“මම කවදාවත් ඒ පාළු කාන්තාරෙට පය තියලාවත් නැහැ මහත්තයෝ! මම ඒ කෙල්ලව අඳුරන්නෙවත් නැහැ!”
පොලිස් ප්‍රශ්න කිරීම් කාමරේ පුරාම මාර්ක් ඇලන් බෝගන්ගේ කටහඬ දෝංකාර දුන්නා.
එයා ඉස්සරහා වාඩි වෙලා හිටපු පොලිස් නිලධාරීන්ට මිනීමැරුම් සැකකාරයන්ගේ ඔය වගේ බොරු බේගල් අහලා හොඳට පුරුදුයි. සාමාන්‍යයෙන් මිනී මරපු උන් බොරු කියන්නේ බය වෙලා, නැත්නම් කේන්තියෙන්, එහෙමත් නැත්නම් අසරණ වෙලා.
හැබැයි බෝගන් කතා කළේ පුදුම ආත්ම විශ්වාසයකින්.
හැබැයි මිනිහා කියන්නෙ අමූලික බොරුවක් කියන එක ඒ වෙද්දිත් පොලිසිය දැනගෙන උන්නා. මොකද, අර අසරණ කෙල්ලගේ මිනිය හම්බවුණු ඇරිසෝනා කාන්තාරේ හීනෙන්වත් දැකලා නැහැ කියලා මිනිහා කොච්චර කෙලින් කිව්වත්, මෙයා කියන හැම බොරුවක්ම කුඩුපට්ටම් කරලා දාන්න පුළුවන් සුපිරිම භාණ්ඩයක් පොලිසිය ඒ වෙනකොටත් හොයාගෙනයි තිබුණේ.
කාන්තාරේ මැද තිබුණු මිනිය
1992 මැයි 3 වැනිදා උදේ, ටිම් ෆෝල්ක්නර් කියන කෙනා තමන්ගේ ඩර්ට් බයික් එක පදවගෙන ඇරිසෝනාවේ මරිකෝපා ප්‍රාන්තයේ මිනිස් පුළුටක් නැති පාළු පැත්තකට ගියා.
ඒ හරිය මුළුමනින්ම පාළු කතරක්. වේලිලා ගිය ඇළ මාර්ගයි, තැනින් තැන වැවුණු කටුක පාලෝ වර්ඩ් ගසුයි විතරයි ඒ මුළු පළාතෙම තිබුණේ.
එකපාරටම ටිම් දැක්කා පඳුරු අස්සේ මොකක් හරි වැටිලා තියෙනවා.
මුලින්ම මිනිහට හිතාගන්න බැරි වුණා ඒ මොකක්ද කියලා.
හැබැයි ළඟටම ගිහින් බලද්දී එයාව බයෙන් ගැහෙන්න ගත්තා!
නිරුවත් වුණු ගෑනු ළමයෙක් බිම මුණින් අතට වැටිලා හිටියා.
එයා හුස්ම ගත්තේ නැහැ.
ආපු ගමන්ම පොලිසිය හොයාගත්තා මේ මියගිහින් ඉන්නේ ෆීනික්ස් නගරයේ පදිංචි වෙලා හිටපු ඩෙනිස් ජොන්සන් කියන තරුණිය කියලා. සාක්ෂිවලින් පෙනුණේ එයාව මරලා දාලා තිබුණේ පැය කිහිපයකට කලින් කියලා.
එයාගේ ඇඳුම් තැනින් තැන විසිවෙලා තිබුණා. එයාව බිම දිගේ ඇදගෙන ගිහින් තිබුණු ලකුණු ඇඟේ තිබුණා. බෙල්ල වටේ රෙදි කැබැල්ලක් ගැටගහලා, අත් දෙකයි කකුල් දෙකයි වයර්වලින් තද කරලා බැඳලයි තිබුණේ.
කවුරු හරි කෙනෙක් මාරම මහන්සියක් වෙලා තියෙනවා මේ මිනිය කාටවත් අහුවෙන්නේ නැති තැනක හංගන්න.
ඉතින් එක ප්‍රශ්නයයි තිබ්බේ
කවුද මේ මිනීමරුවා?
අභිරහස් සුදු පාට ට්‍රක් එක
පොලිස් පරීක්ෂකවරු මිනිය හම්බවුණු තැන පීර පීර සාක්ෂි හොයද්දී, චැඩ් ගිලියම් කියලා මනුස්සයෙක් ඔවුන් ළඟට ආවා.
එයාට පොලිසියට කියන්න මාර වටිනා කතාවක් තිබුණා.
එදා රෑ 1:30ට විතර පාටියක ඉඳන් ගෙදර යද්දී, මේ පාළු පැත්තේ ඉඳන් සෑහෙන්න වේගයෙන් ඇදලා ගිය වාහනයක් චැඩ් දැකලා තිබුණා. ඒ වාහනේ දැක්ක ගමන් කාට වුණත් මතක හිටිනවා.
මොකද ඒක සාමාන්‍ය පිකප් එකක් නෙවෙයි.
ඒක සුදු පාට ඩුවලි ට්‍රක් එකක්. ඒ කියන්නේ පිටුපස රෝද හතරක් තියෙන, උඩින් කහ පාට ලයිට් හයි කරපු, පෙනුමෙන්ම කැපිලා පේන ලොකු ට්‍රක් එකක්.
පොලිසිය වටපිටාවෙන් හොයලා බලද්දී මාර වැඩක් වුණේ! ඒ පළාතේ ජීවත් වුණු මාර්ක් ඇලන් බෝගන්ට අයිති වෙලා තිබුණේ හරියටම ඒ වගේම ට්‍රක් එකක්.
හැබැයි වැඩේ එතනින් ඉවර වුණේ නැහැ.
ඩෙනිස් ජොන්සන්ගේ මිනිය තිබුණු තැනට අඩි කිහිපයක් මෙහායින් වැටිලා තිබිලා පොලිසියට පේජර් එකක් හම්බවුණා. ඒ කාලේ ෆෝන් වෙනුවට පාවිච්චි කරපු උපකරණයක්.
හොයලා බලද්දී ඒ පේජර් එක අයිති බෝගන්ගේ තාත්තාට. හැබැයි ඒක හැමතිස්සෙම පාවිච්චි කරලා තිබුණේ මාර්ක් බෝගන්මයි!
ඔන්න එකපාරටම මුළු කේස් එකටම එකම එක ප්‍රධාන සැකකාරයෙක් කොටු වුණා.
දවසින් දවස වෙනස් වුණු බොරු කතාව
පොලිසිය බෝගන්ගෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්ත ගමන්ම මිනිහා කිව්වේ, “මම ඕකට ගෑවිලාවත් නැහැ” කියලා.
හැබැයි ටික වෙලාවක් යද්දී මෙයා කියපු කතාව වෙනස් කළා.
මෙයා පිළිගත්තා මිනීමැරුම සිද්ධ වුණු දවසේ රෑ පාරෙන් ලිෆ්ට් එකක් ඉල්ලපු ගෑනු ළමයෙක්ව තමන්ගේ ට්‍රක් එකට දාගත්තා කියලා. මෙයා කියපු විස්තර අනුව ඒ කෙල්ල හරියටම ඩෙනිස් ජොන්සන් වගේමයි.
බෝගන් කියපු විදිහට, ඒ කෙල්ල කැමැත්තෙන්ම මූත් එක්ක ට්‍රක් එක ඇතුළේ ලිංගිකව හැසිරිලා තියෙනවා. හැබැයි ඊට පස්සේ දෙන්නා අතරේ ලොකු රණ්ඩුවක් වෙලා.
මෙයා කිව්වේ ඒ කෙල්ල මූගේ බඩු වගයක් හොරකම් කරගෙන දිව්වා කියලා. මෙයා ඒකි පස්සෙන් පන්නලා.
එතනදී දෙන්නා පොරබැදීමක් වෙලා තියෙනවා. මාක් කිව්වා තමන්ගේ මූණේ තිබුණු නියපාරවල් හැමදේම ආවේ අන්න ඒ රණ්ඩුවෙන් කියලා.
හැබැයි බෝගන් එකම එක දෙයක් ගැන විතරක් දිවුර දිවුර කිව්වා.
මෙයා කවදාවත් අර මිනිය හම්බවුණු කැටපිලර් කියන පාළු කාන්තාර ප්‍රදේශයට ගියේම නැහැලු. මෙයා ඩෙනිස් ජොන්සන්ව මැරුවෙත් නැහැලු, මිනිය කාන්තාරේ දාලා ආවෙත් නැහැලු.
හැබැයි පොලිසිය මෙයා කියපු ඒ එක කතාවක්වත් විශ්වාස කළේ නැහැ.
ඇස් පනාපිට හැංගිලා තිබුණු සාක්ෂිය
පොලිස් පරීක්ෂකවරු බෝගන්ගේ ට්‍රක් එක අඟලෙන් අඟල පීරලා සෝදිසි කළා.
එතකොටයි ට්‍රක් එකේ පිටුපස බඩු දාන කොටසේ තිබිලා කාටවත් වැඩක් නැහැ කියලා හිතෙන පුංචි දෙයක් හම්බවුණේ.
ඒ, පාලෝ වර්ඩ් ගසක බීජ කරල් දෙකක්!
වෙන පොලිස් නිලධාරියෙක් වුණා නම් ඕක ගණන් නොගෙන විසි කරලා දානවා ශුවර්. මොකද ඇරිසෝනාව කියන්නේම ඔය පාලෝ වර්ඩ් ගස්වලින් පිරිච්ච පළාතක්. ඉතින් ඔය වගේ කරල් දෙකක් ඕනෑම තැනකින් ට්‍රක් එකට වැටෙන්න පුළුවන්.
හැබැයි මේ කේස් එක භාරව හිටපු ඩිටෙක්ටිව් චාලි නෝටන් මිනිය හම්බවුණු තැනදී අමුතු දෙයක් දැකලා තිබුණා.
එතන තිබුණු එක පාලෝ වර්ඩ් ගසක (පස්සේ කාලෙක මේ ගහ නම් කළේ PV-30 කියලා) අත්තක අලුත්ම හීරීමක් තියෙනවා ඌ දැක්කා. හරියට ලොකු වාහනයක් ඒ අත්තේ තදින් ඇතිල්ලීගෙන ගියා වගෙයි.
ඩිටෙක්ටිව් නෝටන්ට එකපාරටම මෙන්න මෙහෙම හිතුණා: “බෝගන්ගේ ට්‍රක් එකේ තිබුණු බීජ කරල් දෙක, අර හීරිලා තිබුණු ගහෙන්ම වැටුණු ඒවා වෙන්න බැරිද?”
මුලින්ම නම් මේ අදහස පිස්සුවක් වගේ පෙනුණේ. මොකද මිනිස්සුන්ට වගේ ගස්වලට ඇඟිලි සලකුණු නැහැනේ!
එහෙනම් කොහොමද මිනීමරුවව හොයාගන්නේ කියන ප්‍රශ්නෙ ආවෙ ඒ අනුව.
මිනීමරුවාට විරුද්ධව සාක්ෂි දුන් ගස
ඩිටෙක්ටිව් නෝටන් කෙලින්ම ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ ශාක ප්‍රවේණි විද්‍යාඥයෙක් වුණු ඩොක්ටර් තිමොති හෙලෙන්ජාරිස්ව හමුවුණා.
එයාලා ඉස්සරහා තිබුණේ ලෝක ඉතිහාසයේ කවදාවත් නොකරපු මාරම අභියෝගයක්!
මිනිස්සුන්ගේ ඩී.එන්.ඒ පරික්ෂා කරනවා වගේ, ගසක DNA පරික්ෂා කරලා සාක්ෂියක් ගොඩනඟන්න පුළුවන්ද?
ඒ වෙනකල් මුළු ලෝකෙම කිසිම උසාවියක ඔය වගේ ශාක DNA සාක්ෂියක් පාවිච්චි කරලා තිබුණේ නැහැ.
ඩොක්ටර් හෙලෙන්ජාරිස් මිනිය තිබුණු තැන වටේටම තිබුණු හැම පාලෝ වර්ඩ් ගසකින්ම සාම්පල එකතු කළා. ඊට පස්සේ ඒවා බෝගන්ගේ ට්‍රක් එකේ තිබුණු අර බීජ කරල් දෙකේ DNA එක්ක සසඳලා බැලුවා.
ප්‍රතිඵලය ආපු ගමන් මුළු පොලිසියම හොල්මන් වුණා!
පරික්ෂා කරපු සිය ගණනක් ගස් අතරින්, එකම එක ගසක DNA විතරක් අර බීජ කරල්වල DNA එක්ක 100%ක්ම ගැලපුණා.
ඒ වෙන ගහක් නෙවෙයි අර හීරීම් ලකුණ තිබුණු PV-30 ගහ!
හරියටම ඩෙනිස් ජොන්සන්ගේ මිනිය ළඟම තිබුණු ගහ!
ඇසින් දුටු සාක්ෂිකරුවන්ටවත්, බෝගන් ගෙතූ බොරු කතාවලටවත් කරන්න බැරි වුණු දේ අර ඇහැට පේන්නේ නැති පුංචි බීජ කරල් දෙක කරලා පෙන්වුවා.
වැරදිකරු
නඩු විභාගය වෙලාවේදී පැමිණිල්ල පැත්තෙන් මේ අතිවිශේෂ, ලෝකයම හොල්ලපු ශාක DNA සාක්ෂිය උසාවියට ඉදිරිපත් කළා.
අර පාරේදී ට්‍රක් එක දැකපු ඇසින් දුටු සාක්ෂිය, මිනිය ළඟ වැටිලා තිබුණු පේජර් එක, බෝගන් වෙලාවෙන් වෙලාවට වෙනස් කරපු බොරු කතා සහ මිනිහගේ මූණේ තිබුණු නියපාරවල් මේ හැම දේමත් එක්ක අර බීජ කරල්වල සාක්ෂිය එකතු වුණාම, බෝගන්ට ගැලවෙන්න සතපහක ඉඩක් ඉතුරු වුණේ නැහැ.
ජූරි සභාව තත්පරයක්වත් හිතන්නේ නැතුව මාර්ක් ඇලන් බෝගන් වැරදිකරු බව තීරණය කළා.
අන්තිමේදී මිනිහට හිමිවුණේ ජීවිතාන්තය දක්වා සිරදඬුවමක්!
පුංචි බීජ කරල් දෙකක අමරණීය මතකය
දශක ගණනාවක් තිස්සේ පොලිස් පරීක්ෂකවරුන්ට මිනීමරුවන්ව අල්ලන්න උදව් වුණේ ඇඟිලි සලකුණු, ලේ පැල්ලම්, රෙදි නූල් කැබලි සහ ඇහින් දුටු සාක්ෂි විතරයි.
හැබැයි බෝගන්ගේ මේ කේස් එකෙන් පස්සේ මුළු ලෝකයේම අපරාධ විද්‍යාව සදහටම වෙනස් වුණා.
ස්වභාවධර්මයට පවා ඕනෑම වෙලාවක අපරාධකරුවෙකුට විරුද්ධව සාක්ෂි කූඩුවට ගොඩවෙන්න පුළුවන් කියලා මේ සිද්ධියෙන් මුළු ලෝකයටම ඔප්පු කරලා පෙන්වුවා.
ඉතින්, ඇරිසෝනාවේ ඒ පාළු කාන්තාරේ හුදෙකලාව තිබුණු ඒ නිශ්ශබ්ද ගහ කෙළේ අන්න ඒ දේමයි.
ඒක අසරණ කෙල්ලෙක් වෙනුවෙන් මිනීමරුවාට විරුද්ධව සාක්ෂි දුන්නා!











