ගතව ගිය දවස් අටක කාලය තුළ ජීවිත කිහිපයකම මහා විපර්‍යාසයන් සිදු වෙමින් පැවතුණේය. දින ගණනාවකින් නිසි අයුරින් කපා නැති අපිළිවෙළට වැවුණු රැවුලත් , තම බාහිර පෙනුම පිළිබඳව සෑම විටම සැලකිල්ලෙන් සිටි අයෙකු ලෙස බොහෝ දෙනා හඳුනාගෙන සිටියද මේ වනවිට අපිළිවෙළ වූ කොණ්ඩයත් , අඳුරු වූ මුහුණත් ඔහු හැඳ සිටි මිලාධික ඇඳුමේද වටිනාකම පහළ දමා තිබුණේය.
බර අඩි තබා ප්‍රධාන කාර්‍යාලය තුළට පැමිණ තම අසුන මත හිඳ ගත් සියත්‍ර රන්දෙණිගල තමන් ඉදිරියේ උන් සහායක ගන්කන්ද දෙසට අත දිගු කොට ඉදිරියේ ඇති පුටුව මත අසුන් ගන්නා ලෙසට අතින් සංඥා කළේය.
” දිනේන්ද්‍ර සර් කතරගම ඉඩම ගැන කතා කළා සර්. සර්ට පුලුවන් නම් ඒක ගිහින් ටිකක් බලන්න කිව්වා. “
” ඇයි මම ? වෙනදාට ඕවට යන්නේ තාත්තනේ? “
” සර් ලබන සතියේ යූකේ යනවා කිව්වා. මං හිතන්නේ පහන්‍යා මැඩම්වත් එක්කන් යන්න කියයි. කිරිවෙහෙරට බාරයක් වෙන්න ඕන කියලනේ. මැඩමුත් නෑ කියලා ඔය ගමන් දෙකම එකට දාගන්න කිව්වා. “
” ඇයි ඒ පාර අම්මා මොකද ?”
” මැඩමුත් දිනේන්ද්‍ර සර් එක්ක යන කතාවක් කිව්වේ. මැඩම් කිව්වා පහන්‍යා මැඩම්වයි , මිස් ෂෙනාර්‍යාවයිත් ගමනට එකතු කරගන්න කියලා. “
මුව ඇද කර ගත් තරුණයා පුරුදු පරිදි ලැප් ටොප් පරිගණකයෙන් දිස්වන ආරක්ෂක කැමරා පද්ධතිය දෙසට දෑස විතැන් කළේය. මෙතැනම මෙම අසුනෙම සිට ඈ දෙස එක දිගට හදවත තුළ ඉපිදෙන ප්‍රේමණීය හැඟුමින් බලා සිටි අවස්ථා බොහෝය. එකී සිදුවීම් එක පෙළට මනසට යළි යළි මතකයට නැඟ එද්දී ඔහුටත් නොදැනීම විසල් සුසුමක් හෙළුණේය. ඒ අතරම ශාක්‍යාගේ මේසය අසල සිටි ඇයත් ඇය ලබා දුන් කුමක් හෝ ලිපියක්ද අතැතිව ශාක්‍යා ප්‍රධාන කාර්‍යාලය දෙසට ඇවිද එන අන්දම දුටු ඔහු කැමරා දර්ශන මතින් දෑස ඉවතට ගත්තේය.
” එක්ස්කියුස් මී සර්.. !”
වීදුරු ද්වාරය විවර කරමින් ඇතුළට පැමිණි ශාක්‍යා ගන්කන්ද වෙතද ලෙන්ගතු සිනහවක් පා යළි තම ප්‍රධානියා දෙසට හැරුණාය.
” සඳැස්විගේ resignation letter එක සර්..!”
ඈ එලෙස පවසා තම අත තිබූ සුදු පැහැති ලිපි කවරය ඔහු වෙතට දිගු කළාය. එසේ නම් ඔහු අනුමාන කළ ආකාරයට ඈ එම පියවරද තබා ඇත . තමා ඉදිරියේ හිඳ උන් ගන්කන්ද දෙස යටැසින් බැලූ ඔහු ලිපිය ඔහු වෙතට දිගු කළේය.
” මිස් ශාක්‍යා ! මිස් සඳැස්විට එන්න කියන්න. “
ලිපිය පුරා දෙනෙත උඩ පහල යැවූ ගන්කන්ද බැරෑරුම් කටහඬකින් ශාක්‍යා දෙස බලා පැවසූ අතර එය පිළිගත් ශාක්‍යා නැවත කාර්‍ය්ලායෙන් පිටතට ගියාය .
” ගන්කන්ද …!”
” මං බලාගන්නං සර්.. !”
යළිත් වීදුරු ද්වාරය විවර කරමින් පැමිණි ශාක්‍යා පසුපසින් පැමිණි කුඩා යුවතිය ඈ පසුපසම ඈට මුවා වී උවන බිමට බර කරමින් සිටියාය.
” මිස් සඳැස්වි ..! ඇයි හදිස්සියේ අස් වෙන්න හිතුවේ ?”
පැනය ගන්කන්දගෙන් ය. ඔහු ඉදිරියේ උන් ප්‍රධානියා තමා ඉදිරියේ කිසිවක්ම සිදු නොවන ආකාරයට තමා අසල තිබූ ලිපි ගොනුවකට මුහුණ යොමා සිටියේය.
” මට මෙතන දිගටම වැඩ කරගෙන යන්න තරම් හොඳ මානසික මට්ටමක් නෑ මිස්ටර් ගන්කන්ද. “
” එතකොට මෙතනින් අයින්වෙලා මොකද කරන්නේ ?”
” පමුණුවේ රෙදි කඩේක වේකන්සියකට එන්න කිව්වා මිස්ටර් ගන්කන්ද ”
ආයාසයෙන් ලිපි ගොනුවට බර කරමින් උන් පිරිමි උවනේ කෝපාවිශ්ට ගැඹුරු දෑස වෙව්ලන්නට පටන් ගත්තේය. නමුදු එක බැල්මකට හෝ හිස නොඑසවූ ඔහු දිගින් දිගටම එකම ආකාරයකට හිඳ සිටියේය .
” මේ ලියුම නම් හරි මිස් සඳැස්වි . එතකොට පේමන්ට් එක කෑශ් දෙනවද ? චෙක් එකක් විදිහට දෙනවද ?”
” පේ.. පේමන්ට් එක කිව්වේ ?”
හිස ඔසවා ශාක්‍යා දෙස බැලූ සඳැස්වි නැවත ගන්කන්ද දෙස විමතියෙන් බැලුවාය.
” මෙහෙමයි මිස් සඳැස්වි. හෙඩ් ඔෆිස් එකේ වැඩ කරන ස්ටාෆ් එකේ අයගේ හැම තනතුරකටම වටිනාකමක් තියනවා. මිස් සඳැස්විගේ පෝස්ට් එකේ වටිනාකම ලක්ෂ දොළහක්. ම්ම්.. මිස් ශාක්‍යාගේ පෝස්ට් එක බැලුවොත් ඒක ලක්ෂ විස්සක් විතර වෙනවා. තමන්ගේ පෝස්ට් එකේ දිගටම අවුරුදු පහක් හිටියොත් අපි ගිෆ්ට් එකක් විදිහක් අවුරුදු පහ සම්පූර්ණ වෙද්දි ඒ අදාල මුදලෙන් භාගයක් ඒ කෙනාට දෙනවා. අපේ කම්පැණි එකේ හෙඩ් ඔෆිස් එකට විතරක් වෙන් වෙච්ච නීතී රීතී කීපයක් තියනවා. හදිස්සියෙවත් ස්ටාෆ් එකේ කාටහරි අස් වෙන්න ඕන උනොත් මාස හතරකට කලින් ඒ බව ලිඛිතව දැනුම් දෙන්න ඕනේ . එහෙම නැතුව එක පාරටම අස් වෙන්න ඕනෙ නං ඒ කියන්නේ මිස් සඳැස්වි වගේ අදම ලියුම දීලා අදම අස් වෙන්න ඕනෙ නම් අර තමන්ගේ පෝස්ට් එකේ වටිනාකම කම්පැණි එකට ගෙවන්න ඕනේ. ඊටත් පස්සේ අපි ඒ පෝස්ට් එකට වෙන කෙනෙක්ව පත් කරනවා. මං ඒකයි ඇහුවේ කොහොමද පේමන්ට් එක කරන්නේ කියලා ?”
තුෂ්නිම්භූතව ගන්කන්ද දෙස බලා සිටි සඳැස්වි වෙව්ලන අතින් ශාක්‍යාගේ අතක් අල්ලා ගත්තාය .
” ඒ.. එහෙම එකක් ඇග්‍රිමන්ට් එකේ තිබ්බේ නෑනේ..?”
බොහෝ වේලාවකට පසු එළැඹ සිටි සිහියෙන් යුතුව තරුණිය ගන්කන්ද දෙස බලා ප්‍රශ්න කළාය.
” ඇග්‍රිමන්ට් එකේ තිබ්බේ නෑ ? වෙන්න බෑ.. ඒ හැමදේම ඇග්‍රිමන්ට් එකේ පැහැදිලිව තියනවා. “
සඳැස්වි වෙව්ලන දෑසින් යළිත් ශාක්‍යා දෙස බැලුවාය .
” එ.. එහෙම එකක් ඇග්‍රිමන්ට් එකේ තිබ්බේ නෑ මිස්ටර් ගන්කන්ද ”
බොහෝ වේලාවකට පසු මුව විවර කළ ශාක්‍යාද සඳැස්වි වෙනුවෙන් පෙනී සිටි අතර මෙතෙක් වේලා ලිපි ගොනුව මත තිබූ ගැඹුරු දෑස ඈ වෙතට වැටෙණු දුටු ඈ වහා පැවසීමට ගිය අනෙක් කාරණාව ගිල ගත්තාය.
” මිස් සඳැස්විගේ ඇග්‍රිමන්ට් එක එහෙනං අරන් එන්න මිස් ශාක්‍යා. අපි ඒක එහෙනම් බලමු. “
ගන්කන්දගෙන් එකී වචන කිහිපය පිටවූ සැණින් ශාක්‍යා වහා වීදුරු ද්වාරය විවර කරමින් පිටව ගිය අතර කඳුළු පිරි දෑසින් කඳුළු බිඳුවක් රූරා වැටුමට ඉඩ නුදුන් කුඩා යුවතිය තද කර තම තොල්පට සපා ගත්තාය.
” ආ..!”
යළිත් වතාවක් ඇතුළට පැමිණි ශාක්‍යා රැගෙන ආ ලිපි ගොනුව කාර්‍යාල මේසය මත තබා විවර කළ අතර එහි වූ සඳැස්විගේ අත්සන සහිත ගිවිසුමක් අතට ගත් ගන්කන්ද එය සඳැස්වි දෙසට දිගු කළේය.
” මේ.. මේක.. මං.. “
ඈ පුදුමයෙන් යුතුව යළිත් ශාක්‍යා දෙස බැලූ අතර එකී ගිවිසුම් කොළයේ දෑස ඉහල පහල යැවූ ශාක්‍යාද පුදුමයට පත් වී සඳැස්විගේ උවන දෙස බැලුවාය.
” ඔය තියෙන්නේ මිස් සඳැස්විගේ අත්සන නේද ?”
” මගේ අත්සන තමයි. ඒත්.. මේ… “
එතෙක් සිර කර ගෙන සිටි කඳුළු බිඳුව කුඩා යුවතියගේ දෑසින් ගිලිහී කොපුල පුරා රූරා වැටුණු අතර ලිපි ගොනුව දෙස නෙත් යොමා සිටි ප්‍රධානියාගේ අත මිට මෙළවී යන අයුරු ගන්කන්ද යටැසින් දුටුවේය.
” මේක කම්පැණි එකේ හෙඩ් ඔෆිස් එකට විතරක් තියන රූල් එකක් මිස් සඳැස්වි. මොකද RD එකට කවදාවත් ඇඳුන්කම් මත , වෙනත් වෙනත් දේවල් මත සේවකයෝ බඳව ගන්නේ නෑ. තියන හොඳම සුදුසුකම් බලලයි කට්ටියව තෝර ගන්නේ. ඒ නිසා මෙහෙම තීරණ අරන් තියෙන්නේ සෑහෙන්න කාරණා ගොඩක් උඩ. දැනට මේ ලියුම අපි බාරගන්නම් මිස් සඳැස්වි. මාස හතරක් තියනවනේ ඒ වෙනකොට යන්න මීට වඩා හොඳ තැනක් හොයාගන්න මිස් සඳැස්විට කල් තියනවා. “
තව දුරටත් වදනක් හෝ නොපැවසූ ඈ වහාම වීදුරු ද්වාරය හැර ඉන් පිටතට ගිය අතර ශාක්‍යාද යළි හැරී පිටවන්නට සූදානම් වූවාය .
” ශාක්‍යා..!”
මෙතරම් වේලා කාර්‍යාල කාමරය තුළ නිහඬව සිටි ප්‍රධානියා පළමුවරට තම මුව විවර කළේය.
” සර්..!”
” ටිකක් බලන්න..”
පෙර තිබූ මහා ප්‍රතාපවත් ස්වරය ඉන් ගිලිහී ගොස් ඇති බව ශාක්‍යා හට වහා තේරුම් ගියාය.
” ඔෆිස් එකේ ඉද්දි නම් බලන්න පුලුවන් සර්. එතනින් එහාට බලන්න පුලුවන් කමක් මටත් නෑ. “
” ඇයි ගෙදර ?”
” සඳැස්වි දැන් අපේ ගෙදර නෑ සර්. පෙරේදා එයා ඇනෙක්ස් එකෙන් ගියා “
” what ?”
” විසල් කරගත් ගැඹුරු දෑසේ පුදුමය පමණක් නොව කෝපයක්ද පිරුණු අයුරු ශාක්‍යාට මෙන්ම ගන්කන්දටද දැනුණහ .
” දැන්.. දැන් එතකොට කොහෙද ඉන්නේ ?”
” ඒක මම දන්නෑ සර්. “
” මහීල් වත් මට මේ ගැන මුකුත් කිව්වේ නෑ ?”
” මහීල් කියන්න මහීලුත් දැනගන්න එපැයි සර්. මහීල්ටත් ආව ගිය පාරවල් අමතක වෙලා. “
ශාක්‍යාගේ උවනේ පමණක් නොව කටහඬෙහිද බිඳුණු ස්වරයක් රැඳී තිබුණි.
” අන්තිමටම මහීල් එක්ක කතා කරපු දවසේ රෑ සඳැස්වි ෆේන්ට් උනා. ඒ ගැන කියන්න මං මහීල්ට කතා කළා. එදත් මහීල් ෆෝන් ආන්සර් කළේ නෑ. දවස් දෙකක් කෙල්ලව හොස්පිට්ල් ඇඩ්මිට් කරලා හිටියා සර්. කාත් කවුරුවත් නැති අසරණ කෙල්ලෙක් සර් ඒ. පෙරේදා උදෙයි ඩිස්චාර්ජ් වෙලා ගෙදර ආවේ. එදාම හවසයි ඇනෙක්ස් එකෙන් ගියේ . පේමන්ට් එකත් ඔක්කොම ගෙවලා තිබ්බ එකේ කොච්චර ඉන්න කිව්වත් හිටියේ නෑ. අනුන්ගේ සල්ලි රුපියලක්වත් එපා කිව්වා. මොනා කරන්නද සර්. ගෑනු අපි කොයි තැනදිත් අසරණ වෙනවනේ.. ”
එසේ පැවසූ ශාක්‍යා මේසය මත තිබූ ලිපි ගොනුව රැගෙන යළි පිටතට අඩි තැබූ අතර මිට මොළවා ගත් අතින් දැඩි පහරක් මේසයට එල්ල කළ ප්‍රධානියා දෙස ගන්කන්ද අනුකම්පා සහගත බැල්මක් හෙළුවේය.
” ඇයි මේ කෙල්ල මෙච්චර හිතුවක්කාර ? නිකමට හිතිලා ඔය ඇග්‍රිමන්ට් එක ආයේ හැදුවේ නැත්තන් මේ වෙද්දි රස්සාවත් දාලා ගිහිල්ලා. “
පිළිතුරක් බලාපොරොත්තු නොවූවද ඔහුගේ මුවින් නොදැනුවත්වම එකී වදන් පිට වුණේය .
” යකාට හරියන්නේ යස්සනියක්ම තමයි ඉතිං. නැත්තන් මෙහෙම ඉහ ගහන් ඉඳීයෑ.. “
කිසිවිටක ප්‍රධානියා හමුවේ එවැන්නක් මුවින් පිට නොකළද යටි සිතින් තනිවම එසේ සිතූ ගන්කන්ද මුවට ආ සිනහවද යළි ගිල ගත්තේය.
” මේ කෙල්ල දැන් ඉන්නේ කොහෙද කියලා හොයලා බලන්න ගන්කන්ද. “
” හොඳයි සර්.. “


