහු උඩට ගන්න එපා කියලවත්. මං එහෙම කරන්නෙත් නෑ. යුගාශ් පුතා උඹයි මමයි මේ රාජකාරියේ දී දෙපැත්තක ගමන් කරන දෙන්නෙක්, මේ ගෙදරදි උඹයි මමයි අප්පච්චියි පුතයි මිසක් ලෝයර්ස්ලා දෙන්නෙක් නෙමෙයි. අන්න ඒ ටික හොඳට අවබෝධ කරගෙන අපි ජීවත් වෙමු. මට අම්මව නැති උනෙත් ගෙදරදිත් ලෝ ෆොයින්ට් දෙන් ගිය නිසා.”
එසේ පවසද්දී පුෂ්පානන්දගේ මුවෙහි වූ සිනහව යුගාශ් නොදුටුවේය.
“අප්පච්චි..ඔයාට මතකද මේ නඩුවට සම්බන්ධ වෙච්ච නන්දසේන. මේ නඩුවෙදි අසාධාරණයක් වුණ කෙනා.”
“ඔව් මට මතකයි.”
“අප්පච්චි දන්නවද නන්දසේන සුයිසයිඩ් කරගත්තා කියලා.”
“මට එහෙම කතාවක් ඒ දවස්වල ආරංචි වුණා. හැබැයි එච්චර ලොකු විස්තරයක් මම දන්නේ නෑ. නඩුව ඉවර උනාට පස්සේ, ඒකට තීන්දුවක් දුන්නට පස්සේ ආපහු ක්ලයන්ලස් එක්ක සම්බන්ධතා පවත්වන සිරිතක් නෑ පුතා.”
“හරි…ඔය ඔක්කොම අමතක කරන්න මං අප්පච්චිට එක ගෑනු ළමයෙක් ගැන කතාවක් කියන්නම්. අර අප්පච්චි කියපු හෘද සාක්ෂිය මේ වෙලාවේ අවදි වෙලානම් ඉන්නේ මේ කතාව අන්තිමේදී අප්පච්චිගේ තීරණය කියන්න.”
එසේ පවසා යුගාශ් පුෂ්පානන්දට පිටුපා අනික් පස හැරුනේ දිගු සුසුමක් මුදා හැරියාට පසුවය.දෑත් බැඳගෙන උන් තරුණයා කතාව පටන් ගත්තේ ඉවසීමෙන්ය.
විනාඩි කිහිපයකට පසුව ඔහු කතාව නවතා හති ඇරියේය. පුෂ්පානන්ද තරුණයාගේ එක උරයකට තම දකුණත තබා තද කලේ එවේලෙහිය. ඔහුටත් නොදැනීම ඒ ස්පර්ෂය දැඩි එකක් වී තිබිණ. ප්‍රථම වරට තමාගේ රැකියාව පිළිබඳව කලකිරීමක් ඒ සිතට දැනෙන්නට විය. මසකට පමණ ඉහතදී උසාවියේදී හමු වූ එම ගමෙහි ග්‍රාමසේවක සොල්දර ගෙදර විකුණන්නට දමා ඇති බවත්, එය අඩු ගණනකට මිලදී ගත හැකි බවත් පැවසූ බව පුෂ්පානන්දට සිහි වූයේ ඒ හදිසියේය. ඔහු එවේලෙහි උත්සාහ දැරුවේ ඒ ඉඩමත් නිවසත් තමාගේ ඇඟෙහි ගසන්නටය.
“පුතා….”
යමක් පවසන්නට ගියත් පුෂ්පානන්දගේ මුවින් ඉස්සර වූයේ සුසුමකි.
“උඹ හිතනවද..ඒ ගෑණු ළමයා තමයි උඹේ ජීවිතයට කරපු හරිම තෝරා ගැනීම කියලා”
“මං ජීවිතේ නාස්ති කරගතපු මිනිහෙක් නෙමෙයි අප්පච්චි. හැබැයි එයාගේ ආදරේ වෙනුවෙන් මං මාවම නැති කරගන්න දෙපාරක් හිතන්නේ නෑ. එයාට මගේ තැනට එන්න බැරිනම් මට එයාගෙ තැනට යන්න පුළුවන්.”
“ඒක හොඳට හිතල මතල ගත්තු තීරණයක් ද…”
“ඔව්…කවදා කොච්චර කාලයක් අරගෙන මොන විදිහකට හිතුවත් ඒ තීරණය වෙනස් වෙන්නෙ නෑ. මට ආදරේ කියන්නේ නොවෙනස් වෙන හැඟීමක් අප්පච්චි. එහෙම නැතුව මේ ලෝකේ ඉන්න අනිත් ගෑණු අයත් එක්ක අපූර්වව සංසන්දනය කරලා එයා ළඟ නැති දේත් අනිත් අය ළඟ ඇති දේත් හොයන එක නෙමෙයි. අපේ ගෙදර ඇතිවුන මේ ප්‍රශ්නෙදි අප්පච්චිද වැරදි අම්මද වැරදි කියන්න මම අදටත් දන්නෙ නෑ. අප්පච්චි එදා හෙව්වේ අප්පච්චිගෙ ගමනට හයියක් වෙන්න පුළුවන් සල්ලි තියෙන ෆැමිලි එකක කෙනෙක්. මොකද අප්පච්චි දක්ෂයෙක් වුණාට අප්පච්චි ළඟ සල්ලි තිබුනේ නෑ. මගේ සීයා හෙව්වේ සල්ලි තියෙන තමන් ළඟ නැති, බල පුළුවන්කාරකම දක්ෂකම, උගත්කම. මේ දෙක එකට පෑහුනාද කවදාවත්? ආපස්සට හැරිලා බලද්දි සතුටු වෙන්න පුළුවන් එක තැනක්, පුංචිම පුංචි තැනක්වත් ඔයාලගේ ජීවිතේ තිබුණද? අප්පච්චී.. අපූර්වයි මමයි මේ එෆෙයාර් එක පටන්ගෙන අවුරුදු එකහමාරකට වැඩියි. අවුරුදු එකහමාරක් කියලා කියන්නේ ලොකු කාලයක් නෙමෙයි. හැබැයි අපිට අපිව හොඳටම අඳුනගන්න පුළුවන් වෙච්ච කාලයක්…”
“පුතා….ඒ දරුවා ගතපු තීරණය හරි. අවුරුදු තුනක් ඔයාලා ඔයාලට දෙන්න. මං හිතන්නෙ නෑ මේ වෙලාවේ අම්ම ඉන්න මානසිකත්වය තේරුම් ගන්න ඔයාට අපහසු වෙයි කියලා. අම්මා තීරණයක් ගත්තනම් ඒක ඔයාට තියෙන ආදරේ නිසා ගතපු තීරණයක් මිසක් ආත්මාර්ථකාමී නෙමෙයි. ආදරයයි ආත්මාර්ථකාමී කමයි කියන්නේ දෙකක් පුතේ… මනුස්සයෙක් තව පුද්ගල ජීවිතයක් දිහා බලන්නේ තමන් ලබපු අත්දැකීම් එක්ක. අනිවාර්යෙන්ම අම්මා ඔයාගේ විවාහය ගැන එක පාරක් දෙපාරක් නෙමෙයි දහස් වතාවක් හිතනවා. ඒක වළක්වන්න අපි කාටවත් බෑ. හැබැයි කාලයත් එක්ක අම්මා දෙයක් තේරුම් ගනියි. අපූර්වා කියන්නේ ජීවිතය ගැන ලොකු අවබෝධයක් තියෙන දරුවෙක්. ඔයාගේ මේ කතාව පුරාම මං තේරුම් ගත්තේ එච්චරයි. ඔයා කියන්න වගේ සමහර විට මේ ඔයාට ගැලපෙන දරුවා වෙන්න ඇති. පුතා.. තව දෙයක්. ඒ දරුවාට සාධාරණයක් ඉෂ්ඨ කරන්න ඔයා මේ නඩුවත් ඉක්මනින්ම උඩට ගන්න. ඒකට මුහුණ දෙන්න මං ලෑස්තියි. හැබැයි එකම එක ඉල්ලීමක් තියෙනවා. ඒ තමයි උසාවියෙන් එළියට බැස්සට පස්සේ උඹයි මමයි ආදරේ විතරක් පිරුණු ලෝකයක ජීවත්වෙන අප්පච්චි කෙනෙකුයි පුතෙකුයි විතරක්. ජීවත් වෙන්න හැමදේකටම වඩා වටින්නේ හිතේ සැනසීම. ජීවත් වෙන්න ඕනේ අන්න ඒ සැනසීම තමන්ට ජීවිත කාලෙ පුරාම ආරක්ෂා කරගන්න පුළුවන් වෙයි කියලා හිතෙන නැනක. තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ගන්න තීරණ වරදින්නේ නෑ කියලා මං විශ්වාස කරන්නේ පහුගිය කාලේ ලබපු අත්දැකීම් වලින්. මොනම හේතුවක් නිසාවත් තමන්ගේ හිත රවට්ට ගන්න එපා පුතා. ඒ අපරාධයට දඬුවම ලේසි පහසු එකක් නෙමෙයි. මේ සටනෙදි උඹත් එක්ක මමත් ඉන්නවා. හැබැයි…මේ සටනෙදි අම්ගේ හිත රිදෙන්න බෑ. ඒ තමයි මේ ලෝකේ ඉන්න හොඳම අම්මා..”
පුෂ්පානන්ද නිහඬ වූයේ ඔහුගේ දකුණු උරහිස අත්හැරියාට පසුවය. අඩියක් දෙකක් පෙරට ගොස් ආපසු හැරුණු ඔහු තමා අත වූ ෆයිල් කවරය දුගාශ් දෙසට ගිහින් දිගුකලේ සිනහමුසුවය.
“උඹ මට වඩා දක්ෂයෙක් පුතා..තමන්ගේ පුතා තමන්ව පහු කරගෙන ඉස්සරහට යනවා කියන එක අප්පච්චි කෙනෙකුට දරාගන්න බැරි තරම් සතුටක්. පහුවෙලා හරි උඹ මට දීපු මේ අප්පච්චි කියන පදවිය මට සැනසිල්ලෙ මැරෙන්න සතුටක් ඉතිරි කරාවි.”
සාලයත් විසිත්ත කාමරයත් යා කරන වීදුරු දොර අසල සිටගෙන උන් තමාරා පහත මාලයට ගියේ අඩියට දෙකටය. ඕ උඩුමහලට පැමිණියේ තම සිත වද දෙමින් තිබියදීය. තමාරාට එවේලෙහි වුවමනා වී තිබුණේ යුගාශ් හා අපූර්වා පිළිබඳව කතා කරන්නටය. ඔහුට යමක් පැහැදිලි කරමින් තම සිත නිරවුල් කරගන්නටය. එහෙත් කාමරයේ නොවූ ඔහු ගැන සොයා බලන්න අවසන සඳැල්ලට එබෙද්දී එහි උන්නේ යුගාශ් පමණක් නොවේ.
“මේ මනුස්සයා මට විරුද්ධව මගේ දරුවව උසි ගන්නනවද?”
එසේ සිතූ තමාරා උන්නේ දෙදෙනාගේ කතාවට සවන් දීගෙනය. අවසන ඕ පහත මාලයට ගියේ තමා පිළිබඳව වරදකාරී හැඟීමක් දැනෙමින් තිබියදීය.
(යළිත් හමුවෙමු ආදරයෙන්)