” ඉ.. ඉතිං ඇයි අපි මේ දේවල් ගැන ඔයාගේ තාත්‍තගෙන් අහන්නේ නැත්තේ ? හැමදේම අත ලඟ තියාගෙන ඇයි අපි මේ වටේ කැරකෙන්නේ ?”
සයුල්ගේ පුදුම සහගත ප්‍රශ්න කිරීම් හමුවේ මඳ වේලාවක් නිහඬව සිටි සඳැස්වි හිස ඔසවා වීරසුන්දර මහත්මිය දෙස බැලුවාය. බොහෝ කඩවුණු හැඟීම් රැසක් පිරි මුහුණින් යුතුව ඈ හිස බිමට බර කරමින් උන්නාය.
” මගේ තාත්තා නැතිවෙලා සයුල්. “
” ඒ මොනවා වෙලාද ?”
වික්ශිප්ත වූ උවනෙන් කලබල සහිතව යළිත් සඳැස්වි දෙස හැරුණු සයුල් විසල් කර ගත් දෙනෙතින් ඈ දෙස බලා සිටියේය.
” ඇක්සිඩන්ට් එකක් “
පෙරටත් වඩා මන්ද ස්වරයෙන් ඔහු හට පිළිතුරු දුන් ඈ යළිත් වීරසුන්දර මහත්මිය දෙසට හැරුණාය.
” මිසිස් වීරසුන්දර ..! අවුරුදු පහකට කලින් රවිහාන් නැති උනේ මොකක් හරි ඇලර්ජි එකක් නිසා කියන එක ස්ථීරයි. හැබැයි ඒක උනේ කොහෙන්ද කියන එක අද වෙනතුරු හොයාගෙන නෑ. හරි .. අපි දන්නවා ඒක උනේ RD එකේ ප්‍රඩක්ට් එකක් වෙච්ච කිරි පැකට් එකක් බීපු නිසා කියලා. රවිහාන්ගේ පෝස්ට්මෝටම් එකේ තියනවද එයාගේ මරණේ උනේ ඒ නිසාම කියන එක ?”
” නෑ දරුවෝ. පෝස්ට්මෝටම් රිපෝට් එකේ තියෙන්නේ ආසාත්මිකතාවයක් නිසා ඇතිවූ රුධිර පීඩනය ක්ෂණිකව පහළ වැටීමක් නිසා මරණය සිදු උනා කියලා. ඒකේ කොහෙවත් මේක උනේ කිරි පැකට් එක නිසා කියන එක කියැවිලා නෑ. “
” එතකොට රස පරීක්ෂක වාර්තාව ? අඩුම මරණය සිද්ධ උනාට පස්සේ ඒ වෙද්දි ආමාශයේ තියන දේවල් ගැන පරීක්ෂා කරනවනේ ? ”
” නෑ දරුවෝ . එතනත් රවිහාන් කිරි පැකට් එකක් බිව්වා කියන්න සාක්ශි හමුවෙලා නෑ. “
” එහෙම කොහොමද වෙන්නේ ? ඒවා අනිවාර්‍යෙන්ම චෙක් කරන දේවල්නේ ?”
” ශුවර් එකටම RD එකේ උන් පෝස්ට්මෝටම් රිපෝට් ඔක්කොම වෙනස් කළා. එහෙට මෙහෙට සල්ලි ටිකක් විසි කරලා හැම එකම උන්ට ඕන විදිහට හදාගන්න ඇති. “
සයුල් නැවත වතාවක් කෝපයෙන් පිපිරුණේය.
” වෙන්න පුලුවන් . මේ දහාට දෙනාම කිරි පැකට් බිව්වා කියන එක දැනගත්තේ එයාලා දීපු කට උත්තර වලින් . ඒත් .. රවිහාන්ගේ මරණ පරීක්ෂණ වාර්තා වල රවිහාන් අන්තිමට කිරි පැකට් එකක් බිව්වා කියන කාරණේ තිබ්බේ නෑ. ඒ නිසා අපිට නඩුව ගොඩාක් අවාසි උනා. “
“කාලකණ්නි .. හැම පැත්තෙන්ම උන් බේරිලා , යන්තම් පොඩ්ඩක් ගැට ගහ ගන්න ඕන නිසා අවුට්ලට් එකේ මිනිහව ඇල්ලුවා. “
සයුල් නැවතත් කෝපය පිරි කටහඬින් පැවසුවේය.
” නඩු වාර දෙක තුනක් යද්දි ඒ මනුස්සයා ඇප පිට නිදහස් උනා. කිසිම දෙයක් පැහැදිලිව තිබ්බේ නෑ. කිසිම කෙනෙක් මට උදව් කරන්න හිටියෙත් නෑ. මං හොඳටම දන්නවා මගේ දරුවගේ මරණෙ ඇතුළේ අපිට නොපෙනෙන දෙයක් තියනවා කියලා. ඒත්… මට ඒ වෙලාව ඒ කිසි දෙයක් කරගන්න බැරි උනා. සෝමතිලක ඇවිල්ලා එක එක දේවල් කියද්දි ආපහු මට පොඩි හරි බලාපොරොත්තුවක් ඉතුරු උනත් , සෝමතිලකගේ මරණෙන් පස්සේ ආයෙ ඒකත් නැති වෙලා ගියා. “
ඈ එසේ පවසා නැවතත් දුක්මුසු විසල් සුසුමක් අත හැරියාය.
” අපි කවුරු කොහොම කිව්වත් වැඩක් නෑ. උසාවියටයි , පොලීසියටයි ඕනේ සාක්ෂි. අපි කියන දේ ඇත්ත නම් අපි ඒවා ඇත්‍ත කියලා ඔප්පු කරන්න ඕනේ. “
මෙතෙක් වේලා නිහඬව උන් විමර්ෂා එසේ පවසා සයුල් දෙස බලා හිස මඳක් සැලුවාය.
” රවිහාන්ගේ සිද්ධිය වෙලා දැන් අවුරුදු පහක් වෙනවා. ඇයි ඔය ළමයි දැන් ඇවිල්ලා මේක ගැන හාරාවුස්සනේ ?”
තමා ඉදිරියේ සිටි තරුණ මුහුණු ත්‍රිත්වය දෙසම හොඳින් බැලූ වීරසුන්දර මහත්මිය නැවතත් එසේ ඇසුවාය.
” මිසිස් වීරසුන්දර .. මට අයියා කෙනෙක් හිටියා . නම නිශ්ශංක. එයා වැඩ කළේ RD එකේ ෆැක්ට්‍රි එකේ. අයියාව ගිය දහ තුන් වෙනිදා මරලා දාල අපිට ඩෙඩ් බොඩි එක මෝදර බීච් එකේ තිබිලා හම්බුණා. පස්සේ දැන ගත්ත විදිහට අයියා RD එකේ සිද්ධ වෙන අපරාධ , වංචා ගොඩක් ගැන විස්තර දැනන් ඉඳලා තියනවා. එහෙම තොරතුරු එකතු කරලා තියනවා. මං විශ්වාස කරනවා අයියා ඒ වගේ දේවල් කරපු නිසයි අයියට ඔහොම මැරෙන්න උනේ කියලා. “
සයුල්ගේ කටහඬ අවසානයේ බිඳී ගියේය. එතෙක් වේලා කෙලින් කර තිබූ හිසද බිමට බරවී ගියේය.
” සඳැස්විගේ තාත්‍තා මිසිස් වීරසුන්දරට දේවල් කිව්වට ඒවට අදාල සාක්ෂි මුකුත් දුන්නේ නැද්ද ? ”
විමර්ෂා නැඟූ පැනයට හිස දෙපසට සලා නැත යැයි පැවසූ වීරසුන්දර මහත්මිය යළිත් වරක් සඳැස්වි දෙස බැලුවාය.
” ඕන කරන සාක්ෂි මං හොයාගන්නං. අපි මේක කරමු. රවිහාන් වෙනුවෙන් . සයුල්ගේ අයියා වෙනුවෙන් වගේම මගේ තාත්‍තා වෙනුවෙන්. අපරාධයක් වෙලා තියනවානං , මොන තරාතිරමක කෙනෙක්ට උනත් දඬුවම් ලැබෙන්නෙම ඕනේ. මිසිස් වීරසුන්දර අපිට උදව් කරන්න. “
මෙතෙක් බිඳුණු කටහඬකින් හා කඩවුණු බලාපොරොත්තු රැසක් සමඟ සිටි කුඩා යුවතිය නව පණක් ලද්දාක් මෙන් ස්ථීර සාරව වීරසුන්දර මහත්මිය දෙස පැවසුවාය.
**********************************************
ප්‍රධාන කාර්‍යාලයේ ලිපි ගොනු කිහිපයකට මැදිව උන් තරුණ දේහධාරීයා විටින් විට අත බැඳි ඔරලෝසුව දෙසත් කාර්‍යාල මේසය මත තිබූ ලැප් ටොප් පරිගණකයෙන් දිස්වන විදුලි සෝපානය අසල ඇති ආරක්ෂක කැමරාවේ දර්ශන වෙතත් මාරුවෙන් මාරුවට දෑස යවමින් සිටියේය. මඳ වේලාවක් ගත වද්දී විදුලි සෝපානය විවර වී ඔහු එතෙක් බලාපොරොත්තු වී සිටි රුව වෙහෙසකාරී උවන බිමට නැඹුරු කරමින් ඉන් පිටතට ආ අතර එකී රුව දැක සුසුමක් හෙළූ ඔහු එතෙක් නාද වෙමින් පැවතුණු ජංගම දුරකතනය ගෙන එය සවන මත තබා ගත්තේය.
” හෙලෝ සියත්‍ර ..!”
අනෙක් පස රැඳී සිටියේ ෂෙනාර්‍යා ය.
” ම්ම්..”
” තාත්තා ඔයාට අද රෑ ඩිනර් වලට ඉන්වයිට් කරන්න කිව්වා “
” හේතුව ?”
දුරකතනයට පිළිතුරු දෙන අතරේදීද ගැඹුරු දෑස රැඳී තිබුණේ ලැප් ටොප් පරිගණකයෙන් දිස්වන ආරක්ෂක කැමරා දර්ශන වෙතටය. සෙමින් සෙමින් ඇවිද ආ කුඩා තරුණිය තමන්ට අදාල කාර්‍යල මේසය වෙත ඇවිද ගිය අතර ඈ පැමිණි විගස ඈ අසලට පැමිණි කළමනාකරුවෙකු වූ හේෂාන් මුව පුරා සිනහවක් නඟමින් කුමක් හෝ අසන අයුරුද ක්ෂණිකව ඔහු තම පිටි අල්ල ඇගේ නළල මත තබන අයුරුද ඔහුගේ දෑසට හසු විය. එකී දර්ශනය ඇස ගැටෙන මිලි තත්පරයේදී කාර්‍යාල මේසය මත තිබූ හැඩි දැඩි දෑත මිට මෙළවී ගිය අතර දුරකතනයෙන් නැඟෙන හඬට ඔහු යළි පියවි සිහියට ආවේය.
” සියත්‍ර ..! ඔයා අහගෙනද ඉන්නේ ?”
” ම්ම්..”
” තාත්තා අද ස්පෙෂලි ඔයාට ඉන්වයිට් කරන්න කිව්වේ අර NTC කන්ට්‍රැක් එක ඔයාලා ඇපෲ කරපු එකට තෑන්ක්ස් කරන්න. “
“මොකද්ද ?”
මඳකට අවධානය දුරකතනයට දුන් ඔහු නැවතත් ෂෙනාර්‍යාගෙන් පැනයක් විමසුවේය.
” NTC කන්ට්‍රැක් එක අනේ. ඒක ඇපෲ කරාට තාත්තට ඔයාට තෑන්ක්ස් කරන්න ඕනේ කිව්වා. “
එයින් මතු කිසිවක්ම නොපැවසූ ඔහු ඇමතුම විසන්ධි කර දමා හිඳ උන් අසුනෙන් නැඟිට වීදුරු ද්වාරය විවර කරමින් කාර්‍යාලයෙන් පිටව ප්‍රධාන කාර්‍යලයේ සේවක මඬුල්ල වෙත ඇවිද ගියේය . ප්‍රධානියාගේ පැමිණීම හේතුවෙන් නිතැතින්ම හිඳ උන් අසුන් වලින් නැඟී සිටි කාර්‍යාල සේවක මඬුල්ලේ අනෙක් සේවකයින් දෙස නොබලාම එතෙකදු කුඩා යුවතියගේ මේසය අසල රැඳී සිටි හේෂාන් දෙසට බැල්මක් හෙළුවේය.
” හේෂාන් ..!”
ප්‍රධානියාගේ ස්වර මඳක් ගැඹුරුය. තිගැස්සුණු හේෂාන් වහා ප්‍රධානියා වෙත අඩියක් ඉදිරියට තැබුවේය.
” NTC ගෲප් එකේ කන්ට්‍රැක් එක හැඩ්ල් කළේ තමුන් නේද ?”
” ඔව්.. ඔව් සර්.. ”
” ඒක මං ඇපෲ කළේ නෑ. කවුද ඒක ඇපෲ කළේ ?”
” ස්.. සර් .. දිනේන්ද්‍ර සර්. “
” මේ දැන්ම වහාම ඒ කන්ට්‍රැක් එක කැන්සල් කරන්න ඕනේ. හේතුව ඇහුවොත් අපිට ඉන්දියා වලට වඩා අඩුවෙන් චයිනා වලින් raw material
ගන්න පුලුවන් කියලා කියන්න. එච්චරයි. “
” සර්.. ඒත් ඒක දේවනාරායන ගෲප් එක හරහා ආපු ප්‍රපෝසල් එකක් ”
” ඉතිං ?”
ප්‍රධානියාගේ කටහඬ පෙරටත් වඩා ගැඹුරු ස්වරයක් ගත්තේය.
” නෑ.. සර්. දිනේන්ද්‍ර සර් ඔය කන්ට්‍රැක් එකට ඕකේ එක දුන්නෙම දේවනාරායන ගෲප් එක ගැන හිතලා. “
” අවශ්‍ය නෑ. අනුජ් චයිනා වලදි ඩීල් එක අරන් ඉවරයි. “
” ඒත් සර්.. මේ..”
” කන්ට්‍රැක් එක හැඩ්ල් කරන්නේ මම. දිනේන්ද්‍ර සර් නෙමෙයි. “
කාර්‍යාල සේවකයින් සියලුම දෙනා මාරුවෙන් මාරුවට හේෂාන් දෙසත් ප්‍රධානියා දෙසත් බලා සිටි අතර ප්‍රධානියාගේ තනි වචන හමුවේ හේෂාන් මඳක් පසු බෑවේය.
” ඕකේ සර් .”
යළිත් ප්‍රධාන කාර්‍යාල තුළට යෑමට හැරුණු සියත්‍රගේ දෑස ඊලඟට නතර වූයේ ශාක්‍යා වෙතය.
” ශාක්‍යා.. ! එමරල්ඩ් එකේ ෆයිල්ස් ටික..”
ඔහුට කතාව නිම කිරීමට අවකාශයක් නොලැබුණේය. දඩාස් හඬින් ශබ්දයක් ඇසුණේද හේෂාන් සඳැස්වි නමින් කෑගැසුවේද එකටමය.
වහා හැරුණු ප්‍රධානියාගේ ගැඹුරු දෑස ක්ලාන්තව බිම ඇද වැටී උන් තරුණිය වෙත විතැන් වූයේද බර අඩි ඈ කෙරෙහි ළං වූයේද මිලි තත්පරයකටත් අඩු කාලයකදීය.
” සඳ…! සඳ..!”
වෙව්ලන ගැඹුරු කටහඬ ඇගේ කොපුලක් මතට තට්ටු කරමින් ඈ ඇමතුවද ප්‍රතිචාරයක් නොලද තැන ඔහු වහා ඈ දෝතට ගනිමින් නැඟී සිටියේය.
” ගන්කන්දට කියන්න වාහනයක් ලෑස්ති කරන්න කියලා. “
කෑගසා පැවසූ ඔහු දෝතට ගත් ඇයත් සමඟ විදුලි සෝපානය වෙතට ඉක්මන් අඩි තැබුවේය .


