ඔලියැන්ඩර් – 53

0
2324
oleander Flower

කොළඹ නගරයේ සුප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක හදිසි ප්‍රතිකාර ඒකකය වෙත යොමු කෙරෙනු යුවතියගේ තොරතුරු දැනගැනීමට යුහුසුලුව කලබලයෙන් එහා මෙහා යන තම ප්‍රධානියා දෙස පසෙකට වී බලා සිටි ශාක්‍යා නිහඬවම සුසුමක් හෙළුවාය. 

” ඔච්චර ආදරේ නම් මොන මඟුලකටද දන්නෑ අතෑරලා දැම්මේ ? කොහෙද ඉතිං මේ අහිංසකී දේවනාරායනගේ දුවෙක් නෙමෙයිනේ. අම්මලා , අප්පලා , පුතාලා ඔක්කොම එකයි. සල්ලියි , බිස්නසුයි තිබ්බනං ඔක්කොම හරි. “

යටි සිතින් තම ප්‍රධානියා වෙත බැණ වදිමින් සිටි  ශාක්‍යා වහා විවර වූ රෝහල් කාමරයේ දොර දෙසට දෑස විතැන් කළාය. 

” එන්න සර්..!” 

විවර වූ දොරෙන් හිස පිටතට දැමූ හෙදියක් එසේ පැවසූ අතර ඇගේ මුවින් වචන පිටවූ සැණින් ඔහු රෝහල් කාමරය වෙත අඩි තැබූ අතර ශාක්‍යාද ඔහු පසුපසින් වැටුණාය. 

” ප්‍රනීෂ්.. මොකද ?” 

රෝහල් සයනය අසල සිටි පාසල් සගයෙකු වූ වෛද්‍යවරයා දෙස බැලූ සියත්‍ර රන්දෙණිගල තව දුරටත් වෙව්ලන හඬින් ඔහුගෙන් විමසා  සයනය මත දිගාවී උන් තරුණිය දෙස බැලුවාය. 

” ලොකු දෙයක් නෙමෙයි. She is very weak.  වෙලාවට කන්නැද්ද ළමයෝ ?” 

තරුණ දේහධාරියා හට පිළිතුරු දුන් වෛද්‍යවරයා නැවතත් තරුණිය දෙසට හැරුණේය. 

” වයස කීයද ඔයාගේ ?” 

” වි.. විසි එකයි. “

තමා අසලට පැමිණි ශාක්‍යාගේ අතක් අල්ලා ගන්නාතුර ඈ සෙමින් වෛද්‍යවරයා නඟන ප්‍රශ්න වෙත පිළිතුරු බැන්ඳාය. 

” මොනවද කරන්නේ ?” 

” මං යුනිවසිටි යනවා. “

” ඒ ගමන්ම ජොබ් එකත් කරනවා ?” 

” ඔව්.” 

” රෑට රෑට ළමයින්ට ටියුශනුත් දෙනවා “

ශාක්‍යා හිතුවක්කාරියගේ ක්‍රියා මතක් කොට මුව ඇද කළ අතර වෛද්‍යවරයා ඇගේ කතාවට මඳ සිනහවක් නැඟුවේය. 

” දවසට වේල් කීයක් කනවද  ?” 

” කවුරුහරි මතක් කරන්න ඕනේ කන්න. “

නැවතත් පිළිතුර ලැබුණේ ශාක්‍යාගෙන් වූ අතර දේහධාරී පපුව මත බැඳ තිබූ දෑතෙහි මිට මෙළවී ගියේය. 

” එතකොට නිදා ගන්නේ කීයටද ? දවසට පැය කීයක් නිදාගන්නවද ? “

” මෙයාට මේ ලඟකදි ඉඳන් නිදාගන්නවට වඩා ඇහැරිලා ඉන්න එක පුරුද්දට ගිහින් ඩොක්ටර් “

කුඩා යුවතිය බෙරි කර ගත් උවනින් ශාක්‍යා දෙස බැලූ අතර ශාක්‍යා නැවතත් ඈ දෙස බලා මුව ඇද කළාය.

” ඔයා සෑහෙන්න වීක් වෙලා. ඇඟට හරියට  කෑමක් නෑ , නින්දක් නෑ. අපේ ඇඟවල් කියන්නෙත් මැෂින්ස් වගේ තමයි දරුවෝ . අපි එයාලව හොඳින් බලාගත්තේ නැත්තන් එයාලා ඔටෝම එයාලගේ සේෆ්ටි එක හදා ගන්නවා. කන්නේ බොන්නේ නැතුව , නිදාගන්නේ නැතුව , මොනාහරි දේකට හිත කරදරෙන් ඉන්නකොට අපේ මොළේ විසින්ම දැන් ඇති කියලා power saving mood එකක් ඔන්  කරගන්නවා. තේරුණාද ? ඔයා මැරීඩ් නෑනේ ?” 

” න් නෑ.. ඩොක්ටර්.. “

” හ්ම්ම්.. බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ?” 

” ආහ්..?” 

අල්ලා සිටි ශාක්‍යාගේ අත තවත් තද වූ අතර ගැස්සුණු ගැඹුරු දෑස යාන්තමින් ඈ වෙත ඇදී ගියේය. 

” පීරියඩ් සර්කල් එක කොහොමද ? ” 

” හොඳයි. “

” කවදද අන්තිමට පීරියඩ්ස් හැදුණේ ?” 

” ලාස්ට් වීක් “

ඇසෙන නෑසෙන තරමට පිළිතුරු දුන් යුවතිය දෙස තොල්පට තද කර බැලූ ශාක්‍යා ඉන් පසුව යටැසින් තමන්ට අනෙක් පස සිටි ප්‍රධානියා දෙසද රහසින් බැලුවාය. 

” හ්ම්ම්. එහෙනං අවුලක් නෑ. ආ.. කෝකටත් බ්ලඩ් එකකුයි , යූරින් එකකුයි ගන්න. “

” ඕකේ ඩොක්ටර්. ” 

තමා අසල උන් හෙදියටද උපදෙසක් දුන් වෛද්‍යවරයා යළි තරුණිය දෙසට හැරුණේය. 

” සාමාන්‍ය උණ තත්වයක් ඇඟේ තියනවා. ලොකු එකක් නෙමෙයි. කෝකටත් අපි ඔයාට සේලයින් දෙනවා. ටෙස්ට් වගයකුත් කරනවා. හැබැයි ඔය මොනවා කරත් වැඩක් නෑ වෙලාවට කන්නේ බොන්නේ නැත්තන් . අඩුම මේ අසනීප තත්වේ හොඳ වෙනකන්වත් හොඳට කන්න බොන්න ඕනේ. අනික ඔයා ප්‍රමාණයට වඩා මහන්සි වෙලා. ඒකත් නතර කරගන්න වෙයි. අනික හිතේ තියන කරදරත් පොඩ්ඩක් අමතක කරන්න. “

එසේ පැවසූ වෛද්‍යවරයා නැවතත් අසල සිටි හෙදිය දෙසට හැරුණේය.

” ඊසීජී එකක් ගන්න “

නැවත වතාවක් මිත්‍රයා දෙසට හැරී පිටතට පැමිණෙන ලෙසට දෑසින් ඉඟි කළ වෛද්‍යවරයා රෝහල් කාමරයෙන් පිටතට ආවේය. 

” තෑන්ක්ස් මචං “

දකුණතේ දබරැඟිල්ලෙන් හා මහපටැඟිල්ලෙන් නළල තෙරපවාගත් ඔහු වෛද්‍යවරයා දෙස බලා පැවසුවේය. 

” මොකෝ සීන් එක ? ගර්ල් ෆ්‍රෙන්ඩ් ද ?” 

” Ex “

වෛද්‍යවරයා පැවසූ දේට පිළිතුරු දුන් ගැඹුරු දෑස වහා ඉවත බලා ගත්තේය. 

” ඔහ්.. අයි ..සී.. මට හිතුණා මොකක් හරි තමා කියලා. කෙල්ල සෑහෙන්න වීක් වෙලා මචං . “

” හිතුවක්කාරයි බං “

” ප්‍රතාපවත් පෞරුෂයෙන් නැඟෙන පිරිමි ස්වරය බොහෝ මන්ද වී තිබුණේය . 

” හේතුව අහන්නෑ. ඒ උනාට එයා විතරක් නෙමෙයි උඹ ඉන්නෙත් හොඳින් නෙමෙයි කියලා තේරෙනවා. ප්‍රශ්නයක් තියනවානම් කතා කරලා විසඳගනින්. නැත්තන් හැමදාම මේ වගේ හොස්පිට්ල් ගාණේ දුවන්න වෙයි. කෙල්ලව පොඩ්ඩක් බලහන්. කෑවේ බිව්වේ නැත්තන් බෙහෙතක්වත් ඇඟට අල්ලන්නෑ. මං යන්නද මචං. ඊයේ උදේ ඉඳන් මේ ඉන්නේ. ගෙදර යන්න හදනකොටම තමයි උඹ කෝල් කලේ. මං ඉන්න අනිත් ඩොක්ටර්ට කියන්නං. කොහොමත් හෙට උදේ අනිවා මං එනවා. “

” ඕකේ මචං . තෑන්ක්ස්. ” 

” රෑටනං මොනාහරි කන්නම වෙනවා. මොකද නොකා බෙහෙත් බිව්වොත් ඊලඟට බෙහෙත් වල සැරට ගැස්ට්‍රයිටිස් හැදෙන්න පුලුවන් . කන්න අමාරුමනම් ෆ්‍රෙෂ් මිල්ක් එකක් , ජූස් එකක් , සුප් එකක් වගේවත් බොන්න. “

යළිත් වතාවක් තරුණයා   රෝහල් කාමරයේ දොර විවර කරමින් ඇතුළට පිවිසි අතර සයනය මත හිඳ සිටිනා තරුණිය හට උපදෙස් දුන් හෙදියද කාමරයෙන් පිටව ගියාය. එතෙක් වේලා සයනය මත දිගා වී උන් තරුණිය එවර ඒ මත හිඳ සිටි අතර ඔහුගේ උවන දෙස කෙලින් බැලීමට නොහැකිව වහා තම මුහුණ බිමට බර කර ගත්තාය. 

” පහන්‍යා අක්කා…!” 

අත් බෑගය තුළ නාද වන ජංගම දුරකතනය අතට ගෙන එසේ පැවසූ ශාක්‍යා වහා එයට පිළිතුරු බැඳීමට පටන් ගත්තාය. 

” ඔව් අක්කේ. ඔව්.. ෆේන්ට් උනා. ඔව්.. ඉන්නවා. “

එසේ පැවසූ ඈ නිහඬවම දුරකතනය තරුණිය වෙත දිගු කළාය. 

” අක්කේ.. !” 

” මොකද කෙල්ලේ උනේ ?” 

” ෆේන්ට් උනා අක්කේ. දැන් ප්‍රශ්නයක් නෑ. මං හොඳින් “

” අනුජ්ගේ අම්මයි , තාත්තයි ඇවිල්ලා. නැත්තන් මං දැන්ම එනවා නංගි “

” අනේ එපා අක්කේ. කරදර වෙන්නෙපා. මට ප්‍රශ්නයක් නෑ . මං හොඳින්. “

” මට හෙට උදෙන්ම එන්නං කෙල්ලේ. “

” අනේ දෙයියනේ එපා. හෙට කොහොමත් ඩිස්චාර්ජ් කරයි කියලා නර්ස් කෙනෙක් කිව්වා “

” කාලා බීලා ඉන්න ළමයෝ. ඔයා කල්පනා කරනවා වැඩියි. ඒකයි ඔය ඔක්කොම. කෝ අර අපේ යමයා ඉන්නවා නේද ඔතන ?” 

“හ්ම්ම්.. ඔව් ” 

” ඉන්නකෝ මං එයාට කියන්න හොඳවැයින් දෙකක්. එයා නිසා තමයි මේ ඔක්කොම. “

” අනේ.. එපා.. “

ඇසෙන නෑසෙන හඬින් යුවතිය පහන්‍යා වෙත පිළිතුරු බැන්ඳද දෙදෙනාගේ මාතෘකාව තමන් බව ඔහුට තේරුම් ගැනීමට වැඩි වේලාවක් නොගියේය. 

” රෑට කන්න ඕනේ මොනවද අහන්න ශාක්‍යා ” 

ප්‍රශ්නය යොමු විය යුත්තේ රෝගියාට වුවද එයට මුහුණ දුන්නේ ඔහුත් ඇයත් අතර මැද සිටි ශාක්‍යා ය. හොඳින් ඇසුණු ප්‍රශ්නය යලිත් ඇසීමේ අවශ්‍යතාවයක් නොමැති බැවින් ශාක්‍යා නිහඬවම ඈ දෙස බැලුවාය. 

” මුකුත් එපා අක්කේ . කන්න බෑ අප්පිරියයි “

පැනයද ශාක්‍යා වෙත වූ අතර පිළිතුරද ලැබුණේ ඈ වෙතටය. 

” දැන් ඩොක්ටර් කිව්වනේ කන්න කියලා . මොනාහරි කන්නම වෙනවා. “

රකුසු හඬත් , දෑසත් කිසිවිටකවත් ඈ වෙතට යොමු නොවූ අතර ඈ දෙස එක බැල්මක් හෝ නොහෙලූ ඔහු ඉවත බලා ගෙනම වචන පිට කළේය. 

” මට කන්න බෑ අක්කේ.. “

කෙඳිරිලි සහිත හඬින් නැවතත් ශාක්‍යා දෙස බැලූ තරුණිය බෙරි කර ගත් උවනින් නැවතත් පිළිතුරු බැන්ඳාය. 

” කන්න බෑ කියලා බෑනේ නංගි. මොනාහරි කන්නම වෙනවා. ඔයා පහුවෙච්ච දවස් ටිකේම හරියට කෑමක් බීමක් ගත්තේ නෑ. අර කිව්වත් වගේ ගැස්ට්‍රයිටිස් වත් ආවොත් ඊට පස්සේ එක ලෙඩේට ලෙඩ දෙකයි. “

” පීට්සා මොනාහරි ඕඩර් කරල ගෙනත් දෙන්නද අහන්න ශාක්‍යා ” 

නැවත වතාවක් ඉවත බලා ගත් ගැඹුරු කටහඬ පැනයක් නැඟුවේය. 

” එපා.. “

පිළිතුරද ශාක්‍යා දෙසටම එල්ල වූයේය. 

” බර්ගර්ස් මොනාහරි ? නැත්තන් සී ෆුඩ්ස් ? ඕන දෙයක් කියන්න කියලා කියන්න ශාක්‍යා “

නැවත වතාවක් ඉවත බලා පැවසූ දේට පිළිතුර ලෙස නැවත වතාවක් ශාක්‍යා දෙස බැලූ හිස දෙපසට සෙලවිණි.

” කෝල් එකක්..”

නාද වන තරුණියගේ ජංගම දුරකතනය මේසය මතින් ගත් ශාක්‍යා එය වහා ඈ වෙත දිගු කළාය. 

” හෙලෝ විමූ.. නෑ ප්‍රශ්නයක් නෑ. නිකන්.. ෆේන්ට් උනා. කවුද .. සයුල්ද ? ආ දෙන්න.. ඔව් සයුල් .. කියන්න .. එපා . එපා.. මුකුත් එපා  .  ආප්ප ? ම්ම්.. හා. දෙකක් ඇති . “

ගැඹුරු දෑස වේගයෙන් සැළුණේය. දුරකතනය නැවතත් පසෙකින් තැබූ ‍යුවතිය ශාක්‍යා දෙස බැලුවාය. 

” කැම්පස් එකේ යාලුවො දෙන්නෙක්. තව විනාඩි දහයකින් , පහලවකින් එන්නම්ලු. කන්න මොනාහරි ගේන්නං කිව්වා අක්කේ.. “

අවසාන වාක්‍ය පිටවුයේ පෙර ඒවාට වඩා බොහෝ සෙමිනි. 

” මොකා ආවත් කමක් නෑ , එන්න කලින් හරියට ඇඳුමක් ඇඳ ගන්න කියන්න. “

යළිත් වතාවක් ගිගිරූ හඬට අනුව යුවතිය වහා ඇගේ ළමැද දෙස බැලුවාය. වෛද්‍යවරයා නියම කළ පරිදි ඔහු පිටව ගිය පසු ඊසීජී ගැනීම සඳහා යටි ඇඟලුම ගලවා දැමූ අතර ඉන් පසුව කලබලයට එය නෑදම උඩු ඇඟලුම පමණක් ඇඳි බව ශාක්‍යාට තබා ඈටද මතක් වූයේ එවිටය. වහා පසෙක තිබූ කොට්ටයක් ගෙන ළමැද මත තුරුළු කර ගත් ඈ දිගටම දෙනෙත නොඔසවාම සිටියාය. 

” දැකලා නැති එකක්නේ.. ” 

දෑස ඈ කෙරෙහි විතැන් නොකළද ඈ කළ ක්‍රියාව හොඳින් දුටු ඔහු එසේ පවසා රෝහල් කාමරයෙන් පිටව ගිය අතර එතෙක් වේලා තද කර සිටි සිනහවක් මහ හඬින් ශාක්‍යාගේ මුවින් පිටතට පැන නැඟිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here