අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවො කියන්නේ මුළු ලෝකෙම.
හැබැයි ඒ අම්මා වෙනුවෙන් තමන්ගේ මුළු ලෝකයම, ඒ කියන්නේ තමන්ගේ ජීවිතයම වුණත් පරදුවට තියන්න දරුවෙක් සූදානම් වෙන වෙලාවල් තියෙනවා.
හිතන්න, රකුසු රළ ගෙඩි මැද, ගොඩබිම පේන මානයකවත් නැති අඳුරු මුහුදක තමන්ගේ අම්මයි, මල්ලියි, නංගියි මරණයත් එක්ක සටන් කරනවා.
අවුරුදු 13ක පොඩි දරුවෙක්ට ඒ වෙලාවේ කරන්න පුළුවන් මොනවද?
ගොඩක් දෙනෙක් බය වෙලා අඬන්න පටන් ගනීවි. හැබැයි මේ පුංචි පුතා එදා තීරණය කළා තමන්ගේ අම්මවයි සහෝදරයන්වයි මරණයට අතහැරලා දාන්නේ නැහැ කියලා.
“අම්මේ මම කොහොම හරි උදව් අරන් එන්නම්” කියලා ඒ බියකරු දියඹට පැනපු මේ පුංචි වීරයා, මෝරුන් ඉන්න, දරුණු රළ ගෙඩි ගහන මුහුදේ පැය හතරක් තනිවම පීනුවේ තමන්ගේ පවුල වෙනුවෙන්. ඒ පීනපු හැම හුස්මකම තිබුණේ “මගේ පවුලෙ අයව මම බේරගන්නවා” කියන ඒ ආදරය විතරයි.
ඉතින් අද අපි කියන්න යන්නෙ ඒ ඇස්වලට කඳුළු උනන, ලෝකයක් මවිත කරපු ඔස්ටින් ඇපල්බීගේ ආදරණීය වීර කතාව.
“මම වීරයෙක් නෙවෙයි, මම කළේ මගේ යුතුකම විතරයි”
තමන්ගේ පවුලේ අය මුහුදේ පාවෙලා යද්දී, උදව් ඉල්ලන්න පැය ගාණක් මුහුදේ පීනලා ගොඩබිමට ආපු ඕස්ට්‍රේලියානු ජාතික 13 හැවිරිදි ඔස්ටින් ඇපල්බී බීබීසී එකට කියලා තිබුණේ හරිම නිහතමානී කතාවක්.
“මම ලොකු වීරයෙක් කියලා මම හිතන්නේ නැහැ. මම කළේ ඒ වෙලාවේ මට කරන්න පුළුවන් වුණු දේ විතරයි.”
තමන්ගේ අම්මයි, මල්ලියි, නංගියි පෑඩ්ල් බෝඩ් දෙකක එල්ලිලා මුහුදේ අතරමං වෙලා ඉද්දී, ඔවුන්ව බේරගන්න උදව් හොයාගෙන පීනන්න පටන් ගත්තු ඔස්ටින් ගොඩබිමට එද්දී පැය හතරක් ගත වෙලා තිබුණා. ඒ වෙලාවේ එයා දැනගෙන හිටියේ නැහැ තමන්ගේ පවුලේ අය තවමත් පණ පිටින් ඉන්නවද කියලා.
ඕස්ට්‍රේලියාවේ බටහිර වෙරළට සැතපුම් ගණනක් ඈතින්, මුහුදේ රළ ගෙඩි දරුණු වෙද්දී සහ කළුවර වැටෙන්න පටන් ගනිද්දී, ඔස්ටින්ගේ අම්මා ජොඇන් හිතුවේ තමන්ගේ පුතාටත් කරදරයක් වෙන්න ඇති කියලා. ඕනෑම අම්මා කෙනෙක්ට දැනෙන ඒ මරණ බය ඇයටත් දැනුණා.
පැය ගණනාවකට පස්සේ, ජොඇන් තමන්ව බේරගන්න ආපු බෝට්ටුව දකිනකම්ම ඇය දැනගෙන හිටියේ නැහැ පුතා පණපිටින් ඉන්නවා කියලා. ඒ වෙද්දී ඇය සහ අනෙක් දරුවන් දෙන්නා වෙරළේ ඉඳන් කිලෝමීටර් 14ක් විතර ඈතට ගසාගෙන ගිහින්. පවුලේ අය එක්ක වෙරළේ සෙල්ලම් කරන්න ආපු දවසක්, පැය 10ක මාරාන්තික සටනකින් ඉවර වුණේ ඔස්ටින්ගේ ඒ ඇදහිය නොහැකි උත්සාහය නිසයි.
“මම හිතුවේ ඔස්ටින් අපිට නැති වුණා කියලා,” 47 හැවිරිදි ජොඇන් බීබීසී එකට කිව්වේ හරිම සංවේදීව. “ඒත් අන්තිමේදී හැමෝම කිසිම කරදරයක් නැතුව සුවෙන් ඉන්නවා දකිද්දී දැනුණේ මාරම සතුටක්.”
මාරාන්තික සටනක්
මේ පවුලේ අය පර්ත් නගරයේ තමන්ගේ ගෙදරට යන්න කලින් වෙරළේ පෑඩ්ල් බෝඩ් සහ කයාක් එකක් පැදලා පොඩි විනෝදයක් ගන්නයි හිතුවෙ.
“දරුවෝ ටිකක් ඈතට ගියා, එකපාරටම හුළඟ දරුණු වුණා. අපිට ඔරු පදින හබල් නැති වුණා, අපි ඈතටම ගහගෙන ගියා. හැමදේම සිද්ධ වුණේ හිතාගන්න බැරි තරම් ඉක්මනට” ජොඇන් ඒ සිදුවීම විස්තර කරන්න පටන් ගත්තෙ අන්න එහෙම.
වෙරළේ ඉඳන් තමන්ව ඈතට ගහගෙන යනවා කියලා තේරුණාම ජොඇන් දැනගත්තා මොනවා හරි කරන්න ඕනේ කියලා. හැබැයි අවුරුදු 12ක පොඩ්ඩයි අවුරුදු 8ක පොඩ්ඩියි තනියම දාලා යන්න එයාට පුළුවන් වුණේ නෑ.
“මුලින්ම අපි ඔස්ටින්ව පිටත් කළේ උදව් අරන් එන්න කියලා. ඒ වෙලාවේ අපිට හිතුණේ වෙරළ එච්චර ඈත නෑ කියලා.”
ඔස්ටින් කයාක් එක අරගෙන ගියත්, ඒක කැඩිලා ඇතුළට වතුර පිරෙනවා කියලා කවුරුත් දැනගෙන හිටියේ නැහැ.
“ඒක පෙරළෙන්න ගත්තා, මට හබලත් නැති වුණා. මම දැනගත්තා මම ලොකු අමාරුවක වැටිලා කියලා. මම මගේ අතින් වතුරට ගහන්න පටන් ගත්තා,” ඔස්ටින් ඒ අත්දැකීම මතක් කළා.
පෙරළුණු කයාක් එකේ එල්ලිලා ඉද්දී ඔස්ටින්ට හිතුණා වතුර යට මොකෙක් හරි ඉන්නවා කියලා.
“දැන් තත්ත්වය දරුණුයි කියලා මට තේරුණා මම පැය ගාණක් තිස්සේ වතුරේ හිටියේ.”
මේ මාරාන්තික සටනේ ඊළඟ පැය කිහිපය ඊටත් වඩා දරුණුයි. ඔස්ටින්ට එයාගේ පවුලේ අය පේන මානයෙන් නැති වෙලා ගියා වගේම, පවුලේ අයටත් ඔස්ටින්ව පේන්න නැතුව ගියා. ජොඇන් සහ දරුවෝ දෙන්නා මුහුදේ තවත් ඈතට ගහගෙන යද්දී, රළ ගෙඩි මීටර් ගණනක් උසට මතු වෙන්න ගත්තා. ජීවිතාරක්ෂක කබා ඇඳගෙන හිටියත්, ඔවුන් ළඟ බොන්න වතුර පොදක්වත්, කන්න කෑමක්වත් තිබුණේ නැහැ.
“මම හිතුවේ ඔස්ටින් මීට වඩා ඉක්මනට ගොඩබිමට යයි කියලා,” ජොඇන් බීබීසී එකට කිව්වා.
“හැබැයි වෙලාව යද්දී කිසිම බෝට්ටුවක්වත්, අපිව බේරගන්න කිසිම කෙනෙක්වත් එන පාටක් පෙනුණේ නැහැ. මගේ හිතට මරණ බය දැනෙන්න ගත්තා. මම වැරදි තීරණයක්ද ගත්තේ? මගේ පුතාට කරදරයක් වුණාද? එයා ගොඩබිමට ගියේ නැත්නම් ඉතිරි දරුවෝ දෙන්නාව බේරගන්න කවුරුත් එන එකක් නැද්ද?”කියලා ජොඇන් කියද්දි අපිට අම්මා කෙනෙක් ඒ වෙලාවේ විඳපු වේදනාව හිතාගන්න පුළුවන් නේද?
මේ අතරේ, ඔස්ටින් තනිවම මුහුදේ සටන් කරමින් හිටියා. තවත් කිලෝමීටර් 4ක විතර දුරක් පීනන්න ඉතුරු වෙලා තිබුණා. පීනන්න බාධාවක් වුණු නිසා එයා තමන්ගේ ජීවිතාරක්ෂක කබාවත් ගලවලා පැත්තකට දැම්මා.
ඒ බියකරු හෝරා දෙක ඇතුළත, මරණ බයෙන් වෙවුලන මේ 13 හැවිරිදි දරුවාව පණපිටින් තියාගත්තේ එයාගේ හිතේ තිබුණු දෙවියන් කෙරෙහි විශ්වාසයයි, එයා මුමුණපු කිතුනු ගීතිකා සහ පවුලේ අය ගැන තිබුණු ඒ ආදරණීය මතකයන් විතරයි.
“මම මගේ අම්මා, මල්ලි සහ නංගි ගැන හිතුවා. ඒ වගේම මගේ යාළුවෝ ගැනත් හිතුවා. මට මාරම හොඳ යාළුවෝ ටිකක් ඉන්නවා,” ඔස්ටින් මතක් කරනවා.
වතුර යටින් මොනවද කකුලෙ වැදුණෙ?
අන්තිමේදී එයාගේ කකුල ගොඩබිමේ වැලි පොළොවේ වැදුණා.
“මට ඒක විශ්වාස කරන්න බැරි වුණා. මම ඇත්තටම ගොඩබිමට ආවද නැත්නම් මේක හීනයක්ද කියලා මට හිතුණා.”
හැබැයි එයාට විවේක ගන්න වෙලාවක් තිබුණේ නැහැ. එයාගේ හිතේ එකම එක දෙයයි තිබුණේ.
ඒ “මගේ පවුලේ අය තවමත් ගොඩ එන්න දඟලනවා ඇති, මම ඉක්මනට ගිහින් එයාලව බේරගන්න ඕනේ!”
හවස 6ට විතර වෙද්දී කොහොම හරි අම්මගේ බෑග් එක තිබුණු තැනට ආපු ඔස්ටින්, වහාම ෆෝන් එක අරගෙන උදව් ඉල්ලලා කතා කළා. ඒ පණිවිඩයත් එක්කම මුළු පොලිසියම හෙල්ලුණා. දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ වුණා.
උදව් ඉල්ලලා කෝල් එක දීපු ගමන්ම, දරාගන්න බැරි මහන්සිය නිසා ඔස්ටින් එතනම සිහි නැති වෙලා ඇද වැටුණා. එයාව රෝහලට අරගෙන ගියාට පස්සේ, සිහිය ආපු ගමන් එයා තාත්තාට කෝල් එකක් දීලා ඉකි ගසා අඬන්න ගත්තා. මොකද එයා තවමත් දැනගෙන හිටියේ නැහැ තමන්ගේ අම්මයි නංගියි මල්ලියි පණපිටින් ඉන්නවද කියලා.
හැබැයි විනාඩි කිහිපයකට පස්සේ එයාට ලොකු ආරංචියක් ආවා.
ඔවුන් හැමෝම පණපිටින් හොයාගෙන!
ඒ වෙලාවේ රෝහලේ හිටපු දොස්තරලා, පොලිස් නිලධාරීන් හැමෝම සතුටට උඩ පැන පැන කෑ ගැහුවා.
“ඒ මොහොත මට කවදාවත් අමතක වෙන්නේ නැහැ,” ඔස්ටින් අන්තිමට කිව්වේ එහෙමයි.
මුහුද මැද ජොඇන් හිටියේ ලොකු අමාරුවක. තමන්ගේ පොඩි දරුවෝ දෙන්නව රළ ගෙඩිවලට අහුවෙන්න නොදී අල්ලගෙන ඉන්න ඇය ලොකු සටනක් දුන්නා. ඒ වෙද්දී ඇඟ හිරිවැටෙන තරම් සීතලයි. ඒ වගේම හාත්පසම කළුවර වෙලා. ඒ හැමදේකටම වඩා ඇයව පීඩාවට පත් කළේ “ඔස්ටින්ට මොනවා හරි වෙන්න ඇති” කියන බය.
“අපිව බේරගන්න කිසිම කෙනෙක් එන පාටක් පෙනුණේ නැහැ,” ඇය ඒ අමිහිරි මතකය විස්තර කළා. “අන්තිමට අපිට හිතුණේ අපිව බේරගන්න කාටවත් බැරි වෙයි කියලා.”
බේරාගන්න බෝට්ටුව එනවා පෙනිලත් ඇයට සැනසීමක් දැනුණේ නැහැ. මොකද ඒ වෙලාවෙම පොඩි දරුවෝ දෙන්නා වතුරට වැටිලා, ඇය ඔවුන්ව අල්ලගන්න දඟලමින් හිටියේ. “ඒක ඇත්තටම භයානක හීනයක් වගේ,” ඇය පවසනවා.
කොහොම හරි මේ හැමෝම නිරුපද්‍රිතව ගොඩබිමට ආවා. පුදුමේ කියන්නේ, ඔස්ටින්ව රෝහලට අරන් ගිය ඇම්බියුලන්ස් එකේම සේවකයෝ තමයි ජොඇන්වත් රෝහලට අරන් ආවේ. ඔවුන්ගෙන් තමයි ඇය මුලින්ම දැනගත්තේ ඔස්ටින් පණපිටින් ඉන්නවා කියලා.
සුපිරි වීරයෙක්
දැන් මේ සිද්ධිය වෙලා දවස් පහක් විතර වෙනවා. ඔස්ටින් ආයෙමත් ඉස්කෝලේ යන්න පටන් අරන්. හැබැයි පැය ගණනාවක් පීනපු නිසා කකුල්වල තිබුණු වේදනාවට තාමත් කිහිලිකරු පාවිච්චි කරන්න සිද්ධ වෙලා. මුළු රටම ඔස්ටින්ව වීරයෙක් කියලා අගය කළත්, එයා ඒ ගැන හිතන්නේ හරිම නිහතමානීව.
“ඇත්තටම ඒක මාරම සටනක්,” එයා කියනවා. ඒ වගේම එයාට උදව් කරපු ඇම්බියුලන්ස් සේවකයින්ටත් එයා ගොඩක් ස්තුතිවන්ත වෙනවා.
හැබැයි මේ මෙහෙයුමට සම්බන්ධ වුණු නිලධාරීන් නම් කියන්නේ වෙනම කතාවක්. සමුද්‍ර ජීවිතාරක්ෂක අංශයේ අණදෙන නිලධාරී පෝල් බ්රෙස්ලන්ඩ් කිව්වේ මේ අවුරුදු 13ක දරුවා කළේ මනුෂ්‍යයෙකුට කරන්න පුළුවන් දේකටත් එහා ගිය වැඩක් කියලා.
“ඔස්ටින්ගේ ඒ එඩිතරකම වගේම පවුල බේරගන්න තිබුණු දැඩි අධිෂ්ඨානය තමයි එයාගේ අම්මගේ සහ සහෝදරයන්ගේ ජීවිත බේරගත්තේ. ඒ ගැන කොයි තරම් ප්‍රශංසා කළත් ඒක මදි.”
ඉතින් සමහර වෙලාවට අපි හිතන්නේ වීරයෝ ඉන්නේ චිත්‍රපටවල විතරයි කියලා.
හැබැයි ඒක එහෙම නෑ කියලා ඔස්ටින් අපිට ඔප්පු කරලා ඉවරයි!











