දෑත දරා – 88

මනුජ තමා ඉදිරියේ හිඳ සිටින්නෙ තමාම බව යළි යළිත් තහවුරු කර ගත්තේය. සින්දූපාගේ පියා ඉදිරියේ තමා මෙලෙසින්ම හිඳ උන් දිනය මනුජට අමතක නොවේ. තමා එදින ඔහු ඉදිරියේ උන්නේ ජීවිතයේ සියලුම බලාපොරොත්තු අතැර දමාය.

“ සර් … මේ කිසිම දෙයක් සැලසුම් කරලා කරපු දේවල් නෙවෙයි සර් …. මම යෙනුලි පස්සෙන් ගියේ නෑ . එහෙම නොගියේ, මං එයාට ඒ වෙද්දිත් එච්චරට ආදරේ කල නිසා… මගේ වටේ තිබුණ ප්‍රශ්න වල බර දැන දැනම, එයා ජීවත් වුන ලෝකෙන් මගේ ලෝකෙට එයාව ඇදගන්න මට පුලුවන්කමක් නොතිබුණ නිසා සර් … කොටින්ම , මම ක්ලිනිකල් ටයිම් පවා වෙනස් කරගත්තා සර් … ඇත්තමයි … ඒත් , එයාට කොහොමම හරි, මොකක්ම හරි දැනෙන්න ඇති සර්… මට මුකුත්ම හිතාගන්න ඉඩක් නොදී,.. එයා තමා මට ආදරේ කිව්වෙ….. එයා තමයි, මේක … මට අතාරින්න බැරි තැනක උස්සලා තිබ්බේ සර් … , මං .. මං මේ මං වරදක් නොකල බව කියනවා නෙවෙයි සර් ….. මම වැරදි .. ඒත් ඒක .. මට නවත්තගන්නම බැරිව ගියා අර් ..

හැබැයි .. හැබැයි මම මේක නිවැරදි කරගන්න ලෑස්තියි සර් …. මට හෙණ ගැහුවත් මම එයා ගේ යහපත වෙනුවෙන් ඕනි දෙයක් කරන්නම් සර් …සර් මට කියන්න කරන්න ඕනි දේ .. අනිවාර්‍යෙන් ඒක කරන්නම් …. මට මට .. එක පොරොන්දුවක්  විතරක් දෙන්න සර් … එයාගේ හිත හැදෙනකල්, එයාව ඇස් දෙක වගේ බලාගන්නවා කියලා… එයාව අතාරින්නේ නැතුවම ඉන්නවා කියලා…..”

මනුජ හිස සලමින් වචනයක් ගානේ අතීතයට විසි වූයේය.  පිරිමි එහෙම ප්‍රේම කිරීම කොහොම දැනෙනවාදැයි මනුජට වැටහෙන්නේය.

“ පුතා .. මම සර් නෙවෙයි … තාත්තා..”

මනුජ පලමුව එලෙසින් කීවේය. ඉන් පසුව , තරුණයා දෙස බලා උන්නේය. මනුජ ඉදිරියේ හිඳ උන් තරුණයාගේ වතෙහි වූයේ අප්‍රමාණ විශ්මයාර්තයකි.  එතෙක් වෙලා කට පාඩම් කරගෙන ආ සියල්ල කියවූවා සේ උන් ඔහු, මොහොතකින් ගොලුව ගොස් උන්නේය.  

“ සර් ?….”

අවසානයේ ඔහු විස්මය එලෙසින් ස්වර වලට අලවාගත්තේය.

“ පුතා … පියවි සිහියෙන් ඉන්න … මෙච්චර කල් තනියෙන් ඔලුවේ තියාගෙන උන්න බර දැන් මේ තාත්තාට දෙන්න …”

තරුණයා යළි යළිත් විශ්මයේම ගිලුනේය. ඔහු කෙල පිඬක් ගිල දැම්මේය. ගැඹුරු සුසුමක්ද හෙලුවේය.

“ කවුද දැනට ඩිවෝස් එකට කතා කරන්නේ ?…”
මනුජ ඍජුවම විමසුවේය.

තරුණයා දෙතොල් එකිනෙක පටලවාගෙන සියල්ල වෙනුවෙන් මුහූණ  දීමේ ශක්තිය එක් කරගන්නට උත්සාහ කලේය.

“ තාත්තාගේ යාලුවෙක් ..”

“ මට නම්බර් එකක් දෙන්න … ඩිවෝස් කේස් වලට එක්ස්පර්ට් කෙනෙක් ඉන්නවා මගේ යාලුවෙක් .. අපි  එතනට ශිෆ්ට් වෙන්න බලමු ….. දැන් ඒ ගෑණු ළමයා ඇයි ඩිවෝස් එක දෙන්න අකමැති ?..”

“ එයා එහෙදී තියන් උන්න අෆෙයාර් ඔක්කොම එයාව බ්‍රේක් කරපු එව්වලු …. ඒ හින්දා මට සැනසීමෙන් ඉන්න දෙන්නේ නෑලු වෙන කාවවත් බැඳලා.. එහෙ එන්නලු …. මම .. මම අවුරුදු දහයකින් විතර දැකලාවත් නෑ සර් .. ඒ කාලේ නොතේරුම් කමට වුනේ… ඉන් පස්සේ අපි දෙන්නම ඉගෙනගෙම ආයේ ජීවිත හදාගත්තා…  ඒ දවස් වල ඩිවෝස් එක ගන්න අම්මලා උනන්දු කලත්, මම හිතුවේ, අපි ඉගෙනගෙන ආයෙම එකතු වෙනවා කියලා… ඒත් එයා ගිය දවසේ ඉඳන්ම එහෙ උන්න අය එක්ක සම්බන්ධතා හදාගත්තා.. ඒ දේවල් ටික ටික දැණගන්නකොට , මගේ හිත එයාගෙන් ලිහුණා සර් ..”

“ පුතා..ඔය සර් ගාන එක නවත්තගන්න ඕනි … මම , ඔයා ආදරේ කරන ගෑණු ළමයාගේ තාත්තා….”

මනුජ යළි අවධාරණය කලේය. තරුණයා හිස සැළුවේය.

“ අපේ දෝණි දැන් පුතා එක්ක අමනාපෙන්ද ඉන්නේ ?…”

“ ඔව් …”

“ කතා කරන්නේ නෑ ?..”

“ නෑ .. මම නංගිට කතා කරලා විස්තර ඇහුවේ…”

“ පුතා හෙට අපේ ගෙදර එන්න … දෝණි ඉන්නේ පුදුමාකාර වේදනාව එක්ක .. සමහරවිට, පුතා එයව රවට්ටන්න උත්සාහ කලේ නෑ කියන එක දෝණි දන්නවා ඇති … එයාට වේදනාව ඇත්තේ මට මුහුණ දෙන්න බැරි කම …. මම පුතා ඉන්න පුටුවෙම උන්න මිනිහෙක් පුතේ … මට තේරෙනවා පපුව පැළෙන්න හරි ඉඩ දීලා ආදරේ කරන මිනිහෙක්ගේ බර …”

මනුජ තරුණයා වැළැඳගෙන සමුදුන්නේය.

ඔහු පසුදා  නිවසට ගියේ සින්දූපාගේ සිතටද සැනසීම රැගෙනය.

“ කොල්ලා බොරුකාරයෙක් වෙන්න බෑ … කොහොම වුනත් ලෝයර් මුණ ගැහිලා, කොල්ලාගේ දෙමාපියනුත් මුන ගැහෙමු .. මම හෙට එන්න කිව්වා මෙහෙ කොල්ලාට .. කොහොමටත් රෑ වෙයි .. ඉන්න තැනක් සූදානම් කරමු … ඔයත් නිවාඩුවක් දාගන්න දවස් දෙකක් … ලොකු දෝණිට කියන්න ඕනි නෑ මුකුත් .. සුදූට කියන්න …”

සින්දූපා තම  සැමියා වැළැඳගත්තාය.

ඔහු ගේ හඬ ඇගේ සවන් පුරා නින්නාද දෙන්නට ගත්තේය.

“ දවසක දෝණි ඔයාගේ තැන ඉඳලා, මම ඔයාගේ තාත්තාගේ තැන උන්නොත් මම මොකද්ද කරන්න ඕනි කියලා මට හිතාගන්න බෑ සින්දූ … තාත්තා කෙනෙක්ට වේදනාවක් දීලා. කොහොමද මම මගේ ලෝකේ හදාගන්නෙ ?…”

සින්දූපා මනුජගේ පපුවට වාරු වූවාය. ජනේලයෙන් පෙනෙන , අහසෙන් එකක් වන සේ එළිය විහිදවන සඳ දෙඅ බලා උන්නාය.

“ මොකද හුල්ලන්නේ ?…”

“ හෙට අනිද්දා අර පුතා ඇවිල්ලා ගියාම, අම්මලාව බලලා එන්න යන්න ඕනි .. තාත්තා දවාලෙත් මාව අහලා තිබුණා….”

“ ඔයාගේ ට්‍රාන්සර් එක කොළඹට ගත්තම අපිට අම්මාලා එක්කම ඉන්න පුලුවන් නේ සින්දූ … තව මාස දෙකයිනේ…”

“ ඔව් … ඊට කලින් යන්නත් ඉල්ලන්න පුලුවන් .. ඒත් … ප්‍රොසීඩියර් එකට යමු …”

සින්දූපා මනුජගේ කොපුලක් ඉම්බේය.

“ තමුසේ  නම්, කවදාවත් නාකි වෙන  ගෑණියෙක් නෙවෙයි සින්දූ … “

“ බොරු … ඔයානේ ඉන්නේ තිහේ කොල්ලා වගේ…”

මනුජ ඇය ජනේලයට වන සේ සිර  කර ගත්තේය.

“ සැනසීමක් දැණෙනවා සින්දූ .. අපේ දරු පැටවුන්ට සැනසීම ලැබේවි …”

සින්දූපා හිනැහුණාය.

“ ඔයා දන්නවාද ආදරේක වෙනස් නොවෙන දේ සින්දූ ?..”

“ම්හ්හ් …”

ඕනෙම ආදර කතාවක, එක්කෙනෙක් අනෙක් කෙනාට වඩා වැඩියෙන් ආදරේ කරනවලු සින්දූ ….ඒ කෙනා තමයිලු වැඩියෙන්ම වේදනා විඳින්නේ.. ඒ වගේම ඒ කෙනා තමාලු සම්බන්ධතාවය රැකගන්න සටන් කරන්නේත් … ඒත් වාසනාවට, අපි දෙන්නාගේ කතාවේ, ඔය කියන කතාව කාර්තුවෙන් කාර්තුවට දෙන්නාට දෙන්නා අතරේ හුවමාරු වෙනවා සින්දූ .. මට මගේ ජීවිතේ තියෙන වඩා වටිනාම දේ ඒක …”

“ ඔයයි අපි දෙන්නාව රැකගත්තේ මනුජ … ඔයයි ආදරේ කලේ.. ඔයයි ඒ ආදරේ නිසාම අත් හැරියේ .. ඔයයි ආදරේ හින්දාම ආයේ ආවේ… ඔයයි දරාගත්තේ…. මම ආදරෙයි මනුජ .. “

දෙදෙනාම සැනසීමෙන් හුස්ම හෙලූහ.

ජීවිතය මෙතරම් ය …

නිමි ..

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles