” මේ මාසේ සප්ලයර්ස්ලාගේ මොනාහරි වෙනසක් උනාද සඳැස්වි ?”
තමා ඉදිරියේ හිඳ ගණුදෙනු වාර්තා කිහිපයක් නිරීක්ෂණය කරමින් උන් කුඩා යුවතිය දෙස නොබලාම තමන් ඉදිරියේ වූ ලැප් ටොප් පරිගණකයෙහි දෑස රඳවාගත් උත්පලා රන්දෙණිගල එසේ විමසුවාය.
” ලොකු වෙනසක් නෑ මැඩම්. Sea food එකේ විතරයි වෙනසක් උනේ. “
” අහ්. හරි. මට ඒක ගැන ඔයා කලින්ම ඉන්ෆෝම් කළානේ ? අර එළවළු ප්‍රශ්නෙට මොකද උනේ ?”
” ඒක මං හිතුවෙ මැඩම් මිස්ටර් ගන්කන්දටම බාර දෙන්න. මොකද ඒ සප්ලයර්ස්ලා දෙන්නම ආවේ මිස්ටර් ගන්කන්ද මාර්ගයෙන් . “
” ආහ්.. ඒක හොඳයි. “
උත්පලා කතාව මඳකට නතර කර එක දිගට නාද වන ජංගම දුරකතනය අතට ගෙන එයට පිළිතුරු බැඳීමට පටන් ගත්තාය.
” හෙලෝ තාරා.. ! මොකද මොකද මේ අපිව කාලෙකින් මතක් වෙලා. “
” මතක් වෙලා ? අපිට නම් මෙහෙම හරි මතක් වෙනවා නෝනලට තමයි අපිව දැන් මතකම නැත්තේ “
අනෙක් පසින් මිතුරිය නැඟූ නෝක්කාඩුව හමුවේ විසල් සිනහවක් මැවූ උත්පලා යළිත් පිළිතුරු බැඳීම ආරම්භ කළාය.
” මේ රෙස්ටුරන්ට් එකේ වැඩ නිසා මට දැන් ෆ්‍රී ටයිම් එකක් ඇත්තෙම නෑ තාරා.. ඉතිං කියන්නකෝ කොහොමද අලුත් විස්තර ?”
” ම්ම්.. අම්මට වෙලාවක් නෑ. හැබැයි කොල්ලවනම් මං දැක්කා මේ ලඟදි “
” කවුද මේ අපේ සියත්‍ර ?”
ලිපි ගොනුවට බර කරමින් සිටි කුඩා දෑස තිගැස්සුණද එය තම ආයතන හිමිකාරිනිය වෙත විතැන් නොකිරීමට පරිස්සම් වූ ඈ දිගටම ලිපි ගොනුව දෙස බලා සිටියාය.
” ඔව් . ඔව්. OGF එක ලඟදි. ආ.. මේ උත්පලා මේක කිව්වට කලබල වෙන්නෙපා. කොල්ලා හිටියේ තනියම නෙමෙයි. “
උත්පලාගේ දෑස තිගැස්සුණි. ඈ වහා ලිපි ගොනුව දෙස බලා සිටින තරුණ යුවතිය දෙස බලා ඈ හට මෙම කතා බහ ඇසේදැයි උවමනාවෙන් බැලුවාය.
” ඒ කිව්වේ ?”
” අර මේ මෑතකදි , ඔයාගේ රෙස්ටුරන්ට් එක ගැන යූ ටියුබ් එකේ සුද්දෙක් කරපු program එකක් ගියේ. අන්න ඒකේ හිටියේ කෙල්ලෙක්. අන්න ඒ කෙල්ල එක්ක කොල්ලා හිටියේ . “
ක්ෂණිකව ගල් ගැසුණු උත්පලා දෑස ඔසවා නැවත වරක් තමා ඉදිරියේ උන් තරුණිය දෙස බැලුවාය. ඈ නිහඬවම ඇගේ ගිණුම් වාර්ථා පරීක්ෂා කරන්නීය.
” කොල්ලොනේ උත්පලා.. ඇහැට කනට පේන්න හිටියම උන් කොහොමත් බැල්ම දානවා . අපේ උන්ගේ වරදක් නෑ , වරද තියෙන්නේ ඔය කෙල්ලන්ගේ. හද්ද ඩොටේ ඉඳන් ඇවිල්ලා සල්ලියි , පෙනුමයි තියන අපේ උන් දැක්කම ඔය කෙල්ලො හදන්නෙම උන්ව දැළේ දාගන්න. අපේ අහිංසකයෝ රැවටෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ එන්ජෝයි කරලා අතෑරලා දාන්න පුලුවන් තැනින් විතරක් නවතින්නැතුව දුර දිග යයිද කියන තැනයි. අනික අර දේවනාරායනලත් එක්ක ප්‍රපෝසල් එක කතා කරලා තියන එකේ මැණික්ට එහෙම ආරංචි උනොත් හරි නෑනේ. ? මං දැක්ක නිසාම හොඳයි. වෙලාවට කොල්ලා මාව දැක්කෙ නෑ. “
උත්පලාගේ මුව අඟ සමච්චල් සිනහවක් පැතිරිණි.
” ඔයා මට සියත්‍ර ගැනද ඔය කියන්නේ ? ඒකා දැනටමත් ඔයා එයාව දැකපු බව වගේම මේ මැසේජ් එක මට දීලා ඇති කියලත් දැනගෙන ඇත්තේ. “
” අහ්… ඕන දෙයක් උත්පලා. කෙල්ල නටන් ආවොත් කනට දෙකක් දීලා එළියට දාන්න . කොල්ලා පොඩ්ඩක් එන්ජෝයි කරලා අතෑරලා දානවනම් වෙනම දෙයක් “
අනෙක් පසින් කතා කළ මිතුරිය එසේ පවසා සිනහවක් නඟද්දි සමච්චල් සිනහවක් පෑ උත්පලා යළිත් වතාවක් තමා ඉදිරියේ ගිණුම් වාර්ථා පිරික්සමින් උන් යුවතිය දෙස බැලුවාය.
” තාරා…! මං උත්පලා රන්දෙණිගල . මං ලඟ බිත්තර දාන කිකිළියක් ඉන්නවනං , ඒකිගෙන් ගන්න පුලුවන් අන්තිම බිත්තරෙත් අරන් , ඒකිව මසටත් විකුණලා , පිහාටු ටිකටත් ගාණක් කතා කරලයි මං නවතින්නේ. ගොඩාක් අය තාම මගේ හැටි දන්නෑ. අපි බලමු. බේත දෙන්න ඕනේ හරියටම කොතනටද කියන්න මං හොඳට දන්නවා. “
එසේ පැවසූ උත්පලා ඇමතුම විසන්ධි කළද අවසානයේ ඈ පැවසූ කතාව සඳැස්විගේ වත සම්පූර්ණයෙන්ම තිගැස්මකට පත් කිරීමට සමත් විය.
” එක්ස්කියුස් මී මැඩම්..! සියත්‍ර සර් මිස් සඳැස්විට සෙරන්ඩිබ් ගෲප් එකේ ෆයිල් එක අරන් එන්න කිව්වා. “
කාර්‍යල කාර්‍ය සහායකයෙකු පැමිණ දුන් පණිවිඩය හේතුවෙන් හිස ඔසවා බැලූ සඳැස්වි සෙමින් උත්පලාගේ උවන දෙස බැලුවාය.
” සඳැස්වි ඕක ඉවරද ? ”
” ඔව් මැඩම්. “
” එහෙනම් යන්න. “
දිනේන්ද්‍ර රන්දෙණිගල සම්බන්ධ වන RD foods හී ඉහල නිලධාරීන්ගේ රැස්වීමක් අතර තුර පෙර යෝජනා කළ අයිස් ක්‍රීම් ව්‍යාපෘතිය ඉදිරිපත් කිරීම සඳහා සූදානමින් පැමිණි සඳැස්වි පෙර දැනුම් දුන් පරිදි හැඳ පැළැඳ ආ කහ පැහැගත් සාරියද අපහසුවෙන් දරා ගනිමින් උත්පලා හට සමු දී ඇගේ කාර්‍යාලයෙන් පිට වූවාය .
තරුණිය පිටව යන දෙස බලා සිටි උත්පලා මුවඟින් සමච්චල් සිනහවක් නැඟූ අතර නැවතත් ජංගම දුරකතනය අතට ගෙන ෂෙනාර්‍යා හට ඇමතුමක් ලබා ගත්තාය.
**************
දෙතුන් වරක් තට්ටු කළ වීදුරු ද්වාරය විවර කරමින් ඇතුළට පිවිසි සඳැස්වි දුටු ආයතන ප්‍රධානියා දෙබැම ඉහල නංවා පුදුම සහගත දෑසකින් ඈ දෙස බැලුවේය . ළා කහ පැහැ සාරියක් හැඳ , කොණ්ඩය තනි කරලට ගොතා , ෆයිල් කවර කිහිපයක් අත දරා පැමිණි ඈ දුටු වනම හිඳ සිටි අසුනෙන් නැඟී සිටි හේ ඇගේ අතකින් අල්ලා තමා දෙසට ළං කර ගත්තේය.
” නර්සරි ටීචර් කෙනෙක් වගේ අද “
ඔහුගේ සරදමට ආයාසයෙන් සිනහවක් නැඟූ ඇගේ උවන නිකටින් අල්ලා තමා දෙසට ඔසවා ගත් ඔහු එකී උවනේ හැඟීම් කියවන්න උත්සාහ ගත්තේය .
” මොකද්ද ප්‍රශ්නේ ?”
” ආ..? මුකුත් නෑ. “
” මේකෙ ඉන්න උන් කියනවා නේද මට පිටිපස්සටත් ඇස් , කන් තියනවා කියලා ? එහෙම එකේ මෙච්චර ඉස්සරහා ඉන්න ඔයා ඉන්නේ ප්‍රශ්නෙක කියලා මට අමුතුවෙන් තෝර ගන්න දෙයක් නෑ සඳ… මොකද්ද ප්‍රශ්නේ ? අම්මා මොනා හරි කිව්වද ?”
ඈ නැත යැයි පවසමින් හිස දෙපසට සැලුවාය .
” එහෙනං ? සඳ…!”
පෙම්වත් පිරිමි ස්වරය මඳක් ගොරෝසු වූ අතර පිළිතුරු බැඳීම විනා වෙනත් පිළියමක් නොවූ ඈ හිස ඔසවා යන්තමින් ඔහු දෙස බැලුවාය.
” මැඩම්ට කෝල් එකක් ආවා. කතා කරපු කෙනා ඔයා ගැන මොනාහරි කිව්වේ. ඊට පස්සේ මැඩම් ටිකක් අමුතු උනා. මට දැනුණෙම කවුරුහරි මායි , සර් ගැනයි මොනාහරි කියපු විදිහට. “
දින කිහිපයකට පෙර ඈ සමඟ එළිමහනේ උන් අවස්ථාවක මවගේ මිතුරියකගේ නෙත ගැටුණු අන්දම ඔහුට ක්ෂණිකව මතකයට නැඟුණේය. බලාපොරොත්තු වූ ලෙසටම ඇය වටපිටාවට ගිනි ළා තිබේ. ඒ බව සැළ කොට තවත් කුඩා අසරණිය අසරණ කළ නොහැකි බව වටහා ගත් ඔහු කතාව ඉක්මනින් වෙනතකට හැරවූයේය.
” ඒයි.. ! මට ආදරෙයි කියලා කිව්වේ නිකන් කටට ආවටද ? ”
” අනේ සර්..!”
තිගැස්සුණු ස්ත්‍රී දෙනෙත නැවත වරක් රකුසු උවන පුරා දිවීමට පටන් ගැනුණි.
” ආදරෙයි නම් මාව විශ්වාස කරන්න ඕනේ. අම්මා නෙමෙයි මොන තත්වයක් ආවත් මං ඔයාව අතාරින්නෑ. ඔයාට ඒක විශ්වාස කරන්නම වෙනවා. Okay ?”
ඈ සෙමින් සෙමින් ඔහු උවන බලා හිස ඉහලටත් පහලටත් කරමින් ඊට එකඟ වූවාය .
” ඒ නිසා කිසිම දේකට , කිසිම කෙනෙක්ට බය වෙන්න අවශ්‍යතාවයක් නෑ. “
ඉදින් ඔහු සෙමින් ඇගේ නළල මත සියුම් හාදුවක් තබා එකී කුඩා දෑත තම දෝතට ගත්තේය .
” අල්ල ගත්තේ අතාරින්න නෙමෙයි. මං ගැන දන්නවනේ ? දෙපාර දෙපාර කියලා මතක් කරන්න දෙයක් නෑ. “
ඈ නැවත වතාවක් හිස බිමට බර කරමින්ම ඔහුගේ කාරණයට එකඟව හිස සැලුවාය.
වීදුරු ද්වාරය එක් වරම විවර වූයේය . අල්ලා සිටි අත අතහැරීමට හෝ සිතීමටවත් කාලයක් නොවුණු තැන ඉන් ඇතුළු වූයේ කළමනාකරුවෙකු වූ ගන්කන්දය. අවුරුදු කිහිපයකට පෙර RD foods හී සේවය කරන අතරතුර මිය පරළොව ගිය තම හිතෛෂියෙකු වූ සෝමතිලකගේ දියණිය උදෙසා පෞද්ගලිකව උත්පලා රන්දෙණිගල හමුවී ඇයව මෙහි රැකියාවට ඇතුළත් කළේ ඔහුය. පිටතදී පියෙක් සහ දුවෙකු තරමටම කුළුපඟ වුවද ආයතනය තුළදී ඔවුන් දෙදෙනාම වැඩි හැඳුනුම්කම් නොපැවැත්වූයේ උත්පලාගේ දැනුවත් කිරීම් නිසාය.
ඉදින් තම ප්‍රධානියාගේ දෑතේ සිරවී සිටිනා ඇයව දුටු ඔහුත් , ඔහුව දුටු ඇයත් තව තවත් පුදුම වූවාට සැකයක් නොමැත.
” සොරි සර්.. මං හිතුවේ සර් දැනටමත් conference room එකට ගිහින් කියලා. ඒකයි තට්ටු නොකර ආවේ. “
යුවතිය ඔහුගේ අතින් තම දෑත මුදවා ගැනීමට බොහෝ උත්සාහ කළද හැඩි දැඩි පිරිමි අත ඊට ඉඩ නුදුන්නේය .
” ගන්කන්ද ආවේ ?”
” සර්ගේ මේසේ උඩ ගාල්ලේ ශොපින් මෝල් එකෙ ෆයිල් එකක් ඇති කියලා ලොකු සර් කිව්වා. “
ගන්කන්දගේ කතාව අසා සිටි ඔහු මේසය මත වූ ලිපි ගොනුව දෑසින් පෙන්වා එය ගන්නා ලෙසට සංඥා කළේය.
” යන්නං සර්.. ”
” හ්ම්ම්.. !”
” අනේ..!”
ලිපි ගොනුව අතැතිව පිටත්ව ගිය ගන්කන්ද දෙස බලා සිටි සඳැස්වි යළි ඔහු වෙතට හැරුණාය .
” දැක්කට පස්සෙවත් අත අතාරින්න බැරි උනාද ඔයාට ?”
” කිව්වනේ අල්ල ගත්තේ අතාරින්න නෙමෙයි කියලා. ?”
” මැඩම්ට කිව්වොත් ?”
” කියපුදෙන් ඉතිං . ගන්කන්ද කියන්නේ මෙතන ඉන්න පරණම සේවකයෙක්. කම්පැණි එකේ විතරක් නෙමෙයි අපේ ගෙදර දේවල් පවා දන්න ලඟම විශ්වාසවන්ත මිනිහෙක්. ඒ මිනිහා මං කවුද කියන්න දන්නවා. තාත්තා ඇවිල්ලා. අපි දැන් යමුද ?”
තරුණිය සෙමින් නමුදු සැනසුම් සුසුමක් හෙළුවාය .


