රෑට නින්ද යන්නෙ නැත්නම් මේ දේවල් කරන්න

ඊයෙ රෑ හොඳට නින්ද ගියාද ?

ඔව්. අපි බොහෝ දෙනෙක් එදිනෙදා ජීවීතයේ වෙහෙසකර කායික හා මානසික කටයුතු වලින් පස්සෙ ඇඳට යන්නෙ හොඳ නින්දක් ලබන්න බලාගෙනයි.

බොහෝ දෙනෙක්ට ඒ සුව නින්ද ලැබුනත් සමහරක් දෙනෙක්ට ඒසේ සුවදායි නින්දක් ලැබෙන්නෙ නෑ. නින්දත් එක්කම සිරුරට හා මනසට ලැබෙන විවේකය නොලැබී යාම නිසා ඊලඟ දවස ඔවුන්ට බොහොම වෙහෙසකාරී වෙනව.

දිගින් දිගටම මේ තත්වය ඇතිවුනොත් එය දීර්ඝ කාලීනව ඔබට බලපාන්න පුළුවන්.

අන්න ඒ නිසයි රෑට නින්ද යන්නෙ නැත්නම් ඒ සඳහා පිළියම් කීපයක් එක්ක අද ලිපියෙන් ඔබව හමුවෙන්න අපි තීරණය කරේ. 

නින්දට සුදුසු පරිසරයක් ඇති කරගන්න

පරේක්ෂකයන් පෙන්වා දෙන ආකාරයට නම් ඔබේ මොළය වඩා කැමති අඳුරු, සිසිල් හා නිශ්ශබ්ද තැනක නිදාගන්නයි. ඒ නිසා විදුලි පහන් නිවා දමා හෝ යන්තමින් එළිය ඇතුව දල්වා ගන්න ඔබට පුළුවන්.

ඒ වගේම හොඳ වාතාශ්‍රයක් ලැබෙන විදිහට ඔබ නින්දට යන පරිසරය සකසා ගන්න අමතක කරන්නත් එපා. 

ඔබ නිදාගන්න ඇඳ වගේම මෙට්ටය හා කොට්ටය සුවපහසු ලෙස තෝර ගන්න. ඒවා නිසි ප්‍රමිතියකින් යුක්ත වුනේ නැත්තන් සිරුරට විශේෂයෙන්ම, කොන්දට හා බෙල්ලට වේදනාවක් දැනෙන නිසා ඒ වේදනාවන් ඔබව රාත්‍රියේදී අවධි කර තබනවා. 

ඔබට නිදාගන්න සිද්ධ වෙලා තියන්නෙ ඝෝෂාකාරී පරිසරයක නම් ඔබේ රේඩියෝව හෝ දුරකථනය භාවිතා කරල මනස සුවපත් කරන සංගීත කණ්ඩයක් අසමින් නිදාගන්න ඔබට පුළුවන්. 

ඔබේ ජීවන රටාව වෙනස් කරගන්න

ඔබේ සමහර පුරුදු ඔබ නොදැනුවත්වම රාත්‍රී නින්දෙන් ඔබව අවදි කර තබනවා. ඒ නිසා ඒවාගෙන් වැළකී සිටීම ඉතා වැදගත්. 

ආසන්න වශයෙන් එකම වේලාවක නිදා ගන්න වගේම අවදි වෙන්නත් පුරුදු වීම හොඳ නින්දකට ඉතා වැදගත්.

ඔබ දහවල් කාලය තුළ කෙටි නින්දක් (nap) ගන්න පුරුදුවෙලා ඉන්නවනම් එය විනාඩි 10 ක් 20 ක් අතර කාලයකට සීමා කරන්න.

නින්දට පෙර පැය හතරක් ඇතුළත ඇල්කොහොල් පානය කිරීම හා නින්දට පෙර දුම් බොන්න ඔබ පුරුදු වෙලා ඉන්නවනම් එයත් ඔබේ නින්දට බාධාවක්.

ඒ වගේම හැකි තරම් සැහැල්ලු රාත්‍රී ආහාර වේලක් ගැනීම වගේම කැෆේන් අඩංගු තේ කෝපි වැනි පානයන් හැකි තරම් අඩුවෙන් ගැනීමත් ඔබට හොඳ නින්දක් ලබා ගන්න උපකාරී වෙනව. 

තවත් ඉතාම වැදගත් කරුණක් තමයි ජංගම දුරකථන ඔබ නිදාගන්නා ස්ථානයට හැකි තරම් ඈතින් තැබීම.

මොකද ඔබ ලඟ ජංගම දුරකථතනයක් තිබ්බොත් එය නිතර නිතර බැලීමට ඔබේ මනස ඔබ පොළඹවන නිසයි. 

සතියට අවම වශයෙන් දින තුනක්වත් කිසියම් ව්‍යායාමයක හෝ යෝග අභ්‍යාසයක යෙදීමත් හොඳ නින්දක් ලබා දෙන්නෙ ඔබට උපකාර කරනව. 

වෛද්‍ය ප්‍රතිකාර ගත යුතු තත්වයන් හඳුනාගන්න

සුව නින්දක් ලබා ගැනීමට නොහැකි වීම මඟින් සමහරවිට ඔබට ඉඟි ලබා දෙන්නේ ඔබේ ශරීරයේ පවතින නිදන්ගත රෝගාබාධ ගැන වෙන්න පුළුවන්. 

විශේෂයෙන්ම ඔබ සැහැල්ලු මනසකින් නින්දට ගියේ නැත්නම් එය ඍජුවම ඔබේ නින්දට බලපෑම් කරනව.

නිදා ගැනීමට පෙර දිනපොතක් ලිවීම චිත්‍ර ඇඳීම වැනි මනස සැහැල්ලු කරන ක්‍රියාවක නිරත වෙන්න ඔබට පුළුවන්.

ඒ වගේම ඔබට පාලනය කල නොහැකි තරමට බාධාකාරී සිතුවිලි ප්‍රභල නම් සමහර විට මානසික පීඩනය හෝ විශාදය වැනි තත්වයන්ගෙන් ඔබ පෙළෙනවා වෙන්නත් පුළුවන්. 

එවැනි අවස්ථා හඳුනාගෙන ප්‍රතිකාර වලට යොමුවීම ඉතා වැදගත්. 

මීට අමතරව පුරස්ථි ග්‍රන්ථිය විශාල වීම, හුස්ම ගැනීමේ අපහසුතා, ශරීරයේ වේදනා හා කැක්කුම් වැනි තත්වයන්ද තිබිය හැකියි.

ඒ නිසා ඔබට දිගින් දිගටම නින්ද නොයාමේ ගැටළුවක් තිබේනම් වෛද්‍ය උපදෙස් ගැනීම අනිවාර්ය බව අපි මතක් කරන්න කැමතියි. 

සමහර ඖෂධ ඔබව අවධි කර තබන නිසා ඔබේ නින්දට බාධාවක් නෙවෙන ලෙස ඖෂධ ගතයුතු වේලාවල් ගැන ඔබේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡ කිරීමත් වැදගත්.

ඔබේ මඟ හැරුනු සුව නින්ද නැවත ලබා ගන්න මේ කරුණු ඔබට උපකාරී වෙයි කියල අපි විශ්වාස කරනවා,

ඒ නිසා, මෙවැනි වැදගත් ලිපියකින් අපි නැවත හමුවෙමු.

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles