ශරදාකාසේ -29

වගකීම් සහගත ව පියා ගේ ව්‍යාපාරය ඉදිරියට කර ගෙන යාමට සිටිනා එක ම කෙනා ඇය බව දැන ගෙන පරිපාලනයට අත තැබීම තුළ, නිශාමනී ඉතා උද්‍යෝගයෙන් වෘත්තීය කටයුතු වල යෙදෙන්නට පටන් ගත්තා ය. එය ඈ තුළ දැනවූයේ වටිනාකමක් ගැන හැඟීමකි.  රූපලාවන්‍ය නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කරනා ආයතනයක් ලෙස, නිශාමනී ට එය ප්‍රීතිමත් ව්‍යාපාරයක් ද වූයේ ය. ඇය ලස්සනට සැරසී රැකියාවට ගියා ය. පිලපිටිය මහතා ඇගේ නිදහසට අත නො පොවමින් ඇයට සිය අත්දැකීම් හා ව්‍යාපාර දැනුම පුළුල් කර ගැනීමේ ලා ඉඩ සකසා දුන්නේ ය..ඇගේ ගමන් පහසුව පිණිස වෙනම මෝටර් රථයක් ද රියදුරෙකු ද ලබා දුන්නේ ය. රියදුරෙකු ගේ සහාය ලබා ගන්නවාට වඩා තමන් විසින් ම රියදුරු බලපත්‍රය ලබා ගෙන රිය පැදවීම නිදහස් යයි සිතූ නිශාමනී කාන්තා පුහුණු කරවන්නියක යටතේ රිය පැදවීමේ පුහුණුව ලබන්නට ද පටන් ගත්තා ය. ඇය ට විවේක ඇති පරිදි දිනපතා පැයක කාලයක් ඒ සඳහා වෙන් විණි.

දික්කසාද නඩුව ඇසෙමින් තිබුණේ ය.අනාචාරයේ හැසිරීම යන පදනම මත පහසුවෙන් ම ඔප්පු කළ හැකි කාරණා ශාරදට එරෙහි ව තිබිණි ද නිශාමනී එසේ නොකොට සිටියා ය. ඒ පංචලී ගේ ආත්ම ගෞරවය ගැන සිතීමෙනි. එවන් පදනමක් යටතේ නඩුව ගොනු කළේ වී නම් ඒ සම්බන්ධය ඔප්පු කරනු වස් පංචලීව ද උසාවියට කැඳවිය යුතු වනු ඇත. නිශාමනී ඊට කැමති වූයේ නැත.

“මැඩම් ව හම්බ වෙන්න විසිටර් කෙනෙක් ඉන්නව”

ආසන්න දිනෙක පිළිගැනීමේ නිලධාරිනිය අභ්‍යන්තර දුරකතනය ඔස්සේ නිශාමනී ට කීවා ය.

“විසිටර් කෙනෙක්…නම අහන්න”

“මිස්ටර් ශාරද කියල කෙනෙක් මැඩම්”

දෙපතුල් වල සිට ඉහළට සීතල ගල් වීමක් ක්ෂණික ව ඇය අත් වින්දා ය. පපුවේ වේගවත් ගැස්මක් ඇති විය. යටපත් කර ගෙන සිටියත් ආදරය තවමත් එතැන වන බව ඇය ට වහා හැඳිනිය හැකි විය.

“එවන්න”

ශාරද ඇතුළේ ද ගිනි කන්දක ලාවා වල වන ගිනියම් කැළඹීම විය. සිය බිරිඳ හමු වන්නට මේ විදිහට මේ වාගේ තැනකට එන්නට සිදු වනු ඇතැයි ඔහු සිහිනයෙනුදු සිතා තිබුණේ නැත. සිය සපත්තු අඩි වල හඬ ඔහු ගේ දෙගිඩියාව තවත් දැඩි කළේ ය. නිශාමනී ගේ දැවැන්ත වීදුරු කුටියේ දොර අරිනා විට සිනහ වෙන්නට පවා නො හැකි ලෙස ඔහු ගේ දෙතොල් තද වී තිබිණ.

“ඉඳගන්න ශාරද”

නිශාමනී අමාරුවෙන් කියා ගත්තා ය. සමහර තැන් වලදී සමහර අකුරු උගුරේ හිර වන්නා සේ ඇය ට දැනිණ. යෞවනයේ දී ඈ පෙම් කළ, ඒ ප්‍රේමය වෙනුවෙන් සියල්ල කැප කරමින් ගිය පුරුෂයා අද අමුත්තෙකු සේ ඇය ඉදිරියේ සිට ගෙන සිටිය දී නිශාමනී ට දැනුණේ අමුත්තකි..අසීරුවකි. අසහනකාරී හැඟීමකි.

ශාරද අසුන් ගත වූයේ හෙමිහිට සුසුමක් ගිලිහෙන්නට දෙමිනි. ශීතකරණ තත්ව යටතේ වී ද ඔහු ගේ ඇඟිලි අතරේ ඉසිහින් දහදිය බිඳු නැගී තිබෙනු නිශාමනී ට පෙනිණ. ඔහු ගේ අත්ලට නිතර දහදිය දමයි. ඒ අත් අල්ලා සිටියදී බෙහෙවින් සීතල ය. නිශාමනී සිය යෞවනයේ පෙම් කරන සමයේ දී ඒ සීතල අත් අල්ලා සිටින්නට ආශා කළා ය. ඇගේ පුංචි ලේන්සු වලින් ඒ අත්ල වල දහදිය පිස දැමුවා ය. ඒ ලේන්සු හෝදන්නේ නැතුව සිඹ සිඹ පොත් අතරේ තියා ගත්තා ය. නමුත් පසුගිය ආසන්න අතීතයේ දී ඔහු ගේ අත් වලට දහදිය දැමූ බවක් හෝ ඇයට සිහිපත් කර ගත හැකි වූයේ නැත. අකුණු පහරක් ඇගේ සිතට වැදිණ. දුරින් සිටියදී සමීප ව දැනුණ දේවල් ලං ව සිටියදී ඈත් ව ගියේ කෙසේ ද? 

“ඇයි ශාරද මෙහෙට ආවෙ..”

නිශාමනී ගැහෙන දෙතොලින් විමසුවා ය. තත්පර කිහිපයක් ඇගේ මූණ මත ම නතර ව තිබි ඇස් ඇති ව ඔහු පෙනහලු පුරවා හුස්මක් ගත්තේ ය.

“ඇයි ශාමි අපිට මෙහෙම වුණේ…”

හෘත් පේෂි, පටක සංකෝචනය වෙමින් ද ලිහිල් වෙමින් ද ඇගේ හෘද ස්ඵන්දනයේ අසාමාන්‍යතාවයක් ඇති කරන ලදී. හුස්ම ගන්නට අමතක වීම නිසා විසල් වියවුලක් වෙතැයි සිතා නිශාමනී හයියෙන් හුස්ම ගත්තා ය. ඇස් කෙවෙනි දන්නට ත් කඳුළු ග්‍රන්ථි ලිහිල් වන්නටත් වූයේ ය. ඇය ඉක්මන් ඇස් පිය කිහිපයක් සැළුවා ය.

“ඒ ප්‍රශ්නෙ අහන්න ඕනෙ ඔයා ඔයාගෙන්”

සුසුමක් හෙළමින් ද ඇස් බිමට යොමමින් ද ඇය ඉතා හෙමිහිට කීවා ය. ශාරද ගේ ඇස් මුළුමනින් ඇය මත වැතිර තිබිණ. නිශාමනී ට ඒ බව දැනුණේ ය. වසර පහක් තිස්සේ ශරදාකාසයේ  එක වහලක් යට සිටිත්දී නො දැනුණ විදිහේ සංවේදනා කෝටි ගණනක් මේ මොහොත තුළ එක වර උත්පාද වෙමින් තිබිණ. ඔවුන් දෙදෙනා ම මෙයින් වසර පහකට ඔබ්බෙන් අතීතයට හදිසියේ ම විසි වී වැටුණා සේ ය.

“අපිට බැරිද ශාමි ආයෙත්..”

“බෑ”

ඔහු අසා නිම කරන්නටත් පෙර ඇය තදින් එසේ කියා අවසාන ය. නමුත් පපුව හිර වන්නට වූයේ ය. ‘මට ඔයා නැතුව ඉන්න බෑ ශාරද…ආයෙ වැරදි කරන්නෑ කියල මට පොරොන්දු වෙන්න ශාරද..අපි ගැන නැතත් අපි දුව ගැන හිතමු ශාරද’ වැනි, සිය හදවත අනන්ත වාරයක් මේ දින සති කිහිපය තුළ සිතූ සිතිවිල්ලක් වචන බවට හැරෙතැයි බියෙන් නිශාමනී සිය දෙතොල් දසන් අතරේ තද කර ගත්තා ය. හැඟීම් පිටමන් වන්නට අවසර නො ලද තැන ඇගේ ඇස් ලා රත් පැහැයකට හැරෙන්නට විය..

“ඉවර වෙච්ච කතාවක් ආයෙ මුල ඉඳන් පටන් ගත්තා කියල පරණ රසය විඳින්න බෑ ශාරද. අපි ආයෙ ඔය ගැන කතා නොකර ඉමු”

“ඔයාව මෙහෙම දැක්කහම මට ලෝබ හිතුණා. මගෙ වස්තුවක් නේද මේ කියල”

“සමහර වෙලාවට නිදානයක් උඩ නිදා ගෙන හිටියත් අපිට ඒකෙ වටිනාකමක් නෑ ශාරද. මැණිකක් පයේ හැපුණත් අපිට ඒකෙ ගාණක් නෑ. වටිනාකම දන්න කෙනෙක් කපල කොටල ඔප දාල ගත්තහම තමයි අනේ ඒ මැණ්කක්ද කියල හිතෙන්නෙ. මන් දන්නව…මං අතිනුත් ඒ තරං හිතුවෙ නැති අඩුපාඩු වෙලා ඇති. ඔයාගෙ හිත වෙන තැනක නතර වෙන්න ඒ අඩු පාඩුත් හේතු වුණානං මමයි ඒව හදා ගන්න ඕනෙ. හැබැයි අඩු පාඩු නැති මිනිස්සු මේ ලෝකෙ නෑ ශාරද. ආදරේ කියන්නෙ අඩුපාඩු ඉවස ගන්න එක. හදා ගන්න එක. එක අතකට අපි ඔය මොනා කිව්වත් තර්ක කළත් වැඩක් නෑ. තමන්ගෙ හිත තමයි පාලනය කර ගන්න ඕන. හැදුවානම් තම සිත හැදුවාමය කියල බුදු බණෙත් කියවෙනවනෙ. මං දැං පරණ දේවල් ගැන නොහිතා ඉස්සරහ ගැන හිතන්න ට්‍රයි කරනව. අපේ දුවව හොඳට හදා ගන්න ඕනෙ. කොටිංම අපේ ඩිවෝස් එක එයාගෙ මනසට තුවාලයක් නොවෙන විදිහට මං එයාව බලා ගන්න ඕන කියන එක ඊළඟට මගෙ චැලේන්ජ් එක. එයා පොඩි කාලෙ ඉඳලම ගෑනු ළමයෙක් කියන්නෙ වැදගත් කෙනෙක් වටිනා කෙනෙක් කියන හැඟීම ඇතුව හැදුණොත් මට ඇති. අම්ම දිහා බලා ගෙන එයා එහෙම හැදෙයි”

නිශාමනී කියවා ගෙන ගියේ නැවතිල්ලේ හෙමිහිට ය. තමන් ඉදිරියේ අසුන් ගෙන ඉන්නේ වසර පහක් ස්වාමි පුරුෂයා ලෙස ජීවිතය බෙදා හදා ගත් මිනිසාය යන හැඟීම පිහි තුඩකින් සේ ළය පසාරු කරමින් තිබිණ. නමුත් තව දුරටත් ඒ අයිතිවාසිකම් කිසිවක් උනුන් වෙත නැතය යන හැඟීම ඊටත් වඩා රිදවුමක් දැනවූයේ ය. රිදුම් වලින් සවිමත් වන සිතක්, හරියට ගිනියම් ව තැලී හැඩය වෙනස් වෙන යකඩයක් සේ ය.

“මේක හරි භයානක සංසාරයක් ශාරද. මටනං ඕන මේ දුක් කන්ද ටික ටික හරි අඩු කර ගෙන සැනසීම හොයා ගන්නයි. මට ඔයාට කියන්න තියෙන්නෙ ඒක තේරුං ගන්න කියල විතරයි. මේ සැරෙත් වරද්ද ගත්තොත් ඔයාට ගැලවීමක් නැති වෙයි. කෙනෙකුට වරදින්න පුළුවන්. අපේ මැරේජ් එකත් එහෙම වරදක් කියල හිතමු. ඔයා ආයෙ මාව මෙහෙම මීට් වෙනවට මං කැමති නෑ. ප්ලීස්…මට කරපු දේ පංචලීටයි දරුවටයි නොකර මේ ජීවිතේ හැටි අවබෝධ කරගෙන ජීවත් වෙන්න බලන්න”

නිශාමනී ඒ ටික කියා ගෙන ගියේ වේගයෙනි. ඇය කිසියම් මානසික ව්‍යාකූලත්වයකට පත් වෙමින් සිටියා ය. දැන් නීත්‍යානුකූල වෙන් වීමක් සඳහා නඩු පවරා තිබෙන සිය උගත් රූමත් බිරිඳ ගේ මුහුණ දෙස තවත් මඳ වෙලාවක් බලා උන් ශාරද අසුනෙන් නැගී සිටියේ ය.

“වෙන් වුණත්…මං ඔයා එක්ක තරහ නෑ ශාමි. වෙන් වුණත් අපි වෛරක්කාරයො වෙන්න ඕනත් නෑ. මං යන්නං”

මේ මොහොතේ ම පපුව පැලී ඈ මැරේවිද යන සිතිවිල්ල පවා නිශාමනී තුළ ඇති විය. තමන්ගේ ම කොටසක් වී සිටි කෙනෙකුගෙන් වෙන් වීම කෙතරම් නම් දුෂ්කර වූවක් ද? සිදුහත් ගෙන් වෙන් වූ මොහොතේ කන්ථක අසු ගේ ළය පැළී මිය ගියේ ය. නමුත් යශෝදරා දරා උන්නා ය. දරා සිට්න්නට ඇය ට රාහුලයෙකු ගේ බැම්ම විය. ගැහැනියකට සිය ස්වාමි පුරුෂයා අහිමි වීම දරා ගන්නට පුළුවන. ඊට වඩා අසීරු වන්නේ දරුවන් ගෙන් වෙන් වන්නට වීම ය.

“මොකද කියන්නෙ…”

එහඬින් නිශාමනී, මේසය මත ගසා ගෙන උන් හිස ඔසවා බැලුවා ය. චේතනා ඈ ඉදිරියේ වන අසුනට බර වූවා ය. නිශාමනී සුළි සුළඟක් සේ සුසුමක් හෙළුවා ය.

“ගහ මරා ගෙන වෙන් වුණානං මේක මෙච්චර අමාරු වෙන එකක් නෑ චේති. මන් දන්නව. ශාරද තාම මට ආදරෙයි. එක මොහොතක හිත අවනත කර ගන්න බැරි වුණා තමයි. ඒත්…ජීවිතේ ඉතිරි කාලෙ පංචලී ළඟ හිටියත් එයාට මේ ආදරේ අමතක වෙන එකක් නෑ”

“ඉපදිල මැරෙන ටිකට අපිට ඇයි බං මේ තරං දුක් ගොඩක්…ජීවිතේ කියල…”

“දුක ඇතුළෙත් තියෙන්නෙ සතුටක් කියල හිතනව. දැං ඉතිං එච්චරයි”

නිශාමනී වැඩ නිම වී යත්දී ගේ ඉදිරියේ ආකාස ගේ රිය නැවතී තිබිණ. රියෙන් බැස රියදුරා ව පිටත් කොට හැරි ඇය ආකාස ගේ රිය වෙතට හෙමිහිට පිය නැගුවා ය. කෙටි රතු පැහැ සායකට සුදු අත් දිග බ්ලවුසයක් යට කොට අඩි උස පාවහන් පැළඳ ඔහු වෙත ඇවිද එන ඇය ව ආකාස දුටුවේ මීට පෙර ශරදාකාසයේ උන් ගැහැනිය ලෙස නොවේ. 

“ඇයි…”

විශ්මත දෑස් වලින් ද ගොළු වූ මුවින් ද ඇදෙස හිඳිනා ඔහු ගෙන් ඇය සිනහ වෙවී විමසුවා ය. ආකාස කිසිත් නැතැයි හඟවන්නට හිස සැළුවේ ය. 

“එසඳි බලන්න ආව”

“ඉතිං මෙතන…යං ඇතුළට”

“මට ඔයාට කතා කරන්නත් ඕනෙ. ශරදාකාසෙ දෙකට බෙදල මටයි අයියටයි වෙන වෙනම ඔප්පු තියෙනව. එසඳිගෙ ගේ ඒක. එයා ආස එතන ඉන්න. ඒක නිසා…අපි දෙන්නම හෙට අපේ ඔප්පු දෙක එසඳි නමට හරවනව. අයිය ඔයාව මීට් වෙන්න ආවත් ඒක කියන්න බැරි වුණා කියල කිව්ව. ඊට පස්සෙ ශරදාකාසෙ එසඳිගෙ. එයාට ඒ ගෙදර හැදෙන්න අරින්න”

“ආ…කාස…එහෙම කරන්න ඕන නෑ”

“ඩිවෝස් එකෙන් පස්සෙ අයිය මොනා කරයිද කියල මං දන්නෑ. මං කොහෙට හරි යන්නං. ඔය දෙන්නා එහෙ ඇවිත් නතර වෙන්න. ප්ලීස්…එසඳි වෙනුවෙන්…”

ආකාස ගේ ඇස් මත්තේ තැවරුණ කඳුළු පටලයක් විය. නිශාමනී ගේ හදවත පුපුරු ගසනා වේදනාවක දුක් වින්දේ ය. ඇය රියෙහි ඉදිරි දොර හැර නිහඬ ආරාධනාවක් කළා ය. ආකාස රියෙන් බැස ගත්තේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

නිබ්බුත ගීත -29

මේ ජීවිතයට මම අතිශය ආදරය කරමි. ජීවත් වූ මේ කෙටි කාලයට ජීවිත සිය ගණනක් ජීවත් වූවා සේ මට දැනේ. එය දුක ද...

සුහදිනි – 78

ජය ඝෝෂා නැඟෙමින් තිබුණේ පරාජය පිළි නොගන්නා රසිකයන්ගෙනි.හඹා යා යුතු ඉලක්කය දිගු දුර එකකි.එහෙත් එය නොහැකි ඉලක්කයක් ද නොවේ.අහස් තමන්ගේ ඉනිම ඇරඹුවේ...

(අ)හිමි සිහින -232

මිනිස්සුන්ට විවිධ අදහස් මති මතාන්තර තියෙන්න පුලුවන්.ඒ මිනිස්සු රූපයෙන් පමණක් නොවෙයි අධ්‍යාපනයෙන් ආධ්‍යාත්මයෙන් මනුෂ්‍යත්වයෙන් ධනයෙන් බලයෙන් යසසින් ආදරයෙන්, කරුණාවෙන් වගේ  සියලු දෙයින්...

නිබ්බුත ගීත -28

මා හිටියේ යහනේ වැතිර ගෙන ය. මගේ පාලනයකින් තොර ව එක දිගට කඳුළු ගලා යමින් තිබිණ. උපන් දා සිට සැපක් කියා දෙයක්...

සුහදිනි -77

අවසන් මහා තරගයක් කියන්නේ සෑම කෙනෙකුම බලාපොරොත්තු  දල්වා බලා සිටින දවසකට ය.රාජ්‍ය නායකයාගේ පටන් සාමාන්‍ය රට වැසියන් දක්වාම තරුණයන් එකොළොස් දෙනෙකු බලාපොරොත්තුවෙ...