ඔලියැන්ඩර් – 47

0
1102
oleander Flower

පැය හතරකට ආසන්න කාලයක් බස් රථ වලටම ගත කළ කුඩා යුවතිය බරැති ගමන් මල්ලත් රැගෙන සෙමින් සෙමින් බොහෝ තෙහෙට්ටු මුහුණකින් යුතුව කොන්ක්‍රීට් මාර්ගය දිගෙහි ඇවිද ආවාය. ඈත සිටම ඈ එනු දුටු මෝටර් රථයක පැති කණ්නාඩියකින් ඈ දෙස බලා සිටි අයෙක් ඈ සෙමින් සෙමින් ඇවිද තම නවාතැන්පළ වෙත යන අයුරු බලා සිටියේය. 

” සර්.. ආවා.. “

නවාතැන්පළෙහි ගේට්ටුව විවර කර කුඩා යුවතිය ඇතුළු වූ සැණින් මෝටර් රථය තුළින් දුරකතන ඇමතුමක් වෙනතකට ගලා ගියේය. 

” ඇතුළට ගියාද ?” 

” ඔව් සර්. “

” හ්ම්ම්.. විනාඩි දෙකෙන් යන්න “

” ඕකේ සර්  “

ගේට්ටු විවරයෙන් ඇතුළු වූ තරුණිය පළමුව කරෙහි තිබූ ගමන් මල්ල වහා නිවස ඉදිරිපිට සිමෙන්ති බැම්ම උඩින් තැබුවාය. ඉන්පසු තමා දෙස නෙත් අයා බලා සිටින නිවෙස් හිමි කාන්තාවත් , මිතුරියන් දෙදෙනා දෙසත් ප්‍රශ්නකාරී අන්දමින් බැලුවාය. 

” මොකක් හරි ප්‍රශ්නයක්ද ඇන්ටි ?” 

නිවෙස් හිමි කාන්තාව මඳ අපහසුවකින් තමා අසල උන් තරුණියන් දෙදෙනා දෙස බැලූ අතර ඔවුන් දෙදෙනා වහා ඈට ඔරවා ඉවත බලා ගත්හ. 

” ප්‍රශ්නයක්ද අනේ.. ? කියන්නකෝ..” 

තව දුරටත් හෙම්බත්වී සිටි දෑසින් මිතුරියන් දෙදෙනා දෙසත් , වැඩිමහලු කාන්තාව දෙසත් මාරුවෙන් මාරුවට බැලූ සඳැස්වි නොඉවසිලිමත්ව ප්‍රශ්න කළාය .

” ඇන්ටි අපිට යන එන මං නැති කරලා “

නැවත වරක් නිවෙස් හිමි කාන්තාව දෙස බැලූ නිවසේ නවාතැන් ගත් තරුණියක් තරහින් පුපුරමින් එසේ පැවසුවාය.

” අයියෝ.. එහෙම එකක් නෙමෙයි දරුවෝ. මං මේ ගේ විකුණන්නනේ බලන් හිටියේ. හොඳ ගාණකට ගෙදරටම ඇවිල්ලා ඇහුවා නෝනා කෙනෙක්. මං ඉතිං ටක් ගාලා වැඩේ කළා. “

එක් අතකින් තම ගෙල පිටුපස අත ගාමින් බොහෝ බයාදු හඬකින් එසේ පැවසූ කාන්තාව තරුණියන් තිදෙනාගෙන් එක් අයෙකුගේ හෝ මුහුණක් දෙස නොබැලුවාය. 

” දවස් දෙකෙන් ? ගේ වික්කා ?  එච්චර ඉක්මනට කොහොමද එහෙම කළේ ?” 

මෙතෙක් වේලා සිරුරේ පැවති දැඩි මහන්සිය පසෙක ළූ සඳැස්වි කලබලයෙන් සිමෙන්ති පඩියක් නඟිමින් ඇසුවාය. 

” නෑ.. නෑ.. දරුවෝ ඉක්මනක් නෙමෙයි. මං කොහොමත් කාලයක් තිස්සේ මේ ගේ විකුණන්න හිතන් හිටියේ “

” එතකොට අපි කොහෙද යන්නේ ඇන්ටි ?” 

”  ඒකනේ.. ? අපිත් මෙච්චර වෙලා ඇහුවේ ඒක තමයි. ගහෙන් ගෙඩි එන්න වගේ ගෙවල් විකුණන්න පුලුවන් උනාට බෝඩිං හොයන්න ලේසි නෑ. “

නැවත වතාවක් තරුණියක් දෙදෙනා නිවෙස් හිමි කාන්තාව වෙත දෝෂාරෝපණය කළහ. 

” හරි.. හරි.. ඒකට බය වෙන්න එපා. ගේ ගත්තේ හොඳ නෝනා කෙනෙක්. තව සතියක් විතර අපිට කල් ඉල්ල ගන්න පුලුවන් වෙයි. මාත් ගේ වික්කට ගෙයි බඩු එකක්වත් තාම පුතාලෑ ගෙදට්ට අරන් ගියේ නෑ. මේ දවස් කීපය ඇතුළත ඔය ළමයින්ට බෝඩිමක් හොයාගන්න පුලුවන් වෙයි. “

එහාට මෙහාට වචන පෙරළමින් තම වාසිය උදෙසාම පමණක් හේතු ඉදිරිපත් කරන ගැහැණිය කෙරෙහි සඳැස්විගේ හදවත තුළ දරාගත නොහැකි වූ කලකිරීමක් හට ගත්තාය. 

නමුදු තවත් එක් වචනයක් හෝ පැවසීමට නොහැකි වූ ඈ මෙන්ම අනෙක් තිදෙනාද ගේට්ටුවෙන් එපිට නළා හඬ නංවන මෝටර් රථය දෙසට හැරුණහ. 

” ඔන්න .. ඔය ආවේ ගේ ගත්ත නෝනා.. “

තාරාවෙකු මෙන් දෙපැත්තට වැනි වැනී සිමෙන්ති පඩිය බැස ගත් තරබාරු නිවෙස් හිමි කාන්තාව වහා ගේට්ටු පියන් ද්විත්වයම ඉක්මනින් විවර කර දැමුවාය. 

” දෙයියනේ.. සඳැස්වි .. ඔයා කොහෙද මෙහෙ ?” 

මෝටර් රථයෙන් බැස ගත් පහන්‍යා රන්දෙණිගලත් , ශාක්‍යාත් පුදුමව කුඩා යුවතිය දෙස බලා සිටියදී ඈද වික්ශිප්ත වූ දෙනෙතින් ඔවුන් දෙදෙනා දෙස බැලුවාය. 

” අක්කේ.. !” 

” නෝනෙලා සඳැස්විව දන්නවද ? ආ.. එහෙනං වැඩේ හරි ළමයිනේ.. “

කෙසේ හෝ පැන නැඟුණු ගැටළුව විසඳා ගැනීමේ පොටක් සොයමින් සිටි ගැහැණිය පහන්‍යාගේත් , සඳැස්වීගේත් හැඳුනුම්කම දැක චිත්තඃප්‍රීතියෙන් පිනා ගියාය. 

” මේ දරුවෝ තුන් දෙනා මගෙත් එක්ක තනියට මෙහෙ හිටියේ නෝනා.. “

මුව පුරා සිනහවක් නඟා ගත් ගැහැණිය තමන් පසෙක උන් තරුණියන් තිදෙනා පහන්‍යාටත් , ශාක්‍යාටත් හඳුන්වා දුන්නාය. 

” ඔව් ඔව්.. , තනියට හිටියේ. හැබැයි වෙලාවට බෝඩිං සල්ලි ගත්තා. “

සඳැස්විට පසෙකින් සිටි තරුණියක් එසේ පැවසූ විගස මුව පුරා පැතිර ගිය සිනහව ආයාසයෙන් වළක්වා ගත් ශාක්‍යා හනික විත් සඳැස්විගේ අතකින් අල්ලා ගත්තාය. 

” හරිම තෙහෙට්ටු පාටයි. ඇයි මේ ?” 

” දැන් අක්කේ ගමේ ඉඳන් ආවේ. අක්කද ගේ ගත්තේ ?” 

” නෑ.. පහන්‍යා අක්කා.. “

” මේ දරුවෝ බය වෙලා නෝනා අලුතින් බෝඩිං හොයාගන්න බැරි වෙයි කියලා. මං කිව්වා ගේ ගත්තේ හරි හොඳ නෝනා කෙනෙක් අපිට වෙන තැනක් හොයාගන්නකන් දවස් කීපයක් නොදී ඉන්න එකක් නෑ කියලා. “

” සඳැස්වි .. ! අපි ඇත්තටම දැනන් හිටියේ නෑ ඔයා ඉන්නේ මෙහෙ කියලා. ටවුන් එකෙන් පොඩ්ඩක් ඈතට වෙන්න ගෙයක් ගන්න උවමනාවක් තිබ්බා. ඒකයි හදිස්සියේ මේ ගේ ගත්තේ. “

” මිස් , අපිට දවස් කීපයක් දෙන්න පුලුවන්ද වෙන තැනක් හොයාගන්නකන් ? අනික ඇන්ටිටත් බඩු ටික අදින්න දවස් දෙකක් වත් යනවලු. “

තව දුරටත් තමන්ට පැන නැඟී ඇති ගැටළුව තුළම සිරවන්නට නොහැකි වූ එක් තරුණියක් පහන්‍යා අසලට විත් ඇසුවාය. 

” මේ සඳැස්විගේ යාලුවොද ?” 

” අපි එක බැච් එකේ අක්කේ “

” ගේ ගත්තට අපි දැන්ම මෙහෙ පදිංචියට එන්නෑ නංගි. ඔයාලා කැමති කාලයක් මෙහෙ ඉන්න. “

” අනේ.. අම්මෙහ්.. පින් සිද්ධ වෙනවා අක්කේ. ජාති ජාතිත් පින්. නැත්තන් යන එන මං නැතුව පාරට වැටෙයි කියලා අපි මේ බයෙන් හිටියේ. “

තරුණියන් දෙදෙනා සැනසුම් සුසුම් හෙළා නැවතත් තරබාරු ගැහැණිය දෙස බලා රැවූහ. 

” දැන් ඉතිං හරිනේ. යං යං. මට බඩු ටික අස් කරගන්න තියනවා. “

යළිත් වතාවක් සිමෙන්ති පඩිය නැඟ නිවෙසට ඇතුළු වූ ගැහැණිය තරුණියන් දෙදෙනා හටත් බලෙන් මෙන් අඬ ගසමින් නිවස තුළට වැදුණාය. 

” මෙහෙ එන්න , මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ. “

සඳැස්විගේ අතින් අල්ලා ගත් පහන්‍යා මිදුලේ කෙළවරක් තනා තිබූ කොන්‍ක්‍රීට් පුටු කිහිපයක් අසලට ගොස් වාඩි වූවාය. 

” මොකද්ද ඔයා මේ කරන්නේ හදන්නේ ?” 

” මොකද්ද අක්කේ ?” 

” මොකද්ද මේ ගාමන්ට් එකක වැඩකට රට යන කතාව ?” 

ශාක්‍යා වහා සඳැස්විගේ උවනින් තම දෙනෙත ගෙන පහළට හරවා ගත්තාය. 

” ඔයා මේ හදන්නේ අපි හැමෝවම පව්කාරයෝ කරන්න නංගි “

” අනේ.. අක්කේ.. !” 

නෙතින් ගලා ගිය කඳුළක් වහා පිසදා දැමූ සඳැස්වි පහන්‍යාගේ අතකින් අල්ලා ගත්තාය. 

” රට වටේම බොරු කියලා , අම්මට බොරු කියලා , අපිට බොරු කියලා ඔහොම පැනලා ගිහිල්ලා ඔයාට සැනසීමෙන් ඉන්න පුලුවන්ද නංගි ?” 

” අනේ අක්කේ…!” 

එක දිගට දෙනෙතින් ගලා යන කඳුළු නැවත නතර කිරීමට උත්සාහ නොගත් සඳැස්වි මුහුණ බිමට බර කරමින් හඬා වැටුණාය. 

” ප්‍රශ්න කියන දේවල් අපි හැමෝටම එනවා නංගි , ඔයා මෙහෙම කරාම අපි හොඳින් ඉඳී කියලා ඔයා හිතනවද ? සර් හොඳින් ඉඳී කියලා ඔයා හිතනවද ?” 

සඳැස්වි තිගැස්සුණු නෙතින් ශාක්‍යා දෙස හිස හරවා බැලුවාය .

” ප්‍රශ්නයක් තියනවනං කතා කරලා විසඳගන්න ඕනේ සඳැස්වි . ඔයා ලෝකෙන් පැනලා දුවන්න හදනවා. සර් දවස ගාණේ ක්ලබ් වල නාස්ති වෙනවා. ඔය දෙන්නා දිහා බල බල අපි දුක් විඳිනවා. “

ශාක්‍යාගේ කතාවෙන් හිස හරවා සඳැස්වි දෙස බැලූ පහන්‍යා දෑසින් ගලා ගිය කඳුළක් වහා පිසදා ගත්තාය. 

” අනේ.. මට සමාවෙන්න අක්කේ. !” 

” මගේ දරුවට දැන් මාස හතරක් සඳැස්වි . මොන කරදරේක හිටියත් අක්කේ තමුසේ කෑවද කියලා අහන්න ඉන්නේ මගේ මල්ලි විතරයි. හස්බන්ඩ් ලෝකේ වටේ බිස්නස් වලට දුවනවා. තාත්තාත් එහෙමයි . මෙච්චර මාස හතරක් උනා මගේ අම්මා එයා අතින් හදපු බත් කටක් මට ගෙනත් දුන්නෑ නංගි. මේ මාස හතරටම පිරියක් ඇතුව දවසක් හරි බත් ටිකක් කෑවේ ඔයා නිසා. දැනටත් අනුජ් චයිනා වල. අම්මයි , තාත්තයි යූ කේ ගිහිල්ලා. මායි , මල්ලියි හැම පැත්තෙන්ම තනිවෙලා සඳැස්වි . අඩු තරමේ පන්සලකටවත් ගොඩ වෙන්න මං ලඟ මගේ කෙනෙක් නෑ. “

පහන්‍යා නැවත වතාවක් දෑසින් ගලා ගිය කඳුළක් පිස දැමුවාය. 

” පහන්‍යා අක්කයි , මායි අනිද්දට කිරි වෙහෙරෙ යන්න කතා කර ගත්තා සඳැස්වි. “

” ඔයත් එනවා නේද ?” 

ශාක්‍යාගෙන් කතාවෙන් පසුව පහන්‍යා නැවතත් සඳැස්වි දෙස බලා ඇසුවාය. 

” කිරි වෙහෙරේ ?  කතරගම ? “

” ඔව්. දවස් දෙකයි. අනිද්දා ගියා. ඊට පස්සේ දවසේ ආවා.  ගිහින් ඉඳල එන්න යමුකෝ සඳැස්වි . මාත් එක්ක යන්න ඉන්නේ ශාක්‍යායි , මහීලුයි විතරයි. මං ඉන්න තත්වේ උඩවත් බෑ නොකියා එන්නකෝ. “

” හ්ම්ම්…”

විසල් සුසුමක් හෙළූ සඳැස්වි හිස දෙපසට සලා පහන්‍යාගේ යෝජනාවට එකඟ වූ අතර දිළිසෙන නෙතින් ශාක්‍යා දෙස බැලූ පහන්‍යා සියල්ල යහපත් වෙතැයි දෑසින් ඉඟි කළාය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here