එකොලොස්වෙනි දෑත් දැරුම
මනුජ සවස පහ පසුවනවිට නිවසට පැමිණියේ සාරතී සමඟ කතා බහ කර තීරනයක් ගැනීම සඳහා කාරණාවක්ද වූ බැවිනි. සාරතී සමඟ පින්තූර පොතක් පාට කරමින් උන් දියණිය මනුජගේ වාහනයේ හඬ ඇසෙත්ම නැගිට ජනේලය අසලට දිව ගියාය. ඉන් පසුව, දොර අසලට දිව ගොස් පලමු පඩියේ නැවතුණාය. ආපසු හැරී සාරතී දෙසද බැලුවාය.
සාරතී දියණියට ඉඟි කලේ මනුජ පැමිණෙන තෙක් පහල පඩියට හෝ නොබසින්නටය. දියණිය හිස සලා එලෙසින්ම උන්නාය. මනුජ මෝටර් රියෙන් බැස්සේ අතර මඟින් මිලයට ගත් ස්ට්‍රෝබෙරි මල්ලක් සහ තවත් අඩුම කුඩුමද රැගෙනය. ඔහු එක් අතකට ඒ සියල්ල මාරු කරගත්තේ හුරු දකුනත දියණිය වෙනුවෙන් වෙන් කරමිනි.
මනුජ පඩි දෙකක් නඟින විට දියණිය පඩි දෙකක් බැස්සේ ආපසු හැරී සාරතී දෙසද බලමිනි. සාරතී කුඩා කෙල්ලගේ සතුටු චලනයන් දෙස බලා සැනහුනාය.
මනුජ දියණිය වෙත නැවී , නිදහස් අත දියණිය වටා යවා ඕ ඔසවාගෙනම නිවසට ඇතුලු වූයේය.
” මගේ කුරුළු පැටියා …”
ඔහු එලෙස පවසමින් දියණියගේ කැරලි හිසකේ වැටී තිබූ කොපුලක් සිප ගත්තේය. දියණිය පහ හඬින් සිනාසෙමින් මනුජගේ ගෙල වටා දෑතම යවමින් පෙරලා ඔහුගේ කොපුලද සිම්බාය.
” අපප්ච්චී ආවා… අප්පච්චි ආවා….”
ඕ සාරතී දෙස බලමින් එක දිගටම කෑ ගසා කීවාය. සාරතී සිනාසෙමින්ම පැමිණ මනුජ රැගෙනවිත් තිබූ මලු කිහිපයම ඇය අතට ගත්තාය.
” මගේ හොඳ පැටියා දැන් අප්පච්චීට වොශ් දාගන්න දීලා සාරතී ආච්චි අතට එන්නකෝ … අපි අප්පච්චි එනකල් කලර් කරමු …”
සාරතී එලෙසින් පවසද්දී දියණිය වඩා තදින් මනුජගේ ගෙල බඳාගත්තාය. කෙලෙසකින්වත් සාරතී වෙත යන්නට අකමැති බව අංගචලනයෙන්ම පෑවාය. මනුජද උන්නේ වෙහෙසිනි. ගත දොවා ගන්නට දැඩි අවශ්‍යතාවයක් විය. එහෙත් බැඳී ඇති යදමේ තරම ඔහුටද දැනෙමින් තිබුණි.
” සාරතී නැන්දා ඔය ටික කුස්සියෙන් තියලා අපිට බොන්න මොනවා හරි හදන්නකෝ .. අද ගෙදර යන්න හදිසි නෑ නේද ?..”
මනුජ දියණිය උන් ඉරියව්වේම තබා ගනිමින් අසුනකට පහසුවෙන් වැටෙමින් ඇසුවේය.
” අද නම් මහත්තයෝ ගෙවල් පැත්තේ යන්න වෙනවා.. අද දොස්තර නෝනා හම්බෙන්න යන්න එන්න කිව්වා…”
” හරි … බොන්න තියෙන දෙයක් හදන් එන්නකෝ … ඔය බෑග් එකක චොක්ලට් කේක් ඇති .. ඒකත් කපාගෙනම එන්න …”
සාරතී එයට පිළිතුරු නොදී ආපසු හැරුණාය. මනුජ දියණිය හා කතාබහේ පැටලුණේය. ඕ දිනය පුරා තොරතුරු සාරාංශය කියවමින් උන්නාය. විටෙක සාරතී පිළිබඳව කේලම්ද කීවේ ළපටි දෙතොල් උල් කර රඟපාමින් ය.
” ………… ඊට පස්සේ බබා එලියේ බයිසිකල් පදින්න හදනකොට සාරතී ආච්චි ඩෝ එක වැහුවා…. බබා ඇඬුවා .. සාරතී ආච්චිත් ඇඬුවා නේ අප්පච්චි ..ඊට පස්සේ බබා සාරතී ආච්චීට චොකෝ ගෙනල්ලා දුන්නා…”
මනුජ ගේ දෑස් තෙත්ව යමින් තිබුණි. ඇයගේ ජීවිතය තුල වන හිස් තැන් කෙලෙසකින් නම් පියවන්නද ?..
” … ඊට පස්සේ සාරතී ආච්චියි බබයි ඩ්‍රෝවින්ග්ස් කලර් කලා … අර චෙයාර් එකේ ඉඳන් .. බබා පෙන්නන්නද අප්පච්චිට බබා කලර් කරපු ඩ්‍රෝවින්ග්ස් ?…”
දියණිය මනුජගේ යටි රැවුලේ දැවටෙමින් විමසමින් උන්නාය.
” ගේන්නකෝ බලන්න මගේ පැටියාගේ කලර් බුක් එක …”
දියණිය කැමැත්තෙන්ම මනුජගේ ගෙල අතැර බිමට බැස්සාය. අඩියට දෙකට යාබදව වූ දිගු සෙටිය අසලට ගියාය. යම් තරමකට විශාල පොතක්ද රැගෙන ආවාය.
” මේ… මේ ඇනිමල්ස් කලර් කරා අප්පච්චී බබා.. දිස් ඉස් රැබිට් … රැබිට් වයිට් කලර් …”
ඕ එකින් එක පහදන්නටද ගත්තාය. මනුජ ඒ එකින් එක ඉතා උනන්දුවෙන් බලමින් දියණියගේ කතා බහටද උනන්දුවෙන් පිළිතුරු බැන්දේය.
සාරතී තේ සකසාගෙන පැමිණි පසු දියණිය මනුජ අසලින්ම හිඳ කේක් කැබැල්ලක් කන්නට ගත්තාය. මනුජ ඒ දෙස බලා උන්නේ සැනසීමෙනි. ඕ දිලිසෙන්නීය.
” සාරතී නැන්දේ මොකක්ද මේ දොස්තර නෝනාගේ කතාව ?..”
” මහ ඉස්පිරිතාලේට අලුතින් දොස්තර නෝනා කෙනෙක් ඇවිල්ලා උන්නානේ මහත්තයා.. ඒ නෝනා එලියේ ගෙයක් අරගෙන ඉන්නේ .. මෙච්චර කල් ඒ නෝනාගේ තනිවට උන්නේ අපේ කිට්ටුව අක්කා කෙනෙක් .. දැන් එයැයිට අකුරැස්සේ යන්න වෙලා ..ඉතින් , විශ්වාසවන්ත කවුරු හරි හොයලා දෙන්න කිව්වාලු … ඒ අක්කා මට කිව්වා ඒ රාජකාරිය ..”
” හරි . දැන් ඒ වැඩේට සාරතී නැන්දාට කීයක් ගෙවනවාද?..”
” මම එහෙම මිල ගණන් ඇහුවේ නෑ මහත්තයා.. මෙවෙලේ ඒ නෝනාට උපකාරයක් ඕනිම හින්දා මම බැලුවේ.. ඒ නෝනේ රෑ රාජකාරි නොකරන දවස් වල තනිවට තමා ඉන්න ඕනි ඉතින්……..”
” හරි .. ඒ දෙන ගාන මම දෙන්නම් .. මටත් උපකාරයක් ඕනි හිතලා සාරතී නැන්දා මෙහෙ නවතින්න … දරුවා ළඟ කවුරු හරි ඉන්න ඕනි …”
” අනේ මහත්තයෝ .. මම මගේ වචනේ දීලා අහවරයි නේ … අනෙක , මහත්තයා එහෙමත් දවසක ඇරුනම හය වෙද්දී ගෙදර එනවානේ … තනි මම මෙහෙටම වෙන එක මහත්තයාට හොඳත් නෑ අනෙක් අතට ….”
මනුජ දැනුන කෝපය පාලනය කරගන්නට දෑස් පියාගෙන හිස අසුනේ පිටුපසට වන සේ තබා ගත්තේය. හිස යන්තමින් සොලවමින් යමක් අවධාරණය කරගන්නට උත්සාහ කලේය. ඉන් පසුව එක්වරම සාරතී දෙස බැලුවේය.
” ඇයි දැන් සාරතී නැන්දා මෙහෙ යන එක එකට කවුද මොනවාද කිව්වේ ?..”
මනුජගේ හඬෙහි වූ දැඩි ගතිය හමුවේ සාරතී තිගැස්සුනාය. එහෙත් දියණිය උන්නේ ඇගේ ලෝකයේය. සාරතී වහා මනුජට යමක් පහදන්නය උත්සාහ කලාය. මනුජඑවෙලෙහි උන්නේ ඔහුගේ පැනයට පිළිතුරක් බලාපොරොත්තුවෙන්ම පමණි. ඔහු උස් හඬින් කෑ ගැසුවේ දියණියද තිගැස්සී යන තරමිනි.
” මං අහපු එකට උත්තර දීලා ඉන්න සාරතී නැන්දා…”
” අනේ දෙයියනේ මම එහෙම වෙච්ච පලියට කීව කතාවක් නෙවෙයි අපේ මහත්තයෝ … රටේ ලෝකේ මිනිස්සු කියන කතන්දර එහෙම කමට ගැලඖවා මිසක්කා වෙනවට කිව්වා නෙවෙයි …”
” බොහොම හොඳයි සාරතී නැන්දේ … තව එහෙම කතා හිත හිත කියන්න …”
මනුජ දියණියවද රැගෙන මිදුලට බැස්සේය.