ඔලියැන්ඩර් – 41

0
3801
oleander Flower

” ස්.. ස.. සයුල් තමුන්ට පිස්සු. හොඳටම පිස්සු. “

වෙව්ලන දෙතොලින් කණගාටුව සේම කෝපය පිරී ඉතිරී ගිය හඬක් නැඟෙන්නට විය. වේගයෙන් සුසුම් ළමින් සඳැස්වි දෙස බලා උන් තරුණයා විමර්ෂා දෙසටත් තත්පර කිහිපයකට දෑස හරවා වේගයෙන් කොන්ක්‍රීට් මාර්ගයේ ඇවිද ගියේය. 

අත රැඳිව තිබූ බෑගය පසෙක ලූ කුඩා යුවතිය නැවතත් ගල් බංකුව වෙතට බර වූවාය .

” පිස්සෙක්..” 

තවත් තත්පර කිහිපයක් නිහඬවම සිටි ඈ යළිත් කෝපාවිශ්ට දෑසින් විමර්ෂා දෙස බලා එසේ පවසා මුව ඇද කළාය. 

” කවුද ?” 

විමර්ෂාගේ පැනය හමුවේ යළිත් හිස හරවා ඈ දෙස බැලූ යුවතිය සයුල් ගිය මඟ දෙස බැලුවාය. 

” අර ගොං වස්සා. ඌ පිස්සෙක් කියලා කිව්වේ. “

” සඳා..! ඒ කතාවේ පිළිගන්න අමාරු තැනක් නෑ බං “

එවර කෝපාවිශ්ට දෑස තිගැස්සී ගිය අතර වහා වික්ශිප්ත වූ මුහුණම යෙහෙළිය දෙසර හැරිණි. 

” මොකද්ද කිව්වේ ? අර මෝඩයා බූරුවෙක් වගේ තප්පුලපු කතාව ඇත්ත කියලද කියන්නේ? ඔයත් මෙච්චරම මෝඩද විමර්ෂා ? ඔය කියන තරම් අපරාධ RD එකේ වෙනවානං ඇයි මෙච්චර කල් ඒ මිනිස්සු කිසිම කරදරයක් නැතුව ඒ කම්පැණි එක තාමත් කරන්නේ ? අනික.. අනික.. මොකද්ද අර මිනිහා අර කියලා ගියේ ?  එයාගේ අයියාට අන්තිමට කෝල් කරලා තියෙන්නේ සර් ද? එහෙනං ඉතිං ඒක එයාට පුලුවන්නේ ගිහින් පොලීසියට කියන්න ? ඇයි ඒක නොකළේ ? අනික ඒක කොහොමද සයුල් දන්නේ ? “

” සඳා..! සඳා..! කලබල නොවී මං කියන එක අහපන්කෝ.. “

සඳැස්වි අසලින්ම ගල් බංකුවට බර වූ විමර්ෂා යළිත් ඇගේ අතකින් අල්ලා ගත්තාය. 

” සයුල්ගේ අයියගේ ෆෝන් එකෙන් අන්තිමට කතා කරලා තියෙන්නේ උඹලගේ සර්ට කියන එක සයුල්ට කියලා තියෙන්නෙත් පොලීසියෙන් තමයි බං ” 

විසල් වූ ස්ත්‍රී දෑසේ පුදුමයත් කලබලයත් දරා ගත නොහැකි වූ විමර්ෂා දෑස බිමට බර කර ගත්තාය.

” සයුල්ගේ අයියගේ ෆෝන් රෙකෝඩ්ස් චෙක් කළාම සයුල්ගේ අයියා අන්තිමටම කතා කරලා තියෙන්නේ සියත්‍ර රන්දෙණිගලට කියලා පොලීසියෙන් හොයාගෙන තියනවා. ඊට පස්සේ ප්‍රශ්න කිරීමකුත් කරලා තියනවා බං. මේවා වෙලා තියෙන්නේ උඹ දවස් දෙකක් හොස්පිට්ල් හිටපු වෙලාවේ.  ඒ නිසයි මේ කිසිම දෙයක් උඹට ආරංචි වෙන්න නුදුන්නේ . සියත්‍ර රන්දෙණිගල කියන්නේ VIP කෙනෙක්. එයාගෙන් උනත් එහෙම ආවට ගියාට කිසිම දේකට ප්‍රශ්න කරන්න බෑ. අපේ රටේ හැටි එහෙම තමයි. පොලීසියෙන් RD ඔෆිස් එකට ගිහිල්ලා ඒ ගැන අහන්න . ඒ වෙලේ එයා එදා සයුල්ගේ අයියා එක්ක කතා කරපු දේවල් පවා වොයිස් රෙකෝඩ් එකක් විදිහට පොලීසියට දීලා.

 ඒකේ තියන විදිහට සයුල්ගේ අයියා සියත්‍ර රන්දෙණිගලව සම්බන්ධ කරල දෙන්න කියලා තියෙන්නේ ෆැක්ට්‍රි එකෙයි , කම්පැණි එකෙයි දෙකටම සම්බන්ධ පරණ සේවකයෙක්ටලු. ඒ මනුස්සයාත් සයුල්ගේ අයියට උදව් කිරීමක් කියලා සියත්‍රව කන්‍ටැක් කරලා දීලා තියනවා. ඒ මනුස්සයගෙනුත් පොලීසිය කට උත්තර අරන්. සියත්‍ර රන්දෙණිගල පොලීසියට දීපු කට උත්තර වලට අනුව සයුල්ගේ අයියා දිගටම කියලා තියනවලු සර්…! මට ඔයාට දෙන්න දෙයක් තියනවා කියලා. සයුල්ගේ අයියා මැරිච්ච දවසේ රෑ සියත්‍රට එක තැනකට එන්න කියලා තිබ්බය කියලා තියෙනවා. සියත්‍ර රන්දෙණිගලත් එතනට ගිහින් සයුල්ගේ අයියව මීට් වෙන්න. ඒත් සයුල්ගේ අයියා කියපු විදිහට කියපු තැනට ඇවිත් නෑ. ඊට පස්සේ සියත්‍ර ආපහු ඇවිල්ලා. කියන විදිහට ඒ දෙන්නා මුණගැහිලා නෑ. ” 

වේගයෙන් සුසුම් ළමින් විමර්ෂාගේ කතාව අසා සිටි සඳැස්වි අවසානයේ ඈ වෙතද රැවුමක් පා කළාය. 

” වොයිස් කට් වල තියනවද සර්ට එන්න කිව්වේ සයුල්ගේ අයියා කියන එක.? “

” ඔව්. “

” එයා එන්න කියපු තැනට ගිහිල්ලා , ඒත් සයුල්ගේ අයියාව මුණ ගැහිලා නෑ ?” 

” නෑ “

” මුණ ගැහෙන්න එන්න කියලා අඬ ගහලා තියෙන්නෙත් සයුල්ගේ අයියා ?” 

” ඔව් බං ඔව්. “

” එහෙනං මොන කෙහෙල්මලකටද අර බූරුවා උගේ අයියාව මැරුවේ සර් කියලා කියන්නේ ?  ඌට පිස්සුද ?” 

විමර්ෂා මොහොතක් මිතුරිය දෙස බලා සිටියාය.

” මං කියන දේ හොඳට අහගනින් සඳා. රන්දෙණිගලලා කියන්නේ සයුල්ගේ අයියාගේ මර්ඩර් එකට සම්බන්ධ අය නම් උන් සයුල්ගේ අයියව ආයෙ උපද්දලා හරි ඒ වැරදි වලින් ගැලවෙන්න පුලුවන් තරමේ හයියක් , බලයක් තියන මිනිස්සු. උඹලා අපි වගේ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි ඒ. අපි උඹලා පොලීසියකට ගියත් බල්ලෝ බළල්ලුන්ට වගේ සළකන මේ රටේ පොලීසිය රන්දෙණිගලලා ඇති කරන බල්ලෝ බළල්ලුන්ටත් වැඳ ගෙන යනවා. අනික අර අපේ කැම්පස් එකේ ළමයෙක් නැති උනු සිද්ධියෙදි ඔය RD එකේම වැඩ කරන මනුස්සයෙක් ඇවිත් ඒ ගැන විස්තර හොයලා තියනවා. ඊට දවස් කීපෙකට පස්සේ ඒ මනුස්සයත් මැරිලා. ඔය ගැන තොරතුරු ඕනෙනං සයුල්ගෙන් අහගනින් . අනික තව කාරණයක් තියනවා. “

විමර්ෂා අවසාන වාක්‍ය පවසා මඳක් නිහඬව යළිත් මිතුරියගෙ උවන දෙස බැලුවාය. 

” සියත්‍ර රන්දෙණිගල කසාද බඳින්න යන්නේ දේවනාරායන ඇමතිගේ දුවෙක් කියලා කටකතාවක් තියනවා. නිකමට හරි ඒක උනොත් මේ රටේ කිසිම කෙනෙක්ට ආයේ හොල්ලන්න බැරි පවුල් දෙකක් වෙනවා ඒදෙගොල්ලෝ. දෙගොල්ලන්ටම ලැබෙන්න ඕනේ දේශපාලන බලය වගේම අනිත් හැමදේම නිකන්ම ලැබෙනවා. එහෙම උනොත් ඊලඟ RD Ceo විදිහට එන්න ඉන්න සියත්‍ර රන්දෙණිගල රටේ බලවත්ම සල්ලිකාරයෝ දෙතුන් දෙනා අතරට එනවා. එදාට මෙහෙම නෙමෙයි කිසිම විදිහකින් අපිට මිනිහව අල්ල ගන්න බැරි වෙනවා. “

” මං යනවා. “

සඳැස්වි යළිත් අත් බෑගය ගෙන හිඳ උන් බංකුවෙන් නැඟී සිටියාය.

” සඳා..!” 

අඩි දෙක තුනක් ගිය සඳැස්වි නැවතත් හැරී විමර්ෂා දෙස බැලුවාය.

” මට හරි දුකයි උඹ ගැන. දැන්වත් ඔය ඉන්නේ බොරුවෙන් එළියට වරෙන් බං. ඌ හොඳ එකෙක් නෙමෙයි . වෙන මුකුත්ම ඕන්නෑ. ඌ උඹට කරපු වැඩේම සාධාරණයිද කියහන් ? අච්චර දුර ගමක ඉඳන් ඇවිල්ලා විඳින්න පුලුවන් දුක් ඔක්කොම විඳගෙන ජීවිතේ ගොඩ දාගන්න හදද්දී ඌ උඹට කරපු දේවල් සාධාරණයිද ? මං උඹට කිව්වා කොළඹ සල්ලිකාරයින්ව ඔච්චර විශ්වාස කරන්නෙපා කියලා. උඹ ඇහුවේ නෑ. උඹට ඌට වඩා කෙනෙක් හිටියේ නෑ. අන්තිමට ඌ උඹව පාවිච්චි කරලා , පාවිච්චි කරලා අතෑරලා දැම්මා. තවත් ඌව සුද්ද කරන්නෙපා බං. සෝප් ඩ්‍රාමා වල වගේ ඌ මාළිඟාව අතෑරලා උඹ එක්ක ඉන්න එන්නෑ. ඌ අනිවාර්‍යෙන් අර දේවනාරායනගේ දුවව බඳිනවා. උගේ ටාගට් එක ඒක. උගේ විතරක් නෙමෙයි මුළු RD එකේම ටාගට් එක ඒක. දැන්වත් ඇත්තට මූණ දීපන් බං. “

පොඩි වී ගිය හිස් කඩදාසියක් මෙන් වූ මිතුරියගේ මුහුණ දෙස දොම්නස් සහගත බැල්මක් හෙළා විමර්ෂා පැවසූ කිසිවකට පිළිතුරු බැඳීමට නොගිය සඳැස්වි නිහඬවම යළිත් ආපසු හැරුණාය. 

අඩියෙන් අඩිය තබමින් බොහෝ සේ විසල් බරක් දරා ගත් බිඳී ගිය හදවතින් ‍යුතුව ඇවිද ආ තරුණිය විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරී ගොඩනැගිල්ල අසල ඇති කුඩා බංකුවට යළිත් බර වූවාය. තව දුරටත් අඩිය ඔසවා අඩියක් තැබීමට නොහැකිව වෙව්ලන දෙපය තව දුරටත් ඇගේ සිරුර දරාගත නොහැකි බව දැනුම් දෙමින් තිබුණේය. මහා විසල් යෝධයින් මෙන් නැඟී සිටිනා කුමාරතුංග මුණිදාස මාවතේ මාර ගස් පෙළද එබී එබී බලනා හිරුව ආවරණය කොට , එකී හිරු එළිය පොළොවට පතිත වීම වළක්වා ළමින් අඳුරු සහ මළානික වටපිටාවක් නිර්මාණය කිරීමට උත්සාහ දරමින් සිටියේය.

” පපුව රිදෙනවා දෙයියනේ.. ! මං දන්නවා.. මං දන්නවා.. මං දැක්කේ හීනයක් විතරයි කියන්න මං දන්නවා. ඒත්.. එක තත්පරේකටවත් ඔය හිතේ ආදරයක් ඇති උනේ නෑ කියලා කියන කතාව මට විශ්වාස කරගන්න බෑ. ඔයාට තේරෙනවද මං කියන දේ ? මේ අහන දකින දේවල් කොච්චර නරක දේවල් උනත් මට ඒවට ඔයාව වැරදිකාරයෙක් කරන්න බෑ. මට එහෙම දැනෙන්නෑ. මට මැරෙන්න හිතෙනවා දෙයියනේ.. ඒත්.. අම්මගෙයි , චූටිගෙයි මූණු මතක් වෙද්දි මට ඒකවත් කරගන්න හයියක් නෑ. ඔයා.. ඔයා.. කොහොමද ඔහොම.. ?  අනේ.. ඇයි…? “

දෑසින් රූරා වැටෙන කඳුළු තොල්පට පැළී වෙන්වී යන තරටම සපා ගනිමින් වළක්වා ගන්නට උත්සාහ කළද ඒ සියළු උත්සාහයන් ව්‍යර්ථ කරමින් ගලා යන කඳුළු ගඟ දිගින් දිගටම පිස ළූ ඈ උකුළ මත ඇති බෑගයද තදින් අල්ලා ගනිමින් මුහුණ බිමට බර කර ගත්තාය. 

කොල්ලුපිටිය දෙස සිට පැමිණ තුම්මුල්ල කරා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයේ වම් පස නතර කර තිබූ අතර එහි වූ ගැඹුරු දෑසක් එක දිගට විශ්ව විද්‍යාල භූමියේ යකඩ වැටට ඔබ්බෙන් හිඳ වරින් වර වෙව්ලන උරහිසින්ද , පිසළන කඳුළු මතින්ද ඈ සිටින්නේ හඬමින් බව දකිමින් සිටියේය. 

” ලඟට එනවා සඳ. ලඟට ඇවිල්ලා මගෙන් අහනවා ඇයි මාව අතෑරියේ කියලා. ලඟට ඇවිල්ලා මට බනිනවා. එපා කියපු සැණින් අතෑරලා දාලා , කිසිම දෙයක් අහන්නැතුව , මගෙන් කිසිම දෙයක් ගැන ප්‍රශ්න කරන්නැතුව , ඔහොම තනියම විඳවන්නේ නැතුව මං ලඟට ඇවිල්ලා ඔය හිතේ තියන දුකයි , තරහයි දිය වෙලා යනකන් මට බනිනවා. මට ගහනවා. මං තරහා වෙන්නෑ. ඒත්.. මෙහෙම දරා ගන්න බැරි විදිහට හූල්ල හූල්ල ඉන්නකොට මං කොහොමද හුස්මක් කටක් ගන්නේ කියලා කියනවකෝ. මට .. මට ඔයාව ඕනේ සඳ. මට ජීවත් වෙන්න තේරෙන්නෑ මැණික. එක පාරක් ලඟට ඇවිල්ලා මට නිදාගන්න ඕනේ සඳ. ඒ අන්තිම නින්ද උනත් කමක් නෑ. ඔයාට මාව ඇහෙනවද සඳ..?” 

 ඇතුළත සිට හූල්ලන ඇයත් , පිටත සිට හූල්ලන ඔහුත් අතර ලෝක ද්විත්වය මැද මහා පරතරයක් නිර්මණය කළා සේ ආඩම්බරයෙන් විශ්ව විද්‍යාල මායිමේ යකඩ වැට නොසෙල්වී සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here