සුහදිනී -39

“මට කියන්න පුලුවන්ද කවුද ඔයාගේ සන් ෆ්ලවර් කියල”

අහස් ඒ වචන ඉවසීමෙන් අසා සිටියේ ය.අතිශය ඉවසිය යුතු වේ.මෙය අසන්නේ සාරණ්‍යා වීම ම සියල්ල දරා ගන්නට හේතුවකි.අහස් ඉවසීමෙන් අසා සිටියේ ය.

“ග්‍රවුන්ඩ් එකට කෑගහල කියන්න තරම් බර අත්තක් අල්ලා ගත්ත නේද? මට හිතුණා සීනියර් ඉලංගසිංහ හිරිකඩුව ඇමති එක්ක බිස්නස් ඩීල් ගහනකොට”

සාරණ්‍යා සිතන අන්දම ගැන අහස්ට අපුලක් දැනිණ.ඔහු ඉතා අපුලින් අසා සිටියේ ය.හිරිකඩුව ඇමති සහ තාත්තා අතර කිසිම ව්‍යාපාර ගනුදෙනුවක් නොවේ.තාත්තා ඔහුට වාහනයක් අලෙවි කළ අතර එය ඔහුගේ දියණියට බව හිරිකඩුව කියා තිබිණ.කොහොමටත් දේශපාලනය සහ තමන් පටලන්නට තාත්තාට අවශ්‍ය නැති බව අහස් දනියි.සාරණ්‍යා ඒවා නොදනියි.

“ෆෑන් ගර්ල්ස්ලා එක්ක කතා කරන ඒවා ලීක් කරන්නේ මිතුලි හිරිකඩුව එක්ක නටන නැටුං මං දන් නෑ කියලා හිතාගෙනද? මට මහ අප්පිරියයි අහස්.උන්ගෙ හයියෙන් ටීම් එකට රිංගාගෙන හෑලි කියවන්න එපා.”

රිය පදවමින් සිටින අතර ඒ ඇමතුම මොනතරම් බාධාවක් දැයි හඳුනාගත්තේ සියුම් ය.ඔහු අහස්ගෙන් දුරකථනය ලබාගෙන ඇමතුම විසන්ධි කර දැමුවේ ය.

“අපිත් කුණු ගෙවල් අස්සෙතියා ගන්නේ නෑනේ බං.ඒ වගේ තමයි ඔය පරණ සම්බන්ධකම්.ඒවට හිතෙන හිතෙන වෙලාවට අපිව පාරන්න දුන්නහම ජීවිතේම ජරා ගොඩක් වෙනව.ඔන්න ඔය ගෑනිගෙ නම්බර් එක බ්ලොක් කරල දාපන්.”

සකීගේ තාත්තාගේ තත්ත්වය ගැන විමසා ඉන් අනතුරුව සකී සමග මොහොතක් ගතකර රෝහලෙන් ඉතා ඉක්මනින් පිට වන්නට සූදානමින් සිටි අහස්ට මේ වැටෙන්නේ අනවශ්‍ය කරදරයක් බව සියුම් තේරුම් ගත්තේ ය.සාරණ්‍යා වේදනාවෙන් පසු වන්නේ ලෝකය හොල්ලන ක්‍රිකට් ක්‍රීඩකයා තමන් වෙතින් නික්මීම සම්බන්ධයෙනි.අහස් නම් සුන්දරආදරවන්තයා නැති වීම ඇයට ගැටලුවක් නොවේ.එක අතකට අහස් සකීට හොඳ ආදරවන්තයෙකු වුවද  සාරණ්‍යා සම්බන්ධයෙන් එසේ නොවූ බව සියුම් සිතී ය.

“සෙක්ස් කියන්නේ ආදරේට නෙවෙයිනෙ බං.ඒව ඉතින් තමන්ගෙ තෝරාගැනීම් තමයි.හැඟීම් දැනීම් තියෙන ඕනේ මනුස්සයෙක්ට තමන්ගේ ජීවිතේ ඕනේ දුරක් යන්න පුළුවන් එක ඇත්ත.ඒත් තමන්ට හොඳට සෙක්ස් කරන්න පුළුවන් වෙනවයි කියන හොඳට ආදරේ කරන්න පුළුවන් වෙනවයි කියන එකම නෙමෙයි කියලා හැම ගෑනිම මිනිහම තේරුම් ගන්නවා නම් තියන ප්‍රශ්න වලින් බාගෙකටත් වඩා අඩු වෙනවා.”

සියුම් කියන සමහර කාරණා අහස්ට ඕනෑවටත් වඩා හොඳින් වැටහේ.එහෙත් ඔහු ඒවා ගැන වැඩිදුර කතා නොකරන්නට තීරණය කළේ ය.ජීවිතයේ කාලච්ඡේදයක් බෙදාගත් සාරණ්‍යා ඔහු සමඟ ගත කළ හැම මොහොතක්ම තමන්ව ඕනෑවටත් වඩා විශ්වාස කළ මොහොතක් බව සිතන්නට අහස්ට උවමනා ය.ඇය ශාරීරික බැඳීම් මතින් ප්‍රේමය දිනා ගන්නට උත්සාහ කළා නම් ඒ ඇයගේ තෝරා ගැනීම ය.

එහෙත් සකීගේ කෙහෙරැලි මුදුව අවුස්සා නළල මත හෝ කම්මුලක් මත තවරන මුදු හාදුවක ඕනෑවටත් වඩා ආදරය දැවටී තිබීම අහස්ට ද ඇතැම්විට තෝරා ගන්නට බැරි කාරණාවකි.ඇය මුදු සුමුදු කෙල්ලක බව සිතීම ඔහුට පහසු ය.

“රන්මිණි එක්ක ඉන්න බැරිනම් එන්න.අපි දෙන්න ගෙයක් අරගෙන ඒකේ නවතිමු.”

අහස් එසේ පැවසූ මොහොතක එක්ව ජීවත්වීම ගැන සකී ඕනෑවට වඩා නොසිතා දුන් ලපටි පිළිතුර ඔහුගේ මතකයේ තිබේ.

“ඔයාට හැමදාම මැච්.එතකොට මම තනියම.”

ජීවිතය ගැන ඕනෑවට වඩා බරපතල තීරණ ගන්නට සකී ළපටි වැඩි බව අහස් සිතුවේ මුදු සිනාවකිනි.එහෙත් සියුම් ඒ සිනාව වරදවා තේරුම් ගත්තේ ය.

“හිනා වෙන්න දෙයක් නෑ නේ බං.ඇත්තටම ඔය ගෑනි මතක් කර කර කර හිනාවෙන්න වටින ගෑනියෙක් නම් උඹ මොකටද අහිංසක කෙල්ලව ළංකර ගත්තේ?”

සියුම් ගේ පැනයට පිළිතුරක් දෙන්නට ඉඩ නොතබාම සාරණ්‍යා නැවතත් අහස් ට ඇමතුමක් ලබා දුන්නේ ය.ඇය කිපී සිටින තරම අහස් ට හිතා ගන්නටත් අමාරු ය.

“මගේ ජීවිතේ විනාස කරලා දාලා ඇමති දුවෙක් පස්සේ යන එක ගැන පත්තර වලයි වෙබ්සයිට් වලයි යන්න ගත්තට පස්සේ ඔබතුමාට මොකක් වෙයි කියලද හිතන්නේ?”

ඒ තර්ජනය කිසිම කමකට නැති බොරු කතාවකි.නමුත් මල් පෙත්තකටත් වඩා සියුමැලි සකී මෙහි කිසිම තැනක නොතැවරීම ගැන අහස්ට කියා ගන්නට අසීරු ප්‍රීතියක් දැනිණ.සාරන්‍යා දුරකථන ඇමතුමක් දී වේගයෙන් කතා කළේ නම් එය සකීට පැය ගණනක් හඬන්නට හේතුවක් බව අහස් හොඳින් දනියි.

“සාරණ්‍යා,”

ඔහු සන්සුන් ස්වරයෙන් සාරන්‍යා ඇමතුවේ ය.

“මං දකිනව ඔයා මලිත් එක්ක හරිම සන්තෝසෙන් ඉන්නේ කියල.ජීවිතයේ එකට ගමනක් නැත්තං අපිට එකට ගමනක් යන්න අමාරු නම් අපි වෙන් වෙන්න ඕනි නේද?එහෙම වෙන් වෙලා අපි දෙන්න ආයෙ ආයෙම අපට වග පල කියා ගන්න එක හරි වැරදි වැඩක්.ඔයා මලිත් එක්ක ඉන්නකොට ඇස් දිලිසෙන තරමට මාත් එක්ක ඉන්නකොට කවදාවත්ම ඔයා සතුටින් හිටියේ නෑ කියලයි මට හිතෙන්නේ.ඉතින් එයත් එක්ක සන්තෝසෙන් ජීවත් වෙන්න.”

අහස් එසේ කීවේ මූනිච්චාවට ම නොවේ.තරුණ නළුවා සහ නිළිය හොඳින් ගැළපෙන බව ඔහුට සිතේ.ආත්මීය සහකරුවන් වන්නට සෑම කෙනෙකුටම නොහැකි වුවද සහකරුවන් අතර රසායනයක් මඳක් හෝ තිබිය යුතු බව අහස් අදහන කාරණාවකි.එය ඔහුට මලිත් සහ සාරන්‍යා වෙති නොපෙනෙනවා නොවේ.

“අපි දෙන්නා යාළුවො දෙන්නෙක් විතරයි.අපි දෙන්නටම දෙන්නට දෙන්න නැතුව නම් බෑ.ඒ උනාට මේ අපි අතර තියෙන ලස්සන යාලුකම කසාදෙකින් නැවතෙයිද නැද්ද කියලා අපි තීරණය කරලා නෑ.”

සාරණ්‍යා එසේ කියද්දී අහස්ට සිනා ඉපදුණු තරම්! ජීවිතයේ කෙටි කාලයක් හෝ බෙදාගත් ප්‍රේමවන්තයකුටද ඇය කාරණා පවසන්නේ රූපවාහිනී වැඩසටහනකදී මෙන් ආටෝප තවරා ය.ඒ ඇගේ ආකාරයේ නම් එයට බාධා කිරීම කළ යුතු නැති බව අහස් සිතී ය.

“ඔයාට එහෙම හිතෙන්න කියලා මම සුබ පතනවා.ඇත්තටම ඔයා මට බොරු චෝදනා කරන එක නවත්තලා දාන්න.මං කොයි විදියට ජීවත් වුණත් ඇත්තටම වැඩක් නෑ නේද? ඉඳලා හිටලා මම ග්‍රවුන්ඩ් එකේදි නා ගන්න කොට මට බනිනව ඇරෙන්න ඔයා මට බනින්න කාලේ නාස්ති කරන එක හරිම තේරුමක් නැති වැඩක්.”

අහස් එසේ කියා දුරකථනය විසන්ධි කර දැමුවේ ය.අනතුරුව සියුම් ගේ උපදෙස ක්‍රියාවට නංවමින් සාරන්‍යාගේ අංක සියල්ල ම අවහිර කර දමන්නට ඔහු ක්‍රියා කළේ ය.

“හිරිකඩුව ඇමතියා පවා මේවට පටලගන්න එක මහා විනාසකාරී වැඩක් නේ බං.ඇත්තටම මං ඒ කතාව ඕනවට වඩා නිවැරදි කරන්න ගියේ නැත්තේ ඒකෙන් සකීට වාසියක් වෙන හින්දා.නැත්නම් මේවා කතාකරන්නවත් වටින කාරණා නෙවෙයි.”

රෝහලට ඇතුළු වෙමින් අහස් එසේ කියද්දී සියුම්ට කියන්නට ඊට වඩා වෙනස් කාරණාවක් තිබිණ.

“ජීවිතෙ හැම දෙයක් ම මුදල මූලික කරගෙන පටන් ගත්තම හරිම අමාරුයි.ඇත්තටම සාරන්‍යා උඹට එක දවසක්වත් ආදරය කරන්න නැතුව ඇති කියලයි මං හිතන්නෙ.එයාට තිබ්බ අනුෂ්කා වගේ වෙන උවමනාවක්.ඒකට අඩුම තරමේ ඒකිට රඟපාන්නත් පුළුවන් වුණා නං ඉවරයි.ඒකත් බැරුවනේ ඔය හැම කැටයමක් ම දැම්මෙ.ඉතින් උඹලා විරුෂ්කා වෙන් නෑනෙ.”

හිතේ ඇති පීඩාව මකා දමන්නට  අහස් ඒ කතාවට සරදමක් කරන්නට සිතී ය.

“ඉතින් මටත් විරාට් ට ලං වෙන්නවත් බෑ නේ මචං.දවසක් ඒවි අපිත් අපේ හීන වලට යාවි කියලා ඉන්න තමයි වෙන්නෙ.”

සරදම බොහෝ දුර ගෙනියන්නට ලැබුණේ නැත.ශල්‍යාගාරයේ ඉදිරිපිට සකි සිටියේ හඬමින් ය.

(අද අහස් ප්‍රමුඛ අපේ කොල්ලන්ට ජය ලැබිය යුතු දවසක් වේ.මේ සූරියකාන්ත සුබ පැතුම ඔවුන් ට ය.ඔබේ ආදරය මුසු ප්‍රතිචාර මට සහ සකීට ය.)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles