හිමගිරි අරණ -22

“මගේ දූගේ බර්ත්ඩේ පාටි එකත් එක්කම ඒ කතාව ඇදිලා ආවටයි මට දුක.”

හිමාෂා එසේ පැවසුවේ රාත්‍රියේ ය.පාරමී සිටින්නේ ඉතාම වේදනාවෙන් බව රවිඳුට ලියා යවන්නට ඇයට සිතී තිබිණ.නමුත් ඒ බලහත්කාරයෙන් හෝ පාරමී ඔහුට පැවරීම වෙනුවෙන් නොවේ.පාරමිගේ හිත සැනසෙන තුරු වඩාත් දුරින් හිඳින්නැයි රවිඳුට කියන්නට හිමාෂාට ඕනෑ වී තිබිණ.

“ඒක ඇදෙන්න තිබ්බේ ඒ මොහොතේ.පාරමීට ඕන වුණේ කපල් එකක් වගේ ඔයාලගෙ ගෙදර යන්න.කොහොමද හිමා ඒක කරන්නේ?”

එය නොකර ඉන්නට තමන්ට තදබල හේතුවක් ඇතැයි නොකියන්නට රවිඳු ප්‍රවේසම් විය.වෙන කොහේ කොතැනකට ගියත් හිමාෂාගේ නිවසට පාරමී සමඟ ජෝඩු දමා යන්නට ඇගේ කැමැත්තක් නොවේ.

“ඔව්,මට තේරෙනවා.එයාගේ පැත්තෙන් එයත් පව් හිතෙනවා.”

පාරමි එපමණක් පවසා නිහඬව සිටියා ය.

“අපි තෝරා ගැනීම් කරන්න ඕන පරිස්සමින්.එක වතාවක් වැරදුණාම ඒ වගේ දේවල් කරන්න ඕන කොහොමත් හුඟක්ම පරිස්සමින්.”

ඔහු එවැන්නක් ලියා එවා තිබිණ.ඔහුට නම් තව තෝරා ගැනීම් කිහිපයක් හෝ කරමින් වඩාත්ම සුදුසු ප්‍රේමය තෝරා ගන්නට ඉඩ තිබේ.නමුත් තමන්ගේ ජීවිතය තවත් තෝරා ගැනීමක් හෝ නොකරන්නට තරම් ඉඩ ඇහිරුණු එකක් නොවේදැයි හිමාෂා සිතුවා ය.

“පාරමී කිව්වද මම ඇත්තටම අකමැති හේතුව?”

රවිඳු ඇසී ය.ඒ බව දන්නා බවත් එවැනි අතිශය පෞද්ගලික හේතුවක් ඔහු සතුව තිබීම ගැටලුවක් නැති බවත් හිමාෂා පැවසුවා ය.ඇයට සිත ඇදී යන්නේ මෙවැනි හේතුන් නිසා බව රවිඳුට සිතේ.ඇය ඉතා අපූරු ජීවන රටාවක් ඇති ගැහැනියකි.තමන්ගේ ලෝකයට එපිටින් වන සිදුවීම් ඇය එතරම් උනන්දුවෙන් බාර නොගනියි.

“ඒ වුණාට මම ඉන්නේ මගේ හිත ගිය ගෑනු ළමයාව ඔයාට අඳුන්වලා දෙන්න.ඉක්මනින්ම් දවසක මං ඒක කරනවා “

ඔහු එසේ කියද්දී මිත්‍රත්වයේ නාමයෙන් සරදමක් කරන්නට හිමාෂාට සිතිණ.

“මේ වතාවෙත් තීරණේ වරදී කියල බයට අපෙන් ඇඩ්වයිස් ගන්නව නේද?”

ඇය එසේ අසද්දී ඔහු සිනා මුහුණු පේළියක් එවී ය.මේ වතාවේ තීරණය ගැන තමන්ට කිසිම දෙගිඩියාවක් නොවේ.ඔහු ඒ බව පැවසුවේ විශ්වාසයෙනි.

“මං අහන්නමයි හිටියෙ හිමා,දුව වැඩියෙන් ආස මොනවටද?”

ඒ මෑත කාලීනව දියණිය ගැන පිරිමියෙකු ඇසූ පැනයක් නොවීම ගැන හිමාෂාගේ හදවතේ ඉසියුම් වේදනාවක් ඉහිර ගියේ ය.දියණියගේ තාත්තා දියණියට ගෙන එන කිසිවක්ම ඇය ප්‍රිය කරන ඒවා නොවේ.ඔහු වෙළඳපොළේ දකින ඒවා ය.

“මං පොඩි උන් ගැන දන්නවා.අපේ අයියගෙ පොඩි මාස්ටර් මට ඒ ගැන ඩිග්‍රි එකක් කරවල තියෙන්නෙ.ඒ වුණාට ඌ කොල්ලෙක්නෙ.කෙල්ලො එහෙම නෙවේනෙ.කෙල්ලො පුංචි කාලෙ ඉඳලම සුකුරුත්තන් වැඩි ජීවියො.”

හිමාෂා ඒ පණිවිඩය කියවූයේ තොල් මත හසරැල්ලක් තබාගෙන ය.අහම්බයකින් කාමරයට එබුණු අමායා ඒ මන්දහාසය දුටුවා ය.අක්කා අහේතුකව හෝ හිනැහීම ඇයට සැනසීමකි.අක්කා කාටත් හොරා හඬන්නේ මේ වෙලාවට වග දන්නා අමායාට මේ හෝරාව අක්කාට හිනාව සොයා දුන්නේ කවුදැයි දැන ගන්නට නොතිත් ආශාවක් ඇති විණ.නමුත් ඇය එය පසුවට කල් තබා යන්නට ගියා ය.

“බෝනික්කෝ තමයි.කොච්චර හිටියත් මදි.දැනටමත් මේ කාමරේ අපිට ඉන්න ඉඩක් නෑ.”

දියණිය ගැන කිසිවෙකු හෝ අසද්දී ඒ ගැන පැවසීම පවා සතුටකි.හිමාෂා ඒ හන්දාම රවිඳු සමඟ දිනාරා ගැන පැවසුවේ සතුටිනි.එහෙත් ඒ සතුටු බුබුළ බිඳී ගියේ හදිසියේ ය.සහන්ගෙන් ඇමතුමක් පැමිණියේ ය.

“ඔයා මේ රෑ එකොළහට විතරත් ඔන්ලයින් නේද?”

ඔහු අමතන්නේ දියණිය සම්බන්ධ හදිසි කාරණාවකට වග සිතා දුරකථනයට පිළිවදන් දුන් හිමාෂාට මහත් කෝපයක් ඇති විණ.නමුත් ඈ ආයාසයක් යොදවා එය මැඩ පවත්වා ගත්තා ය.

“කරන දෙයක් පරිස්සමින්.ඔයා දුවෙක් ඉන්න අම්මා කෙනෙක්.”

ඒ කතාව මොනතරමට අසාධාරණදැයි අසන්නට හිමාෂාට සිතිණ.දරුවෙකු බිරිඳගේ කුසෙහි වැඩෙන කාලයේම ඔහු වෙනත් ප්‍රේමයක් පැතී ය.එවගක් කිසිවෙකුටත් නොකියා සහන්ව අතැර දමන්නට හිමාෂා සිතා ගත්තේම දියණිය වෙනුවෙනි.නමුත් “දුවෙක් සිටීම” දැන් ගැටළුවක් වී ඇත්තේ ඇයට ය.

ලෝකය මොනතරමට අසාධාරණදැයි හිමාෂා සිතන්නට පටන් ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles