” අපේ පැති වල නම් බඩ දරු අම්මලට කෙහෙල් මුව කන්න දෙන්නෑ.. “
සිහින් තීරු තීරු වලට ලියැවුණු කෙහෙල්මුව තීරු ලුණු සහ කහ වතුරට දමමින් චිත්‍රා හිස නොඔසවාම පැවසුවාය .
” ඇයි කෙහෙල්මුව අඟුණද ?”
” නෑ.. මැඩම්. ඒක ඇවිත් තියෙන්නේ මේ පොඩි ජන කවියක් නිසා. “
” ඒ මොකද්ද සඳැස්වි ?”
” සව් සරා සසිරි මුදුනේ වැඩෙන කල
නැව් පුරා රුවල් සුළගට වැනෙන කල
ගව් ගණන් ගොසින් මහතුන් දකින කල
මව් මරා උපන් කුමරා කෙහෙල් මල
අහලා නැද්ද එහෙම එකක් ?”
පහන්‍යාගේ විසල් වුණු දෑස දෙස බලා මඳ සිනහවක් පෑ සඳැස්වි එසේ ඇසුවාය.
“ඔය කවිය නං අහලා තියනවා. ඒත්.. ඒක කොහොමද මේ කතාවට සම්බන්ධ වෙන්නේ ?”
” කෙහෙල් ගහක කැනක් පීදුණාට පස්සේ ගහ මැරෙනවානේ මැඩම්. ඉතිං ඉස්සර ගම් වල මිනිස්සු කිව්වේ අම්මාව මරාගෙන ඉපදුණා කියලා. ඔන්න ඔය නිසයි කෙහෙල් මුව බඩ දරු අම්මලට කන්න නොදෙන්නේ. නැතුව අගුණෙකට නෙමෙයි. “
” අහ්.. ! ඒක මිසක් . මං බය උනා. “
” ඒ කියන්නේ ඇත්තටම කෙහෙල් මුවේ අගුණයක් නැද්ද නෝනේ. ?”
චිත්‍රා ඇසූ පැනයටද හිස සලා නැත යැයි පැවසූ සඳැස්වි යළි පහන්‍යා දෙස බැලුවාය.
” අපි මේක air fire දාලා ගමු අක්කා. ඔක්කොම දේවල් තෙලෙන් නොබැඳ air fire දාලා ගමු. නැත්තන් මේකයි , ලූණුයි , හාල්මැස්සෝ ටිකයි , කජුයි , අමු මිරිස් ටිකයි ඔක්කොම තෙලෙන් බඳින්න එපැයි. මෙහෙම බැඳලා අරන් පස්සේ කෑලි මිරිසුයි, ලුනුයි , සියඹලයි , සීනියි දාලා ගමු “
” ඔයාගේ කැමැත්තක් “
” නෝනේ හදන්න ඕන විදිහ කියන්න මං හදන්නං “
” ඔච්චරයි නැන්දේ. ඔය ටික කපලා බැඳලා අරන් පස්සේ ඔක්කොම මික්ස් කරමු. බය නැතුව දවස් ගාණක් තියන් කන්න පුලුවන් . “
යළිත් වතාවක් මඳ සිනහවක් නැඟූ පහන්‍යා මුළුතැන්ගෙයින් නික්ම විත් තම ජංගම දුරකතනය අතට ගත්තාය.
” හෙලෝ.. මල්ලි ! කොහෙද ඉන්නේ ?”
” ඔෆිස් එකේ. “
” ඔයාට පොඩ්ඩක් ඇවිල්ලා යන්න බැරිද ? ”
” ඇයි මොකද්ද අවුල ?”
” මගේ ඇඟට ටිකක් හරි නෑ වගේ. “
” ඩොක්ටර් ලඟට යන්න වෙයිද ?”
” නෑ.. නෑ.. ඕන්නෑ. ඔයා එන්නකෝ “
” හ්ම්ම්.. විනාඩි පහක් දෙනවා “
මුවට නැඟි සිනහව තොල් පට තද කරමින් සපා ගත් පහන්‍යා නැවතත් මුළුතැන්ගෙය දෙසට ඇවිද ගියාය.
” හරි එහෙනං කෙල්ල. , ඔයා උඩට ගිහින් වොශ් එකක් දාන් එන්න. ස්ටෙයා කේස් එක නැග්ගම තියන දෙවෙනි කාමරේ. මං ඔයාට ඇඳුම් ඔක්කොම ඇඳ උඩ තියලා ඇති ”
” අනේ.. ඔච්චර දේවල් ඕන්නෑ මැඩම්. “
” මොනාද අනේ. ? ඔයාට කොච්චර කිව්වත් ඔය මැඩම් කෑල්ල අතාරින්නෑනේ. හරි හිතුවක්කාරයි. “
” අයියෝ .. එහෙම නෙමෙයි ඉතිං .”
මුව ඇද කළ පහන්‍යා බොරු තරහක් මවා ගනිමින් ඉවත බලා ගත්තාය.
” හරි.. දෙයියනේ හරි.. අනේ මගේ අක්කේ .. දැන් කියන්නකෝ මොකද්ද මං කරන්න ඕනේ. ?”
පහන්‍යාගේ අතකින් අල්ලා ගත් සඳැස්වි නැවතත් ඇගේ උවන දෙස බලා සිනාමුසු මුහුණින් ඇසුවාය.
” වොශ් එකක් දාන් එනවා ගිහින් “
සඳැස්විගේ නාසය තදින් මිරිකූ පහන්‍යා එසේ පවසා ඉහල මහලේ නිදන කාමරය දෙසට අත දිගු කළාය.
” හරි සීදේවි දරුවෙක් නෝනා. කොළඹ නං වෙන්න බෑ. “
උඩු මහල වෙත දිව යන සඳැස්වි දෙස බලා චිත්‍රා එසේ පැවසූ අතර සෙමින් හිස සැලූ පහන්‍යා එය අනුමත කළාය.
පිසූ ආහාර සියල්ල කෑම මේසය මත එකින් එක පිළිවෙළට තබන චිත්‍රා දෙස බලා සිටි පහන්‍යා ගෙමිදුලේ නතර කරන ලද මෝටර් රථ හඬට වහා ඉදිරියට ඇවිද ආවාය.
” මොකෝ ?”
වැඩිමල් සොයුරියගේ සිනහව පිරි මුහුණ දුටු ඉක්මන් ගමනින් පැමිණි තරුණයාගේ උවන වහා අඳුරු වී ගියේය.
” මං හිතුවා එක පාරට එන්න කිව්වේ මොකක් හරි අසනීපයක් වෙන්නැති කියලා. “
” නෑ අනේ.. ලන්ච් ගන්න එන්න කිව්වේ “
ඔහු නැවතත් උවන අඳුරු කරමින් ඈ වෙත රකුසු බැල්මක් හෙළූ අතර පහන්‍යා ඔහු දෙස බලා මුව පුරා සිනහවක් නැඟුවාය.
” උඩට ගිහිල්ලා මූණ සෝදන් එන්න. “
” බලනවා ඉතිං මං ඔක්කොම වැඩ දාලා දුවන් ආවේ. “
” ආ.. ඉතිං මොකෝ ? මං අක්කා ඔය තට්ටු අටේ බිල්ඩින් එකටත් වැඩිය ලොකුයි හොඳේ. “
ඔහු නැවත වතාවක් ඈ දෙස බලා මුව ඇද කළ අතර ඈ නැවත වතාවක් ඔහු දෙස බලා සිනාසී ඔහුගේ බාහුවකට තට්ටුවක් දැම්මාය.
” මූණ සෝදන් එන්න. කමු “
නිහඬවම ඈ තනි කර දමා තරප්පු පෙළ දිගෙහි ඉහලට යන මළණුවන් දෙස බැලූ යළිත් වරක් මුව ඇද කරමින් සිනාසී මුළුතැන්ගෙය දෙසට ඇවිද ගියාය.
බර අඩි තබමින් තරප්පු පෙළ නැඟ ආ සියත්‍ර රන්දෙණිගල පහන්‍යාගේ නිවසේ තමාට හිමි නිදන කාමරය වෙත ගොස් අත බැඳි ඔරලෝසුව ගලවා දැමීමට සූදානම් වූවා පමණි. නාන කාමරයේ දොර විවර කරමින් ළමැද මතට ඇඳි කෙටි තුවායක් සමඟ ඉන් පිටතට ආ සඳැස්වි නිදන කාමරය තුළ උන් දේහධාරියා දැක ක්ෂණිකව තිගැස්සී ගිය අතර බලාපොරොත්තු නොවූ ආකාරයට නාන කාමරයෙන් මතු වූ රුව දැක ඔහුද එක වරම වික්ශිප්ත වූයේය.
දෑතම ළැම මැදට තද කරගත් ඈ නාන කාමරයේ ද්වාරයටම බර වී මුහුණ බිමට බර කර ගත් අතර මොහොතක් ඈ දෙස ගල් ගැසී බලා සිටි ඔහු ආයාසයෙන් ඇගෙන් දෑස මුදවා යළිත් නිදන කාමරයෙන් පිටව තරප්පු පෙළ බැස පහත මාලයට අඩි තැබුවේය.
” මං යනවා. “
” අනේ.. මොනවද මල්ලි. ඉන්නවකෝ. ඉඳලා ඉඳලා බත් කටක් කන්න එන්න කිව්වම ඔහොම පිට පාරෙන් යන එක හොඳද ?”
පහන්‍යා වහා ඔහුගේ අතකින් තදින් අල්ලා ගත් අතර තරප්පු පෙළ බැස ආ කුඩා යුවතිය ඔවුන් දෙදෙනාව මඟ හරිමින් මුළුතැන්ගෙය දෙසට අඩි තැබුවාය.
තරුණයාගේ අතින් ඇද ගෙනම කෑම මේසය අසලට ආ පහන්‍යා බලෙන් මෙන් ඔහුව වාඩි කරවා ඔහු අසලින්ම තවත් පුටුවක හිඳ ගත්තාය.
” සඳැස්වි එන්න..!”
” මං පස්සේ කන්නං අක්කේ. අක්කලා කන්න. “
” මොනාද ළමයෝ මෙහෙ එන්න. “
පහන්‍යා නැවත හිඳ උන් අසුනෙන් නැඟී සිටීමට උත්සාහ දැරූ අතර සඳැස්වි ඉක්මන් ගමනින් ඈ වෙත අඩි තැබුවාය .
” ඔහොම ඉඳගෙන ඉන්න අනේ. “
” ඉඳගන්නකෝ ඔයත්..”
තමා අසලම පුටුවක බලහත්කාරයෙන් මෙන් වාඩි කරවාගත් තරුණිය ඉදිරියේ පිඟානක් තැබූ ඇය යළිත් මළණුවන් වෙත හැරුණාය.
” මාළු වලට ගම්මිරිස් දාලා “
” ආ.. මොකද්ද ?”
රහසින් මෙන් සඳැස්වි පැවසූ කාරණයට හිස හැරවූ ඈ දෙබැමද ඔසවා යළිත් ඈ පැවසූ දේ පිළිබඳව විමසුවාය.
” මාළු වලට ගම්මිරිස් දාලා . කෑල්ලක් කෑවට හොඳි කන්න එපා කියන්න “
“දැන් මමද ඒක කියන්න ඕනේ ? “
කෙඳිරිලි ස්වරයෙන් රහසින් පහන්‍යා හට පැවසූ දෙයට ඇගේ පිළිතුර උස් හඬින් වූ නිසා සඳැස්විගේ මුහුණ ලැජ්ජාවෙන් රත් පැහැ ගැන්විණි.
” මාළු එකට ගම්මිරිස් දාලාලු . චූටි බබාට කෑල්ලක් දෙන්නලු හොඳි නැතුව “
මාළු ව්‍යාංජනය සහිත දීසිය අතට ගෙන ඉන් මාළු කැබැල්ලක් තරුණයාගේ පිඟානට දමා පහන්‍යා එසේ පැවසූ අතර සඳැස්විගේ ඔසවා ගත නොහැකි වූ මුහුණ දිගටම බිමට බර වී තිබිණි.
“ඔයා මෙයා ගැන හොඳට දන්නවානේ ? හැම එකාටම යකා වගේ කඩා පැන්නට මොකද මිරිස් චුට්ටක් ගෑවෙන්න බෑ පොඩි එකා වගේ “
පහන්‍යා දිගින් දිගටම එසේ පැවසුවද නිහඬවම ආහාර ගත්තා විනා කිසිවක් නොපැවසූ ඔහු සියල්ල නෑසු කන්ව සිටියේය.
” මල්ලි මේ.. ! මාවයි , සඳැස්විවයි කොහෙ හරි එක්කන් යන්නකෝ “
යළිත් වතාවක් පහත් කර සිටි උවන තිගැස්සුණු අතර සඳැස්වි වහා හිස ඔසවා පහන්‍යා දෙස බැලුවාය.
” අද බිසී “
” හරි අනේ. දැන් නෙමෙයි හවස් වෙලා. ඔෆිස් ටයිම් එක ඉවර වෙලා , රෑ වෙලා කොහෙ හරි ගිහින් එමු. ෆිල්ම් එකක් බලන්න යං ?”
” අහ්.. මැඩම්.. අ.. අක්කේ.. ! මට .. මං යන්න ඕනේ. ඉක්මනට. පරක්කු වෙනවා. “
” මොන පරක්කුවක්ද අනේ ? අද ලෙක්චර්ස් නෑ කිව්වනේ.. , අනේ.. මල්ලි එක්කන් යනවකෝ..”
සඳැස්විගෙන් මිදුණු ඈ යළිත් වතාවක් ඔහු දෙසට හැරුණු අතර ඒ මොහොතේම කෑම මේසය මත තිබූ ඔහුගේ ජංගම දුරකතනය නාද දෙන්නට පටන් ගත්තේය . ඔහුට ප්‍රථම එය අතට ගත් පහන්‍යා එහි තීරය මත දිස්වුණ නම දැකීමෙන් පුදුමව දුරකතනයට පිළිතුරු බැන්ඳාය.
” හෙලෝ…!”
තරුණයාගේ පූර්ණ රැවීමක් ඈ වෙතට වැටුණු අතර ඊට වඩා විසල් අයුරින් ඈ මළණුවන් වෙත රැව්වාය.


