පසුදා උදෑසන මනුජ සේවයට වාර්තා කලේ කණිෂ්ඨ නිළධාරීන් කිහිප දෙනෙකුගේ විනය පරීක්ශණ කිහිපයක් පැවැත්වීමේ කටයුත්තක් ප්‍රමුඛව තබා ගනිමිනි. දියණිය පෙර සෙල්ලම් පාසැලට ඇතුල් කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ අයදුම්පත්‍රය සඳහා සම්මුඛ පරීක්ශණ සඳහා කැඳවීමේ කෙටි පණිවිඩය ලැබුනේ ඒ අතරේය. දියණියගේ ලෝකයේ අම්මා නැති අඩුව ඇරඹෙන සමය ඉන් පසුව බව සිහිවෙද්දී, එතෙක් මනුජගේ හදවත තුල වූ ගිණි පුපුරු ඇවිලී ගින්නක්ව ආවේය.
නිළධාරීන් තිදෙනාගේ විමසීම් කටයුතු අවසන් කල මනුජ අදාල ලිපිගොනු සකස් කිරීම පැවරුවේය. සින්දූපා ඇමතුවේය. ඇගේ ජංගම දුරකතනය වූයේ ක්‍රියා විරහිතවය.
මනුජ පිටතට යෑම සඳහා වන අවසර පත්‍රය ගෙන, දිවා ආහාර වේලාව අල්ලා ආරෝග්‍යා පෞද්ගලික රෝහල වෙත යෑමට පිටත් වූයේය.
නංගීට වට්සැප් ඇමතුමක් ගන්නට රාත්‍රී යේ දැරූ උත්සාහයද අසාර්ථක වු නිසා මනුජ අතරමඟදී ද ඇය ඇමතුවේය. එහෙත්, පිළිතුරු ලැබුනේ නැත
” මුලු ලෝකෙම මට ගල් ගැහුවත් කඩං වැටෙන මිනිහෙක් නෙවෙයි මම.. ඒත්, තමුසේ ඒ කියලා තිබුණ කතා ටිකෙන් මම මැරුණා… මම ජීවත් වෙනවා තමා.. ඒත් තමුසේ වෙනුවෙන් කියලා තිබ්බ ඉඩ මැරුණා…. තමුසේ ඕනි දෙයක් කරගන්නවා… ඕනි එකෙක් එක්ක ඔනි නාඩගමක් ප්ලෑන් කරනවා.. එව්වා මට අදාල නෑ.. හැබැයි, මගේ දරුවාව ඒ මැදට ගාවගන්න තියාගන්න එපා…එච්චරයි… අය්යා මැරුණා කියලා හිතාගත්තම ලේසි වෙයි.. සල්ලාල අය්යා කෙනෙක් ඉන්නවට වඩා මැරුණා කියලා හිතාගන්න එක පහසු වෙයි….. ජය… අනෙක් එක.. හොඳට මතක තියාගන්නවා. අම්මලට හොරා ඔයා ඔහෙට වෙලා ගෙවන ජීවිතේ ගැන හාරා අවුස්සන්නේ නැතුව, ඒම දෙයක් නොදන්නවා වගේ ඉන්නෙ කොන්ද පණ නැතිකමට නෙවෙයි කියලා…..”
මනුජ වට්සැප් ගිණුමෙන් අවහිර කරම දැම්මේය. ඇය සීමාව ඉක්මවා යන්නීය. ඇය තමා වටහා ගන්නා දිනක අවහිරය විවෘත වනු ඇත.
ගෙවුණු රැයේදි අවශ්‍ය වූයේ නැගණියට තම ජීවිතය මේ දිනවල ගෙවෙන අපහසුව යන්තමින් පවසා, මත්පැන් පානය කිරිම සාධාරිණීකරනය කරගන්නටය. එහෙත් දැන් මනුජට එලෙස අවශ්‍ය නොවන බව දැනෙයි. කිසිවෙකුට පිළිතුරු බඳින්නට තරමේ වරදක් තමා කර නැතැයි ලෙසින් උද්දච්ච හැසිරීමක් මනුජගේ හිස තුළ පිරවී තිබුණි.
” මනුර්‍යා …. ඒකි ….ඒකි…..නංගී.. නංගී නංගි විදියට ඉන්නෝනා.. වියදම් කරලා ඒකිද ඉගෙන ගන්න යැව්වා…. එහෙට වෙලා කොල්ලෙක් එක්ක කාමරේ බෙදාගන්න ගමන්, …”
මනුජ එතැකින් එහා නොසිතා නැවතුනේය. ඇය තමා විශ්වාසයෙන් පැවසූ දෙයක් ගැන එලෙස අවතක්සේරුවෙන් සිතන්නේ කෙලෙසද? ඇය තම ජීවිතයේ වටිනාම ලේ නෑකම් දරන ගැහණු තිදෙනාගෙන් කෙනෙකි. ඉතින් ඇය ගැන මෙලෙසින් සිතන්නේ කෙලෙසද ?
මනුජ පණිවිඩය මකා දැම්මේය. වට්සැප් අවහිරය ඉවත් කලේය. දෑස් තෙත එහෙමම වියැලෙන්නට දුන්නේය.
සින්දූපා ගේ කාමරය වෙත ඇවිද යෑම මනුජට පහසු වූයේ නැත. තවත් විනාඩි කිහිපයක් ඇතුලත බොහො දේ වෙනස්ව යා හැකි බව මනුජ දනී. සින්දූපා ගේ පියා සියල්ල පහසුවෙන් පිලි ගැනීමට සූදානම් නොවනු ඇත
මනුජ දොර විවෘත කරගෙන ඇතුලු වූයේය. ඇය ; සින්දූපා උන්නේ ඇඳ වියලට හේත්තු වී හිඳගෙනය. විවෘත වන දොරෙන් ඇතුලු වන්නේ මනුජ බව දකිද්දී ඇගේ දෑස් විසල් විය. එහෙත් ඒ දෑස් වල පෙර වූ කාන්තිය නොමැති බව මනුජ සැනින් නිරීක්ෂණය කලේය.
” ඔයා …?”
” ෆෝන් එක වැඩ නැත්තේ මොකද ?”
මනුජ අඩියට දෙකට යහන අසලට ආවේය.
” ප්ලීස්… ඔයා යන්නකෝ දැන්… අපි .. අපි පස්සේ කතා කරමු…”
“ප්‍රශ්න ඔක්කොම මම බලාගන්නම් කියලා කිව්වනේ සින්දූ.. මට ඉඩ දෙන්න….ඔයාගේ හිතයි අතයි දෙකම අල්ලගන්න ඉඩක් තියෙනවාද ? එහෙම නැත්නම් හිත අල්ලගෙන, අත අතෑරලා යන්න ඕනිද කියලා මම කෙලින්ම ඔයාගේ අප්පච්චී එක්කම කතා කරන්නම්…. මට ඒ හය්ය තියෙනවා සින්දූ… ඔයා මාව විශ්වාස කරන්නෝනා…”
“එපා.. අනේ එපා..ප්ලීස් එපා… ඔයා කිව්වනේ .. ඔයාලගේ ගෙදර අය මෙවෙලේ දැනගන්න එකෙන් තව ගින්න වැඩි වෙන එක් වෙන්නේ කියලා… අනේ මනුජ ප්ලීස්… මම ඉන්නෙත් එහෙම ගින්නක.. තාත්තා මෙ ගමන්ම රෙසිග්නේශන් දීලා මට යමු කියනවා.. ඒ අස්සේ…. ඒ අස්සේ තාත්තාගේ හොඳම යාලුවෙක්ගේ පුතෙක් හදිසියේම රට ඉඳලා ඇවිල්ලා…. තාත්තලා ඒ මනුස්සයට මාව ප්‍රපෝස් කරලා වගේ… මීට් අප් එකක් .. ඇරේන්ජ් කරලා තාත්තා… මාව බලන්න හෙට නැත්නම් අනිද්දාට ඒවී…. අනේ මනුජ ඒ ප්‍රශ්න දෙක විසඳගන්න දෙන්න…”
සින්දූපා උන්නේ හැඬෙන්න ඔන්න මෙන්නය.
” මම මේ ප්‍රශ්නේ විසඳුවම ඔය අනෙක් ප්‍රශ්න ඉබේම විසඳෙනවා ළමයෝ… අපි පොඩි උන් නෙවී …. වැඩිහිටියෝ… ඔයා කොහොම වුනත්, මම මේක මේ විදියෙන් විසඳගන්නම ඕනි… “
එවට සින්දූපා ට හැඬිණි. ඔහු මේ උත්සාහ කරන්නේ තාත්තාගේ කෝපය තවත් අවුස්සා දමන්නටය ඉන් ඔහුගේ තීරණ ක්‍රියාත්මකවීම ඉතා දැඩි වන්නේය.
” මනුජ. ප්ලීස්… වස්තුවේ…”
“නාඬා ඉන්නකෝ ඉතින්… කාලාද ? බෙහෙත් බිවද ? ….”
” අනේ තාත්තාට කතා කරන්න එපාකෝ … අනේ…. මෙවෙලේ ඒක කරන්නම අවශ්‍ය නෑ… “
“ඒක මෙවෙලේ කෙරෙන්නම ඕනි සින්දූ….”
මනුජ ඇගේ හිස පිරිමැද්දේය. වෙලා තිබූ පාදය දෙසද බැලුවේය.
” ලස්සනයි ඔයා… යුනිෆෝර්ම් එකට…”
සින්දූපා එක්වරම කීවාය. මනුජගේ වත මත හිමා මල් අහුරක් විසිරී ගියේය. ඒ සිනහවට බැඳෙන්නට සින්දූපා ට ඉඩ දුන්නේය.
” බය නොවී ඉන්න …. මම ඉන්නවා…”
මනුජ ඉන් පසුව කීවේය.
” කොහොම මොක වුනත් ?..”
“ඔව්…. බලාගෙන හරි ඉන්නවා.. ඈතට වෙලා…”
” මේක ටූ මච් ෆෝර්වර්ඩ් තමා… ඒත් …. මේක මට දැනෙනවා මනුජ….ඔයාව දැනෙනවා…. මම ..මම මෙච්චර .. මෙහෙම …. වෙලා නැහැ… සත්තයි….”
“මං දන්නවා දරුවෝ…. අපිට ඒ ගැන සෑහෙන්නම කතා කරන්න පුලුවන් … මම කලු කුහරෙක හිර වෙලා ඉන්නකොට , යන්තම් පොඩි ඉටිපන්දම් එලියක් බබාගෙන් හොය හොයා උන්නේ සින්දූ…. ඔයා නිසයි මට …”
මනුජ එතෙකින් නැවතුණේ එක්වරම කිසිවෙක්‍ය් දොර විවෘත කරගෙන ඇතුලට පැමිණි නිසාය. සින්දූපා වහා අත අත් හරින්නට උත්සාහ කලද, මනුජ කලබලයක් නැතිව උන්නේය.