ඔලියැන්ඩර් – 46

0
44
oleander Flower

” මෑතකදි හෙඩ් ඔෆිස් එක ඇතුළේ කතාවක් ගියා සර් ඉස්සර වගේ නෙමෙයි කියලා. හිනා පොදක් මූණේ නැති මනුස්සයගේ මූණේ සමහර වෙලාවට හිනාවක් තිබ්බා. හිනාවක් නැතත් අර පුම්බන් ඉන්න රාස්ස මූණ තිබ්බේ නෑ. කාටවත් කඩන් පැන්නේ නෑ. අවුරුදු ගාණක් තිස්සේ රෑට නින්ද යන්නෑ කිය කිය එ ස්ට්‍රෙස් එකෙන් ඔෆිස් ඇවිල්ලා ඔෆිස් එකේ ඉන්න උන් ටිකව පොඩි දේකට උනත් මරන් කන්න දැඟලුවේ නෑ. කොයිතරම් රාස්සයෙක් වගේ පිටතට පෙනුණත් , ඒ රාස්සයා ඇතුළේ මනුස්සයෙක් ඉන්නවා කියන එක මායි , මහීල් සර් රුයි දැනන් හිටියා. ඒක අම්මා වෙච්ච උත්පලා මැඩම්වත් විශ්වාස කළේ නෑ. හැබැයි අපි දැනන් හිටිය සර්ගේ ඇතුළේ හිටියේ මනුස්සයව එළියට ගත්තේ ඔයා දරුවෝ. “

සඳැස්විගේ දෙනෙතින් එක දිගට කඳුළු කඩා හැළෙන්නට වූ අතර අවසානයේ ඇයට එක් වරම ඉකි ගැසුණාය . 

” එදා උත්පලා මැඩම් එක්ක රණ්ඩු වෙලා ඔෆිස් රූම් එකේ තිබ්බ අර වීදුරු වාස් එකත් කුඩු කරලා එළියට ගිය දා ඉඳන් ඔෆිස් එකේ ඉන්න ටයිම් එක ඇරුණම සර් ඉන්නෙම ක්ලබ් එකේ. කෑමක් නෑ. බීම විතරයි. සිහියක් කටක් නැති වෙනකන්ම. මං දන්න විදිහට තව තව දේවලුත් පාවිච්චි කරනවා. “

” අනේ.. මාමේ..!” 

සඳැස්විට නැවතත් ඉකි ගැසුණාය. 

” මං .. මං. .. වරදක් කළේ නෑ මාමේ. මගෙ අතින් දැනුවත්ව වරදක් උනේ නෑ. ඇයි එයා ඔහොම විඳවන්නේ ? මං.. මං.. දන්නවා එයා මට කියලා තියනවා ඔය නින්ද නොයන ප්‍රශ්නේ ගැන. ඒත්.. එයාට මාත් එක්ක ඉද්දි එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නෑ. එයා ඇතුළෙන් මොකක් හරි දේකට විඳවනවා කියල මට තේරුණාට මං ඒක දැනගෙන හිටියේ නෑ. “

” සර් ඉන්නේ ලොකු ප්‍රශ්නෙක දරුවෝ. මීට අවුරුදු පහකට කලින් සිද්ධ වෙච්ච වැරැද්දක් නිසා සර් අදටත් මානසිකව දුක් විඳිනවා. ඔය නින්ද යන්නැති ප්‍රශ්නෙ උනෙත් ඒ නිසයි. මේක මං, ලොකු සර් , උත්පලා මැඩම් , මහීල් සර් ඇරුණම වෙන කවුරුත් දන්නේ නෑ. යාන්තං ඔය දරුවා එක්ක ඉඳලා හිත හදාගෙන එනකොටම ඔය දරුවාවත් අතෑරලා දාන්න සිද්ධ උනේ ඒ සිද්ධියමයි. “

” අනේ.. මාමේ .. මං ඔය කිසි දෙයක් දන්නෑ මාමේ. එයා .. එයා මට ඒ ගැන කියලා නෑ. මේ.. මේ මෑතකදි කැම්පස් එකේ ළමයි වගයක් සර් ගැන මහ විකාර කතා ටිකක් කිව්වා. මං ඉන්නේ  මේ හැමදේකටම හිර වෙලා වගේ. මට තේරෙන්නෑ. මොනවද කරන්න ඕනේ කියලා මට තේරෙන්නෑ. “

ගන්කන්ද පුදුම සහගත දෙනෙතින් යුවතිය දෙසට හැරුණේය. 

” මොකද්ද ඒ කැම්පස් ළමයින්ගේ කතාව ?” 

” මෑතකදි ෆැක්ට්‍රි එකේ නිශ්ශංක කියලා මනුස්සයෙක් මරලා දාලා තියනවා නේද මාමේ.  ? ඒ මනුස්සයාගේ මල්ලි අපේ බැච් එකේ. සයුල්. එයයි , තව ළමයි කීපදෙනෙකුයිම දන්නවා ඔය නිශ්ශංක කියන කෙනා මැරෙන්න කලින් අන්තිමට කෝල් කරලා තියෙන්නේ සර්ට කියලා. එයාලා කියන්නෙම සර් නිශ්ශංකට එන්න කියලා මරලා දාලා කියලා ?” 

” හේතුව ?” 

පුදුම සහගත දෙනෙතින් ගන්කන්ද යුවතිය පවසනා දේ අසා සිටියේය. 

” එයාලා කියන විදිහට ඔෆිස් එකේ ඉන්න අපි ෆැක්ට්‍රි එකෙන් හදන ප්‍රඩක්ට්ස් හොඳම කොලිටි ඒවා කිව්වට ඒ හැම කෑමකටම වස විස දානවලු. කෙමිකල්ස් දානවලු. සයුල් කියන විදිහට සයුල්ගේ අයියා ඒක ගැන දැනගෙන තොරතුරු හොයාගෙන තියනවා. ඒ නිසා සර් මැදිහත් වෙලා සයුල්ගේ අයියට එහෙම කළා කියලා එයාලා හිතන්නේ “

” මොන පිස්සු කතාවක්ද ඒ ? නිශ්ශංක හදිසි වැඩකට කියලා සියත්‍ර සර්ව කන්ටැක් කරලා ඉල්ලුවෙත් මගෙන් . සර්ව කන්ටැක් කරලා දුන්නෙත් මං. ඔය සිද්ධිය ගැන සර්ගෙන් විතරක් නෙමෙයි මගෙනුත් පොලීසියෙන් ඇහුවා. හොඳ වෙලාවට සර් ලඟ නිශ්ශංක කතා කරපු වොයිස් රෙකෝඩ්ස් ටික තිබ්බා. නිශ්ශංක සර්ට කතා කළේ මගේ මාර්ගයෙන් දරුවෝ. සර් නිශ්ශංකව මුණ ගැහෙන්න ගියා තමා. ඒත් මිනිහාව මුණ ගැහිලා තිබ්බේ නෑ. ඔය එක එකා කියන කතා විශ්වාස කරන්න යන්න එපා. “

කඳුළු පිරි දෙනෙතත් , පුදුම වූ මුහුණත් සමඟ ගන්කන්ද දෙසට හැරී උන් තරුණිය මොහොතක් නිහඬව සිට යළිත් කතා කිරීමට පටන් ගත්තාය .

”  එ .. එයාලා තව කතාවක් කිව්වා මීට අවුරුදු පහකට කලින් අපේ කැම්පස් එකේ ඉවෙන්ට් එකක් අතරෙදිත් ළමයි කීප දෙනෙක් කෑම මොනාහරි විස වෙලා හොස්පිට්ල් ගෙනිහින් තියනවා. එතනින් එක ළමයෙක් මැරිලා. එදා ඒ කෑම හදපු මනුස්සයා හිරේ ගිහින් ඊට කාලෙකට පස්සේ ඇප පිට එළියට ඇවිල්ලා , ඒත්.. අදටත් ඒ මනුස්සයා ගැන හරි හමන් තොරතුරක් නෑලු. ආගිය අතක් නෑලු. ඔය සිද්ධිය ගැන ඒ දවස්වල ෆැක්ට්‍රි එකේ වැඩ කරන මනුස්සයෙක් හොයලා තියනවා. ඒ මනුස්සයත් ඊට පස්සේ දවසක මැරිලා ඉඳලා තියනවා. ෆැක්ට්‍රි එකේ එහෙම දේවල් ඇත්තටම වෙනවද මාමේ ? කන කෑම බීම වලට කෙමිකල්ස් එකතු වෙනවද ? මේවා ගැන කතා කරන මිනිස්සුන්ට ජීවිත තර්ජන එන්නේ ඇයි ? මාමා මේ ගැන දන්නවද ? එතකොට අර අවුරුදු පහකට කලින් නැති වෙච්ච මනුස්සයා ?  සයුල් මේකේ වරද කෙලින්ම දාන්නේ සියත්‍ර සර්ට මාමේ. මට.. මට තේරෙන්නෑ මේ මුකුත් . මං හැම පැත්තකින්ම පැටළිලා. “

ගන්කන්ද නිසොල්මන්ව මෝටර් රථයේ ඉදිරියෙන් පෙනෙන මාර්ගය දෙස එක එල්ලේ බලා සිටියේය. 

” අවුරුදු පහකට කලින් කැම්පස් එකේ ළමයි කීප දෙනෙක් බීපු කිරි පැකට් එකක් විස වෙලා එක ළමයෙක් මැරුණා. ඒ කිරි පැකට් හදලා තිබ්බේ RD එකෙන්. ඒක RD එකේ ප්‍රඩක්ට් එකක්. එදා මොකක් හරි තොරතුරක් අහම්බෙන් දැනගෙන ඒක පස්සෙ එළවන් ගිහිල්ලා පොලීසියෙන් ඇරෙස්ට් කරපු කිරි අවුට්ලට් එකේ මනුස්සයාගේ නෙමෙයි වරද RD එකෙන් හදපු කිරි පැකට් එකෙයි වරද කියලා හොයා ගත්තු මිනිහෙක් හිටියා. අවාසනාවට ඒක හොයන් දවස් තුනෙන් මිනිහා මැරුණා. “

” ම.. මාමා.. ඒ.. ඒ.. කියන්නේ මේ ගැන දන්නවා ?  එ.. එතකොට RD එක ඇතුළේ ඇත්තටම එහෙම දේවල් වෙනවා.. ?” 

තුෂ්නිම්භූතවූ සඳැස්වි ඇසි පිය නොගසා ගන්කන්ද දෙස බලා සිටියේය. 

” මේ ලෝකේ අපි හිතන පතන හැම දේම ඒ විදිහට ලස්සනට වෙන්නෑ දරුවෝ. සමහර අහම්බයෙන් සිද්ධ වෙන සිදුවීම් තියනවා එක්කෙනෙක්ගේ ,දෙන්නෙක්ගේ නෙමෙයි කීප දෙනෙක්ගෙම ජීවිත නැති කරලා දාන්න සිද්ධ වෙන. “

” ම.. මාමා කියන දේ මට තේරෙන්නෑ. “

” අවුරුදු පහකට කලින් RD එකේ කිරි පැකට් එකක් විස වෙලා , කැම්පස් එකේ ළමයෙක් මැරිච්ච සිද්ධියේ වැරැද්ද තියෙන්නේ RD එකේ කියලා හොයා ගත්‍තේ වෙන කවුරුවත් නෙමෙයි සෝමතිලක “

” මො.. මොකද්ද …?” 

ගන්කන්ද පැවසූ දේ විශ්වාස කර ගත නොහැකි වූ තරුණිය දෝතම ළමැද මැද තද කර ගත්තාය. මුව අයා වචන පිට කිරීමට උත්සාහ කළද ඒ සියළු උත්සාහයන් ව්‍යර්ථ වී ගිය අතර දෑසින් පමණක් එක දිගට කඳුළු වැල් රූරා කොපුල් පුරා ගලා ගියේය . 

” එදා දිනේන්ද්‍ර සර්ගේ උපන්දිනේට පස්සේ දවස. කලින් දවසේ ලොකු පාර්ටි එකක් තිබිලා ඊට පස්සේ දවසේ ෆැක්ට්‍රි එකේ ලඟම කීපදෙනෙක්ට දිනේන්ද්‍ර සර් එයාලගෙම ගෙදර පාර්ටි එකක් ඇරේන්ජ් කරලා තිබ්බා. මායි , සෝමතිලකයි දෙන්නම එදා ඒ පාර්ටි එකට ගියා. පාර්ටියකට ගියා කිව්වට මොකද සෝමතිලක එදා වතුර උගුරක් බිව්වේ නෑ. ඇයි කියලා ඇහුවම මුකුත්ම උත්තරයක් දුන්නේ නෑ. පාර්ටියේ අන්තිම වෙනකන්ම හිටිය සෝමතිලක දිනේන්ද්‍ර සර්ට කතා කරගෙන උඩ තට්ටුවට යනවත් මං බලාගෙන. ගොඩක් වෙලා ගියත් සෝමතිලකවත් , දිනේන්ද්‍ර සර්වත් පහලට ආවේ නෑ. එදා රන්දෙණිගල ගෙදරට ආපු දෙතුන් දෙනෙක් ඇරෙන්න අනිත් ඔක්කොම වගේ ඒ වෙලාවේ ගිහින් හිටියේ . හිටපු දෙතුන් දෙනාත් බීලා බීලා සිහියක් පතක් නැතුව වැටිලා හිටියේ. 

සෝමතිලක පහලට නාපු නිසා මං අමාරුවෙන් උඩ තට්ටුවට ගියා සෝමතිලකව හොයාගෙන. එවේලේ දිනේන්ද්‍ර සර් රුයි , සෝමතිලකයි හොඳටම බැන ගන්නවා. කියපු දේවල් හරියටම තේරුණේ නැතත් අර කැම්පස් ළමයගේ සිද්ධියට RD එක පැත්තෙන් තමයි වරද වෙලා තියෙන්නේ කියන එක මං ඒ දෙන්නගේ කතාවෙන් තේරුම් ගත්තා. ඒ කතාව මට අනවශ්‍ය එකක් නිසාත් ,මං හිටියේ බීලා නිසාත් මං ආපහු පහලට එන්න ආවා. 

ඒ වෙලාවෙමයි සියත්‍ර සර්ත් ගෙදර ආවේ. සර්ත් කාගෙහරි පාර්ටි එකකට ගිහිල්ලා හොඳටම බීලා ගෙදර ඇවිත් හිටියේ. බාගයක් දුර පහලට එද්දි  කවුරුහරි උඩ කෑ ගහනවා ඇහුණා. ඒ එක්කමයි ආපහු හැරුණු මට කලින් උඩට ගිය සියත්‍ර සර් ඒ පැත්තට දුවන් ගියේ. එතනට යද්දිත් උඩ බැල්කනි එකේ සෝමතිලක දිනේන්ද්‍ර සර්ගේ කොලර් එකෙන් අල්ලගෙන කෑගහනවා. මං ඉස්සර වෙන්න කලින් සෝමතිලකව දිනේන්ද්‍ර සර්ගෙන් ඇදලා අරන් අයින් කරපු සියත්‍ර සර් සෝමතිලකට පාරක් ගහලා පැත්තකට තල්ලු කළා. “

මල්ලවපිටිය දෙස සිට තෙල්වත්ත දෙසට යෑමට පැමිණි ත්‍රී රෝද රථයක් මාර්ගය හරහා හදිස්සියේ පැන යාමට උත්සාහ දැරූ වීදී සුනඛයෙකු හේතුවෙන් විසල් හඬකින් තිරිංග තද කොට නතර කළ අතර මෙතෙක් කල් තම ප්‍රධානියාගේ නිවසේ තිබූ සාදයකට සහභාගී වීමෙන් අනතුරුව දැඩි සේ බීමතින් එහි සඳළුතලය අසලින් යාමට තැත් කරද්දී පය පැකිළී ඇද වැටී මිය ගියා යැයි සිතා සිටි තම පියා සත්‍ය වශයෙන්ම මිය ගොස් ඇත්තේ තවත් අයෙකු විසින් එකී සඳළුතලයෙන් බිමට තල්ලු කර දැමූ නිසා බැව් දැනගත් තරුණ යුවතිය මහ හඬින් මෝටර් රථය දෙවනත් කරමින් හඬා වැටෙද්දී එය දරාගත නොහැකි වූ ගන්කන්ද රියදුරු අසුනේ දොර විවර කරමින් පිටතට බැස්සේය . 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here