ඔලියැන්ඩර් – 35

0
713
oleander Flower

Navy blue පැහැයෙන් සමන්විත බ්ලේසරයකින්ද , ඒ පැහැයෙන්ම දිගු කලිසමකින්ද සැරසුණු මාන්නක්කාර වංශවත් තරුණයා තම අත රැඳි මිලාධික අත් ඔරලෝසුව දෙසට දෑස විතැන් කරමින් විදුලි සෝපානයෙන් පිටතට පැමිණියේය. ප්‍රධානියාගේ කඩවසම් රුව දෙස යටැසින් බලා උන් කාර්‍යාලයේ තරුණියන් කිහිප දෙනෙකුම වෙත දෑස යොමු කර රහසින් බලා සිටි කුඩා යුවතිය ඔහු කාර්‍යාලය තුළට පිවිසි විගස තම ජංගම දුරකතනය අතට ගෙන කෙටි පණිවිඩයක් තැබුවාය. 

” Good morning ! අද පුදුම ලස්සනක් නේ ? මනමාලියක්වත් බලන්න යනවද ?” 

තොල්පට සපා ගනිමින් මතු වූ සිනහව ආයාසයෙන් වළකාගත් ඈ පණිවිඩය මුදා හැර මේසය මත වූ ලිපි ගොනුවට දෑස බර කර ගත්තාය. 

” ඔව්. මනමාලි එනවා කිව්වා. මේ එනකන් බලන් ඉන්නේ. ආපු ගමන් honey moon යන්න. ඔය මැඩම් උදේ පාන්දර මගෙ යකා අවුස්සන්නැතුව ඇතුළට එනවද ? ” 

තද කර සිටි සිනහව චිරිස් හඬින් පිටතට පැන නැඟුණු අතර අනෙක් පස මේසයේ සිටි ශාක්‍යා කුඩා යුවතිය දෙස හිස හරවා බලා සිනහවක් නැඟුවාය. 

” යක්කුන්ට අමුතුවෙන් ඇවිස්සෙන්න දෙයක් තියනවද ?” 

ඔහුගේ කෝපය මඳක් ඇවිස්සීමේ බලාපොරොත්තුවෙන් ඈ තවත් කෙටි පණිවිඩයක් තැබුවාය. 

” තමුන් ඇතුළට එනවද ? මං ඔතනට එන්නද ?” 

කේන්තිකාරයාගේ වචන වල පැහැදිලි බාවය හොඳින් දන්නා යුවතිය මේසය මත තිබූ ලිපි ගොනුවක්ද අතැතිව හිඳ සිටි අසුනෙන් නැඟිට්ටාය. 

නමුදු මේසය අසලින් අඩියක් තැබීමට කාලයක් නොවුණි. විවර වූ විදුලි සෝපානයෙන් කහ පැහැ සිහින් උරපටි යෙදූ දිගු ගවුමක් හැඳ පැමිණි පියකරු යුවතියක් ගොඩනැගිල්ලේ ඉහල මහලේ කාර්‍යාලයේ සිටි කිසිවෙකුත් දෙස නොබලාම ප්‍රධානියාගේ කුටිය වෙත අඩි තැබුවාය. 

” ෂෙනාර්‍යා මැඩම්. “

” මනමාලි එනකන් ඉන්නේ honey moon යන්න. “

ඔහුගේ කෙටි පණිවිඩය යළි යළිත් කිසිවෙකු හෝ සවන අද්දර කොඳුරන හඬක් ඇසුණු අතර බොහෝ සෙයින් හිත රිද්දාගත් කුඩා යුවතිය යළිත් හිඳ සිටි අසුනට බර වූ අතර හිස හරවා ඈ දෙස බැලූ ශාක්‍යාද මුව අඳුරු කර ගත්තාය. 

මිනිත්තු කීපයක් තුළ යළි ප්‍රධාන කාර්‍යාලයේ ද්වාරය විවර වූ අතර පෙරටත් වඩා ඉක්මන් ගමනින් අඩි තබා ගිය වංශවත් තරුණිය වහා විදුලි සෝපාවට ගොඩ වූවාය.

ක්ෂණිකව ශාක්‍යාගේ මේසය මත තිබූ දුරකතනය නාද දුන්නේය. 

” සර්..! ” 

” ඔය එහා පැත්තේ ඉඳන් මූණ දික් කරන් ඉන්න එක්කෙනාට ඇතුළට එන්න කියන්න. “

සිනහමුසු මුහුණින් රිසිවරය තැබූ ශාක්‍යා තරුණිය වෙතට හැරුණාය. 

” අන්න එන්නලු “

” මොකටද දන්නෑ. ?” 

මුව ඇද කර පැවසූ ඇගේ වත දෙස බැලූ ශාක්‍යා නැවත වතාවක් මුව පිරි සිනහවක් නැඟුවාය. 

” දන්නෑ. එන්න කියලා ගියේ නැත්තං ඊලඟ මොහොතේ සර් මෙතනට එනවා කියලානං මං දන්නවා. “

ශාක්‍යාගේ පිළිතුරත් සමඟ කලබල වූ සඳැස්වි යළිත් නැඟිට ඉක්මන් ගමනින් කාර්‍යාලය තුළට අඩි තැබුවාය. 

මෙතෙක් වේලා තමාව විහිළුවට ගත් ඈ මෙලෙස මුව අඳුරු කරමින් සිටිනු දුටු ඔහු මුව මත සිහින් සිනා රැල්ලක් නැඟී ගිය අතර හිඳ සිටි අසුනෙන් නැඟිට ගත් ඔහු ඈ ඉදිරියට ගොස් අතකින් අල්ලා ඈ තමා දෙසට ඇද ළං කර ගත්තේය. 

” මොකෝ..? මෙච්චර වෙලා මාව විහිළුවට ගත්තා නේද ? මොකෝ දැන් මූණ කළු කරගෙන ?” 

” මොකටද අහන්නේ ? මනමාලි එනකන් බලන් ඉන්නේ කියලා කිව්වේ එන්නත් කලින්ම. යන්න තිබ්බනේ එයා එක්කම “

හිස ඔසවා ඔහු දෙස නොබලාම ඈ නෝක්කාඩු ස්වරයෙන් ඉවත බලා ගත්තාය. 

” ඒයි..!” 

අල්ලා සිටි අත අතහැර ඇගේ බඳ වටා යැවූ අතකින් ඈ තවත් තමා වෙත තද කර ගත් ඔහු එක්වරම ඇගේ දෙතොල මත හාදුවක් තැබුවේය. බලාපොරොත්තු නොවූ හාදුවෙන් තිගැස්සී ගිය ඈ මිනිත්තු කිහිපයක් පුරාවට දිව ගිය හාදුවෙන් මත් වී වේගයෙන් ඇසිපිය සැලුවාය. 

” එහෙමද මං ගැන හිතන්නේ ආ.. ? “

දැන දැනම ඔහු වෙත බොරු චෝදනාවක් කළ ඈ දෙවන වරටත් ඔහු තැබූ හාදුව මත රත් පැහැ ගැන්වී සිටියාය. 

” ඇති දැන් ” 

” ආයාසයෙන් ඔහුගෙන් මිදුණු ඈ විසල් පපුතුර මත දෑතම තබා පැවසූ අතර සිහින් වූ සරාගික දෑස හමුවේ යළි තම දෑස පහත හෙළා ගත්තාය. 

” මොනාද ඇති ? මට මදි ..” 

” සර්…!” 

කාර්‍යාල මේසය මත වූ දුරකතනය නාද වූ අතර පණිවිඩය ලබා ගන්නා ලෙස දෑසින් ඈට සංඥා කළ තරුණයා යළි ඇගේ ගෙල වෙතට පහත් වූයේය. 

” හෙලෝ..! ” 

” නංගි ! උත්පලා මැඩම් එනවා. “

රහසින් මෙන් අනෙක් පසින් කතා කළ ශාක්‍යාගේ පණිවිඩය සවන වැකුණු සැණින් වහා ඔහුගෙන්  මිදුණු යුවතිය  කාර්‍යාල ද්වාරයෙන් පිටතට දිව ගියාය. ක්ෂණිකව සිදු වූ ඇගේ කලබලය සිතා ගත නොහැකි වූ ඔහු මේසය මත ඇති ආරක්ෂක කැමරා දෙස බැලුවේය . විදුලි සෝපානයෙන් පිටතට පිවිසි මවත් ,ගන්කන්දත් දුටු ඔහුගේ මුව කොන යළි සිහින් සිනහවක් ඇඳී ගියේය.

” ඔක්කොම චණ්ඩිකම් මට තමා “

තම මේසය මත හිඳගෙන ලිපි ගොනුවකට දෑස බර කර ගත් යුවතිය කැමරා දර්ශන තුළින් දුටු ඔහු තමාටම පවසමින් තම අසුනට බර වූයේය. 

” ෂෙනාර්‍යා ආවද ?” 

කිසිදු විනීතකමක් නොමැතිව ප්‍රධාන කාර්‍යාලය තුළට පිවිසි උත්පලා පුත්‍රයා දෙස බලා විසල් හඬකින් ඇසුවාය. 

” Good morning අම්මා..!” 

හිස ඔසවා නොබැලූ ඔහු මව ඇසූ පැනයට පිළිතුරු දෙනු වෙනුවට එසේ පැවසුවේය. දඩාස් හඬින් ඉදිරියේ තිබූ පුටුව පසුපසට ඇද අසුන් ගත් උත්පලා පුත්‍රයා දෙස බලා වේගයෙන් හුස්ම ඉහල පහල දැම්මාය. 

” ෂෙනාර්‍යා ආවේ එළියට යන්න ..?” 

” මේ එළියට යන වෙලාවක්ද අම්මා ? තව පැයකින් මට සෙරන්ඩිබ් එකේ මීටින් එක. “

” ඒකට තාත්තා ඉන්නවා. ඔයා ෂෙනාර්‍යා එක්ක එළියට ගිහින් එන්න. මං ඒ කෙල්ලට ඉන්න කිව්වා. “

මෙතෙක් වේලා ලිපි ගොනුවට බර කර තිබූ ගැඹුරු දෑස සෙමින් මව වෙත විතැන් වූ අතර එකී දෑස දෙස කෙලින් බැලීමට නොහැකි වූ උත්පලා විගසින් ඉවත බලා ගත්තාය .

” ඒ කන්ට්‍රැක් එක හැඩ්ල් කරන්නේ මම. ඒ නිසා මීටින් එකට යන්න ඕනේ මම මිසක් තාත්තා නෙමෙයි “

” උඹට කසාද බඳින්න ඉන්න කෙල්ල එක්ක එළියට යන්න බෑ ? වෙන වෙන එකියන්ව කැම්පස් ගාණේ අදින්නයි , උන් එක්ක ඇවිදින්න යන්නයිනං වෙලා තියනවා නේද ?” 

” මැඩම්..!” 

පසෙක සිට ගෙන සිටි ගන්කන්ද සෙමින් උත්පලා ඇමතුවද එකී ඇමතුම මායිම් නොකළ ඈ රත් පැහැ ගැන්වුණු කෝපාවිශ්ට දෑසින් එක දිගට පුත්‍රයා දෙස බලා සිටියාය .

” මං අහන දේවල් වලට උත්තර දීපන් සියත්‍ර “

තමා මායිම් නොකර ලිපි ගොනුවක් වෙත දෑස යොමු කරමින් සිටින සියත්‍රගෙ හැසිරීමට උත්පලාගේ කෝපය ක්‍රම ක්‍රමයෙන් වැඩිවී තිබුණේය. 

” අම්මා..! This is my office . Not your house. Please mind your language ” 

” හහ්…! උත්පලා සමච්චල් සිනහවක් පා ගන්කන්ද දෙස බැලුවාය. 

” මේවා අද උඹලගේ අතේ තියෙන්නේ මේ මං හින්දා. මං නැත්තන් උඹලට විතරක් නෙමෙයි අර තාත්තටත් යන එන මං නෑ. මේ උත්පලා නැත්තන් RD එකක් නෑ.. “

කිසිවක් පිළිතුරු ලෙස නොපැවසූ ඔහු දුරකතන රිසිවරය ගෙන කනේ තබා ගත්තේය .

” ශාක්‍යා..! තාරා හෝල්ඩින්ග්ස් එකත් එක්ක ෂොපින් මෝල් එක සම්බන්ධව කරපු ඇග්‍රිමන්ට් එක කැන්සල් කරන්න. “

” වට් ..?” 

විසල් වූ දෙනෙතින් තමා දෙස බලා හිඳිනා මව මායිම් නොකළ තරුණයා යළි ඇමතුමට පිළිතුරු දුන්නේය. 

” ඇග්‍රිමන්ට් එක ගැහුවේ මාත් එක්ක. මගෙ වැඩ වල වගේම ඇග්‍රිමන්ට් වලත් පැහැදිලිව තියනවා Discipline ගැන. එයාලා අතින් ඒක කැඩිලා. ඇග්‍රිමන්ට් එක කැන්සල් කරලා අපි මේ වෙද්දි එයාලට ගෙවලා තියන ලක්ෂ 55 වෙනුවට තුන් ගුණයක් ඉල්ලලා මහීල්ට කියලා එන්තර වාසියක් යවන්න. “

” උඹට පිස්සු හැදිලද සියත්‍ර ?” 

වේගයෙන් හිඳ සිටි අසුන පසුපසට කර නැඟී සිටි උත්පලා කාර්‍යාල කාමරය දෙවනත් වන අයුරින් කෑ ගැසුවාය. 

” මැඩම්..!” 

පසුපසින් සිටි ගන්කන්ද නැවත වරක් උත්පලා සන්සුන් කරවන අන්දමින් කතා කළද එයට ඉඩක් නුදුන් ඈ කෝපය පිරී වෙව්ලන දෑසින් තම පුත්‍රයා දෙස බලා සිටියාය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here