” ශාක්‍යා..! ශාක්‍යා..! “
මුළුතැන්ගෙහි සිටි ශාක්‍යා ඉදිරිපස ගෙමිදුලේ නතර කළ මෝටර් රථයේ හඬද , ආලින්දයෙන් ඇසුණු කටහඬද හඳුනාගත්තද වෙනදාට ඉදිරියට දිව යන කෙළිලොල් තරුණියව තමා තුළම වළදමා සිටියාය.
” මොකද අනේ..? මෙච්චර කතා කළා ඇහුන්නැද්ද ?”
අතින් අල්ලා තමා දෙසට ඇද ගත් ප්‍රේමවන්තයාගේ අත දමා ගැසූ ඈ කරාමය හැර විදුලි කේතලයට ජලය පිරෙව්වාය.
” ඇයි මතක් වෙලා ? ආ.. ? දවස් හත අටක්ම කෝල් එකක්වත් ආන්සර් නොකර හිටියේ . ඒ විදිහටම හිටියානං ඉවරනේ ?”
” හරි..හරි.. අනේ.. සිද්ධ වෙච්ච දේවල් එක්ක එන්න පුලුවන් කමක් තිබ්බේ නෑනේ. “
” ඔව් ඉතිං එකට කාපු යාළුවා කරපු බොරු වලට උත්තර බඳින්න වෙයි කියලා බය උනානේ ? මහ ලොකුවට වචනයක් දුන්නොත් දුන්නා , තීරණයක් ගත්තොත් ගත්තා කියපු කෙනා ඔය පෙන්නුවේ තමන්ගේ දිව දෙකේ තරම. “
විදුලි කේතලයේ ස්විචය ක්‍රියා කළ ඈ කේන්තියෙන්ම කබඩයෙන් ගත් කෝප්ප කිහිපයක් සෝදන්නට පටන් ගත්තාය.
” හරි හරි.. දැන් ඇති. ඌ ගත්තේ ගන්න ඕන හොඳම තීරණේ. එච්චරයි. “
” හොඳම තීරණේ ? මයි ෆුට්. හොඳම තීරණේ.. ඒ අහිංසක කෙල්ලෙක් මහීල් . කොහොමද ඔහොම ඒ කෙල්ලගේ ජීවිතේ එක්ක ඒ මනුස්සයා මේ විදිහට සෙල්ලං කරන්නේ ? එදා උත්පලා මැඩම් එක්ක රණ්ඩුවක් දාගෙන ඔෆිස් එකෙන් ගිය දා ඉඳන් අර අතන තියන බුදු පිළිමේ ලඟ හැමදාම පැය ගාණක් අඬා වැළපි වැළපි සර් ගැන තොරතුරක් ලැබෙන්න කිය කිය ඉල්ලුවා. බත් ඇටයක් කන්න ,වතුර උගුරක් බොන්න මතකයක නෙමෙයි හිටියේ. මං දන්නවා මහීල් ඒ කෙල්ල මෙතන ඉඳන් විඳවපු විඳවිල්ල. දවසක් දෙකක් ආස්‍රය කරලා අතෑරලා දාන්න නං කෙල්ලෙක් හෙව්වේ අර ඔයාලා යන ක්ලබ් වල ඔහොම උන් ඕන තරං ඉන්නේ. ඒ එකියක් හොයාගන්න තිබ්බනේ ? ඇයි මේ අසරණීටම එහෙම කළේ ? ඕවා මහ පව් සිද්ධ වෙන වැඩ මහීල්. ඒ කෙල්ල පව්. සර් ගැන කිය කිය මෙතන කොච්චර අඬා වැළපුණාද කියලා මමනේ දන්නේ “
ශාක්‍යා නෙතින් ගලා ගිය කඳුලක් පිසදා සුරුස් හඬින් නාසය ඉහලට ඇද්දාය .
” මොකද්ද අර සඳැස්වි හොස්පිට්ල් හිටියා කියන කාරණේ එතකොට ?”
විසල් කරගත් නෙතින් මහීල් දෙස බැලූ ශාක්‍යා නැවතත් ඔරවා ඉවත බලා ගත්තාය.
” අහ්.. ලොක්කා එවන්නැත්තේ ඒ විස්තරේ අහන් යන්න වෙන්නැති . ඔයාට කොච්චර කෝල් ගත්තත් ආන්සර් නොකරන නිසා එදා ඒ කෙල්ලට මගේ ෆෝන් එකෙන් කෝල් එක අරන් දුන්නේ මම. සර් ඉන්නේ ඔයා එක්ක කියලා දැනන් හිටියානං මං ඒකවත් කරන්නෑ. හරි ලේසියෙන් වෙච්ච ඒවා අමතක කරලා පාඩුවේ ඉන්න දෙන්න කියලා කිව්වලුනේ. ඒක අහපු හැටියේ කෙල්ලට මෙතන කලන්තේ දැම්මා. අර ඉස්සරහා ගෙදර ආන්ටියි , අන්කලුයි එක්ක එකතු වෙලායි මං එවෙලේ ඒ කෙල්ලව හොස්පිට්ල් අරන් ගියේ. ඒක ගැන කියන්නත් කෝල් කීයක් නං ගත්තද ? ඔයා ඒවාවත් ආන්සර් කළේ නෑ. දවස් දෙකක් ඒ කාත් කවුරුවත් නැතිව ඒ අසරණී හොස්පිට්ල් එකේ හිටියා. වතුර උගුරක් බිව්වේ නෑ. අන්තිමට නොකා නොබී හිටියොත් ගෙදරට කතා කරලා අම්මට විස්තරේ කියනවා කිව්වම ඒ බයටයි කන්න පටන් ගත්තේ. කොහොමහරි කෙල්ල මෙහෙන් ගියා කියන එක කිව්වා විතරයි ඔයාටත් මෙහෙ එන්න මතක් උනා ? “
විසිල් හඬකින් උතුරන විදුලි කේතලයේ ස්විචය වසා දැමූ ඈ එය තේ ගොටුවට වත් කළාය.
” අතෑරියානං ඒ කෙල්ලව අතෑරලාම දාන්න ඕනේ. පාඩුවෙ යන්න දෙන්න ඕනේ. යන්තං හිත හදාගෙන resignation එක දෙන්න ගියාමත් ඒකටත් කොහේවත් තිබ්බෙ නැති ඇග්‍රිමන්ට් එකක් පටළවලා ඒ කෙල්ලව තවත් හිර කෙරුවා. ඔයා දන්නවද හෙටානිද්දා දිහා ඉඳන් මිස් ෂෙනාර්‍යා ඔෆිස් එනවා. දිනේන්ද්‍ර සර් ඒක ඇපෲ කරලා තියෙන්නේ. දැන් ඉතිං දෙන්නට තවත් අර අසරණීට පේන්න ඔෆිස් එක ඇතුළේ ඉඳන් මඟුල් නටන්න බැරියෑ.. මේවට ඔයත් වග කියන්න ඕනේ මහීල්. ඕගොල්ලන්ට මේවට දෙන්න උත්තර නෑ. ඒකනේ මෙච්චර කල් ඔයත් මේ හැමදේම මඟෑරලා හිටියේ . ලැජ්ජයි මහීල්. ඔයාලා පිරිමිද ?
” මට ඇනෙක්ස් එකේ කී එක ගන්න පුලුවන්ද ශාක්‍යා ?”
ශාක්‍යා තිගැස්සී මුළුතැන්ගෙහි දොර දෙස බැලුවාය . මෙතෙක් වේලා එහි පසෙක සිට තමා පැවසූ සියල්ලම අසා සිටි දේහදාරී තරුණයාගේ උවන බොහෝ සෙයින් අඳුරු වී ගොසින්ය. මොහොතක් ඔහු දෙස බලා සිටි ඈ යළිත් හැරී මහීල් දෙස බැලුවද ඔහුද ජනේලයෙන් පෙනෙන ගෙමිදුල දෙස බලා සිටියා විනා කිසිවක් පිළිතුරු නොබැන්ඳේය.
නිහඬවම ආලින්දය දෙසට ඇවිද ගිය ඈ කබඩයක් තුළ තිබූ කුඩා උඩු මහලේ යතුර ගෙනැවිත් තරුණයා හට දිගු කළාය.
” සර් අවුරුදු දෙකකම රෙන්ට් එක දාලා තිබුණට දැන් ඇනෙක්ස් එක හිස් නිසා මං ඒ පේමන්ට් එක ආයේ රිටර්න් කරන්නං සර්. “
” අවශ්‍ය නෑ. පුළුවන් වෙලාවට මට ඇවිල්ලා ඉන්න ඉඩක් තිබුණනං ඇති. “
එසේ පැවසූ ඔහු ආලින්දයෙන් නික්ම ගොස් ඉදිරිපස තරප්පු පෙළ නඟින්නට පටන් ගත්තේය. පුදුම වූ මුහුණින් ඈ මහීල් දෙස බැලුවද කිසිදු හැඟීමක් නොමැති හිස් බැල්මකින් ඔහු විසල් සුසුමක් අත හැරියේය.
**************************************
” සඳා..! ආ.. මේ කොච්චි සම්බෝලේ නම් සැරයි හොඳේ “
” සයුල් ..! ප්ලේන්ටියක් බොමුද ?”
” ආහ් .. මේක මාර රහයි බං “
” අනේ.. ඇන්ටි තව පරිප්පු වඩේ හතරක් දෙන්න. “
තදාසන්න මාර්ගයේ පදික වේදිකාවේ තිබූ කුඩා පෙට්ටි කඩයක් අසල කඩචෝරු කමින් උන් විශ්ව විද්‍යාල සිසු සිසුවියන් පිරිස දැක මාර්ගයේ අනෙක් පස ගමන් කළ සුඛෝපභෝගී මෝටර් රථයක් පසෙකට වී තම ගමන නතර කළේය. මඳ වේලාවකින් මෝටර් රථය තුළින් දුරකතන ඇමතුමක් ලබා ගත් අතර එහි නැවතුම වූයේ කුඩා යුවතියගේ ගමන් මල්ලෙන්ය.
” හෙලෝ..!”
” මොනාද අප්පේ ඔය රස කර කර කන්නේ ?”
” ආ…?”
” හරි ෂෝක්.. මාව මතක නෑ නේද දැන් ? ඒයි මේ.. පාරෙන් අනිත් පැත්ත බලන්නකෝ. “
තරුණිය වහ වහා ඇමතුමට අනුව මාර්ගයේ අනෙක් පස වෙත දෑස යොමු කළාය. සුඛෝපභෝගී මෝටර් රථයේ ඉදිරිපස වීදුරු තිරය පහත් කළ පහන්‍යා වහා තරුණිය වෙතට තම අත වැනුවාය.
” දෙයියනේ මැඩම් ! උණු උණු වඩේ තියනවා ගෙනත් දෙන්නද ? හරි රහයි. “
” හා..”
සුළු මොහොතක් ගත වන විට පොලිතින් උරයක දැමූ කඩදාසි මල්ලක්ද අතැතිව මාර්ගයේ මෙහා පස සිට අනෙක් පසට පාර පැන දිව ගිය තරුණිය සිනා මුසු මුහුණින් පහන්‍යා වෙත වඩේ මල්ල දිගු කළාය.
” පරිප්පු වඩෙයි , ඉස්සෝ වඩෙයි දෙකම තියනවා. “
” පින් සිද්ධ වෙනවා රත්තරං “
පහන්‍යා එසේ පවසමින් රියදුරු අසුනේ සිටි පුද්ගලයා දෙසට හැරුණු අතර ක්ෂණිකව ඔහු දුටු මෝටර් රථයෙන් පිට සිටි තරුණියගේ සිනහව අතුරුදහන් වී ගියේය.
” ඔයාට ඕනෙද ?”
ඉල්ලිපී ගොස් තිබූ නහර මතින් තද කර අල්ලා ගත් සුක්කානමට උඩින් මාර්ගය දෙස බලා සිටි ඔහු වැඩිමල් සොයුරිය දෙස නොබලාම එපා යැයි සන් කරමින් හිස දෙපසට සැලුවේය. බැල්මක් හෝ නොහෙළා ඉවත බලා සිටින සොහොයුරා දෙසත් මෝටර් රථයෙන් පිටත සිට අඳුරු කරගත් මුවින් බිම බලා හිඳින තරුණිය දෙසත් මාරුවෙන් මාරුවට බැලූ පහන්‍යා වේගයෙන් ඇසි පිය සැලුවාය.
” ඔය දෙන්නා තරහා වෙලාද ? “
සිදු වී තිබූ එකදු සිදුවීමක දිගක් පළලක් හරි හැටි නොදත් පහන්‍යා නැවත දෙදෙනා දෙසටම හිස හරවමින් ඇසුවාය.
” මැඩම් මේ කොහේ යන ගමන්ද ?”
පහන්‍යා ඇසූ පැනයට පිළිතුරු දෙනු වෙනුවට යුවතිය අතුරු පැනයක් නැඟුවාය.
” ඩොක්ටර් ලඟට ගියා සඳැස්වි. හස්බන්ඩ් මේ ටිකේ මෙහෙ නෑ. මේ දවස්වල එයා චයිනා ගිහිල්ලා. ඔයා මේ ලෙක්චර්ස් ඉවර වෙලා යන ගමන්ද ?”
” නෑ මැඩම්. අද අපිට උඩ බැච් එකක cultural night එකක් තියනවා නෙලුම් පොකුණේ. හයට පටන් ගන්නේ .”
” ඉවර වෙන්න රෑ වෙයිනේ ?”
” ඔව්.. දහය විතර වෙයි. “
” එතකොට යන්නේ කොහොමද ?”
” යාලුවොත් එක්ක යන්න පුලුවන් මැඩම්. “
” හ්ම්ම්.. සඳැස්වි මේ අහන්නකෝ ඔයාගේ පොළොස් එකේ රහ මතක් වෙනවා අනේ සැරින් සැරේට. මං අපේ ගෙදර උයන චිත්‍රාට කියලත් මේ ලඟදි දවසක පොළොස් ගෙඩියක් උයව ගත්තා. අනේ ඒක ඒ උනාට ඔයා උයපු එක තරම් රහ නෑ. “
” මං මැඩම්ට පොළොස් ගෙඩියක් උයලා එවන්නම්. “
” අනේ.. එපා එපා.. මං කියන්නද ඔයා නිවාඩු දවසක මගේ ගෙදර එන්නකෝ. මේ දවස්වල මං විතරයි ගෙදර ඉන්නේ. “
” පෝය දවසට වගේ බලමු මැඩම්. මට එදාට නිවාඩු “
” හා.. ”
පහන්‍යාගේ දෑස දිළිසුණු අතර එකී දෑසේ ප්‍රීතිය යුවතියට හොඳින් දැනුණාය.
” දවසම ඉන්න බලාගෙන එන්න. මුකුත් අරන් එන්නෙපා. ඇඳුමක් වත් අරන් එන්නෙපා. මං ලඟ ඕන තරම් ඇඳුම් තියනවා. “
යුවතිය හිස සලා එයට එකඟ වූවාය.
” ගිහින් එන්නං කෙල්ල. “
” පරිස්සමින් මැඩම්. ආ.. මැඩම්.. ! ඔය බෑග් එකේ කොච්චි සම්බෝලයක් ඇති වෙනම. ඒක ටිකක් සැර වැඩියි. කද්දි බලාගෙන කන්න. “
කතාව අවසානයේ ඇගේ හඬ බොහෝ පහත වැටුණු අතර සුක්කානම මත තිබූ අත තව දුරටත් එයට තදවී එහි ඇති නහර තවත් ඉලිප්පී ගියේය.


