දෑත දරා – 16

0
92

සාරතී සින්දූපාට මනුජගේ තොරතුරු පැවසුයේ සින්දූආ නොනවත්වාම මනුජගේ නොමනා හැසිරීම් වෙනුවෙන් බැණ වදිද්දීය.

” කිරි සප්පයෙක් එක්ක තනි වෙච්ච ඔය වයසේ මිනිහෙක්ගේ හිත නෝනේට අපිට තේරෙන්නේ නෑ නෝනේ…”

සාරතී එලෙසින් කතාව අරඹද්දී සින්දූපා මොහොතකට නිහඬ වූවාය. සාරතී පැවසූයේ කුමක්දයි යලි සිතුවාය.

“බබා මනුජ මහත්තයා ළඟට එක්ක ඇවිල්ලා මාසයක් ගියේ නෑ… කලින් කොළඹ , මහත්තයාගේ අම්මාලා එක්ක ඉඳලා තියෙන්නේ… මහත්තයාගේ අම්මා එක පාරටම අසනීප උනැයින් බබා මෙහෙ එක්ක ඇවිල්ලා තියෙන්නේ… මහත්තයාගේ හැසිරීමෙන් පේන්නේ බබා ගැන එහෙමට තේරුමක් තිබිලා නැති බව… එහෙයින් කමක් නෑ… බබාට පණ ඇරගෙන දැන් … ඒක හරියට තමන්ට මඟ ඇරිච්ච දේවල් හොයලා එව්වා පිලිවෙලකට අඩුක් කරගන්න මිනිහෙක් ගානයි…”

තමා දරුවාගේ අම්මා පිළිබඳව විමසද්දී අම්මා නිවසේ බව පැවසූබව සින්දූපා සාරතිට පැවසුවාය.

සාරති මද සිනහවක් පෑවාය.

” හිතුවක්කාර පිරිමි හිත් නොවැ නෝනේ… උද්දච්ච කම … ගෑණි දාලා ගොහින් කියන්න දිව නැවෙන්නේ නැති කම ….”

සාරතී මනුජගේ ඇතැම් ගති සිහි කරමින් කීවාය. සින්දූපා එය විස්වාස කරගන්නට නොහැකිව මෙන් බලා උන්නාය.

” ඒ කියන්නේ, ඒ බබාගේ අම්මයි තාත්තයි ඩිවෝස්ද ?”

“එහෙමයි නොවැ කියන්නේ නෝනේ… දෑවුරුද්දකට වැඩි මයේ හිතේ …. මම ඒ නෝනාව දැකලවත් නෑ… එහෙන් මෙහෙන් මට ඇහුණ විදියට, ඒ නෝනා බබාව මනුජ මහත්තයාගේ අම්මලාට දාලා එහෙමම රට ගිහිල්ලා… පස්සේදි දික්කසාද නඬු වලට ඇවිල්ලා ගිහිල්ලා…”

අම්මා සහ තාත්තාගේ උණුහුම අවැසිම වයසේ කිරිල්ලිය සින්දූපා ට මැවුණි.

” එතකොට ..? ඇයි සාරතී ආන්ටි එහෙම වෙලා තියෙන්නේ ?”

“මහත්‍තයාගේ පිළිවෙල ඒ නෝනේට අල්ලන්නේ නැතුවලු.. ඒ නෝනේගේ පිළිවෙල මහත්‍තයාට අල්ලන්නේ නැතුවලු…”

” මහ පුදුම මිනිස්සු…තමන්ට එකට ජීවත් වෙන්න පුලුවන් ද බැරිද කියලාවත් නොදැන දරුවෝ ලෝකෙට ගෙනල්ලා… අන්තිමේදි ඒ පොඩි උන් දුක් විඳිනව… මේ අම්මලා තාත්තලා නෙවෙයි සාරතී ආන්ටි., ළමයි වදපු ගෑණුයි, පිරිමියි …”

” නොවෙන්නම් ඉතින් නෝනේ… මනුජ මහත්තයා ඉන්නේත් කේන්තිය හිස් මුදුනේ තියාගෙන ..ගෑණු ළමයෙක් ලොකු මහත් කරන අවබෝධයක් නෑ…”

“අනේ මන්දා.. සාරතී ආන්ටි ඉන්නකල් බලා කියාගන්න ඉතින් ….”

සින්දූපා ඉන් පසුව මනුජට බැණ වැදුනේ ඔහුගේ උද්දච්ච කම් කියවමිනි. දරුවා ගැන සිතා දික්කසාද නොවී ජීවිතය ඉදිරියට ගෙන යෑමට තිබුණා යැයි ඕ තරයේ කීවාය.

” දැන් අර නෝනේට අරියාදු කරන දොස්තර නෝනා පලමුදා සිද්දියටත් නෝනේ එක්ක් පැටලුනාය ?.”

සාරතී කතාව අන් අතකට යොමු කරන අදහසකින් නොවූවත් , එලෙසින් විමසුවාය.

” ආයේ අහලා… ඩොක්ටර් මදාරා මාව දඬු කඳේම ගහලා…  ඩී එම් ඕ සර් කොහොමටත් ඩොක්ටර් මදාරා කියනෙකට ඔලුව වනන්න බලාගෙන නේ ඉන්නේ.. .. මාව ගෙන්නලා ඉතින් නොසෑහෙන්න  දොස් කිව්වා…මට ඇඬුනත් එක්ක… පස්සේ මම හිතාගත්තා මම වරදක් කලේ නෑනේ කියලා…”

“නොවෙන්නම් නෝනේ … තමන්ගේ හිත දන්නවානේ වෙච්චි දේ.. සොබාදහමින්ම ඒක ආයේ ලෝකෙට පෙන්නනකල්, නිස්සබ්දව තමන්ගේ වැඩ කටයුතු ටික කරාම හරි…”

“හ්ම්ම්..”

“නෝනේ ආයේ කොළඹ යන්න හිතාගෙනයැ ඒ හුස්ම ඇල්ලුවේ … ?”

“එහෙමත් හිතුනා දවල් නම් ආන්ටි… පස්සේ ඉතින් හිතුවා පිස්සෝ නම් කොහෙත් ඉන්නවානේ කියලා…. එහෙම පිස්සෝ නටන්ම නටන්න අපිට එහෙට මෙහෙට දුවන්නත් බෑනේ…ඒ ඔක්කොමත් හරි, පිස්සො කලබල වුනාට දොස්තර කලබල නෑනේ…?”

සින්දූපා සිනාසෙමින් කීවාය. සාරතී සින්දූපා වෙත හෙලුවේ අම්මා කෙනෙකු දරුවෙක් වෙත හෙලන තරවටු බැල්මකි.

” මනුජ මහත්තයා දැනගත්තොත් ඒම වතාවක් නෙවි , දෙවතාවක්ම නෝනේ පිස්සා කීව බව තුවක්කුව උරුක් කරගෙනම ඒව්..”

” ඇයි ඒ පිස්සා පොලීසියේද එහෙම තුවක්කු උරුක් කරන් එන්නේ ?”

” නෝනා ඔක්කොම දැනගත්තත් හරි… ඒක දන්නේ නැතෙයි එතකොට…. අපේ මනුජ මහත්තයා…දියතලාවේ කෑම්ප් එකේ ලොක්කෙක්… තරු ගහපු ලොක්කෙක්…..”

“මේ එයාර් ෆෝස් එකේ ?”

“නොවෙන්නම්….බලන්නෙපයි යුනිෆෝර්ම් එක ගහලා යන අපූරුව….හම්මේ ඉතින් රජෙක්…”

සින්දූපා එවර සාරතී වෙත සරදමක් පෑවාය. සාරතීගේ  දැන්  කතා බහ මනුජ ඇයගේ දරුවෙකු ලෙසින් බව සින්දූපා ට සිතුනි . ඕ ඒ බවක් පැවසූවේ නැත.

” දැන් හෙට උදේට මොන සෝලියක් නටන්න තියාගනීද දන් නෑ මං මෙහෙ එන්නේ කියලා දැනගත්තම…”

සාරතී මුලුතැන්ගෙය වෙත ඇවිද ගියේ එලෙසින් පවසමිනි. සින්දූපා එයට කිසිත් කීවේ නැත. ඒ වෙනුවට ඕ ජංගම දුරකතනය අතට ගෙන මුහුණු පොතට පිවිසුණාය.

දැන් උන් නම මනුජ පමණි. ඕ සෙවුම් තීරුවේ මනුජ දියතලාව එයාර්ෆෝස් ලෙසින් සඳහන් කලාය.

තිගැස්සුණේ ඇයය.

මනුජ       නිම්නෙත්  ප්‍රේමනාථ           ඇගේ දුරකතන තිරය මත උන්නේය. ඇය දැක නොමැති මනමාල සිනහව ඔහුගේ දෙතොල් අග්ගිස්සේ විය. සින්දූපා විනාඩි කිහිපයක්ම ඒ දෙස බලා උන්නාය. ඉන් පසුව ගිණුම තුලට පිවිසුනාය. එහි වූ චායාරූප අතරේ දරුවාගේ මව සෙව්වාය.

එහෙත්, එවන් සේයාරූ එකක්වත් සොයාගන්නට ඇයට හැකිවූයේ නැත. ඒ වෙනුවට මනුජගේ සිනාමුසු මුහුණේ සේයාරූ මදි නොකියන්නට විය .

“තනිකරම පිස්සු ඩයල් එකක්නේ…. හිනාව….”

සින්දූපා ට එලෙසින් කියවිණි. සාරතී සාලයට ආවේත් එවෙලෙහිමය.

” කවුද නෝනේ ?..”

සින්දූපා වහා කිසිවෙකු නොවන බව පවසමින් ජංගම දුරකතනය පසෙක තැබුවාය.

හිත කිති කැවෙමින් තිබුණි. හේතුව වැටහුනේ නැත. පෙර රැයෙහි මනුජගේ හැසිරිම ගැන දැනුන කෝපය දැන් දැනෙන්නේ වෙනම මානයකින් බව ඇයට දැනෙයි. ඕ වහා අරමුණු සහ සිතුව්ලි ගලා ඒම වෙනස් කරගන්නට උන් ඉරියව්වද වෙනස් කලාය.

“ඒ තනිකරම යකෙක් …”

ඇය එලෙසින් සිතුවාය

මනුජගේ තාත්තා පැමිණියද, මනුජගේ අම්මා නොපැමිණීමේ ශෝකයෙන් කියවමින් උන් දියණිය නින්දට ගියේ සෑහෙන වෙලාවකට පසුවය. අම්මා නිවසේ අත් උදවුවට සිටින කාන්තාව සමඟ තනිව දමා, තාත්තා මෙහි ඒම ගැන මනුජ උන්නේ යම් කණස්සල්ලකිනි.

” අම්මට ප්‍රශ්නයක් තිබුනේ නෑ.. අනෙක දෝණි හොස්පිට්ල් කිව්වම අම්මත් එන්නයි ලෑස්ති වුනේ…. මගේ කටේ බලෙන් දාලා ආවේ… ම, හෙට  මේමම යන්නම්…”

” තාත්තාට හෙල ගෝ එකක් දාලා දෙන්නම් මම …ඒකේ යන්න …”

” එච්චර වියදම් කරන්න ඕනි නෑ ලොකු.. මේ බස් එකේ ආවට එහෙම මහන්සියක් නෑ…”

“ඒකට කමක් නෑ.. මං බලන්නම් එක්කෝ යාලුවෙක්ගේ මොකක් හරි..  මට හෙටනිවාඩු දාන්න විදියක් නෑ…”

“නිවාඩු දාන්න අවශ්‍ය නෑ… මහ ගමනක් නෙවෙයිනේ.. මම යන්නම්…”

මනුජ මිතුරන් මඟින් ප්‍රවාහන පහසුකම් සපයන, දන්නා කියන අයෙකු සොයා ගන්නට උත්සාහ කලේය. 

නින්දට යන්නට සූදානම්ව ඇස් පියවී මොහොතකට පසු , යමෙකු සිහිවිය.

” සින්දූපා ….”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here