ඔබෙ ආදරෙන් මා දැවේ – 36

0
987

ශෙහාරා කවදාවත් ඒ වගේ දෙයක් තමන්ගෙන් අසාවි යැයි සිතුවිල්ලක් හිත අස්සේ නොතිබුන නිසා තමන්ගේ හිත ගැස්සුණ බව ඇත්තක් නමුත්, යටි හිත හෙමින් සැරේ කොඳුරමින් “ඒක එහෙමමද කියලා ශුවර් ද?” කියා අහද්දී ජාන්වි උන්නේ මහ රෑ ඇහැරගෙන කල්පනා කරමින් ය. ඇඳේ එහා මෙහා පෙරළෙමින්, එක එක පැතිවලට හැරෙමින් ඇස් දෙක තදින් වසා ගෙන නිදියන්න උත්සහ කරද හිත තිබුණේ නිදියන්න අවසර දෙන්නේ නැතුවය.

“අක්කි මං අක්කිගෙන් දෙයක් අහන්න හිතන් උන්නේ දවස් කීපෙක ඉඳලා” කියාගෙන තමන් ලඟ හිස් අසුනක වාඩි වු ශෙහාරා දෙස ජාන්වි බැලුවේ ඒ ප්‍රශ්නෙ මොකද්ද කියා හිතාගන්න බැරි ප්‍රශ්නාර්තයක් දෙනෙත් අස්සේත් හිත අස්සේත් ඇඳගෙනය.

“කියන්න නංගි” කියා තමන් කිව්වද ශෙහාරා ඒ කතාව අහන්නට පැකිලෙන බව තේරිච්ච නිසාවෙන්ම තමන් මෙතෙක් වේලා කර කර උන් රාජකාරිය නතර කර දමා ඇයගේ පැත්තට හැරෙන්න කටයුතු කරේ තමන්ගේ සම්පූර්ණ අවධානයම ශෙහාරා වෙත දෙනවාක් මෙනි.

“අනේ අක්කි මං ගැන මුකුත් හිතන්න එපා හරිද? මං දැක්කා අක්කි දවසක් අර රෝඩ් එකේ කෙළවරේ තියෙන කහ පාට මල් තියෙන ගහ ළඟ ගෙදර බයික් එකේ එන අයියා එක්ක කතාකරනවා” කියා ශෙහාරා කියද්දිත් ශෙහාරා තුරුණූ ගැන අහන්නේ ඇයි කියා හිතාගන්න පුලුවන්කමක් ඇත්තටම ජාන්විට තිබ්බේ නැත.

“තුරුණු, ඔව් නංගි මගේ ලෝයර් ඒ. ඇත්තටම ලෝයර් කිව්වට ඉස්කෝලෙ යන කාලෙ ඉඳලා මම එයාව දන්නවා” කියා කියද්දිත් හිත තිබුණේ “ඇයි ශෙහාරා මෙහෙම මගෙන් අහන්නේ?” කියා එක්තරා කුතුහලයක් තැවරුණ රිද්මයකට අනුව ගැස්සෙමිනි.

“ලෝයර් කිව්වෙ?”

“නංගි දන්නවනෙ අයිම් ගොයින් තෘ මයි ඩිවෝස්. තුරුණු තමයි ඒ කේස් එක හැන්ඩ්ල් කරන්නෙ”

“ම්ම්ම් ඒ අයියගෙ නම තුරුණුද? එච් ආර් එකේ සුදීප කිව්වෙ මනහාර කියලා. ඒ අයියා එෆ් බී ඉන්නෙත් මනහාර කියලා”

“ඔව් එයාගෙ සෙකන්ඩ් නේම් එක මනහාර. තුරුණු කියන්නෙ ෆස්ට් නේම් එක”

“ආහ් ඒක තමයි” කියා ආයෙම වතාව ශෙහාරා නිශ්ශබ්ධ වෙද්දී ජාන්විගේ හිත තිබ්බේ හයියෙන් හයියෙන් සැලෙමිනි. කෙල්ලෙක් මෙසේ පැමිණ කොල්ලෙක් ගැන මෙච්චර හාරවුස්සා තොරතුරු අසන්නේ එකම හේතුවකට පමණක් බව නොතේරෙන්නට තරම් ජාන්විගේ දැනුම අඩු උනේ නැත. අනෙක් අතට මේ ජෙන් සී වයසේ ඉතාම පුංචි කොල්ලො කෙල්ලන් අතර මාසයක් පමණ වැඩ රාජකාරි කිරීමෙන් මේ ළමයි සියලුම අංශ වලදී තමන්ට වඩා වෙනස් බවත්, තමන් වගෙ කෙල්ලන් ආදරේ ගැන බලන ආකාරයට වඩා වෙනස් ආකාරයට ආදරේ දිහා බලන බවත්, තමන් කොල්ලෙක්ට කැමති නම් ඒ කොල්ලා තමන් පස්සේ එනකම් ඉන්නේ නැතුව කෙලින්ම ගොස් ආදරේ ප්‍රකාශ කරන්න දෙපාරක් නොහිතන බවත් ජාන්වි ඉගෙන ගත්තෙ මේ ගෙවුණ දවස් කීපයේදීය.

එය හොඳ බවත්, කාලය එක්ක ළමයින් අප්ඩේට් වෙන එක කොච්චර හොඳ ද කියා එවෙලේ හිතුවත් ශෙහාරා තුරුණු ගැන අහන්නේ ඇයිද කියන පැනය හිත අස්සේ සම්ප්‍රදායිකව හිතන ගැහැණියකට අයත් සිතුවිලි ගොන්නක් ඉපදුව බව ජාන්වි පිළිගත්තාය.

“ඇයි ඔයා තුරුණු ගැන ඇහුවෙ?” කියා ජාන්වි ඉස්සර වුනේ ඒ සිතුවිලි ගොන්න දරාගන්න බැරි තැනමය.

“මේකයි අක්කි. මං මාර ඉන්ටරස්ට් ඒ අයියා ගැන. මං එයාව ෆේස්බුක් එකෙනුත් ඇඩ් කරගන්න රික්වෙස්ට් එකක් දැම්මා. එයා මේ ඔෆිස් එකේ එච් ආර් එකේ මිස්ට සුදීප ව දන්නවනෙ. එයා එහෙම ආව වෙලාවක තමයි මං එයාව දැක්කෙ.

අක්කිට පුළුවන්ද එයාට කියන්න මගේ ෆේස්බුක් රික්වෙස්ට් එක ඇපෘ කරන්න කියන්න. මං ඉන්ටරස්ට් කියන්න එපා. කිව්වත් කමක් නෑ හැබැයි” කියා ශෙහාරා කිචි බිචි ගා හිනාවෙද්දී ජාන්වි දෙතොල් මත්තට හිනාවක් ගොනුකරගත්තේ අපහසුවෙනි.

“ඉන්ටරස්ට් කිව්වෙ ආදරෙයි කිව්ව එකද?” කියා ජාන්වි අහද්දි ශෙහාරා ආයෙ ඇස් දෙක ලොකු කරගත්තාය.

“ආදරේද කියලා දැනගන්න අක්කි ඉතින් බලන්න ඕන නෙ ඩේට් කරලා. ඒ අයියා මගේ කලින් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් වගේ හරිද? මම ඉස්කෝලේ යන කාලෙ යාලුවෙලා ඉඳියා. පස්සෙ අපි යුනි යද්දි ඒක බ්‍රේක් උනා. මං මේ ළඟඳි ආයෙ එයාගෙ ප්‍රොෆයිල් එක දැක්කා අයි ජී. අයියෝ අක්කි මට මාර අවුල් ගියා දැක්කම. මාර ලස්සන වෙලා හරිද?

අක්කි දන්නවද සොන්ග් කන්? කොරියන් ඇක්ටර් කෙනෙක් ඉන්නේ? අන්න එයා වගේමයි හරිද? රැවුල වවලා දැන් මාර ලස්සනයි අක්කි. මට මාර දුක හිතුණා”

“ඉතින් ආයෙ කතාකරලා බැලුවෙ නැද්ද?” කියා අහද්දි උගුරේ කෙල ගුලියක් හිර වී තිබෙන අයුරුත්, කතාකරගන්න අපහසු බවත් දැනුනද ඒ කිසිවක් ශෙහාරා ඉස්සරහා නොපෙන්වා ඉන්නට තරම් ජාන්වි පරිස්සම් වුණාය. 

“කතා කරා අක්කි, ඒ උනාට එයාට දැන් ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. එච්චර ලස්සන නෑ. ඒ උනාට ඉතින් එහෙම අෆෙයාර් එකක ඉද්දි ඇප්‍රෝච් කරන එක හොඳ නෑනෙ. මං ඒ නිසා ෆලෝ කරේ නෑ” 

“තුරුණු ඔයාව දන්නවද?” කියා ජාන්වි ඇසුවේ පරිස්සමෙනි. 

“දන්නවා කියන්නෙ එයා මෙහෙ ආවම හිනාවෙලා තියෙනවා. එක දවසක් කතා කරා. එච්චරයි. අනේ මං මාර ආසයි අක්කි එයාට. මම එයාගෙ ප්‍රොෆයිල් එකෙත් බැලුවා හැබැයි ගර්ල් කෙනෙක් ඉන්න පාටක් නෑ. එයා වැඩිය දේවල් ශෙයා කරලත් නෑ පර්සනල්. ඔය පොලිටිකල් දේවල් තමා ශෙයා කරලා තියෙන්නෙ.

මං දන්නෙ නෑ අක්කි එයාව මුලින්ම දැක්ක වෙලා ඉඳල මගෙ ඔලුව පිස්සු වගේ හරිද? මම මාරම මාරම මාරම ආසයි එයාට. එයා මගෙ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරලත් නෑ. මෙතනින් යද්දි කතාකරන්න බැනෙ අක්කි බයික් එක නවත්තල. 

අක්කි දවසක් එයා එක්ක කතාකරනවා දැකලා තමා මට හිතුනෙ අක්කිට කියන්න. මං මුලින් හිතුවෙ ඒ අක්කිගෙ බෝයි කියලා. පස්සෙ තමයි මම දැනගත්තෙ අක්කි මැරීඩ් කියලා. අක්කි දැන් කිව්වම තමා දන්නෙ ඒ අක්කිගෙ ලෝයර් කියලා.

අක්කිට පුලුවන්ද එයාට කියන්න? නිකන් ෆ්‍රෙන්ඩ්ශිප් එකට වගේ කියන්න, මං කැමතියි එයාව දැනගන්න කියලා. ප්ලීස්” කියා ශෙහාරා හුරතල් වෙවී කියද්දිත් හා කියන්නට ඔලුව වනනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් ජාන්විට තිබ්බේ නැත. 

එහෙත් එදා රෑ නින්ද නැතිවෙද්දි ආයෙ ආයෙ ඒ ගැන නොහිත ඉන්න ජාන්විට සිදු වුනාය.

“මං කලබල වෙන්නෝන නෑනෙ ශෙහාරා නෙවෙයි මොකී එක්ක තුරුණු යාලු උනත්” කියලා කිව්වද හිත කිව්වේ වෙනම කතාවකි.

ඉන්පසුව ගෙවුන දවස් කීපයකම ශෙහාරා තමන් දිහා දෙනෙත් විදහා බැලුවේ “අක්කි අයියට අරක කිව්වද?” කියා අහන්නට මෙන් උනත් තමන් ඒක නොකල බව කියන්න ජාන්විගේ හිත මැළි වුනාය.

“අනේ නංගි මට තුරුණු එක්ක කතාකරන්න උනේ නෑ මේ ටිකේම. මම අදම එයාට කියන්නම් හොඳේ” කියා ජාන්වි කිව්වෙ ශෙහාරා එක්ක කතා බහ සිදුව සතියකට විතර පස්සේය. තමන් තවදුරටත් මෙය ඇද ඇද ඉන්න එක මේ කෙල්ල කෙලින්ම ඔය විත්තිය තුරුණුගෙන් අහපු දවසක කෙනෙක්ට තමන් දිහා වැරදි ඇහැකින් බලන්නට හේතු වෙන හන්දාම අන්තිමේ සියලු සිතුවිලි ජයගෙන “කමක් නෑ තුරුණුට කියනවා” කියන සිතුවිල්ලට දිනුම දෙන්න හේතු උනාය.

“තුරුණු කොහොමත් ඉස්සර ඉඳලා කෙල්ලන්ව ගණන් ගන්නෙ නෑනෙ. එයා අනික මේ වගේ ෆැශන් කරන කෙල්ලන්ට ආස නෑනෙ. කිව්වත් තුරුණු කීයටවත් ශෙහාරා එක්ක යාලුවෙන්නෙ නෑ” කියා හිතා ජාන්වි තුරුණුට ඒ කතාව කියන්න යොදාගත්තේ දික්කසාදයේ වැඩ වෙනුවෙන් යොදාගත් තවත් එක හමුවකදීය.

“මං ඔයාට දෙයක් කියන්න උන්නෙ දවස් කීපෙක ඉඳලා” කියා ජාන්වි කියද්දී තුරුණූට අහන්න තිබුණේ එකම එක ප්‍රශ්නෙකි.

“ආදරෙයි කියලද?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here