” හෙලෝ..!”
” නිදිද ඔයා.. ?”
” නෑ මේ උයනවා. “
” ආපු ගමන් ? මහන්සි නැද්ද ? මං මේ හැදුවේ මං ලන්ච් අරන් එන්නං කියලා කියන්න. “
” එද්දි අම්මා වැව් මාළු ඇඹුල් තියල් එකක් හදලා දුන්නා. ඊට පස්සේ පොළොස් ටිකක් කපලා ඒකත් තම්බලා දුන්නා. මං දැන් මේ පොළොස් එක උයලා , බත් ටිකක් උයන්න කියලා හැදුවේ. සර් දැන් එනවද ?”
” ආවොත් මටත් කන්න තියෙයිද ? “
තරුණියගේ මුව මත සැණෙකින් සිනා මල් පොකුරු රැසක් පිපුණි.
” අනේ.. එන්නකෝ ඉතිං “
” හ්ම්ම්.. පැයක් වගේ යද්දි එන්නං “
මඳ සිනහවක් නඟා දුරකතන ඇමතුම විසන්ධි කළ සියත්‍ර අනෙක් පසට නැවතත් ඇමතුමකට සම්බන්ධ වූයේය.
” හෙලෝ…!”
” මේ.. ! කාලද ඉන්නේ ?”
” නෑ හලෝ. චිත්‍රා උයනවා. මට උයන සුවඳ එද්දි ඉන්න බෑ. වොමිට් වෙන්න එනවා. “
” තව 45 minutes වගේ යද්දි මං එන්නං. ලෑස්ති වෙලා ඉන්නවා. “
” කොහෙ යන්නද ? ”
” පොඩි ගමනක්. යාලුවෙක්ගේ ගේක . ලෑස්ති වෙලා ඉන්නවකෝ. “
” හ්ම් හ්ම්ම්…”
නැවත වතාවක් ඇමතුම විසන්ධි කළ සියත්‍ර මේසය මත දිග හැර තිබූ ලිපි ගොනුවට මුහුණ ඔබා ගත්තේය.
වැව් මාළු ඇඹුල් තියලත් , පදමට පහේ දමා සැකසූ පොළොස් මාළුවටත් අමතරව ලූණු , කරපිංචා හොඳින් දමා තෙල් දැමූ දඹල ව්‍යංජනයද පිස නිම කළ සඳැස්වි තම්බා ගත් අල කැබැලි කිහිපයට මිටි කිරි එකතු කරමින් සිටියාය.
” මහසෝනා වගේ හිටියට මිරිස් ටිකක් ගෑවෙන්න බෑනේ. සෑස් .. සූස් ගානව. “
ඔහු නිසාම පිළියෙළ කළ අල කිරි හොද්ද හැඳි ගාමින් ඈ තනිවම සිනා සෙන්නට වූවාය. සියල්ල පිස නිම කර වහා නා ගත් තරුණිය දිය බේරෙන තෙත කොණ්ඩය රෙදි කඩකින් වෙළා ගත් අතර පහත ගෙමිදුලෙන් ඇසුණු මෝටර් රථ හඬට චිත්තඃප්‍රීතියෙන් පිනා ගියාය. සතියකට පමණ පසු රාස්ස මුහුණ දැකීමේ නොඉවසිල්ලෙන් සිටි ඈ වහා දිව ගොස් ඉදිරිපස දොර විවර කළ අතර ඔහු සමඟම සිටි අනෙක් රුව දැක එතැනම ගල් ගැසී ගියාය.
තුෂ්නිම්භූතව එකිනෙකා දෙස බලා සිටිනා ඇයත් , තම සොයුරියත් දෙස මාරුවෙන් මාරුවට බැලූ සියත්‍ර තොල්පට තද කර ගනිමින් මුවට නැඟ ආ සිනහව නතර කර ගත්තේය.
” දෙන්නම බය වෙලා ඉවර නං අපි ඇතුළට යන්ද ?”
සියත්‍රගේ වචන වලට යළිත් තිගැස්සුණු කුඩා යුවතිය පසෙකට වී ඔවුන් දෙදෙනාට නිවස තුළට පැමිණෙන්නට ඉඩ සැලැස්සුවාය.
” වාඩි වෙන්න මැඩම්.”
ඈ අපහසුවෙන් පහන්‍යා වෙත ආලින්දයේ ඇති කුඩා සෝෆාව පෙන්වූවාය.
හැඳ සිටි බ්ලේසරය ගලවා දමා ඉන් පසුව අත් දිගු ලා නිල් පැහැ කමිසයේ දෑතම වැළමිට තෙක් නවා ගත් ඔහු කමිසයේ උඩු බොත්තම් කිහිපයක්ද විවර කරමින් තම සොයුරිය දෙස බලා ඇසක් ඉඟි මැරුවේය.
” මොකෝ..? “
” මාත් අහන්නේ මොකෝ කියලා තමයි ? දැන් මේ කවදා ඉඳන්ද ලොකු සර් වැඩ කරන ගෑනු ළමයින්ගේ ගෙවල් ගාණේ යන්න පුරුදු උනේ. ?”
පහන්‍යාගේ හඬට මඳක් තිගැස්සුණු තරුණිය සෙමින් හැඩි දැඩි තරුණයාගේ සිරුරට මුවාවී ඔහුගේ කමිසයේ කෙළවර දෑඟිලි තුඩු මතින් පොඩි කරමින් සිටියාය. ඇගේ තිගැස්සුණු වතත් , වරදකාරියක් ලෙස මළනුවන් පසුපස සැඟවුණු ආකාරයත් දුටු පහන්‍යාගේ මුවට නොදැනීම සිනහවක් මතු විය.
” අහ්.. හා.. ළමයින්ගේ නෙමේ. මේ ළමයගේ ගෙදර විතරයි “
එසේ පැවසූ ඔහු තමා පසුපස සැඟවුණු යුවතියගේ අතින් අල්ලා ඈ තමා ඉදිරියට ගෙන ඇගේ බඳ වටා අතක් යවා ගත්තේය.
” මට හිතුණා. මොකක් හරි එකක් වෙලා තමයි කියලා. ඒ උනාට මේ යකාගේ හැටි දන්න නිසා මට විශ්වාස කරගන්න බැරුව හිටියේ .”
පහන්‍යා නැවත වතාවක් මුව පුරා නැඟ එන සිනහව අසීරුවෙන් නවතා ලමින් පවසා සිටියාය.
” සොරි මැඩම්.. !”
ඔහු දෙසත් පහන්‍යා දෙසත් බලා වෙව්ලන ස්වරයෙන් පැවසූ ඈ වහා දෙනෙතින් වැටුණු කඳුළු බිඳුවක් පිසදා දැමුවාය.
” මොකටද දැන් සොරි ?”
හිඳ උන් තැනින් නැඟිට තරුණිය අසලට ආ පහන්‍යා එසේ අසමින් ඇගේ අතකින් අල්ලා ගත්තාය.
” යන්නේ කොහෙද කියලා කොච්චර ඇහුවත් යාලුවෙක්ගේ ගේක කිව්වට මං එනකන් දැනන් හිටියේ නෑ මෙතන ඉන්නේ ඔයා කියලා. එදා ඕපනින්ග් සෙරමනි එක වෙලාවේ මල්ලිගේ ඇස් දෙක දිළිසුණා මං හොඳටම දැක්කා සඳැස්වි . ඒක එහෙම උනේ ඔයා දිහා බලන් ඉන්නකොට. කවදාවත් නැතුව කොයි වෙලෙත් මේකාගේ මූණේ දැන් හිනාවක් තියනවා. මට ඒකම ඇති .. අනික…”
තවත් යමක් පවසන්නට ගියද ඈ අත වූ ජංගම දුරකතනය නද දීමෙන් වහා එය නතර කර දැමූ ඈ දෑස ඒ මතට යොමු කළාය.
” අනුජ් ”
එසේ පැවසූ ඈ දුරකතනයට පිළිතුරු දීමට විවර කර තිබූ බැල්කනිය දෙසට ගිය අතර සඳැස්විගේ අතින් අල්ලා ගත් වංශක්කාර තරුණයා වහා ඈ සමඟ කුඩා මුළුතැන්ගෙය දෙසට අඩි තැබුවේය.
” මොකද ?”
” බය හිතුණා දෙයියනේ.. ඇයි මෙහෙම වැඩ කරන්නේ ?”
ළමැද මත දෑතම තබා ගත් ඈ ඔහුගේ මුව දෙස බලා ඇසූ අතර නිහඬවම ඔහු පැන්ට්‍රිය මත හිඳ ගෙන ඇගේ අතකින් අල්ලා ගත්තේය .
” දවස් දෙක තුනක් තිස්සේ කන්න බෑ කිය කිය ඉන්නේ. ඒකයි මං එක්කන් ආවේ “
” අනේ.. දෙයියනේ ! මට ඒක අමතක උනා සර්. විනාඩි දෙකක් දෙන්න. “
” ඒ පාර මොකද ?”
” හදලා තියන ඒවා ඇති . ඒ උනාට කමක් නෑ ගොටුකොළ සම්බෝලෙකුත් හදමු. “
ඈ වහා කුඩා ශීතකරණය හැර සෝදා අසුරුම් කර දමා තිබූ ගොටුකොළ බෑගය ගෙන ඔහු අසලම හිඳ එය කපන්නට පටන් ගත්තාය . දින ගණනකින් දුටු ඇගේ උවනත් , දින ගණනකින් නොලැබුණු ඇගේ ස්පර්ශයටත් ලෝබ වූ ඔහු සෙමින් ඇගේ බඳ වටා අතක් යවා තමා වෙතට ළං කර ගත්තේය.
” ඉන්නකෝ දෙයියනේ… මේක හදලා ඉවර කරනකන් “
ඇගේ එකදු ඉල්ලීමකට හෝ කන් නුදුන් ඔහු සෙමින් ඇගේ උවනට බර වූ අතර ඔහු ඉව අල්ලන්නේ තම දෙතොලට බව වහා දැනුණු ඈ ඉක්මනින් අනෙක් පස හැරුණාය.
” පහන්‍යා මැඩම් ඉන්නවා. දකියි “
” දැකපුදෙන් ඉතිං .”
” අනේ..!”
යුවතියගේ ප්‍රතික්ශේප කිරීම මායිම් නොකළ ඔහු තවත් වරක් ඈ තමා දෙසට හරවා එවර ඇගේ දෙතොල මත කෙසේ හෝ හාදුවක් තැවරුවේය. නමුදු එහා මෙහා වී වහා පසෙකට වූ ඈ ඔහුට රවමින් යළි ගොටුකොළ මිටිය කැපීමට පටන් ගත්තාය.
හිඳ සිටි පැන්ට්‍රියෙන් බැස ගත් ඔහු වහා ඇගේ පසුපසින් ගොස් ඈ තරයේ වැළඳගත් අතර එවර ඈ හට කිසිසේත්ම ගැලවිය නොහැකි වූවාය.
” දැන් දුවනවා බලන්න. සතියකින් විතර ලඟට ආවම වත් ඉන්න දෙන්නෑ.. “
ඇගේ උරහිස මත පහත් වී හිස තබා ගත් ඔහු එසේ පැවසූ අතර ජල කරාමයට අත ඇල්ලූ ඈ වතුර පොදක් ගෙන ඔහුගේ මුවට ඉස්සාය. තිගැස්සී මුහුණ එසවූ ඔහු උවන මත ඇති රැවුල් කොට කිහිපයෙන් දිගින් දිගටම ඇගේ ගෙල කිති කැවූ අතර දරා ගනු බැරිම තැන ඇයට කෑගැසුණාය.
” අනේ.. සර්.. එපා.. “
” ආයේ කරනවද ? ආ.. ආයේ කරනවද ?”
” නෑ.. නෑ.. ආයේ කරන්නෑ.. “
අපහසුවෙන් සිනහව නතර කරගත් ඇගේ කොපුලක් අල්ලා ගත් ඔහු තදින් එය සිප ගත් අතර දුරකතන ඇමතුම අවසන් කර යළි පැමිණි පහන්‍යා ආලින්දයට එක් පසෙකින් විවෘත වූ කුඩා මුළුතැන්ගෙහි යුවතියව වැළඳ ගෙන ඈ හා හරි හරියට සිනහසෙන තම මළණුවන් දැක පුදුමයෙනුත් පුදුමයට පත් වී බලා සිටියාය.
” මැඩම්.. ! වැව් මාළු ඇඹුල් තියල් තියනවා. අපේ අම්මා හැදුවේ. තව පොළොස් මාළුවක් තියනවා. දඹලත් තියනව , අල කිරි හොඳිත් තියනවා. ගොටුකොළ සම්බෝලෙකුත් තියනවා. උණුවෙන්ම බත් ටිකක් කෑවොත් පිරියකින් කන්න පුලුවන් වෙයි. “
කුඩා පැන්ට්‍රිය මත තැබූ භාජන එකින් එක පෙන්වමින් සඳැස්වි පැවසූ දේ අසා සිටි පහන්‍යා දෑස ඔසවා ඈ දෙස බැලුවාය.
” මට මේ එකක්වත් කන්න බෑ.. “
තිගැස්සු නෙතින් කුඩා යුවතිය තරුණිය දෙස බැලුවද කිසිවක් මායිම් නොකළ ඔහු සන්සුන් ඉරියව්වකින් නිහඬවම වතුර වීදුරුවක් පානය කරමින් සිටියේය.
” අනේ.. ඇයි ?”
” ඔයා ඔය මැඩම් කියන එක නතර කරගන්නකන් මට කන්න බෑ. “
” අනේ..!”
එවර කුඩා යුවතියට සැනසුම් සුසුමක් හෙළුණු අතර ඈ දෙස බලා සිටි පහන්‍යා නැවත වතාවක් මුව පුරා සිනහවක් මවා ගත්තාය.
” එහෙනං බෙදන්නද අක්කේ මං ?”
” හ්ම්ම්.. “
මුව පුරා සිනහවක් නඟා ගත් තරුණිය ඉතා උවමනාවෙන් පිඟානක් මතට ආහාර බෙදන්නට පටන් ගත්තාය.
” සර්ට ?”
” කවන්න.. “
සෙමින් සෙමින් ආහාර ගන්නා පහන්‍යා වෙතින් දෑස ඉවතට ගත් ඈ ඉන් පසුව ඔහු වෙත හැරුණාය.
” පුරුද්දට තියාගන්න එපා සඳැස්වි . හැමදාටම ඔයාට මේ අලි බබාට කවන්න වෙයි. “
ඉන්පසු ඇරඹුනේ සතුටු සාමීචියක්ය. දින ගණනාවකට පසු ඉතා කැමැත්තෙන් ආහාර ගත් පහන්‍යා නව පණක් ලැබුවාක් මෙන් සැනසුම් සුසුමක් හෙළුවාය.
” හරිම රසයි. ඇත්තමයි. “
” පැණි කැවුමුයි , අළුවයි තියනවා. ඉන්න. “
කුඩා යුවතිය වහා ඈ වෙත රසකැවිලි පිඟානක්ද දිගු කළාය.
” මේ කෙල්ලව මට ගෙදර ගෙනියන්න හිතෙනවා මල්ලි. “
සඳැස්විගේ කොපුලක් මිරිකූ ඈ නැවතත් සියත්‍ර දෙස බලා පවසා යළිත් මුව පුරා සිනහවක් නැඟුවාය.


