*තාරානාත් දහම් වංශනායක*
“ගිහින්? හරි කතාවක්නෙ අමරසූරිය ඔයා මට කියන්නේ. එහෙම මේ එකපාර වාශ්ප වෙලා යන්න පුලුවන්ද මිනිස්සු තුන් දෙනෙක්ට. අනික මංජු ඔය දන්නෙ නෑ කියන කතාව මම පොඩ්ඩක්වත් විශ්වාස කරන්නෙ නෑ. මිනිහා මොනාහරිම දන්නවා හැබැයි මිනිහා අපිට ඒක කියන්නෙ නෑ.
පොඩ්ඩක් හාරවුස්සල බලන්න. මංජු කියන්නෙම නැත්තම් වත්තෙ වෙන කාගෙන්හරි අහලා බලන්න. බිස්නස් එක ගැන බයවෙන්න එපා. මම ඒකට මොකක් හරි පිළිවෙලක් හදන්නම්. මට මේ වෙලාවෙ ලොකුවටම කෙරෙන්න ඕන නාද්‍යා දරුවත් එක්ක කොහෙද ගියේ? එයාලට මොකද උනේ කියලා හොයාගන්න එක. ඇයි එහෙම ගියේ කියන එක මට පස්සෙ හොයාගන්න පුලුවන්” කියලා තාරානාත් අමරසූරියට කිව්වෙ ඇත්තටම වෙච්ච දේ, වෙලා තියෙන දේ හිතාගන්න බැරි වෙච්ච තැන.
තාත්තට තාම සම්පූර්ණයෙන්ම ට්‍රීට්මන්ට්ස් කරලා නැති හන්දා ලංකාවට එන්න බැරි වෙච්ච නිසාම නාද්‍යාට, අහස්ට වගේම කාන්ති අක්කට එකපාර මොකද උනේ, එකපාර වාශ්ප උනා වගේ අතුරුදහන් උනේ කොහොමද කියන ප්‍රශ්නවලට උත්තර හොයාගන්න තාරානාත්ට පුලුවන් උනේ අමරසූරිය හරහාම විතරයි. මං උන්නෙ පිස්සුවකින් වගේ. ඒ වගේම තාත්තා උන්න සිටුවේශන් එකත් එක්ක මම උන්නෙ මේ වෙච්ච කිසිම දෙයක් කියන්න කෙනෙක් නැතුව. නාද්‍යා එයාගෙ ෆෝන් එක ඕෆ් කරලා දාලා තිබ්බ නිසා මට කිසිමාකාර විදියකින් ලංකාව එක්ක කනෙක්ශන් එකක් තිබ්බෙ නැති තරම්. එංගලන්තෙ උන්නත් මගෙ හිත තිබ්බෙ ලංකාව එක්ක. නාද්‍යාට මොනවා වෙන්න ඇතිද කියලා හිතෙන් එක එක උපකල්පන හිත හිත.
“ඇයි නාද්‍යා ඔයා මට මෙහෙම දෙයක් කලේ? ගියාට කමක් නෑ ඇයි ඔයාට මට යන්න කළින් කියන්න බැරි උනේ මොකද්ද උනේ කියලා?” මං කියාගත්තෙ මටමයි. කලින් දවසෙ හොඳට මා එක්ක කතා කරලා ඉවර වෙලා පැය ගාණක් යන්න කලින් මේක වෙලා තියෙන්නේ කියන එක මට මතක තිබ්බා. ඒ කියන්නෙ මොන දේ උනත් එයා ඒක මගෙන් හංගගෙන ඉඳියා කියන එක නේද කියන එක, මට එයාගෙ වෙනස්වීම අඳුරගන්න බැරි උනා නේද කියන මගෙ හිත සෑහෙන රිද්දුවා. එයා කිව්වා එයාට තියෙන ලොකුම අවුල මම ළඟ නැති එක කියලා. එවෙලෙ ඒක මම භාරගත්තෙ ආදරේට කියන වචනයක් විදියට උනත් දැන් කල්පනා කරද්දි ඒ වචන අස්සෙ නාද්‍යා ලොකුම ලොකු කතාවක් හංගලා තිබිලා නේද කියලත් මට වෙලාවකට හිතුනා.
නාද්‍යාවත් දරුවවත් කොහෙන්වත් හොයාගන්න නෑ කියලා තේරුම්ගියාට පස්සෙ, “මම සැහෙන මහන්සි උනා මහත්තයා අර මංජු කියන ළමයගෙන් උත්තරයක් ගන්න, ඒත් හරි ගියේ නෑ” කියලා අමරසූරියත් එක්ක කතා කරලා ඉවර වුණාට පස්සේ, මගේ හිතේ තවත් හිත හිත ඉන්න ඉඩක් තිබ්බේ නෑ. මම තීරණය කළා දැන්ම ලංකාවට යන්න. තාත්තාගේ ට්‍රීට්මන්ට් ඉවර වෙනකම් තව ටික කාලයක් මට මෙහෙ ඉන්න සිද්ධ වුණත්, නාද්‍යායි, අහසුයි මේ වෙලාවේ තනි කරන්න මට පුළුවන්කමක් තිබ්බේ නෑ. අඩුම ගාණෙ මේ රටේදි තාත්තා ළඟ ඉන්න ලොකු නැන්දලා හරි ඉන්නවනෙ කියන ෆීලින් එක වගේම මේ වෙද්දිත් තාත්තගෙ ට්‍රීට්මන්ට් වලින් සෑහෙන ප්‍රමාණයක් ඉවර වෙලා තිබුනෙ අන්තිම හරිය හන්දා මට තාත්තව ලොකු නැන්දට භාර දීලා එන්න බැරිකමක් තිබ්බෙ නෑ.
ඒත් හිතුව ගමන් ඉක්මනට එංගලන්තෙ ඉඳලා ලංකාව එන්න ලේසි නැති හන්දම තමයි මට ඒකටත් ටික දවසක් ගන්න උනේ. ඒ නිසාම ලංකාවට යන්න කලින් ඔෆිස් එකේ වැඩ ටික මෙහෙ ඉඳලම පිළිවෙළකට හදන්න මම මහන්සි උනා. මෙච්චර දවසක් “නාද්‍යා හැමදේම බලාගනීවි” කියලා හිතපු එකම කොච්චර වරදක්ද කියලා මට තේරුනේ ඔෆිස් එකේ මැනේජ් කරන්න කොච්චර නම් වැඩ තියෙනවද කියලා තේරුණාම. එයා තනියෙන් කොච්චර නම් ලොකු බරක්, ඒ වයසෙ ඉන්න කෙල්ලෙක්ට දරාගන්න අමාරු සහ දරන්න යුතු නැති විදියෙ බරක් දරාගෙන කියන එකම “නාද්‍යා මාව දාලා ගියේ මම කිසිම රෙස්පොන්සිබිලිටි එකක් නොගන්න කෙනෙක් හන්දද?” කියන ගිල්ටි ෆීලින් එක, සැකේ මට මාරම විදියට රිදෙව්වා.
ඒ හැම ෆීලින් එකක්ම දරාගන්න ගමන් එයා මෙච්චර කාලයක් මහන්සි වෙලා ගොඩනගපු බිස්නස් එක එකපාරටම අතෑරලා දාන්න බැරි හින්දා, මම එංගලන්තේ ඉඳන්ම ලංකාවෙ හිටපු මගේ හොඳම යාළුවෙක්ට කතා කළා. හදිසි තත්ත්වය ගැන විතරක් කියලා, දවස් කීපයකට විතරක් ඔෆිස් එකේ වැඩ ටික බලාගන්න කියලා භාර දුන්නා. මගේ හිතේ තිබ්බේ එකම එක දෙයයි. ඒ නාද්‍යාවයි, අහස්වයි ඉක්මනටම හොයාගන්න එක. ඒ නිසා තමයි මම පුලුවන් ඉක්මනට ලංකාවට යන්න ටිකට් බුක් කලේ. ඒ කරලා ඉවර වෙනකම් මගේ හිතේ තිබ්බේ පුදුම කලබලයක් වගේම තැති ගැනීමක්. මම දැනගෙන හිටියා මේ වෙලාවේ මම නිස්සද්දව ඉන්න එක නෙවෙයි හරිනම් කරන්නෝන කියන දේ. ඒ උනාට ඒ සයිලන්ස් එක බිඳින්න නම් මං මොකද්ද කරන්නෝන කියන දේ ගැන, කොතනින්ද මම පටන් ගන්නෝන කියන දේ ගැන කිසිම අයිඩියා එකක් මට තිබ්බෙ නෑ. ඒ වගේම මට මේක කවුරු එක්කවත් කතා කරන්න ඕන උනේ නෑ. එහෙම කතාකරන එකෙන් වෙන්නෙ මගෙ හිත තව අවුල් වෙන එක බව දන්න නිසාම මම කා එක්කවත් ඒක කතා කරේ නෑ.
මට ඕන වෙච්ච එකම දේ මගේ කෙල්ල ළඟට ගිහින් ඔයා ඇයි මගෙන් හැංගුණේ කියලා අහන්න.
මම ඉක්මනටම බඩු ටික පැක් කරගත්තා. බඩු පැක් කරද්දිත් මගේ හිතේ තිබ්බේ නාද්‍යා මාත් එක්ක අන්තිමට කතා කරපු දවසෙ වෙච්ච දේවල්, එයා කිව්ව දේවල්. එයා ඇඬුවේ ඇයි? මොකද්ද එයාට දැනිච්ච බය? කියන එක.
එයා බයයි කියලා කිව්වෙ මොකටද? කියලා කල්පනා කරන හැම වාරෙකම මම මොනවා හරි දෙයක් තේරුම් අරගෙන නැතිව තියෙනවා කියන එක හිත මට ආයෙ ආයෙ කිව්වා. එයා බය වෙලා හිටියේ පිට කෙනෙක්ට. එහෙනම් ඒ කවුද? නාද්‍යාවයි, දරුවාවයි අනතුරේ දාන්න පුළුවන් කෙනෙක් කවුද ඉන්නේ? එයාට හතුරෝ නෑනෙ. ඇත්තටම එයාට මම ඇරෙන්න වෙන කවුරුවත් එයාගෙ කියන්න උන්නෙ නෑනෙ. එහෙනම් එයාට කරදර කරේ බිස්නස් එකට ඇතිවෙච්ච හතුරෙක්ද? ඒ කුසල් ද? මිනිහා ආයෙ ඇවිත් නාද්‍යාට මොනා හරි කරදරයක් කරාද කියලා හිත ඇහුව ප්‍රශ්න එකකටවත් මං ගාව උත්තර තිබ්බෙ නෑ.
මං උන්නෙ හිත අස්සෙන් අඬ අඬ.
අනේ නාද්‍යා, ඔයා මට ඇත්තම කිව්වා නම් මම මේ හැමදේම අතෑරලා දුවගෙන එනවා නේද? ඔයාගේ පරිස්සමට ඉන්න එක තමයි මට හැමදේටම වඩා වටින්නේ කියලා ඔයා දැනන් උන්නා නේද? ඔයයි පුතයි වෙනුවෙන් මේ ලෝකෙ මට අතාරින්න බැරි කෙනෙක් නෑ කියලා ඔයා දැනන් උන්නා නේද? කොහොමද මගේ ගැන තිබ්බ ඒ විස්වාසෙ නැති වුණේ? ඔයා මේ වගේ හැංගිලා ගියාම මම දුක් විඳිනවා කියන එක ඔයාට තේරුණේ නැද්ද? මම එනකම් ඔයාට ඉවසන්න බැරි වුණාද? අඩුම වෙන කාගෙන්හරි කරදරයක් තිබ්බා නම් ඔයාට ඒක මට කියන්න තිබුනා නේද? කියලා මම මගේ අඬන හිතට කියද්දි මොලේ තිබ්බෙ වෙන කතාවක් කියන ගමන්.
“තාරානාත්, උඹත් ලොකු වැරැද්දක් කරලා තියෙනවානෙ. උඹ වෙනුවෙන් මෙච්චර මහන්සි වෙච්ච කෙල්ලව උඹ හොඳට බලාගත්තේ නෑ. ඒක තමයි උඹේ ලොකුම පරාජය.”
පිරිමියෙක්ට තමන්ගේ ආදරේ නැති වෙන එක කියන්නේ, මුළු අත්තිවාරමම කඩන් වැටෙනවා වගේ දෙයක්. පිරිමියෙක් අඬන්නෙ දුර්වලකමට නෙවෙයි. එයාගේ මුළු ශක්තියම බිඳිලා ගියාම. මට දැනුණේ මම පැරදුණා වගේ. මම මගේම ආදරයට පවා පැරදුණා වගේ.
මම දැන් කරන්නේ මොකක්ද?
මට දැනුනෙ මම හිරවෙලා ඉන්නවා වගේ.
ඉක්මනටම ලංකාවට යන්න ඕන.
මොන දේ නැති උනත් කමක් නෑ මට නාද්‍යාවයි, අහස්වයි නැති කරගන්න බෑ.
එච්චරයි.












