කහත් තැඹිලි පැහැයත් මිශ්‍ර වූ දාස් මල් යායෙහි මල් පිපී තිබුනේ අතුරු සිදුරු නැතුවය. අනුරාධපුර දාස් මල් පූජාවට ගිය ගමෙහි වන්දනා නඩයකට වේවැල් කූඩා දෙකක් පිරෙන්නට මල් කඩා දුන් පියසීලී දොහොත් මුදුන් නගා සාදු..සාදු යැයි පැවසූයේ බස් රථය පිටත් වද්දීය.
ඉන් එහා පස ක්‍රමානුකූලව තණකොළ සිටවා තිබූ කුඩා බිම් කඩෙහි සිමෙන්ති මේසයක් හා බංකු දෙකක් සවිකලේ ඊයේ පෙරේදාය. සමන් පිච්ච මල් දෝතක් කඩාගෙන ආ කාන්ති නිවසෙහි ප්‍රධාන දොරටුව ඉදිරිපිට වතුර පුරවා තබා තිබූ මැටි පාත්තරයට මල් එකින් එක දැමුවේ පරිස්සමටය. නිවස තුළ වූයේ වෙනදා නොවූ කලබලයකි. චින්තනත් සමනුත් පැමිණ ආස්මී සහ කළු දොදොල් පාර්සලයක් කාන්ති අතට දී යළි පිට වූයේ ‘දහවල එන්නම්..’ යැයි පවසමින්ය. හේෂානිත් ඇගේ මවත් ඊයේ සිටම කාන්තිලාගේ තනි නොතනියට රැඳී උන්නාය.
දහවල කෑම වේල සැකසුනේ පියසීලිගේ උපදෙස් පරිදිය. දැන් සිටින තරුණ දරුවන් ගමේ ගොඩේ කෑමට ප්‍රිය නොකරන බව හේෂානිගේ මව පවසද්දී “මං දන්නවා මහත්තයා කන්න ආස විදිහ…”යැයි පියසීලී පැවසූයේ ආඩම්බරයෙන්ය.
ඕ ඊයේ පෙරේදා පෑන්ට්‍රි කබඩ් ගැසූ කුඩා මුළුතැන් ගෙය තුල ඇවිද ගියේත් ඒ ආඩම්බරයෙන්මය.
අපූර්වා සැරසී උන්නේ කහ පැහැ බතික් සාරියකින්ය. එහි තද රතු පැහැ වද මලක හැඩයගත් මල් මෝස්තරයක්ද විය. ලේයර් හැඩයට කපා තිබූ ඉණ තෙක් දිගු වූ කොණ්ඩය කඩා හැලෙන්නට සකස් කළ ඕ ඒ මත සමනළයෙකුගේ හැඩය ගත් කොණ්ඩා කටුවක් රැඳවූවාය.
“අම්මේ අද මෙයාගේ ලස්සන…”
එසේ පැවසූ හේෂානි යුවතියගේ කාමරයට එබුණේ කොස්සක් අත තබාගෙනය.
“ඔය කොස්ස පැත්තකින් තියලා චුට්ටක් මෙහෙට එනවද. මොනවද බං ආපු වෙලේ ඉඳලා උඹ කොස්සක් අල්ලගෙන. මේ උදේ හවස මොප් කරපු ගෙදරක්. උඹව හොඳයි ක්ලීන් සර්විස් එකකට යවන්න.”
අපූර්වා කණ්නාඩියට හිනැහෙමින් පැවසූයේ මද හඬකින්ය. හේෂානි ඈ අසලට ගියේ අත වූ කොස්ස බිත්තියට හේත්තු කලාට පසුවය.
ඒ හා සමගම පියසීලී කාමරයට එබුණාය. ළඟකදී සිට ඇය ඇවිදින්නේ මදක් අපහසුවෙන්ය.
“තමාරා නෝනට කිව්වෙ නැද්ද පුතේ…”
“අද මැඩම්ලට වැඩක්ලු ආච්චි..”
අපූර්වා යළිත් පැවසූයේ කණ්නාඩියට හිනැහෙමින්ය. තමාරාත් ඔහුත් අතරවන නෑකම තවමත් කිසිවෙකු නොදනී. එනිසාම අපූර්වාත් හේෂානිත් කතා වූයේ ඔවුන්ව පුදුම කරවන්නටය.
“අනේ ඒ උනාට මේ වගේ දවසක ඒ ඇත්ති හිටියනම් හරි වටිනවා. මේ හැමදේම අපිට ලැබුණේ ඒ මැඩම් නිසා.”
ඕ යළිත් එසේ පවසා ආපසු හැරුණාය. පියසීලී දැන් දවසේ වැඩිම කාලයක් ගත කරන්නේ කාමරය තුලට වී ගෙනය.
“කාන්ති නැන්දට කෙසේ වෙතත් පියසීලී ආච්චිටනම් මේ පුදුමේ දරා ගන්න බැරිවෙයි බං. කොහොම වුනත් නවකතාවක් ලියන්න වටින ප්‍රේම කතාවක් උඹට තියෙන්නේ. අවුරුදු තුනක් යුගාශ් සර්ව හම්බවෙන්නේ නෑ කියලා කිව්වහම මං උඹට කොච්චර බැන්නද. මං උඹට කිව්වෙම සර් කැමතිනම් උඹල දෙන්න කසාද බැඳලා මේ ගෙදර හරි පදිංචි වෙයං කියලා. මං දන්නවා උඹ ඒ දරා ගත්තේ ලේසි පහසු දරා ගැනිල්ලක් නෙමෙයි කියලා. ඉඳලා හිටලා මටත් පාලු හිතුනහම උඹටත් පාලු හිතුනාම මේ කාමරේ මේ ඇඳේ අපි දෙන්නා ඔහේ කියව කියව ඉන්නවා. එහෙම ඉඳලා රෑ උනහම ගෙදරට කෝල් එකක් දීලා, මං අද රෑ මෙහේ නවතිනවා කියලා කියනවා. මං දන්නව සමහර දවස්වලට එළි වෙනකල්ම උඹ යුගාශ් සර්ව මතක් කර කර හූල්ලනවා. ‘අනේ තවත්නම් මට එයාව දකින්නේ නැතුව ඉන්න බෑ…’ කියලා මාව බදාගෙන් අඬපු දවස් ගාන මට මතක නෑ බං, ‘උඹ නං හරි මෝඩියෙක්..’ කියලා මං අනන්ත වතාවක් කියලා ඇති. අවුරුදු දෙකයි මාස නවයක්…මං හිතුවා යුගාශ් සර් උඹට නැති වෙයි කියලා. ඇත්තමයි උඹ මහා කාලකන්ණි කෙල්ලෙක් කියලා මං සමහර වෙලාවට හිතුවා. මං දැනගෙන හිටි කොල්ලන්ට එහෙම ස්පර්ශයක්වත් නැතුව ආදරේ කරන්න බෑ බං. ඇත්තමයි මේවනං සංසාරගත බැඳීම්ම වෙන්න ඇති. මං හිතුවෙම උඹ මේ විදිහට තමන්ටම තහංචි දා ගනිද්දි යුගාශ් සර් හැම තිස්සෙම ඇඟේ ඇලි ඇලී ඉන්න පුළුවන් කෙල්ලෙක්ට ආදරේ කරයි කියලා. මේ දවස මේ තරම් ලස්සන කරගන්න උඹ දරා ගතපු දරා ගැනිල්ල, උඹ කරපු කැප කිරීම උඹ විතරක් නෙමෙයි කිසිම අඩුපාඩුවක් නැති කොල්ලෙක් විදිහට යුගාශ් සර් දරා ගතපු දරා ගැනිල්ල ඒක මාරම එකක් බං.”
අපූර්වා උන්නේ කණ්නාඩියෙන් පෙනෙන තම රුවට හිනැහීගෙනය. එහෙත් හේෂානි හඬමින් උන්නාය.
“එදා උඹ, උඹ ගැන හිතලා ආත්මාර්ථකාමී වෙලා එක වචනයක් යුගාශ් සර්ට කිව්වනම් මං දන්නව උඹේ වචනෙ ඉෂ්ඨ කරන්න එයා දෙපාරක් හිතන්නෙ නෑ. මට උඹව බදාගෙන ඉඹින්න හිතෙනවා. ඒ උනාට අද දවසේ මේ ලස්සන මූණ කඳුළුවලින් පුරවන්න බෑ. මේ වගේම ජීවිතේ හැම දෙයක්ම උඹ දිනාවි කෙල්ලේ. ඒක මට විශ්වාසයි.”
වාහනයක් පැමිණ නිවස ඉදිරිපස නවතන හඬ ඇසුණේ හේෂානි එසේ පවසමින් සිටියදීය. අපූර්වා උන්නේ යෙහෙළියගේ අත තදින් අල්ලාගෙනය. නොහඬා සිටියාට ඒ ඇස් රිදුම් දෙමින් තිබිණ. දරාගත් තරම දන්නේ මේ හිත්ය. තමාටත් වඩා ඔහු දරා උන් බව විශ්වාසය. වසර තුනක් යනු ලොකු කාලයක් නොවුනත් බොහෝ දේ වෙනස්ව තිබිණ.
“ඇවිල්ලද කොහෙද…… ඉදහන් මං මේ කොස්ස කුස්සියෙන් තියලා එන්නම්. නැන්දම්මා හදිසියේ කාමරේට එබුනොත් ලකුණු කපයිද දන් නෑ”
කඳුළු පිසදාගෙන සිනහසුණු හේෂානි කාමරයෙන් පිටවූයේ අපූර්වාගේ හිස සිප ගත්තාට පසුවය.
අලුත් නිවස සෑදුවාට පසුව කඩුල්ල අසල සිට නිවස දක්වා ඒමට තිබූ කුඩා බෑවුම පළල් කර වාහනයක් ගත හැකි පරිදි සකස් කළේ සමනුත්, චින්තනත් ඇතුළු අහල පහල අයය. එකක් නොව වාහන දෙකක්ම පැමිණ මිදුලේ නතර වූ බව අපූර්වා හඳුනාගත්තේ ඒ හඬවල් වලින්ය.
“අනේ අපේ මැඩම් ඇවිත්..මේ…මේ මහත්තයා මැඩම් එක්ක…”
ආචීගේත්, අම්මාගේත් ඒ හඬ අපූර්වාට ඇසුනේ එකම වරකය. ඔහු යළිත් කණ්නාඩියෙන් පෙනෙන තම රුවට හිනැහුණාය.
“ඒකටනම් අම්මේ අල්ලගන්න ඕනේ ඔයාගේ මිණිබිරීම තමයි. මට මේ කිසිම දෙයක් ඔයාලා එක්ක කතා කරන්න දුන්නෙත් නෑ කියන්න දුන්නෙත් නෑ. කවද හරි දවසක එයා ආසාවෙන් ඉන්න ඇති ඔයාලා පුදුම වෙනවා බලන්න. මං මෙයාගේ අම්මා බව දැනගෙන එයා පුදුම උනා වගේ. මේ තමයි ඉතින් මං අර අම්මා එක්ක කියපු මගේ කොල්ලා..”
තමාරාගේ ඒ කාරුණික හඬ ඇසුණේ ඉන්පසුවය. අපූර්වා හෙළුවේ සැනසුම් සුසුමකි.
“හනෙ අප්පේ මේ දරුවෝ දෙන්නා එකතු වෙලා කරල තියන දෙයක්. උපන් තේකට පුදුම උන් නෑ මෙහෙම පුදුම විල්ලක්..”
සියල්ලන්ගේම සිනහ හඬ ඇසුනේ ඉන් තත්පර කිහිපයකට පසුවය.
“ඒ කාලේ මම ළඟ නැතිවුනාට මට දුව හැම දෙයක්ම කිව්වා මැඩම්. සමහර දවසට මැඩම්ගේ පපුවට තුරුල් වෙලා ඉන්නකොට එයාට අම්මගේ සුවඳ දැනුනා කියලා කිව්වා. මගේ දරුවා ආදරයෙන් බලා ගත්තට පින් සිද්ධ වෙනවා. මැඩම්, සර් හදලා තියෙන්නේ රත්තරන් දරුවෙක්. මාව බලන්න ඉස්පිරිතාලෙට ඇවිල්ල කිසිම අප්පිරියාවක් නැතුව මගේ මේ අත් දෙක අල්ලගෙන පැයක් විතර කතා කර කර ඉන්නවා. ඊට පස්සේ මාව තුරුල් කරගෙන ඉඹලා තමයි යන්නේ. මේ ලෝකේ මෙහෙම රත්තරන් මිනිස්සු ජීවත් වෙනවද කියලා මං අදටත් හිතනවා.”
“අනේ ඉතින් අඬන්න එපා අපූර්වගේ අම්මේ. ඇයි අපි මේ සතුටු වෙන්න තියෙන දවසේ කඳුලක් ඉස්සර කර ගන්නේ. මේ අම්මත් අඬවනවා. ඔය වයසට අඬන්න හොඳ නෑ. දැන් ඉතින් මගේ කෙල්ලව එක් කරගෙන එන්නකෝ. එයා අපිව නාඳුනන මිනිස්සු වගේ කාමරේට වෙලා හැංඟිලා ඉන්නවද?”
යළිත් යුවතියට තමාරාගේ හඬ ඇසුණේ දෑස් මුල එකතු වී තිබූ කඳුලක් පිස දා ගනිද්දීය. යළිත් අම්මාව සනසන්නට ඕ කුමක්දෝ පවසනු ඇසුණත් ඒ වදන් පැහැදිලි වූයේ නැත. ඕ වත්සුණු බිඳක්වත් නොතැවරූ මුහුණෙහි වූ ලා රෝස පැහැ දෙතොල්වල ලිප්ස්ටික් ස්වල්පයක් තවරා ගත්තාය. ‘මඟුල් දවසටවත් මේකප් ඕනේ නැති වෙයි…’ එසේ පැවසූයේ යුවතිය දෙස බලා උන් හේෂාණිය. කාන්තී විසින් කලින් සකස් කර තිබූ බුලත් හෙප්පුව දෝතට ගත් යුවතිය කුඩා විසිත්ත කාමරය දෙසට ඇවිද ගියේ එක් පසෙකින් හේෂානිටත් අනිත් පසින් කාන්තිටත් මැදිවය.
අඩියක් දෙකක් ඉදිරියට ඇවිද ගිය අපූර්වා එකතැන සිට ගත්තේ යුගාශ් දෙස බලාගෙනය. යුවතිය කාමරයෙන් පිටතට එද්දීම නැඟී සිටි ඔහු ඈ දෙස බලා සිටියේ ඇස් පිල්ලමක්වත් නොගසමින්ය. ඉඳහිට සේයා රුවක් හුවමාරු කර ගත්තාට වීඩියෝ දුරකථන ඇමතුමක් මාර්ගයෙන්වත් ඔහු ඇයව දැක තිබුණේ නැත. සමහර දිනක ඇගේ කාර්යාලය අසලට ගොස් ඇයට නොපෙනෙන්නට සැඟව සිට ආපසු පැමිණියේ යුගාශ්ට තමාවම දරා ගන්නට බැරිම වූ තැනකදීය. ඒ පසු වූයේ ප්‍රේමයේ අසීරුම කාර්තුවකි. එහෙත් අසීරුම කාර්තු පසුකරමින් ආ වර්තමානය සුන්දර එකක් වූයේ ඈ නිසාමය.
මෙතෙක් වේලා ආයාසයෙන් දරා සිටි කඳුළු තව දුරටත් වසංගන්නට අපූර්වාට හැකියාවක් වූයේ නැත. ඒ කොපුල් දෙපසින් කඳුළු බේරී යද්දී යුගාශ් ඇයව වැළඳ ගත්තේ අඩියක් දෙකක් පෙරට තබා ඉදිරියට පැමිණියාට පසුවය. තත්පර කිහිපයක් ගතව යනතුරුම ඕ ඒ පපුවට හිස තබාගෙන ඉකි බින්ඳාය. තමාරා තම සැමියා දෙස බැලුවේ වරදකාරී හැඟීමකින්ය.
“අඬන්න එපා මැණික..ඔයා ප්‍රාර්ථනා කරපු ඒ ලස්සන දවස් ඇවිත් තියෙන්නේ…”
ඔහු මඳ හඬකින් පැවසූයේ ඇය ඉකි බිඳිද්දීය. ඉන්පසුව යුවතියගේ මුහුණ දෝතින් ගෙන ඒ නළලත්, දෑසුත් සිප ගත්තේ පිරිස ඉදිරිපිට දීමය.
අපූර්වා බුලත් හෙප්පුව ඔහු වෙතට දිගු කර දණ ගසා වැන්දාය. පංචාලි දිගුකල මල් කළඹ අපූර්වාගේ දෑත් මත තැබූ තරුණයා. තමාරාගේ අත්ලෙහි වූ රන් මාලය ඒ ගෙලෙහි පැළඳ වූවාය.
“මෙව්ව හාස්කම් වගේ. අම්මයි පුතයි එකතුවෙලා අපේ ජීවිත මොනතරම් ලස්සනට හැඩ කළාද. හරියට මටනම් මේ කතාව අහන් ඉඳිද්දී විජය කුමාරතුංගයි, මාලනී ෆොන්සේකයි රඟපාපු චිත්‍රපටියක් වගේ දැනෙනවා. ඒ කාලේ මම ඔය චිත්‍රපටි වරද්දන්නෙ නැතුව බලපු ගෑනියෙක්.”
පියසීලි පැවසූයේ සියල්ලෝම කෑම මේසයට අසුන්ගෙන සිටියදීය. කාන්ති තමාරාගේත්, පුෂ්පානන්දගේත් පිඟන්වලට තවත් පොළොස් හැන්දක්ක් බෙදුවාය. ඈ පැවසුවා නිවැරදිය. ඔවුන් රස කර කර කෑවේ ගමේ ක්‍රමයට සෑදුනු කෑම වේලය. හේෂානිගේ මවගේත් කාන්තිගේත් උවමනාවට සෑදූ කහ බතත්, කුකුළු මස් ව්‍යාංජනයත්, අල බැඳුමත් දෙවැනි තැනට වැටී තිබිණ.
පිරිස පිටත්ව යන්නට සූදානම් වූයේ සැන්දෑවේය. ඒ විවාහ මංගල්‍යය පවත්වන්නට සුදුසු ආකාරයත් තීරණය කරගත්තාට පසුවය.
“තීක්ෂණ පුතා අපි දෙන්නට ඔයාලගේ වාහනේ යන්න පුළුවන් නේද..”
පුෂ්පානන්ද එසේ ඇසුවේ නිවැසියන්ගෙන් සමු ගනිද්දීය. තමාරා තම සැමියා දෙස බැලුවේ දෑස් විසල් කරගෙනය.
“අපි තීක්ෂණ පුතාලාත් එක්ක යමු තමාරා. පුතා තව ටික වෙලාවක් ඉඳලා ආපුවාවේ. කාලෙකට පස්සෙනෙ මේ දරුවෝ දෙන්නා මුණගැහුනේ.”
තමාරා කිසිත් නොකියා පුෂ්පානන්දව අනුමත කරමින් හිස වැනුවේ සිනහසෙමින්ය. මින් විනාඩි කිහිපයකට ඉහතදී ඇයටත් මේ යෝජනාවම කරන්නට සිත් වූයේ අපූර්වා දෙස බලා සිටියදීය. ඇයට යුගාශ් සමග තනි වන්නට මහත් ඕනෑකමක් ඇති බව තමාරා හඳුනා ගත්තේ ඒ දෑස් වලින්ය. යුගාශුත් ඊට දෙවැනි වූයේ නැත. එහෙත් එවන් යෝජනාවක් කිරීම සුදුසුදැයි සිතූ ඕ අවසන නිහඬ වූවාය. පුදුමයනම් පුෂ්පානන්දටත් එයම සිතීමය.
වසර එකහමාරකට පමණ පසුව….##
තම සැමියාට තුරුළුව නිදා උන් අපූර්වා නැගී සිටියේ ලා හිරු කිරණක් ජනෙල් තිර අතරින් බේරීවිත් කාමරය පුරා රටා මවද්දීය. විවාහ වී මෙම නිවසට පැමිණි දා සිට ඇයට සුව පහසු කොට්ටයක් වූයේ මේ උණුසුම් පපුවය. තමා ගැබිනියක් බව අපූර්වා දැන ගත්තේ ඊයේ පෙරේදාය. එදා සිට මේ සතුටු පිරුණු නිවසේ සියල්ලෝම අපූර්වාගේ සුවපහසුව වෙනුවෙන් කළ හැකි සියල්ලක්ම කරමින් සිටී. විවාහය යනු කාන්තාවකගේ දෙවැණි උපත බව ඕ අත් දැකීමෙන්ම විශ්වාස කරමින් උන්නාය. මේ සතුට පිරි නිවසේ නිවැසියනුත්, යුගාශුත් ඇයට දුන්නේ ජීවිතයේ සියල්ලමය.
“මැණික…ඔයා නැගිට්ටද. අද නිවාඩු දවසනේ තව චුට්ටක් නිදා ගන්න.”
යුගාශ් අපූර්වාගේ නළලත සිපගෙන පැවසූයේ ආදරයෙන්ය. පැතූ සේම ජීවිතය පාට කළ චිත්‍රයක් සේ වර්ණවත් වී ඇත.
“දැන් දවල් වෙලා. අම්මයි අප්පචියි කෑම කන්නෙත් නැතුව බලාගෙන ඇති අපි එනකල්. අප්පච්චි බෙහෙත් බොන්නත් ඕනනේ සුදු මහත්තයා.”
“අම්ම අප්පච්චිට බෙහෙත් දෙයි. අවුරුදු තුනකම ඇරියස් තියෙනවනේ මට. අමතක කරන්න එපා”
යුගාශ් පැවසූයේ අපූර්වාව යළිත් වරක් පරිස්සමෙන් තම වතට ඇදගන්නා ගමන්ය.
“දෙයියනේ මේක කවද ඉවරවෙන ඇරියස් එකක්ද මන්දා…”
අපූර්වා එවේලෙහි පැවසූයේ සිනහ සෙමින්ය. මේ වතට තුරුළුව සිටින්නට තරම් ලෝබ කමක් ඇයට අන් කිසිවකට නොවේ.
“ජීවිත කාලෙම..පොඩි කාලයක්ද අවුරුදු තුනක්මනේ..”
ඔහු එසේ පැවසූයේ යළිත් යුවතියගේ කොපුල් ආදරයෙන් සිප ගනිමින්ය. විටෙක මේ සිටින්නේ ඒ ආඩම්බර ලෝයර් මහත්තයාමදැයි සිතෙනා තරමටම ඔහු දඟකාරයෙකි. හිනැහෙමින්, කියවමින් උන් දෙදෙනා නැගිට පහත මාලයට ගියේ තවත් අඩ හෝරාවකට පමණ පසුවය.
“ඔයා ආස නිසා මම නන්දනීට කිව්වා කිරිබත් හදන්න කියලා පුතේ. බෙහෙත් බොන්න ඕන හින්දා අප්පච්චියි මමයි කෑවා. පුතාලා කාලා ඉන්නකෝ.”
තමාරා පැවසූයේ තමා අසලට පැමිණ අසුන්ගත් ලේලියගේ හිස අත ගාමින්ය. යුගාශ් අසුන් ගත්තේ ඇගේ අනිත් පසින්ය.
“අප්පච්චි කෝ අම්මා.”
“බෙහෙත් බිව්වට පස්සේ චුට්ටක් ඇලවෙන්න ගියා පුතේ. දැන් කොච්චර කාලෙක ඉඳලා මේ පෙති ගිලිනවද..අපිට පෙන්නුවේ නැති වුනාට අප්පචි ඉන්නේ අපහසුවෙන්.”
යුගාශ් හිස වැනුවේ ඇයට එකඟවය. මේ ඔහු ජීවත් වෙනවායැයි වෛද්‍යවරු අනුමාන කළ කාලයටත් වඩා වැඩි කාලයකි. පිට රටකට හෝ ගෙන ගොස් ඔහුව සුව කරගන්නට තිබුණානම් යුගාශ් ඒ ගැන දෙවරක් සිතන්නේ නැත. අවාසනාවකට මේ සුව කළ නොහැකි පිළිකා තත්ත්වයකි. එහෙත් ඔහු තව දුරටත් ජීවිතය අල්ලාගෙන සිටින්නට සටන් කරමින් සිටියේය.
මුළුතැන්ගෙය වෙනදාට වඩා කාර්ය බහුල වී තිබිණ. එහෙත් තමාරා අපූර්වාට ඒ දෙසට පැමිණීම පවා තහනම් කර තිබුණාය.
“එන්නනම් එපා පුතේ. සමහර අයට කෑම හදන සුවඳ ආවහම කන්න බැරි වෙනවා. යුගාශ් හම්බවෙන්න ඉදිද්දී මටත් එහෙමයි. අපේ පැටියා පව්නේ.”
ඕ එසේ පැවසූයේ මුළුතැන් ගෙය දෙසට යාමට ගිය යුවතියව යළි කැඳවාගෙන වෙත් යුගාශ් අසලින් අසුන් ගන්වමින්ය.
“මොනවා හරි දෙයක් මට නොකියා වෙනවා වගේ. ඔයා දන්නවද සුදු මහත්තයා. කෑම හදන්නේ අපි හතර පස් දෙනාට විතරක් නම් නෙමෙයි කියල මට හිතෙනවා”
යුගාශ් තමන් කිසිවක් නොදන්නා බව පැවසූයේ දෙවුර හකුළුවමින්ය.
“මේ ලේලි ගෙදරට ආවට පස්සේ අපේ අම්මත් කෝලම් කරන්න පටන් අරගෙන. හොඳ වැඩේ වෙනදා දෙන්න එකතු වෙලා අප්පච්චිටයි, මටයිනේ ඕවා කරන්නේ.”
ගෙවී යන තත්පරයටත් ලෝබ හිතෙනා තරමටම මේ ජීවිතය සුන්දර එකක් වී තිබේ. කුඩා හෝ දුකකට වූයේ මේ සතුට විඳින්නට තාත්තා මෙලොවෙහි නොවීමය.
දහවල එකොළහ පමණ වද්දී නිවස ඉදිරිපස නතර කළ වාහනයෙන් බැස ගත්තේ කාන්තීත්, පියසීලීත්, හේෂානි හා ඇගේ මවත්ය. වාහනයේ ඩිකිය පිරෙන්නට ගෙන ආ තැඹිලි, පලතුරු එළවළු වර්ග හා අපූර්වා කෑමට ප්‍රිය කරන කෑම වර්ග ඉන් පිටතට ගත්තේ පුෂ්පානන්දත් යුගාශුත් එකතුවය.
“මැණික අපි දෙන්නට පැත්තකින් වාඩි වෙලා කන්න තියෙන්නේ.”
“ආ…වෙන්න අප්පච්චිට කන්න අපි මේවා ගෙනාවේ නෑ.”
හේෂානි පැවසුවේ සිනහසරින්ය.
“ඒක තමයි එහෙනම් අම්මා මට හංග හංග කරපු හොර වැඩේ…”
අපූර්වා සිනහසී තමාරාව වැළඳ ගත්තේ ආදරයෙන්ය.”
“අම්මටයි, ආච්චිටයි මේ සතුටුදායක ආරංචිය මං කිව්වේ ඊයේ හවසමයි පුතේ. ඉතින් එයාලට මේ සතුට බෙදා ගන්න නෑවිත් ඉන්න කියන්නේ කොහොමද?”
පියසීලීට දැන් තනිවම ඇවිද යාමට අපහසුය. ඕ නිවස තුළට පැමිණියේ තමාරාගේ වාරුවෙන්ය.
සොල්දර ගෙදර රබර් පැක්ටේරියක් වූයේ සියල්ලන්ගේම කැමැත්තෙන්ය. හේෂානි එම කර්මාන්ත ශාලාවේ ප්‍රධාන පෙළේ තනතුරක් දරමින් උන්නාය. ගම්වැසියන් පනස් දෙනෙකුට අධික ප්‍රමාණයක් වර්තමානයේ එහි රැකියාවන් කරමින් සිටියේය. ඒ සියල්ල බලා සොයා ගත්තේ වසර ගණනාවක් පුරා තමාරාගේ වතුවල පරිපාලන කටයුතු කරමින් උන් ලියන මහතාගේ පුතා විසින්ය.
සියල්ලෝම සතුටින්ය. ඒ සතුට උද්දාමයක් බවට පත්කර තිබුණේ අපූර්වාගේ කුසට පැමිණි දරුවාය. යුගාශ් අසලම අසුන්ගෙන ඔහුගේ එක් උරයකට හිස තබාගෙන උන් අපූර්වා දකුණතින් තම කුස පිරිමැද ගත්තේ මහත් වූ ආදරයකින් සිත පිරී යද්දීය. යුගාශ් ඒ දකුණු අත මත තම අත්ල තැබුවේ ඇගේ නළලත සිප ගෙනය. මේ ඔහු පැතූ ජීවිතයමය.
නිමි.
(පුරා මාස දෙකහමාරකට පමණ ආසන්න වූ කාලයක් ‘අරුමැති ආදරයක්’ සමඟ බැඳී උන් ඔබට තුති පුදමි. කතාවේ යම් යම් ව්‍යාකරණ දෝෂ වැරදි අඩුපාඩු තිබෙන්නට ඇත. ඉන් ඔබට අපහසුවක් වූයේනම් සමාව ද අයැද සිටිමි. ‘අරුමැති ආදරයක්’ තුළ ඔබට දැණුන යමක් වේ නම් එය ලියා යන්නයැයි ආදරයෙන් ඇරයුම් කරමි. යළිත් අලුත් කතාවකට smart lady වෙබ් පිටුවේ ඉඩ වෙන්වන තුරු සමු ගනිමි. මේ වෙනුවෙන් වෙහෙස මහන්සි වූ smart ledy වෙබ් පිටුවේ සියල්ලන්ටම තුති පුදමි. ‘අරුමැති ආදරයක්’ කියවා මා හා රැඳී උන් අදහස් දැක්වූ ඔබටත් ආදරේ බව කිව යුතුමය.)