ළතෙත් ආදර හැඟුම් ගංගා – 55

55

*නාද්‍යා සොනාලි සල්වතුර*

“ඔයා මොකක් හරි අවුලකද ඉන්නෙ?” කියලා තාරානාත් අහද්දි උනත් මං ෆුල් ට්‍රයි එක දුන්නෙ මෙහෙ වෙන කිසිම දෙයක් තාරානාත්ට නොකිය ඉන්න. එයා එහෙ ඉන්නෙ මම මෙහේ ඉන්නවට වඩා ස්ට්‍රෙස්ෆුල් තැනක කියන එකත්, අඩුම එයාට මං නැති දවසක එයාගෙ තාත්තාවත් ඉතුරුවෙන්නෝන කියන කතාව මං හැමතිස්සෙම ආයෙ ආයෙ මතක් කරගත්තා.

මං ගෙදර නැතිවෙලාවක ගයාන් ගෙදර ඇවිල්ලා අහස්ව අරගෙන යාවි කියන බය හන්දම මම ඔෆිස් එකට එද්දි හැම වෙලාවකම අහස්වයි කාන්ති අක්කවයි ඔෆිස් එකට අරගෙන ආවා. ඒක අහස්ගෙ නෝමල් රුටින් එක සෑහෙන වෙනස් කරන්න හේතුවෙච්ච දෙයක් නිසා වගේම තමන් මෙච්චර දවසක් උන්න සැනසිලිදායක එන්වයන්මන්ට් එක වෙනස් වෙලාකියන දේ තේරිච්ච නිසාද මන්දා අහස් උන්නෙ වෙනදා වගේ සද්ද බද්ද නැතුව නෙවෙයි නිතර දෙවේලෙ අඬන ගමන්. ඒ නිසාම කාන්ති අක්කට ඔෆිස් එකේ කිචන් එකේ වැඩ ටික ඔක්කොම බලන්න කියලා මට මුලු දවසම අහස්ව අතේ තියාගෙන ඉන්න තමයි සිද්ද උනේ.

ඒත් මං ඒක වදයක් විදියට භාරගත්තෙ නෑ. අම්මා කෙනෙක්ට බෑ දරුවෙක්ව වදයක් විදියට බාරගන්න. 

“ඔයා ලඟ නැති එක තමයි ඉතින් මට තියෙන ලොකුම අවුල” කියලා හරිම ආයාසයෙන් මූණෙ ඇඳගත්ත සම්පූර්ණ ෆේක් හිනාවක් එක්ක මම තාරානාත්ට කියද්දි එයා පැත්තෙන් ඇහිච්ච එයාගෙ හිනාව, ඒ හිනාවෙ රැඳිලා තිබ්බ ආදරෙ, කරුණාව වගේම මහන්සිය මගෙ ඇස් වලට කඳුලු අරගෙන ආවා. ඒ කඳුළු තාරානාත්ට නොපෙනෙන හන්දම ඔහේ කම්මුල් දිගේ ගලාගෙන යන්න ඉඩ අරින්න මට පුලුවන් උනා.

“මං ආව ගමන් ඔයාවයි පුතාවයි මගෙ ළඟට ගන්නව කෙල්ලෙ. ආයෙ කවදාවත් මගෙන් ඈතට යන්න ඉඩ දෙන්නෙ නැතුව” කියලා තාරානාත් කියද්දි මෙච්චර වෙලා එයාගෙන් හංගන් ඉන්න හදපු ඉකියක් මටත් හොරෙන්ම මහ හයියෙන් එළීයට පැන්නා. මම ඒ ඇඬුවෙ එක හේතුවකට උනත් තාරානාත් ඒ ඇඬුම භාරගත්තෙ වෙනම හේතුවකට.

“මං මේ මාසෙකට ඈත් වෙලා ඉද්දි අඬනවනම් ඔච්චර මං ඔයාට කලින් මැරිච්ච දවසක කොහොම අඬාවිද?” කියලා තාරානාත් වෙනදා වගේ විහිලු කරද්දි මං උන්නෙ වෙනදා වගේ ඒ විහිලු වලට විහිලුවකින් උත්තර දෙන්න පුළුවන් මානසිකත්වයක නෙවෙයි. ඒ හන්දම මට මගේ කඳුලු කන්ට්‍රෝල් කරගන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ.

“ඒයි මොකද බං මේ අඬන්නෙ? බලන්න ඉතින් ඔයා ඔහොම ඔහෙ ඉඳන් අඬද්දි මං කොහොමද කෙල්ලෙ හිත හදාගෙන මෙහෙට වෙලා ඉන්නේ? ම්ම්ම් ඔයා දන්නෙ නෑ හරිද ඉස්සර නම් අඩුගානෙ දවල් කාලෙ කොච්චර මහන්සි උනත් මට රෑට අඩුම නින්දවත් ගියා. දැන් ඒකවත් නෑ”

“ඇයි ඒ?”

“දන්නෙ නෑ එක්කෙනෙක් මගේ නින්ද හොරකං කරලනෙ. මට දැන් ඇස් පියාගත්තම එයාව තමයි පේන්නෙ. ඒ හන්දා මට නිදාගන්න බෑ. දැන් ඒ හන්දා රෑටත් නින්දක් නෑ මට”

“අසනීප වෙයි එහෙම උනොත්” කියලා මම කිව්වෙ සුරුස් සුරුස් ගගා නාහෙ උඩට අදින ගමන්. තාරානාත් මේ හැමදේම කියන්නෙ මාව කම්ෆර්ට් කරන්න කියලා දන්නවා උනාට මට ඒක මගාරින්න උවමනා උනේ නෑ. මොකද මගෙ හිත කිව්වා Kal ho na ho ( ආයෙ හෙට කියලා දවසක් එන එකක් නෑ) කියන එක. ඒ නිසාම මට ඕන උනේ එක තප්පරයක් හරි වැඩි පුර තාරානාත් එක්ක කතාකරන්න. ආයෙ කවදා අහන්න වෙයිද, අහන්නවත් ලැබෙයිද කියලා ශුවර් එකක් නැතුව තිබ්බ තාරානාත්ගෙ ආදරේ එක තප්පරේකට හරි වැඩිපුර විඳගන්න.

“මම නම් දැනටම අසනීප වෙලා ඉන්නෙ” කියලා තාරානාත් කිව්වෙ අන්න ඒ වෙලාවෙ.

“අසනීපයි? ඇයි ඒ? මොකද්ද අසනීපේ? උණ ද?” කියලා මං ඇහුවෙ කලබලෙන්. ඒ කලබලේ ආදරේ නිසා ආව කලබලයක් කියන එක එවෙලෙ මං වගේම තාරානාතුත් දැනගෙන උන්නා.

“හිත තමයි ඉතින් ලෙඩ වෙලා තියෙන්නෙ” කියලා තාරානාත් අර එයා ගොඩක්ම ආදරේ වෙච්ච වෙලාවට විතරක් එලියට ගන්න ගැඹුරු කටහඬෙන් කියද්දි අනේ මට තප්පරේකට වගේ හිතුනා එයා ඉන්නෙ මගේ ළඟමයි කියලා. මේ වචන ඇහෙන්නෙ මගේ කණ අද්දරින්මයි කියන එක. හරියට එයා යන්න කලින් දවසෙ අන්තිමට අපි දෙන්නම ශවර් එක යට තුරුලු වෙද්දි, වතුරෙන් විතරක් අපේ මුලු ඇඟම වැහිලා තියෙද්දිත්, අපි දෙන්නට දෙන්නගෙ ඇඟවල්වල උණුහුම හිත අස්සට වෙනකම් කාන්දු වෙද්දි, තාරානාත් ගෙ ආදරේ පිරිච්ච වචන, එයාගෙ සීතල හාදු එක්ක මගේ බෙල්ල උඩ තැවරෙද්දි දැනිච්ච හැඟීමම මට මේ වෙලාවෙත් දැනුනා. හැබැයි අපි දෙන්නා උන්නෙ දෙතැනක ඒත් හිත එක තැනක. 

“හිත අසනීප වෙන එක තමයි ලොකුම ලෙඩේ” කියලා මං කිව්වෙ ඇස් දෙක පියාගෙන තාරානාත් මගෙ ළඟ ඉන්නවා කියලා හිතාගෙන.

“ඇයි ඒ?”

“හිත ලෙඩ උනාම බෙහෙත් නෑනෙ ඉතින්. අසනීප වෙලා තමයි දිගටම ඉන්න වෙන්නෙ”

“ඒ උනාට කමක් නෑ”

“ඇයි කමක් නැත්තෙ?”

“මගෙ දොස්තර නෝනා ඉන්නවනෙ ඉතින් මගෙ ලෙඩ ගැන බලාගන්න. ඒ නිසා මට බයවෙන්න දෙයක් නෑ. මට සමහර විට තව වීක් එකක් දෙකක් වැඩිපුර මෙහෙ ඉන්න වෙයි. තරහා නෑ නේද? ඔයාට පුලුවන්ද ඔෆිස් එකේ වැඩ ටික ඔක්කොම බලාගන්න? මට මාර දුකයි ඔයාට මේ ඔක්කොම දේවල් තනියෙන් මැනේජ් කරගන්න දීලා මට මෙහෙ එන්න වෙච්ච එක ගැන”

“එහෙම හිතන්නෙපා. අපි දෙන්නගෙම බිස්නස් එකක්නෙ මම බලන්නෙ. ඒ නිසා අවුලක් නෑ අනික ඉතින් තව කට්ටිය ඉන්නවනෙ”

“ඔයා ඇත්තටම හොඳින් නේද? මට සමහර වෙලාවට හිතෙනවා ඔයාගෙ කටහඬ අස්සෙ ඔයා මට නොකියන මොකක් හරි දෙයක් හැංගිලා තියෙනවා කියන එක. මම විහිළු නෙවෙයි කරන්නේ, නාද්‍යා. මම දන්නවා ඔයා මොකක් හරි වේදනාවකින් ඉන්නවා කියලා. මට කියන්න බැරි වුණත් කමක් නෑ. ඒත් මට දැනෙනවා ඒක. මොකක් හරි තියෙනම් මට කියන්න හොඳේ?සල්ලි ප්‍රශ්නයක්ද? වෙන කරදරයක්ද? ඕන දෙයක් මට කියන්න. ඔයාට මං ඇරෙන්න වෙන කෙනෙක් නෑ නේද කියන්න?”

තාරානාත් එහෙම කියද්දි ඇත්තටම මට ඕන උනේ එයාගෙ පපුවට මූණ හිරකරගෙන අඬන්න. මං කොච්චර හංගන්න හැදුවත් තාරානාත්ට මේ හැමදේම තේරෙන්නෙ එයා එච්චරටම මට ආදරේ නිසා නේද කියන එක මාව ආයෙ ආයෙ හිත අස්සෙන් කඩලා බිදලා රිදවලා දැම්මා.

“ඔයා අහස්ව බදාගෙන නේද ඉන්නේ? කොල්ලා හුස්ම ගන්න සද්දෙ ඇහෙනවා මට? අසනීපයක් නෑ නේද මගෙ පැටියට?”

“නෑ අනේ අසනීපයක් නෑ. පොඩ්ඩක් ඇඬුවා අද ඒකයි. පුතාව බදාගෙන තමා ඉන්නෙ. ඒ උනාට මට දැන් ඕන ඔයාව බදාගන්න” කියලා මම කිව්වා නෙවෙයි මට කියවුනා.

මට දැනෙන බය තාරානාත්ට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් මගේ හිතේ තියෙන බර එයාට දැනෙනවා. මම තීරණය කළා තව ටිකක් මේ කතාව එයාගෙන් හංගගෙන ඉන්න. මොකද, එයා ආයෙ එන්නත් තව දවස් ගාණක් තියෙනවා. ඒ කාලය ඇතුළත එයා මේ ගැන කල්පනා කරලා දුක් විඳිනවාට වඩා, මම තනියම මේ වේදනාව විඳින එක හොඳයි කියන එක ඇත්තටම මට හිත කිව්වා.

“මං දැන් තියන්නම් දහම්. ආයෙ හෙට ගන්නම්කො මට පොඩි වැඩක් තියෙනවා,” මම කිව්වේ ආයෙ මට ඇඬෙන්න එයි කියන බයටමයි.

“හරි කෙල්ලේ. පරිස්සමෙන් ඉන්න. මම ආදරෙයි හොඳේ. ආයෙ මං ආවම අපි එදා වගේම ශවර් එක යට එකට නාමුද? වතුරත් ඉතුරුයිනෙ” කියලා එයා හිනාවෙද්දි මම මුකුත් නොකිය හිනා උනේ ඒකට එකඟ වෙන්න වගේ.

මම ෆෝන් එක තිබ්බෙ ඒ වචන අහගෙන.

ඒත් එදා සමහරවිට මම එයාට කිව්වා නම් “අපි ආයෙ හම්බුවෙන්නෙ නෑ” කියන එක, සමහරවිට මගේ හිත මෙච්චර බර වෙන්නෙ නැතුව ඉන්න තිබ්බා.

ඒ වගේම තාරානාත්ටත් දුකක් නොදැනෙන්න තිබ්බා. 

මං එහෙම තමයි හිතන් උන්නේ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles