කොළපතකට දමාගත් ගම්මිරිස් ඇට කිහිපය වේලීමට තබා තිබූ ස්ථානය මඟ හැර හිරු එළිය තවත් මඳක් එපිටට ගොස් තිබුණේය. ගෙමිදුලේ තිබූ ගම්මිරිස් කොළපත රැගෙන යළි හිරු එළියක ඉඩක් අල්ලා ගෙමිදුලේ පසෙක කොළපත තබා ඒ මත ගම්මිරිස් තුනී කරමින් සිටි හේමමාලි කඩුල්ල අසල නතර කළ මෝටර් රථය දෙස බලා හිඳ උන් තැනින් නැඟිට හැඳ උන් චීත්තයෙන්ම දෑත පිස ගත්තාය.
” හේමමාලි නංගි ..!”
මෝටර් රථයෙන් පිටතට ආ තලත්තෑනි පුද්ගලයා හේමමාලි දෙස බලා ඈ ඇමතුවද මඳ වේලාවකින් ඔහු කවුරුද කියා හඳුනාගත් හේමමාලි මුව පුරා සිනහවක් නැඟුවාය.
” මේ ගන්කන්ද මහත්තයනේ.. එන්න මහත්තයෝ ඇතුළට.. “
” ඉතිං කොහොමද හේමමාලි ? “
ලැබුණු අවසරයෙන් නිවස තුළට අඩි තැබූ ගන්කන්ද එහි වූ වේවැල් පුටුවකට බර වෙමින් ඇසුවේය.
” මයේ කෙල්ලගේ පිහිටෙන් හොඳින් ඉන්නවා ගන්කන්ද මහත්තයා. දවස් කීපයක්ම ගන්කන්ද මහත්තයාට කතා කරන්න ඕනේ කියන උවමනාව දැනුණා. ඒත් .. ඒකට හරියන වෙලාවක් ආවේ නෑ. අපේ පොඩි කෙල්ලත් අර ඉස්කෝලේ කෑම වස වෙච්ච එකෙන් ඉස්පිරිතාලේ නැවතිලා හිටියනේ. “
” අහ්.. ඔව් ඔව්. මට ඒක ආරංචි උනා. දැන් දරුවට අනතුරක් නෑනෙ ? “
” දෙයියන්ගේ පිහිටෙන් අතුරු ආන්තරාවක් නෑ. ඒත් ඒ දවස් ටිකේ පුදුම පිච්චිල්ලකින් මං හිටියේ. ගන්කන්ද මහත්තයා මේ වෙන කොහෙ හරි යන ගමන්ද ?”
” ලොකු සර්ගේ පුතා තෙල්වත්තේ හොටෙල් එකක් හදන්න හිතන් ඉන්නවා. මං මේ ඒ ඉඩම බලන්න යන ගමන් . කුරුණෑගලට මේ ආවෙම අවුරුදු තුනකට විතර පස්සේ. සඳැස්විත් නිවාඩු අරන් ආවා කියපු නිසාම මේ පැත්තට හැරුණේ. “
” කොච්චර දෙයක්ද එහෙම හරි ආපු එක . සඳැස්වි පහල ළිඳේ නානවා. ඉන්නකෝ ගන්කන්ද මහත්තයා මං තේ ටිකක් හදන් එන්නං .”
හේමමාලි හනික මුළුතැන්ගෙය දෙසට ඇවිද ගිය අතර කුඩා ආලින්දයේ තිබූ සෝමතිලකගේ ජායාරූපය දැක ගන්කන්දට විසල් හුස්මක් හෙළුණේය.
” පොඩි දරුවා දැන් කීයේ පන්තියෙද ?”
හේමමාලි පිරි නැමූ තේ කෝප්පය අතට ගත් ගන්කන්ද එය තොළ ගාමින් වටින් පිටින් විස්තර විමසන්නට වූයේය.
” අටේ පන්තියේ ගන්කන්ද මහත්තයා. දැන් නම් පන්ති ගිහිල්ලා. ලොකු එකීට ඕනෙම නංගිට කොහොම හරි කරලා උගන්නන්න . ඒ දරුවාත් හිතාගන්න බැරි තරම් ඉහලට යනවා. ගෙදර ආවෙම මොකද්ද ශිෂ්‍යත්වයක් ලැබුණාය , ඒකට පිටරටකට යන්න වෙනවය කියාගෙන. මං මේ හිටියට හිතේ ගින්දරින් ඉන්නේ , ඔය රට රාජ්ජවල මේ කෙල්ලව තනියම අරින්න හිත හදාගන්නේ කොහොමද කියලා. “
” මිස්ටර් ගන්කන්ද !”
නා කියා ගෙට ගොඩ වූ සඳැස්වි පැමිණ සිටි අමුත්තා දැක මඳක් තැති ගත්තද එය නොපෙන්වාම මවත් , ඔහුත් ඉදිරියට ඇවිද ආවාය.
” මිස්ටර් ගන්කන්ද මෙහෙ ?”
” මිස්ටර් මිස්ටර් ගාන්න මේක ඔෆිස් එක නෙමෙයිනේ දරුවෝ. පුරුදු විදිහට මාමා කියලා කියන්න. සියත්‍ර සර් තෙල් වත්තේ අලුතින් හොටෙල් එකක් හදන්න යනවා. මං මේ ඒකේ ඉඩම බලන්න යන ගමන් . මිස් ශාක්‍යා කිව්වා ඔය දරුවා ගමේ ආවා කියලා . ඒ නිසා මං හිතුවා මේ ගමනට ඔය දරුවාවත් එක්කන් යන්න. “
” මං ඔය හොටෙල් සයිඩ් එක ගැන දන්නෑනේ ගන්කන්ද මාමේ. “
” ඒක නිසා තමයි ඉගෙනගන්න ඕනේ. අනික මට ඔය දරුවා එක්ක අර ජෝර්දාන් ඩීල් එක ගැනත් කතා කරන්න තියනවා. “
තේ කෝප්පයේ අවසන් උගුරත් පානය කරමින් ගන්කන්ද යටැසින් තරුණිය දෙස බැලුවේය. ඔහුගේ කතාවට තිගැස්සී ගිය ඈ මව දෙස හිස ඔසවා බැලුවද කිසිවක් නොදන්නා ඈ නිහඬව බලා සිටියාය.
” ඔච්චර කතා කරන එකේ ගිහින් එන්න දරුවෝ. ලොකු මහත්තයලගේ වැඩක්නේ.. “
හේමමාලි එසේ පැවසුවද තවමත් තැති ගැන්මෙන් සිටි සඳැස්වි විසල් හුස්මක් හෙළුවාය.
” මං ලෑස්ති වෙලා එන්නං “
ගන්කන්ද හා එකම මෝටර් රථයට නැඟී බොහෝ දුරක් යනතුරුම සඳැස්වි මුණිවත රකිමින් සිටියාය .
” ඔය දරුවා ඉන්නේ මාත් එක්කත් තරහින්ද ? ”
” අනේ නෑ.. මං මේ ඉන්නේ ගන්කන්ද මාමා ඇත්තටම ආවේ ඉඩමක් බලන්නද කියලා හිතාගන්න බැරුව “
” හහ්.. හහ්…”
ගන්කන්ද මුව පුරා පැතිර ගිය සිනහවකින් තරුණිය දෙස බැලුවාය.
” ඒ වැඩේටත් එක්කම තමයි ආවේ. හැබැයි ඒකටත් වැඩිය සර් මාව එව්වේ මොනාහරි කියලා ඔය ළමයාව කොළඹ එක්කන් එන්න කියලා. “
” මට හිතුණා. මොකෝ දන්නෑ ඒ පාර ?”
යුවතියගේ නෝක්කාඩුව ගන්කන්ද දෙස නොබලා ජනෙල් තීරයෙන් එපිට බලාගෙනය.
” හිත ගිය තැන මාලිගාව කියනවනේ “
” හ්ම්ම්.. මාලිගාව ගැන නම් දන්නෑ. හැබැයි මේ දවස්වල වෛරල් වෙන අග රැජින එක්ක අරන් තිබ්බ ෆොටෝස් ටික නම් මං දැක්කා. “
” හහ්.. හහ්.. හහ්..”
ගන්කන්ද නැවත වතාවක් මහ හඬින් සිනාසුණේය.
” ඔය දරුවා සර් එක්ක ඉන්නේ තරහෙන් “
” නෑ මාමේ. මට තරහා එයා එක්ක නෙමෙයි මාත් එක්කමයි. මෙච්චර අඩුපාඩු මැද්දේ ඉගෙනගෙන කැම්පස් යන්න තරම් දුරකට ඉගෙනගන්න මොළයක් තිබ්බ මට එතනදි මොළේ කල්පනා කරන්න බැරි උනා. කොච්චර දිව්වත් අන්තිමට වෙන්නේ හති වැටෙන එක විතරයි කියලා තේරුම් ගන්න බැරි උනා. මං හිතුවේ ඇස් ඉස්සරහා මැවිච්ච ඔක්කොම හීන මගේ කියලා විතරයි. අල්ලන්නවත් බැරි දේවල් දිහා බලාගෙන මං ඉඳලා තියෙන්නේ ඒ හැමදේම මගේ කියලා හිතාගෙන . මොන තරම් මෝඩ වැඩක්ද ? මොළේ කළඳක් තියන එකියක් කරන වැඩක්ද මාමේ ඒ. ? ”
එක දිගට පදවාගෙන පැමිණි මෝටර් රථය මාර්ගයෙන් පසෙක සෙවණක් සහිත බිම් තීරුවක නතර කළ ගන්කන්ද තවමත් පිටත බලා උන් තරුණිය දෙසට හැරුණේය .
” මං රන්දෙණිගල පවුල එක්ක වැඩ කරන්න අරන් අවුරුදු විසි තුනක් වෙනවා දරුවෝ. සියත්‍ර රන්දෙණිගල කියන්නේ පුංචි එකා කාලේ ඉඳන්ම මං දන්න කියන කොල්ලෙක්. කලාතුරකින් මනුස්සයෙක්ට ලැබෙන ගතිගුණ වලින් පෝසත් කොල්ලෙක් ඒ. අම්මයි , තාත්තයි වගේ නෙමෙයි . වචනයක් දුන්නොත් ඒක කාට උනත් එකයි. නීතියක් කිව්වොත් ඒක කාට උනත් එකයි. අපි වචන දහයක් කතා කරද්දි ඒ කොල්ලා කතා කරන්නේ එක වචනයයි. ඒ වචනේ ඇතුළේ අපි කතා කරන වචන දහයටම වඩා දෙයක් තියනවා. ලොකු තීරණයක් තියනවා. ආයේ අපි වචන දහයක් නෙමෙයි සීයක් කතා කළත් අර එක වචනේ පරද්දන්න අපිට බෑ.
ඔයාට මං කියලා තියනවනේ පණ වගේ මට ඉන්නේ එක දරුවයි. ඔයා වගේම පොඩි කෙලි පැටික්කියක්. මීට අවුරුදු හයකට කලින් මගේ කෙල්ල ඉස්කෝලෙදි එක පාරටම සිහි නැති වෙලා වැටෙනවා. මුලින් අපි එච්චර ගණන් ගන්නෑ. මේ ළමයි හරියකට කන්නේ බොන්නේ නෑනේ දරුවෝ. හැබැයි ඊට පස්සෙත් දරුවා ආයේ ආයේ එක දිගට ලෙඩ වෙනවා. රට වටේම දොස්තරලට පෙන්නලා CT scan , MRI ඔක්කොම කරලා අන්තිමේ දොස්තරලා අපිට කියනවා කෙල්ලට Brain Tumor (මොළයේ ගෙඩියක්) කියලා. දරුවා හිටපු තත්වේ එක්ක අපිට ඉක්මණට ඔපරේෂන් එකක් කරන්න වෙනවා. කොළඹ මහ ඉස්පිරිතාලෙයි , කරාපිටියෙයි , මහ නුවරයි හැම තැනකම පොරොත්තු ලේඛන දිගයි. ප්‍රයිවට් හොස්පිට්ල් එකකට ගිහාම ඔපරේෂන් එකටයි , Neurosurgeon ( ස්නායු ශල්‍ය වෛද්‍යවරයා ) ටයි , හොස්පිට්ල් බිල් එකටයි , ICU එකේ බිලටයි , බෙහෙත් වලටයි ඔක්කොටම ලක්ෂ හතළිහ පනියි කිව්වා. අපිට කෝකටත් ලක්ෂ පනහක් ලෑස්ති කරගන්න කිව්වා. ඕක දැනගත්තු හැටියෙම මං කෙලින්ම ගියේ දිනේන්ද්‍ර සර්වයි , උත්පලා මැඩම්වයි මුණ ගැහෙන්න. ඒත්.. වැඩක් උනේ නෑ දරුවෝ. ලක්ෂ දහයකට එහා මට වෙන් කරන්න අමාරුයි කිව්වා. “
ගන්කන්ද විසල් හුස්මක් අත හැරි අතර එතෙක් වේලා පිටතට දෑස් යොමා සිටි තරුණිය වේදනාවෙන් ඔහු දෙස බැලුවාය.
” ඩොක්ටර්ස්ලා කිව්ව විදිහට ඔපරේෂන් එක ඉක්මන් කරන්නම ඕන උනා. මං හිටියේ වහ ටිකක් බීලා මැරෙනවා කියන තැන. මොන අප්පටද පුතේ තමන්ගේ ඇස් ඉස්සරහා තමන්ගේ දරුවා පණ අඳිනවා බලන් ඉන්න පුලුවන් ? “
ගන්කන්ද වහා දෙනෙතට ඉනූ කඳුළු බිඳුවක් පිසදා දැමුවේය.
” සල්ලි හොයලා හොයලා මං හෙම්බත් වෙලා , දරුවට මොනාහරි උනොත් අපිත් එතැනම මැරෙමු කියලා නෝනත් එක්ක අඬ අඬා ඉද්දි තමයි දෙයියෙක් වගේ සියත්‍ර සර් මට පිහිට උනේ. නෑ බෑ නොකියා මට ලක්ෂ පනහම එක පාර දුන්නා දරුවෝ. ඔපරේෂන් එක ඉවර වෙලා ඔක්කොම විය හියදම් ඉවර උනාම අතේ ලක්ෂ තුනක් ඉතුරු වෙලා මං ඒක සියත්‍ර සර්ට ආපහු දෙන්න ගියාමවත් එක සතයක් ආයේ ගත්තේ නෑ. ඔපරේෂන් එක කරපු දා ඉඳන් අදටත් හැම මාසයක් ගාණෙම සර් මගේ කෙල්ලගේ බෙහෙත් වලට කියලා මාසෙකට රුපියල් පනස්දාහා ගාණේ දානවා. බේත් හේත් වලට වියදම් කරගන්න පුලුවන් කියලා කොච්චර කිව්වත් සර් ඒක නතර කරන්නේ නෑ. අද මගේ කෙල්ල , මගේ නෝනා , මම අපි තුන්දෙනාම සැනසිල්ලේ හුස්මක් ගන්නේ සියත්‍ර සර් නිසා . ඒ අතින් මට සර් කියන්නේ දෙයියෙක් දරුවෝ. “
දෙනෙතේ ඉනූ කඳුළු බිඳුවක් වහා පිස දැමූ සඳැස්වි තොල් පට තද කර ගත්තාය.


