සන්තාන සුසුම් සර – 52

0
2238

වෙහෙරගොඩ මුදලාලි ගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙනු වෙනුවට, තවදුරටත් භයානක අතකට හැරුණේ ය. ඔහු කෝමා තත්වයකට පත් වී ඇති බව වෛද්‍යවරුන් පැවසූ වෙලාවේ වෙහෙරගොඩ ගෙදර කැණිමඬලට ගිනි ඇවිළිණි.

සාවිත්‍රි ට සැමියා නිසා ජීවිතයෙහි සතුටක් ලැබුණේ නැත. ඔහු ගේ ජීවිතයෙහි ඔහු ඇයට වටිනාකමක් දුන්නා ද නොවේ. වෙහෙරගොඩ බිරිඳ ගේ නීත්‍යානුකූල භූමිකාව රඟ දක්වමින්, ඇය ගෙදර වැඩ-පල කරගෙන දරුවන් දෙදෙනෙකු තැනුවා පමණකි. නමුත් කිසි දාක ඕ තොමෝ සැමියා ට නොහොඳක් වෙන්නට ප්‍රාර්ථනා කළේ නැත. උඩමළුවට ගිය වෙලාවක පමණකුදු නොව නිතිපතා ගෙදර බුදු පහන දල්වත්දී ද ඇය ප්‍රාර්ථනා කළේ සැමියා ගේ හා දරු දෙදෙනා ගේ යහපතයි. ඔවුන් තිදෙනා හැරෙන්නට ඇයට වෙනත් ලෝකයක් වූයේ ද නැත.

වෛද්‍ය නිගමනය සවන් පත් මොහොතේ ඇයට දැනුණේ මුළු ලෝකය ම ඇගේ පාද පාමුල වැටී විසුණු ව ගියා මෙනි. ඒ සත්‍යයට මුහුණ දෙන්නට හිත හදාගන්නට ඇයට යම් කිසි කාලයක් ගත විය. නමුත් ඒ මොහොතේ ම ඇය සුවිසල් චිත්ත ධෛර්යයක් උපදවා ගත්තා ය.

‘අපි කොහොමහරි තාත්තව සනීප කරගමු’

යසස්වී පමණකුදු නොව යසස් පවා සිටියේ කම්පිතව ය. ඊලඟට කුමක් කළ යුතු ද කියා සැබවින් ඔවුන් ට සිතා ගත හැකි වූයේ නැත. මෙහෙම සිදුවීමකට ජීවිතයේ යම් කිසි මොහොතක මුහුණ දෙන්නට සිදු වෙතැයි ඔවුන් සිහිනයෙන් හෝ සිතා තිබුණා නොවේ.

තවදුරටත් වෙහෙරගොඩ මුදලාලි සිටියේ වෛද්‍යවරුන් අත නොවේ. දෙවියන් අතේ ය. දෙවියන් විසින් ඔහු කොයිබට ඇරලාවිදැයි කිසිවෙකුට අනුමාන කළ නො හැකි ය.

‘අද හෙට නැත්තං තව දවස් කීපෙකින් සිහිය එන්නත් පුළුවන්. තව හුඟක් කාලයක් ගතවෙන්නත් පුළුවන්. ඒක අපිට හරියට කියන්න බෑ. සිහිය ආපු වෙලාවට තමයි කියන්න පුළුවන් දැන් ඕකේ කියල’

වෛද්‍යවරුන්ගේ වචන ඔවුන් ගේ ආත්මයන් තුළ දෝංකාර දෙමින් තිබිණ. සාවිත්‍රිත් යසස්විත් දිනපතා හිමිදිරි පාන්දර උඩ මළුවට ගොස් බෝධි පූජා පැවැත්වූහ. වෙහෙරගොඩ මුදලාලි ගේ වයසට සමාන ව පහන් දැල්වූහ. ඔහු ගේ උසට මල් මාලා සාදා පූජා කළහ. පිරිත් කීහ. සෙත් කවි කියූහ. අට පිරිකර පූජා කළහ. නමුත් තත්වයෙහි කිසිදු වෙනසක් වූයේ නැත. යසස්වි එන්න එන්න ම කායිකව සේ ම මානසිකව ද දුර්වල වන්නට වූවා ය.

‘එහෙම හිතන්න එපා. තාත්තට සනීප වෙයි. මේ වෙලාවෙ ඔයා හිතෙන් කඩන් වැටිල බෑනෙ. හිත හයිය කරගන්න. හොඳක් වෙයි කියලම හිතන්න. බලාපොරොත්තු අත්ඇරගන්නැතුව ඉන්න’

දිනපතා දුරකතනය ඔස්සේ ද, ඊලඟට අනුරාධපුරයට ආ දවසේ ද අස්විද හැකි තාක් යසස්වි ගේ හිත හදන්නට උත්සාහ කළේ ය. නමුත් දැන් ඇගේ හිත හදාගත නො හැකි තරමට සිඳී බිඳී ගොසිනි.

‘මේ හැමදේම වුණේ මං නිසානෙ’

පිළිවෙලකින් තොර ආලින්දයෙහි සෝෆා කට්ටලයෙහි හිඳ අස්විද තේ කෝප්පයක් තොල ගාන අතරේ යසස්වි බිඳුණු හඬකින් මිමිණුවා ය.

‘අයියෝ ඔයා ඔච්චර නැරෝ මයින්ඩඩ් ළමයෙක් නෙනෙයිනෙ. තාත්ත අසනීප වුණා. එයාගෙ බලාපොරොත්තු කැඩුණු එක ගැන හිතේ අමාරුවකින් ඉන්න ඇති. හැබැයි උදාරගෙ සිද්ධිය දැනගත්ත වෙලාවෙ එයා හිතන්න ඇති එයාගෙන් තමයි වරද වුණේ කියල. සමහර විට ඒ වෙලාවෙ ආපු ආවේගයක් නිසා තිබිච්ච අසනීපෙ වැඩිවුණා වෙන්නැති’

‘තාත්තට සිහිය ආවෙ නැති වුණොත්… දෙයියනේ මට එහෙම දෙයක් ගැන හිතන්නත් බෑ. ඒත් එහෙම හිතෙන එක නතර කරගන්නත් බෑ. තාත්තව හොඳ කරගන්න බැරි වුණොත් කවදාවත් මට සැනසීමෙන් ජීවත් වෙන්න බැරි වෙයි අස්විද අයිය’

ඇය හැඬුවා ය. තැවුණා ය. නන් දෙඩවූවා ය. ඔහු මොන තරම් වචන වලින් ඇගේ හිත හදන්නට හැදුවත් එසේ කිරීම පහසු නැති බව අස්විද අවබෝධ කරගනිමින් සිටියේ ය. විශ්ව විද්‍යාලයේ දේශන වලට යාම වෙනුවෙන්වත් ඇයව කොළඹ රැගෙන එන්නට බැරි විය.

‘තාත්ත ඇස් අරිනකල් මං මෙහෙං හෙල්ලෙන්නෑ. මාත් එක්ක තරහ වෙන්නෙපා අයිය. පුළුවන්නං ඔයා මාව තේරුංගන්න’

එබැවින් ඊටත් වැඩිය බලපෑමක් කරන්නට අස්විද ට හැකි නො විණි.

‘අර දෙන්න අතරෙ මොකද්ද තියෙන සම්බන්දෙ…’

යසස් අම්මාගෙන් විමසුවේ ය. පියා ගේ අසනීපයත් සමග යසස්වි ගෙදර පැමිණීමත්, අස්විද ඇය කෙරෙහි පෙන්වමින් සිටි අයිතිවාසිකම හා යසස්වි ඔහු කෙරේ දන්වමින් සිටි බැඳීම යසස් ට ඉව වැටෙමින් තිබිණ.

‘ඒ ළමයින්ගෙ ගෙදරනෙ නංගි නැවතිල ඉන්නෙ. හිතවත් ඇති’

සාවිත්‍රි ඇඟට පතට නො දැනී කීවා ය. ඇතිව තිබෙන අර්බුධ වල හැටියට මේ වෙලාවේ තවත් ගැටළුවක් ඇති වෙනවා දකින්නට ඇයට අවැසි නැත. නො එසේ වී නම් ඔවුන් විවාහ වී සිටින බව පවසන්නට දැන් ඇයට කිසිදු බාධාවක් නැත. උදාර ට නැඟණිය පවරා දෙන්නට දැන් යසස් කිසි සේත් එකඟ නොවනා බැවිනි.

‘ඒක නිකං හිතවත් කමක්නං නෙවෙයි වගේ’

යසස් ගේ කට කොනක සිනහවක් ඇඳිණි.

‘එක අතතට ඉතිං… නංගි එහෙම වැදගත් උගත් ළමයෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙනනං ඒකත් හොඳයි. අර ජරා සතා උදාරය එක්ක යනවට වැඩිය’

‘අම්මත් ආසයි වගේ නේ ලෝයර් බෑණෙකුට…’

‘ඒ වගේ පුතෙකුට තමංගෙ දුවව දෙන්න ඕන අම්ම කෙනෙක් කැමතියි පුතා. ඕන පුතෙක් එහෙම වෙන්නයි ඕනෙ. අම්මලට තමංගෙ දුවල දෙන්න හිතෙන විදිහෙ පුතෙක්…’

ඒ ඇනුම්පදය අම්මා තමන් වෙත එල්ල කරන ලද්දක් බව දැනුණු නිසාවෙන්, යසස් සාවිත්‍රි ගේ ඇස් මගහැර සිය ගෙල කසමින් එතැනින් නික්ම ගියේ ය.

යසස්වි ගේ මානසික ආතතිය වැඩි වීමට බලපෑ එක ම හේතුව පියා ගිලන් වීම ම නොවේ. ඔහු ගේ සුව වීමේ කාල වකවානුව ගැන වෛද්‍යවරුන්ට හෝ නිශ්චිත නිගමනයකට එළඹිය නො හැකි වීමයි. තුසිතය විවාහ උත්සවයකට ලහි ලහියේ සූදානම් වෙයි. දින නියම කරගෙන, බුලත් දී, ඇරයුම් පත් යවා අවසාන ය. නමුත් පියා සිහිසන් ව ගිලන් යහනක සැතපී සිටියදී ඇය කොහොම මනාලියක වන්න ද? විජිත හා වජිරා ද අස්විද සමගින් ලෙඩා බලන්නට වතාවක් අනුරාධපුරයට ඇවිත් ගියහ. කඩිනමින් සිදු කරන්නට ගිය විවාහ උත්සවය කෙබඳු අතකට හැරේවිදැයි දැන් ඔවුන් ද සිටිනුයේ අවිනිශ්චිත බවකයි.

‘ඕන දෙයක් කමක් නෑ… කට්ටියට ඉන්වයිට් නොකර හිටියනං. බැරි වෙලාවත් ඒ දිනේ වෙනකොටත් යසස්විගෙ තාත්තට සිහිය ආවෙ නැත්තං මොකද කරන්නෙ…’

වජිරා සතර අතේ කල්පනා කොට අහවර, කැළඹුණ දෑසකින් බලා විජිත විමසුවා ය. ඔහු ඒ ප්‍රශ්නයට මූණ දුන්නේ සන්සුන්ව ය. කිසිදු කලබලයකින් තොරව ය.

‘මොනා කරන්නද වජිරා… එහෙම වුණොත් මගුල කල් දාමු. කට්ටියට දැනුම් දෙමු මනමාලිගෙ තාත්ත හදිසියෙ අසනීප වෙලා දැන් කෝමා එකක කියල. මිනිස්සුන්ටනෙ හැමදේම වෙන්නෙ. මේව අපි කවුරුත් හිතා මතා කරන දේවල් නෙවෙයිනෙ වජිරා’

විවාහ උත්සවය නො කෙරෙන තැනට වැඩ සිදු වෙමින් තිබීම ගැන නිලූකා තුළ වූයේ කෲර සතුටකි. ඇය මේ බව නිලූපා ට දුරකතනයෙන් පවසා සමච්චලයට සිනහ වූවා ය. ඉන් නො නැවතී තුසිතයේ ඇත්තන් ගේ හිත් වල වූ තුවාලය පාරමින් සතුටු වන්නට ද වූවා ය.

‘ඔහොම බාධා වෙවී මගුලක් කරනවද… බාධා වෙනව කියන්නෙම ඒක හරියන්නෑ කියන එක. මොකෝ ඕව පොරොන්දං බලල කරන්න ගත්තු වැඩත් නෙවෙයිනෙ. පොරොන්දං ගැලපෙන්නැතුව ඇති. ඕව කොහොමහරි කළත් ඉතිං වෙන්නෙ වැඩිකල් නොයා කැඩිල යන එක තමයි’

‘කට කැඩිච්ච කතා කියන්නෙපා නිලූකා’

වජිරා රැවුමකින් සැර වූවා ය.

‘අපි කියන ඒව ඉතිං මුල ඉඳංම වහ වුණානෙ. බලමුකො බලමුකො තව ඉස්සරහට මොකද වෙන්නෙ කියල’

වජිරා ගේ සිතට ට ටික ටික බිය කාන්දු වන්නට වූයේ ය. නිලූකා හින්දා ම නොවේ. ඒ අනියත බිය ඇගේ හදවත පත්ලේ අමුතු ගින්දරක් අවුලමින් තිබිණ. නිලූකා ගේ වචන ඒ ගින්නට පිදුරු දැම්මේ ය.

‘එදා අපි වෙඩින් එකක් ගැන කතා කරන්න පටන් ගත්තු වෙලාවෙම දිල්නුක ගැන නරක ආරංචියක් දෙන්න පොලීසියෙන් කතා කළා. ඉතුරු වැඩ ටික ඔක්කෝම කළාට පස්සෙ යසස්විගෙ තාත්ත ලෙඩ වුණා. ඒ මදිවට දැන් කෝමා එකක්. මේ හැමදේම නොකියා කියන්නෙ මේ වෙඩින් එක කරන්නෙපා කියලද විජිත… මේක බාධයි කියලද…’

හදවත බර දරාගන්නට ම බැරි තැන වජිරා එය සිය ජීවන සහකරු ඉදිරියෙහි දිගහැරියා ය. විජිත සුසුමක් හෙළුවේ ය.

‘මේ වෙන්නෙ බාධාවල්නං… අපි බාධාවලටත් බාධා කරල අපේ වැඩේ කරමු වජිරා. පුතා කියන විදිහට… අපිට දෙයක් කරන්න පුළුවන්වෙන වෙලාව තමයි ඒකට හොඳම වෙලාව කියල හිතමු. කොහොමත් දැන් කසාදෙ ලියාපදිංචි කරලනෙ තියෙන්නෙ. ඔයා හිත කලබල කරගන්නැතුව ඉන්න. ම්… අපි බලමුකො මොනාද කරන්න පුළුවන් කියල’

යසස්වි ගේ පියා ගේ තත්වය දෙවියන් ට බාර දෙනවා විනා කළ හැකි අන් යමක් නො විණි!

ඇය- යසස්වි, මොහොතක් ගානේ අලුතෙන් කම්පිත වෙමින් සිටියා ය. එක් පසෙකින් පියා ගේ රෝගී තත්වය ද, අනෙක් පසින් තුසිතය මේ වන විට පත් ව ඇති තත්වය ද දෙපසකින් ඇය වෙත පීඩනය යොදනා ලදී. ඇය දිනකට තෙවරක් රෝහල වෙත ගියා ය. විවේක ගන්නා ලෙස සාවිත්‍රි ද යසස් ද අස්විද ද කොතෙකුත් සිහිපත් කළ ද ඇයට විවේකයක් ගැන සිතිය හැකි වූයේ නැත. කවුරුන් රෝහලට ගිය ද සිය දෑසින් ම පියාව දකින්නට ඇයට ඕනෑ විය ඊලඟට එහි යන වතාවේ දී ඔහු සිහිය ලැබ සිටිනු දකින්නට ඇය ආත්මයෙන් ම පැතුවා ය. දිනකට වතාවක් උඩමළුවට ගොස් ඕ පියාට සෙත් පැතුවා ය. පන්සල්       පල්ලි කෝවිල් ගානේ ගිහින් පියා වෙනුවෙන් කන්නලව් කළා ය. දෙවියන් යැද්දා ය. බාරහාර වූවා ය. ඇයට ඕනා වූයේ විවාහ උත්සවය සඳහා නියම වූ දිනයට පෙර පියා යළි අවදි කරගන්නටයි.

 කෙසේ  වතුදු මේ මානසික පීඩනය හා අධික කායික වෙහෙස නිසා යසස්වි අතිශය විඩාවට පත්වෙමින් සිටියා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here